
පිටකොටුව මැනිං මාර්කට්ටුවේ වගේම කොළඹ හරස් වීදිවල වෙළෙඳුන්ගේ කන් කරච්චලය ඇත්තටම කරච්චලයක් කියලා ඔබට මොහොතකටවත් හිතෙන්න නැතිව ඇති. මොකද කවුරුත් ලාබෙට බඩුවක් මුට්ටුවක් මිල දී ගන්නේ ඒ වෙළෙඳුන්ගෙන් නිසා. එවැනි අවශ්‍යතා සඳහා පිටකොටුවේ වීදි ගානේ නිතර කරක්ගහන අයට හිත සසළ වන පුවතක් අසන්න ලැබෙයි. තවත් මාස කිහිපයකින් මැනිං මාර්කට්ටුව පෑලියගොඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමට සියලු ඉදිකිරීම් කටයුතු සූදානම්ය යන පුවතයි ඒ.
කොළඹ නගරය ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩසටහන යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 14ක වපසරියකින් යුතු භූමි භාගයක (පෑලියගොඩ මාළු වෙළඳපොළ ඉදිරිපිට )ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී. ඒ අතර බස්නාහිර මහා නගර සැලැස්ම යටතේ කොළඹ නිර්මාණය කිරීමට සැලැසුම් කර ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩනැගිල්ල අක්කර හයක් පමණ වන පිටකොටුව මැනිං වෙළඳපොළ පිහිටි භූමියේ ඉදි කිරීමට නියමිතය. ලබන වසරේ මාර්තු මාසය වන විට පිටකොටුව මැනිං වෙළෙඳපොළ පෑළියගොඩ මැනිං වෙළෙඳපොළ බවට පත් වනු ඇත.
ඒ පිළිබඳ නවතම තොරතුරු සොයාබලන්නට අපි කටයුතු කළෙමු.
ඉදිකිරීම් භාරව කටයුතු කරන නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානච්චි අප සමඟ පවසා සිටියේ, කොළඹ ඉදි කිරීමට නියමිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) වැඩකටයතු ඇරැඹීමට මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු මේ වන විට නිමවෙමින් පවතින බවයි.
“මැනිං මාර්කට් එකෙන් වසර ගණනාවක සිටම සිදු වන්නේ රටේ විවිධ ප්‍රදේශවලින් එළවළු හා පලතුරු තොග පිටින් ගෙනැවිත් නැවත තොග පිටින් එළියට ගෙන යන එකයි. එය ඇත්තටම කොළඹ නගරයේ විශාල වාහන තදබදයක් වගේම අනවශ්‍ය විදිහට ජනාකීර්ණ වීමක් නිර්මාණය කරන්නට සමත් වුණා. මැනිං මාර්කට් එක පෑලියගොඩ ප්‍රතිෂ්ඨාපනය කිරිමේ මුලික අරමුණ වුණේ දැනට කොළඹ තිබෙන මැනිං මාර්කට් එක නිදහස් කරගෙන එතැන කොළඹ නගරයේ ප්‍රධානතම ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා යොදාගැනීමයි. ඒ අනුව කොළඹ මැනිං මාර්කට් එකේ සිදුවූ සියලුම ක්‍රියාකාරකම් ඉදිරියේ දී පෑලියගොඩ දී සිදු වෙන්නට නියමිතයි. ' ඔහු පවසයි.
පසුගිය කාලයේ කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ද පෑලියගොඩට ගෙන යන ලදි. එයින් හිස් වු ස්ථානයේ ගෝල්ඩ් සෙන්ටර් ව්‍යාපෘතිය ඉදිකිරිණි. ඉදිකිරීම් නිම වෙමින් පවතින මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිිටා ඇත්තේ මාළු වෙළෙඳ සංකීර්ණයට ආසන්නවය.
ඉදි වෙමින් පවතින පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය පිළිබඳ අදහස් දක්වමින් වරලත් වාස්තු විද්‍යාඥ, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හසන්ති දහනායක පවසා සිටින්නේ මෙවැන්නකි.
“ මැනිං මාර්කට් එක පෑලියගොඩට යන්නේ එතැන ප්‍රවාහන කටයුතුවලදී විශේෂ ස්ථානයක් නිසයි. මොකද ලංකාවේ තිබෙන සියලුම අධිවේගී මාර්ග එකතු වෙන එකම තැන පෑලියගොඩ. ලංකාවේ කොතැනින් ආවත් පෑලියගොඩින් බහින්න පුළුවන්. ඒ වගේම ලංකාවේ කොතැනකට වුණත් යන්නට පෑලියගොඩින් නඟින්න පුළුවන්. පෑලියගොඩ මැනිං මාර්කට් එකට අයත් වන ඉඩමේ මුළු වපසරිය අක්කර විසිපහක් පමණ වෙනවා. එයින් මැනිං මාර්කට් එක ඉදි වෙන්නේ අක්කර දාහතර හමාරක වගේ වපසරියක. එය ප්‍රධාන ගොඩනැගිලි තුනකින් යුතු වෙනවා. තොග හා සිල්ලර වෙළෙදාම වෙනුවෙන් තට්ටු දෙකකින් යුතු ගොඩනැගිලි සංකීර්ණයක් නිර්මාණය වි තිබෙනවා.
කඩ එක් දහස්දෙසීය තිස් අටක් තිබෙනවා. ඒ වගේම මෙහි ලොරි රථ දෙසීයකටත් වෙනත් වාහන හාරසීයකුත් නවතා තැබීමේ පහසුකම් තිබෙනවා. ඉහළ මාලයට වගේම පහළ මාලයටත් වාහනවලින් යන්න පුළුවන් විදිහටයි සැලැසුම් කර තිබෙන්නේ. ඕනෑම කඩයක් ඉදිරිපිටට වාහනවලින් ගිහිල්ලා බඩු පටවා ගන්න, බඩු බිමට බාන්න පුළුවන්.
වැයවෙන මුළු වියදම රුපියල් බිලියන හතක්. මෙයට ඉඩම් සංවර්ධනය, වටේ තිබුණු ඇලවල්, කානු , බෝක්කු, පාලම් , ප්‍රවේශ මාර්ග සංවර්ධනය කර සැකසීම, ඉන්පසුව දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කිරීම යනා දි කැරුණු රැසක් ඇතුළත් වුණා. ඊට අමතරව මෙහි වටේ ආරක්ෂාව වෙනුවෙන් පැති දෙකකින් ඇළ මාර්ග පද්ධතියක් යනවා. එයත් මෙහි අලංකරණ කටයුතු සඳහා අපි භාවිතා කරනවා. ලබන මාර්තු වන විට ඉදිකිරීම අවසන් කර මහජනතාවට විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.' ඇය පවසයි.
එම සංවර්ධන කාර්ය පිටුපස සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් මෙන්ම නිලධාරින්ද ඉටු කරන්නේ මහත් ජාතික වගකිමකි. දිවා රාත්‍රී නොබලමින් ඔවුන් පෑලියගොඩ ඉදි වෙමින් පවතින වෙළෙඳ සංකීර්ණයේ අවසන් අදියර වෙනුවෙන් වෙහෙසෙන අන්දම අපිට එහි සංචාරයකට එක් වූ අවස්ථාවේ දැක ගන්නට ලැබිණි. එහි ප්‍රධාන ව්‍යාපෘති උපදේශක කළමනාකාර බුලත්සිංහල මහතා අප සමඟ පවසා සිටියේ එම ගොඩනැගිල්ල විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්ගෙන් අලංකෘතව ඉදි වී ඇති බවයි. ඒ අනුව මෙය රටේ ඉදි වී පවතින සෙසු ගොඩනැගිලිවලට වඩා විශේෂ මුහුණුවරක් ගන්නා බවත් එහි හැඩය අනුවත් සෙසු පාරිසරික උපාංග අනුවත් ජනතා ආකර්ෂණයක් දිනාගන්නා බවත්ය.
ඉදිකිරීම් පිළිබඳ අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂිකා තුෂාරි තිලකරත්න පවසා සිටියේ මෙවැන්නකි.
“කොළඹ මැනිං මාර්කට් එක මෙතැනට ගෙනාවාට පසුව එතැන අක්කර හයක් පමණ ඉතිරි වෙනවා. ඒ ඉඩම අපි භාවිතා කරනවා ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයට. එමඟින් කොළඹ තදබදය අඩු වෙයි කියා අපි හිතනවා. නමුත් මේ තදබදය සම්පූර්ණයෙන් අඩු වෙන්න නම් අනෙක් තොග හරස් වීදි කඩ ටිකත් පෑලියගොඩටම විතැන් වෙන්න ඕනෑ. මෙතැන කනත්තක් තිබෙනවා. ඒ කනත්තත් එතැනින් ඉවත් කරලා ඉතිරි අක්කර එකොළහ දොළහහේ තමයි හරස් විදි තොග කඩ සඳහා භාවිතා කරන්නට සැලැසුම් කර තිබෙන්නේ. මෙහි දෙවන අදියර විදහට අපි කොළඹ හරස්වීදිවල තොග කඩ සියල්ලත් පෑලියගොඩ මැනිං මාර්කට් එකට ගේන්න කටයුතු කරනවා. ' ඇය පවසයි.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණය නවීන පහසුකම් සහිතව ඉදි වන අතර නවීණ තාක්ෂණය භාවිතයට ගනී. ඔන්ලයින් ක්‍රමයට අතරමැදියෙකුගෙන් තොරව වෙළෙන්දා සහ ගොවියා අතර ගනුදෙනුව සිදු වන පරිදි තාක්ෂණික ක්‍රම ඔස්සේ වෙළෙඳාම සිදු වේ. ඒ පිළිබඳ හසන්ති පවසන්නේ මෙලෙසයි.
“ඒ වෙනුවෙන් ඇප් එකක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අනුව අනුරාධපුරයේ , පොලොන්නරුවේ ගොවියාට නවීන තාක්ෂණය ඔස්සේ තම පලතුරු එළවළු විකුණාගන්න පුළුවන්. මෙහි ශීතාගාර අටක් සකසා තිබෙනවා. එමඟින් එළවළු පලතුරු නරක් නොවී පවත්වා ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. බැංකු පහසුකම්, අටසීයකට පමණ එකවර ආහාර ගත හැකි නවීන අපනාශාලා පහසුකම් ඇතිවයි මෙය ඉදි වන්නේ.
ඉදිරියේදී මෙතැන ජනතාවට තමන්ගේ පවුල පිටින්ම ඇවිත් බඩු භාණ්ඩ මිලදී ගෙන විනෝදවෙලා යන්නට පුළුවන් ස්ථානයක් වේවි. එයට උචිත ලෙස පරිසරය අලංකාර කරන්න අපි කටයුතු කරනවා. සෝලා පැනල් සවි කරලා හිරු එළියෙන් තමයි විදුලිය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ. එකතු වෙන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් ඇතිව දුර්ගන්ධයක් ඇති නොවන ලෙස බැහැර කරන්නට සැලැසුම් කර තිබෙනවා. මෙහි එකතු වන අප ජලය පිරිපහදු කර මේ බිමේ තෘණ පිට්ටනියටත් ගස්කොළන්වලටත් යොදනවා. නඩත්තු කටයුතු ආයතන කිහිපයක එකතුවකින් සැදුම් ලත් කමිටුවකින් සිදු වෙනවා.' අය පවසයි.
කොළඹ මැනිං වෙළඳපොළේ වෙළෙඳ සංගම්වල මෙන්ම වෙළෙඳුන්ගේ ද නාට්ටාමිවරුන් ඇතුළු සේවකයන්ගේද විරෝධතාවක් පැන නොනැඟි බවද ඔවුන් මේ වෙනසට කැමැත්තෙන් පසු වන බවද අපට දැනගන්නට ලැබිණි.
ජගත් 1988 වසරේ සිට මැනිං වෙළෙඳපොළේ වෙළෙඳාමේ යෙදෙන්නෙකි.
“මැනිං මාර්කට් එක පෑලියගොඩට ගෙනියනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. එතැනට ගියාමත් මේ වගේ බිස්නස් එක හොඳට පවතී කියලා අපි විශ්වාස කරනවා. මිට පෙර පෑලියගොඩට ගෙනිච්ච මාළු මාර්කට් එකේ අපේ යාළුවො ඉන්නවා. ඒ අයත් කැමැතියි අපි එතැනට එනවා නම්. මොකද මිනිසුන්ට එළවළු පලතුරු විතරක් නෙමෙයි මාළුත් අරගෙනම යන්න පුළුවන්. අනෙක එතැන සියලු පහසුකම් තිබෙනවා. එ් නිසා ඒ වෙනසට අනුගත වෙන්න අපි කැමැතියි.' ඔහු පවසයි.
තුසිත ද මැනිං වෙළෙඳපොලේ සේවය කරන්නෙකි.
“මම තොග කඩේක වැඩ කරනවා. කොළඹ නගරය වෙනස් කිරීම සම්බන්ධයෙන් අපිට මොකුත් කියන්න බැහැ. ඒවා සිදු විය යුතුයි. මේ වෙළෙඳපොළේ තිබෙන වෙළඳාම වගේම මෙහෙ සේවය කරන අතිමහත් මිනිසුන්ගේ ජීවිත ගණනක් දම්වැලක් වගේ බැඳිලා තිබෙන්නේ මේ රැකියා හරහා. මැනිං මාර්කට් එකෙන් ලක්ෂ ගණන් පිරිසක් ජීවත් වෙනවා. ගෙදර ඉන්න අත්තම්මා පවා මෙහි කොටස්කාරයො. මේ මාර්කට් එක පෑලියගොඩට ගෙනිච්චත් මේ විදිහටම අපේ ජීවිත ගොඩ නඟාගන්නට පුළුවන්කම තිබිය යුතුයි. එකයි අපේ ඉල්ලීම.' ඔහු පවසයි.
ඩී.එම් සිරිල් මැනිං වෙළෙඳපොළේ වසර තිහක පමණ කාලයක සිට වෙළෙඳාමේ නිරත වන්නෙකි.
“අපි ගියා පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණය බලන්න. දැනට නම් පහසුකම් මීට වඩා තිබෙන බව කියනවා. ඒවා ඉතින් එතැනට ගියාම තමයි බලන්න ඕන. අපි හිතනවා එතැනට ගියාම වෙළෙඳාම දියුණු වෙයි කියළා.'
සදීෂ් වසර ගණනක් නාටාමි රැකියාවේ නියැළෙන්නෙකි.
“නාටාමි රැකියාව කරන දෙදහසක් පමණ ඉන්නවා. මේ වන තුරු අපිට හොඳට බිස්නස් තිබුණා. පවුලේ පිරිස සතුටෙන් හිටියා. පෑලියගොඩට ගියාට පස්සේ අපේ රැකියාව නැතිවෙයි ද කියන දෙගිඩියාව හිතේ තිබෙනවා. ඒත් ඒය නැති වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් ඒ ගැන සුබවාදිව බලන්න අපි හිතනවා.' සදීෂ් පවසයි.
ජායාරූප ශාන් රඹුක්වැල්ල