
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු තීරණාත්මක මහා මැතිවරණය පවත්වනු ලැබුවේ 1947 දී ය. ඒ 1948 පෙබරවාරි 04 දින මෙරටට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් හිමි වීමට ද පෙර දී ය. 1944 දී මෙරටට සුදුසු ආණ්ඩුක්‍රමයක් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා එවකට එංගලන්තයේ කොන්සවේටිව් ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ශ්‍රීමත් සෝල්බරි සාමිගේ නායකත්වයෙන් යුක්ත වූ ත්‍රිපුද්ගල කමිටුවක් ලක්දිවට සම්ප්‍රාප්ත වූයේ ය.
1944 දෙසැම්බර් මස සිට 1945 අප්‍රේල් මස 9 දින තෙක් මෙරට රැඳී සිටි එම කමිටුවට සිංහල නායකයන්ගේ අදහස් ලබාගැනීමට නොපුළුවන් වුව ද සුළු ජාතීන් නියෝජනය කළ පක්ෂවල නායකයෝ බොහෝ දෙනෙක් තම අදහස් හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට උනන්දු වූහ. රටේ විවිධ ප්‍රදේශවල චාරිකා කිරීමෙන් අනතුරුව මෙරට සමාජ සංවිධාන හා පොදු ජනයාගේ දේශපාලන පරිණතභව පිළිබඳ අදහසක් ලබාගත් කමිටුව, එවකට මෙරට මන්ත්‍රණ සභාවේ සභානායකයා ලෙස කටයුතු කළ ඩී. එස්. සේනානායක මහතා ඉදිරිපත් කළ අදහස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළේය. 1945 සැප්තැම්බර් මස ප්‍රසිද්ධියට පත් කළ සෝල්බරි කමිටුවේ නිර්දේශ මත 1947 වසරේ දී මෙරට පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය මූලික නෛතික රාමුව සකසා ගන්නා ලද්දේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 95කට මහජන නියෝජිතයන් තෝරාගැනීම සඳහා 1947 අගෝස්තු මස 23 දින සිට සැප්තැම්බර් 20 වන දින දක්වා, දින 19 පුරා පැවැති එම මැතිවරණය මෙරට දේශපාලනඥයන්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ඡන්දය දීමට සුදුසුකම් ලැබූ ජනතාවට ද නුහුරු අත්දැකීමක් වූයේ ය. දේශපාලන පක්ෂ ක්‍රමය මුල්බැසගෙන නොතිබූ එකල මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ස්වාධීන අපේක්ෂකයන් 182ක් ඉදිරිපත් වීම ද මතු වී පෙනෙන කරුණකි. තම ජාතිය, කුලය, ආගම නියෝජනය කළ මැතිවරණ අපේක්ෂකයන් කෙරෙහි ජනතාව තුළ පැවැතියේ දැඩි අවධානයකි. සංවිධානාත්මක දේශපාලන පක්ෂ අතරින් ප්‍රධාන වූයේ ඩී. එස්. සේනානායක මහතා විසින් 1946 සැප්තැම්බර් මස 06 දින පිහිටුවාගත් එක්සත් ජාතික පක්ෂයයි.
දක්ෂිණාංශික දේශපාලන මතධාරී පක්ෂ රාශියක් එම අභිනව දේශපාලන පක්ෂයේ කොටස්කරුවෝ වූහ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සිංහල මහා සභාව, ලංකා ජාතික සභාව, මුස්ලිම් සංගමය හා ලංකා යෝනක සංගමය එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමට මුල් වූ ප්‍රධාන දේශපාලන සංවිධානයෝ වූහ. වතුකරයේ වාසය කළ ඇතැම් ඉන්දියානුවන් හා උතුරේ ධනවත් ද්‍රවිඩයන්ගෙන් ද එම පක්ෂය වර්ධනය වූයේ ය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඩී. එස්. සේනානායක මහතා නිතරගයෙන් පත් වූයේ ඒ මහතා කෙරෙහි මෙරට ජනතාව තුළ පැවැති පිළිගැනීම නිසාය.
මෙරටට ස්වාධීන පාලන ව්‍යූහයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ එතුමා අත්පත් කොටගෙන තුබූ ඇතැම් ජයග්‍රහණ ද මෙරට උගත් ජනතාවගේ ප්‍රසාදය පිණිස වූයේ ය. එංගලන්තයේ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි, වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන වැනි අය 1935 දෙසැම්බර් 18 වන දින පිහිටුවාගෙන තුබූ ලංකා සමසමාජ පක්ෂය ද ඒ යුගය වන විට මෙරට ජනතාව අතර අවධානයට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් වූයේ ය. උතුරේ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය වටා එක්රොක් වූ අතර අනෙක් කොටස ජාතිවාදී අදහස් දැරූ ද්‍රවිඩ සංගමයේ දේශපාලන දර්ශනයට පක්ෂපාතී වූයේ ය. උඩරට වතුකරයේ බහුතර ජනතාව ලංකා ඉන්දියානු සංගමයේ දේශපාලන චින්තනයට නැඹුරු වූයේ ජාතිවාදයට මුල් තැන දීම නිසා ය.
ලංකා පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව සංවිධානය කළ 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මාසයේ 23, 25, 27, 28 සය 30 යන දින පහේ දී ද සැප්තැම්බර් මාසයේ 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 යන දින දාහතර තුළ දී ද පවත්වන ලද්දේ ය. එම ඓතිහාසික මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූයේ ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂයට හිමි වූ පාර්ලිමේන්තු සමස්ත ආසන අනූ පහෙන් අඩකට වඩා වැඩි නොවූ නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට අහිමි වූයේ ය.
එහෙත් ස්වාධීනව තරග කළ අපේක්ෂකයන්ගෙන් 21 දෙනෙකු මෙරට පළමු වන පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටීම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වූයේ ය. ඔවුන්ගෙන් බහුතරයක් වාමාංශික හා ජාතිවාදී පක්ෂවලට සහාය පළ කිරීමට අකමැති වූ නිසා ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි ආසන ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට හැකි වන බව එවකට මෙරට බ්‍රිතාන්‍ය අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් මහතාට අවබෝධ වූයේ ය. ආණ්ඩුකාරවරයාට මන්ත්‍රීන් හයදෙනෙකු පත් කිරීමේ බලතලය ද වූ බැවින් ආසන 42ක් දිනූ එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී. එස්. සේනානායක මහතාට 1947.09.24 දින ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාණ්ඩුකාරතුමා ආරාධනා කළේ ය. එම අභියෝගාත්මක ආරාධනාව ඩී. එස්. සේනානායක මහතා පිළිගත් බැවින් එදිනම ඒ මහතා මෙරට පළමු වන අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත්කරනු ලැබීය. 1947 මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.
⚫ එක්සත් ජාතික පක්ෂය - දිනාගත් මන්ත්‍රී ආසන - 42
⚫ ස්වාධීන අපේක්ෂකයෝ -දිනාගත් මන්ත්‍රී ආසන - 21
⚫ ලංකා සමසමාජ පක්ෂය -දිනාගත් මන්ත්‍රී ආසන - 10
⚫ ද්‍රවිඩ සංගමය - දිනාගත් මන්ත්‍රී ආසන - 07
⚫ ලංකා ඉන්දියානු සංගමය -දිනාගත් මන්ත්‍රී ආසන - 06
⚫ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය -දිනාගත් මන්ත්‍රී ආසන - 05
⚫ කොමියුනිස්ට් පක්ෂය -දිනාගත් මන්ත්‍රී ආසන - 03
⚫ කම්කරු පක්ෂය - දිනාගත් මන්ත්‍රී ආසන - 01
⚫ සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව - 95
මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූවෝ 30,48,145ක් වූහ. එහෙත් එම ඓතිහාසික පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කොට තුබුණේ 56.10% පමණි. මීරිගම පාර්ලිමේන්තු ආසනයට තරග කළ ඩී. එස්. සේනානායක මහතා තම ප්‍රතිවාදියා වූ ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයෙන් තරග කළ එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා පරාජයට පත් කළේ වැඩි ඡන්ද 16,000කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි.
පළමු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම හිමි වූයේ මන්ත්‍රී ආසන 10ක් ජයග්‍රහණය කළ ලංකා සමසමාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා මහතාට ය. ඒ මහතා රුවන්වැල්ල ආසන දිනා පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1947 සැප්තැම්බර් මස 26 දින ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරුන් 14 දෙනකුගෙන් සමන්විත වූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වන කැබිනට් මණ්ඩලය පත් කරනු ලැබීය. එම අමාත්‍යමණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන් ම අග්‍රාණ්ඩුකාරවරයා පත් කළ සෙනට් සභිකයෝ ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග කළ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද අයත් වූහ.
විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය අගමැති යටතේ ක්‍රියාත්මක වූ අතර මුදල් අමාත්‍යවරයා ලෙස දිවරුම් දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. එක්සත් ජාතික පක්ෂයේ එකල ජනප්‍රිය නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යධුර හිමි විය. සර් ජෝන් කොතලාවල මහතා ප්‍රවාහන හා ප්‍රසිද්ධ වැඩ අමාත්‍යවරයා වූයේ ය. ඩඩ්ලි සේනානායක මහතා දිවුරුම් දුන්නේ කෘෂිකාර්මික හා ඉඩම් අමාත්‍යවරයා ලෙසිනි.
ස්වාධීන මන්ත්‍රීවරයෙකු වූ සී. සිතම්පලම් මහතාට තැපැල් හා විදුලි සංදේශ ඇමැතිකම හිමි විය. තවත් ස්වාධීන මන්ත්‍රීවරයකු වූ සී. සුන්තරලිංගම් මහතාට වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය භාර වූයේ ය. ආණ්ඩුකාරවරයා පත් කළ සෙනට් සභිකයන් අතරින් ටී. බී. ජයා මහතාට කම්කරු හා සමාජ සුබසාධන කටයුතු අමාත්‍යාංශය ද ඊ. ඒ. නුගවෙල මහතාට අධ්‍යාපන අමාත්‍යාංශය ද හිමිවූයේ ය.
අධිකරණ ඇමැතිවරයා ලෙස ලලිත රාජපක්ෂ මහතා පත්වූ අතර මෙරටට නිදහස ලබාගැනීමේ දී ඩී. එස්. සේනානායක මහතා නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවකට සහභාගී වූ ඔලිවර් ගුණතිලක මහතාට පවරනු ලැබුවේ ස්වදේශ කටයුතු සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයයි. මෙරට පළමු කැබිනට් මණ්ඩලයේ කාර්ය නියමයක් නැති අමාත්‍යවරයෙක් ද වූයේ ය. ඒ, සෙනතර් ගුණවර්ධන මහතා ය.
ලංකාවේ පළමු වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ වූයේ 1947 ඔක්තෝබර් 14 දින කථානායක ඇලෙක්සැන්ඩර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රධානත්වයෙනි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සභානායක ලෙස කටයුතු කළ අතර ඇන්. ඇම්. පෙරේරා මහතා විපක්ෂ නායකයා වූයේ ය.
පළමු පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 1948.01.31 දින අවසන් වූයේ ය. 1948 පෙවරවාරි 04 දින මෙරටට ඩොමීනියන් තත්ත්වයේ නිදහස හිමි වූයේ බ්‍රිතාන්‍යය සමඟ පෙර වසරේ අග භාගයේ දී විදේශකටයුතු හා ආරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ලාංකික නායකයන් එළඹීමෙන් අනතුරුවය. එම නිසා මෙරට වාමාංශික මතධාරීන් බොහෝ දෙනකුගේ දැඩි විවේචනවලට 1948.02.04 දින අප ලැබූ නිදහස ලක්වූයේ ය.
නිදහස හිමි වීමෙන් පසු 1948.02.10 දින ආරම්භ වූ මෙරට පළමු පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ VI ජෝර්ජ් මහරජු වෙනුවෙන් එතුමාගේ සොහොයුරු ග්ලොස්ටර්ශයර්හි ආදිපාදවරයා වූ හෙන්රි කුමාරයා මෙරටට සපැමිණියේ ය.
කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ නිදහස් මන්දිරයේ දී පැවැත්වූ පළමු පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ආරම්භක උත්සවයේ දී ග්ලොස්ටර්ශයර්හි ආදිපාදතුමා විසින් කියවනු ලැබූ රාජාසන ප්‍රකාශයේ වැදගත් අදහස් රාශියක් ගැබ්ව තිබිණි. ව්‍යවස්ථානුගත මාර්ග ඔස්සේ ලංකාවේ දේශපාලන නිදහස මුදුන් පමුණුවාගැනීමට මෙරට නායකයන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කිරීම එහි දී බ්‍රිතාන්‍ය මහරජතුමාගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබිණි.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රීමත් හෙන්ඩ්රි මන්ක් මේසන් මුවර් මහතාව යළිත් මෙරට බ්‍රිතාන්‍ය අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලබන බව ද රාජාසන කතාවේ දී ප්‍රකාශ වූයේ ය.
ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුක්ත වූ මෙරට පළමු රජය දේශීය වශයෙන් මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද වැදගත් වූ කාර්යභාරයන් රාශියක් ඉටු කිරීමට සමත්වූයේ ය. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු එම සංගමයේ සාමාජිකත්වය දැරූ අනෙකුත් රටවල් සමඟ තානාපති සබඳතා ඇතිකොට ගැනීමට ද සේනානායක මහතාගේ ආණ්ඩුව ක්‍රියා කළේ ය.
පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් නොවූ ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය සමග තානාපති සබඳතා ඇතිකොට ගැනීමට හැකි වීම සේනානායක මහතාගේ රජයේ සුවිශේෂ ජයග්‍රහණයක් වූයේ ය. 1950 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීමට හැකි වීම ද සේනානායක රජය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් තුළ පැවැති පිළිගැනීම ප්‍රදර්ශනය වූ අවස්ථාවක් විය. එහිදී යෝජනා වී සම්මත වූ කොළඹ ක්‍රමය (Colombo Plan) වැඩසටහන අවධානය යොමු කළේ ආසියා - පැසිපික් කලාපයේ රටවල ජනයාගේ ජීවන තත්ත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳය.
1948 වසරේ දී ද්‍රවිඩ සංගමය එක්සත් ජාතික පක්ෂ මූලික රජයට එක් වීමෙන් පසු ආණ්ඩුව තවදුරටත් බලවත් වූයේ ය. ඉතාම සමෘද්ධිමත් ආර්ථික වටපිටාවක ක්‍රියාත්මක වූ මෙරට පළමු වන ආණ්ඩුවට තේ, පොල්, රබර් නිර්යාත කිරීමෙන් සැලකිය යුතු විදේශ විනිමයක් ද උපයාගත හැකි වූයේ ය. මේ නිසාම ගල්ඔය ජනපද ව්‍යාපාරය, උඩවලව හා සේනානායක ජලාශ සංවර්ධන ව්‍යාපෘතීන් ද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වූයේ ය.
අනුරාධපුරය හා පොලොන්නරුව පෞරාණික නගර සංවර්ධනය කිරීමට ද සේනානායක රජය වෙහෙසිනි. 1949 වසරේ දී ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමට අදාළ පනතක් 1950 සහ 1951 වසරවල දී පිළිවෙළින් නාවික හමුදාව හා ගුවන් හමුදාව පිහිටුවීමට අවශ්‍ය පනත් ද පාර්ලිමේන්තුවේ දී සම්මත කොටගැනීමට ඩී. එස්. සේනානායක මහතා සමත් වූයේ ය. බ්‍රිතාන්‍ය රජය සමඟ එතුමා පවත්වාගෙන ගිය යහපත් සබඳතාව නිසා එම අභිනව හමුදා පුහුණු කොට වෘත්තීය හමුදා මට්ටමට පත් කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවල සහාය ද හිමි වූයේ ය.
1948.08.20දී ඩී. එස්. සේනානායක මහතාගේ රජය ලංකා පුරවැසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පැවැති වාදවිවාදවලින් පසුව 1948.11.15 දින එය නීතියක් බවට පත්වූයේ ය. එම නීතිය බලාත්මක වීමෙන් පසුව වතුකරයේ විසූ දකුණු ඉන්දීය සම්භවයක් තුබූ 5000ක් පමණ පිරිසකට මෙරට නීත්‍යනුකූල පුරවැසිකම හිමි වූයේ ය. එහෙත් එම නීතිය නිසා ලක්ෂ හතක් පමණ වූ වතුකර ද්‍රවිඩ ජනතාවක් රටක් අහිමි අනාථයන් පිරිසක් බවට පත් වූහ. එම අභිනව නීතිය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර වතුකරයේ ජනතාව තුළ විශාල අපේක්ෂා භංගත්වයක් ඇති කිරීමට ද හේතුවක් වූයේ ය.
ඩී. එස්. සේනානායක මහතාගේ රජය තුළ මුල් ම අර්බුදය පැන නැඟුණේ 1951 වසරේ දී ය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ය. එවකට බණ්ඩාරනායක මහතා විසින් දැරූ සෞඛ්‍ය හා පළාත්පාලන යන අමාත්‍යධුර දෙක අග්‍රාමාත්‍යවරයාගේ විෂය ක්ෂේත්රයට එක්කොට ගනු ලැබීය.
1951 වසරේ සැප්තැම්බර් මස 02 දින බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලද්දේ ය. එම පක්ෂයේ දේශපාලන දර්ශනය ධනවාදයට හා අන්තවාදී සමාජවාදී දර්ශනයට අතරමැදි ස්ථානයක වූ බැවින් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වාසය කළ සිංහල බෞද්ධයන්ගේ අවධානය ආරම්භයේ සිටම ඒ කෙරෙහි යොමු වූයේ ය.
මෙරට පළමු පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරයේ නිල කාලය අවසන් වීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරීමට සිදු වූයේ අනපේක්ෂිත අවස්ථාවක දී සිදු වූ ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ අභාවය නිසාය. 1952 මාර්තු 21 දින කොළඹ ගෝල්ෆේස් පිටියේ දී ඩී. එස්. සේනානායක මහතා ලංකා පොලීසියේ අශ්වාරෝහක බළකායේ චිත්‍රා නම් වෙළඹගේ පිටින් ඇදවැටුණේ ය. පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුළත් කළ එතුමාට ප්‍රතිකාර කිරීමට මෙරට එකල විසූ කීර්තිමත් වෛද්‍යවරු රාශියක් ඉදිරිපත් වූහ. එම අවස්ථාවේ දී නිල රාජකාරී කටයුත්තක් සඳහා මෙරටට පැමිණ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිසක් ද අගමැතිතුමාගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූහ.
එංගලන්තයේ වින්සන් චර්චිල් අග්‍රාමාත්‍යවරයා එරට සිටි කීර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු මෙරටට එවීමට කටයුතු සම්පාදනය කළේ ය. ඉන්දියානු රජය හා පකිස්තානය ද වෛද්‍ය විශේෂඥයන් මෙරටට එවීමට සූදානම් වූයේ ය. එහෙත් පැය 32ක පමණ කාලයක් සිහිසුන්ව සිටි අග්‍රාමාත්‍යවරයා 1952 මාර්තු 22 දින සවස 3.30ට පමණ අභාවප්‍රාප්ත වූයේ ය. එම සංවේදනාත්මක පුවත සැලවීමත් සමඟ මෙරට දස දිගින් එතුමාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට ලක්ෂ පහකට අධික පිරිසක් අග්‍රාමාත්‍ය නිල නිවාසයට පැමිණි බව වාර්තා විය.
පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව නිදහස් චතුරශ්‍රයේ දී පැවැත් වූ එතුමාගේ අවසන් කටයුතු සඳහා 32,000කට වැඩි ජනතාවක් සහභාගීවීමෙන් එතුමා පිළිබඳ මෙරට පොදු ජනතාව තුළ වූ පැහැදීම මනාව දිස්වේ.
ඩී. එස්. සේනානායක මහතාගේ පුරප්පාඩු වූ අගමැති තනතුරට එතුමාගේ පුත්‍ර ඩඩ්ලි සේනානායක මහතා පත්වූයේ ය. ඒ එවකට පාර්ලිමේන්තුවේ සභානායකවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඩඩ්ලි සේනානායක මහතා යටතේ කටයුතු කිරීමට එකඟ වීම නිසාය.
එහෙත් ජනවරමකින් තොරව රට පාලනය කිරීමට අකමැති වූ ඩඩ්ලි සේනානයක මහතා 1952.04.14 දින ආණ්ඩුව විසුරුවාහැර මැයි මාසයේ 24, 26, 28, 30 යන දින හතර තුළ මෙරට දෙවන පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා වූ මහා ඡන්දය පැවැත්වීය. ඉන් තීරණාත්මක ජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වය යටතේ මෙරට දෙවන ආණ්ඩුව ද පිහිටුවීමට සමත් වූයේ ය.