කුකුළන් සහ චූන් පාන් | සිළුමිණ

කුකුළන් සහ චූන් පාන්

කුමාරතුංග මුනිදාස සූරීන් විසින් රචිත උදය නම් කවි පෙළ දරුවන් උදෙසා නිමැවුණු අපූර්ව ප්‍රබන්ධයකි. ඔහු සිය කවිය අරඹන්නේ මේ අයුරිනි.

ඇසන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්

නැගෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්

දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ

සිහිල් සුළං ‘ආයු බෝවන්’ කියා මෙන්

කවිය කියවන දරුවාගේ සිත තුළ අරුණෝදාවෙහි අසිරිය මැවෙනා අයුරින් රචිත මේ පැදිපෙළෙහි අවසන ඔහු දරුවන්ට මෙසේ ඇරයුම් කර සිටියි.

‘උතුම් වෙලාවැ’ යි කියමින් සියල්ලෝ

යෙදෙත් නොලස් වී ම තමන්ගෙ කම්හී

ඇඟත් සැහැල්ලුයි සිතෙහිත් බරක් නෑ

බලන්න පත්-පොත් මට මේ වෙලාවයි

සෑම උදෑසනකම තුනහමාරට අවදිව කියවීම සහ ලිවීම අරඹන මම නොයෙක් වර මේ කවිය සිහි කරමි. ඒ සමගම මට තවත් කවියක් ද නිතැතින් ම සිහිපත් වෙයි. ඒ කවියෙහි නම කරුමෝදය යි. කවියා වර්තමාන කවි පරපුරේ ජයන්ත නිමල්සිරි ය.

මේ කවි දෙක නිරතුරුවම මට සිහිගන්වනු ලබන්නේ නූතන යැයි කියනා සමාජයෙහි අවියෝජනීය අංගයක් බවට පත්ව ඇති චරිතයක් විසිනි. ඒ අන් කවරකුවත් නොව චූන් පාන්කරුවා ය. නොවැරදීම සෑම උදයකම මගේ නි‍ෙවස ඉදිරිපිට ඇති අතුරු මාවතෙහි චූන් පාන් පටවාගත් ත්‍රී වීලරයක් ඊටම ආවේණික අර කාලකණ්නි විලාපය නගාගෙන වේගයෙන් ඇදී යයි. ඒ අවස්ථාව වන විට එහි වේගය අවම තරමින් පැයට කිලෝ් මීටර් හැටක්වත් වනු ඇතැයි මම අනුමාන කරමි. වේගයෙන් යන රියෙන් පාන් ගැනීමට යමකු හට ඇවැසි නම් ඔහු කළ යුත්තේ රත්න ශ්‍රී කවියා විසින් කවියෙන් සිතුවම් කරන ලද ‘අජානේය ඉස්කූටර් තුරඟකු’ පිට නැග පිම්මේ හඹා යෑමය. මෙකියන චූන් පාන් රියකරුවා සිය වෙ‍ෙළඳාම අරඹනුයේ අප නිවෙසින් කිලෝමීටර් හයක් පමණ දුරිනි. එහෙත් ඔහුට ඒ ගැන වගක් නැත්තේ හෙතෙම මුළු ගමන පුරාම අන් අයගේ සවන් පාරමින් ගමන් කරයි. අනෙකා ගැන වගේ වගක් නැති ජාතියක ඛේදය සංකේතවත් කරනා මේ චූන් පාන් රිය යනු දේශපාලුවා සහ ආගම අලෙවි කරනා පැවිද්දාගේ කන්දොස්කිරියාව බඳුවම අප නොදැනුවත්වම ඉවසා සිටින්නට හුරුව ඉන්නා අන් බොහෝ වදකාරී හඬවල් අතර ඉදිරියෙන්ම තිබෙන්නකි.

කුමරතුඟුවන් විසින් වර්ණනා කරනු ලැබූ දැනට දශක පහ හයකටත් එහා අතීතයෙක උදය යනු අදට වඩා සැබැවින්ම නිසංසලයෙන් සහ මනහාරීත්වයෙන් හෙබි එකක් බව අතිශයෝක්තියක් නොවේ. එසේම එය හුදු අතීතකාමී මනසකින් පමණක් දකින්නක්ද නොවේ. අදට වඩා සමාජ සංකීර්ණත්වය අඩු, එසේම මෙතරම් පරිභෝජනවාදී නොවූ ඒ යුගය එසේම සදා පැවතිය යුතුය යන්නක්ද මෙයින් අදහස් නොවේ. ධනවාදයෙහි ගොදුරු බවට ඉතා ශීඝ්‍රයෙන් පත්වීමට නියමිතව තිබුණා වූ ද, අවස්ථාවාදී දේශපාලනය විසින් විනාශ කිරීමට මං සැදෙමින් පැවතියාවූද සමාජයක් අදට වඩා යහපත්ව පැවති අවධියක් සාහිත්‍යකරුවකු දුටු ආකාරය මේ පැදි පෙළින් ඉදිරිපත් කෙරෙයි.

එහෙත් අද සමාජය මුළුමනින්ම උඩු යටිකුරුව ගොසිනි. එදා ගැමි පරිසරයෙහි අරුණෝදාවෙහි ප්‍රකාශකයා වූ කුකුළා වෙනුවට අද ප්‍රාදුර්භූතව සිටිනුයේ නූතන චූන් පාන් කුකුළෙකි. කපුටාගේ නද වෙනුවට සැමතින්ම ඇසෙනුයේ කලබලකාරී ජීවිතයෙහි අපුල දනවන හඬවල් ය. කපුටා යනු අද වන විට වේගයෙන් දසුනින් ඉවත්ව යමින් ඉන්නා සත්ත්වයෙකු බවට පත්ව හමාරය. දැනට වසර කිහිපයකට පෙර කොළඹ නගරයෙහි විශාල සංඛ්‍යාවක් කපුටන් මැරී සිටි පුවත යළි මට සිහිපත් වෙයි. කපුටා යනු නූතන වාණිජ ලෝකයට අවහිරයක් සේ සැලකෙන මට්ටමකට අපි ළඟාවී සිටිමු. මෙසේ අපි නොයෙක් අයුරින් පරිසරය සහ මානවයා අතර සමතුලිතතාව බිඳ හෙළමින් සිටිමු.

තවදුරටත් උදය යනු නිරවුල් මනසකින් වැඩෙහි යෙදෙන්නට අවසර නොදෙන්නකි. කුඩා දරුවාගේ පටන් සෑම පුද්ගලයකුටම ඒ දවසේ යුද්ධය ඇරඹීමට වෙලාව හඟවන්නක් පමණි. පාන්දර තුන හතරේ සිට පෞද්ගලික ටියුෂන්වලට සහභාගි කරවනා දරුවන් අද සමාජයෙහි බොහෝ සේ දක්නට ලැබෙයි. පාසලට ඇතුළත් කරන්නටත් පෙර ටියුෂන් ජීවිතය අරඹන දරුවා පුරවැසි වගකීම් දරන වයසට එළැඹෙන විට නිර්මාණශීලී මනස අහිමි කරන ලද තාක්ෂණයේ වහලෙකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ‘නූතන බ්‍රොයිලරයෙකි’. මෙවන් යාන්ත්‍රික පරපුරක මඟ පෙන්වීම යටතේ ඉන්පසුව එන්නේ තවත් එවැනිම නැතිනම් ඊටත් වඩා යාන්ත්‍රික පරපුරකි. මෙය මේ අයුරින් එක්තරා ආකාරයක විෂම චක්‍රයක් බවට පත්ව හමාර ය.

ජයන්ත නිමල්සිරි කවියා සිය කවියට විෂයය කරගන්නේ කුමරතුඟුවන් දුටු උදයෙහි වර්තමාන විකෘතියයි. එහෙයින්ම ඔහු එය කරුමයක් බවට පත්ව ඇති උදයකැයි නම් කරයි. ඔහු සිය කවිය අරඹන ආකාරය පාඨකයාගේ මුවඟට සිහින් සිනහවක් නංවයි.

ඇසෙන්නේ ගෝසා හඬ සෑම පැත්තෙන්

හිරුත් හැංගිලා කළුවරට ඔබ්බෙන්

වෑන් එක පාන් ඇවිත් මේ හෝන් ගහන්නේ

නැද්ද තව දවසෙ යුද්දෙට සූදානමක් මෙන්

ජීවිතය කෙතරම් විපරිවර්තනයකට පත්ව තිබේදැයි කවියා නැවත අපට සිහි කරයි.

පෙර දවසෙ වැඩගත් තක්සලාවේ පොත්

මොකද හැංගිලා තැනින් තැන ඔච්චමට මෙන්

නිල ඇඳුම් මේස පුටු යට සැඟව ලගින්නේ

ගේ ඇතුලෙ පරක්කුවෙ අඩුක්කුව හදා මෙන්

දේශපාලකයා සිය වදන් හරහා සමාජය ප්‍රතිනිර්මාණය කරයි. එහෙත් ඔහු එය කරන්නේ පොදු යහපත උදෙසා නොව තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය. අනෙක් අතින් වර්තමානය වන විට ආගමික සංස්ථාවන්ගේ අති බහුතරයක් ද පොදුවේ පෙන්නුම් කරමින් සිටිනුයේ තමන්ට කෙතරම් තම ශාස්තෲන් අමතක කර කටයුතු කළ හැකිද යන්නය. මෙවන් පරිහාණිගත සමයක සාහිත්‍යකරුවාගේ උර මත පැටවෙන බර බෙහෙවින් වැඩිවෙයි. සමාජ ජීවිතයෙන් පලා යමින් හුදෙකලා ගුහා තුළ සැඟව විමුක්තිය සොයන්නට වෙර දරනා මිනිස් අහිනකට තම දිවියෙහි යථා ස්වභාවය චිත්‍රණය කර දැක්වීමේ සමත්කම ඇති නිර්මාණකරුවා මෙවන් අවධියක පෙරකී පාර්ශ්ව දෙකම ඉක්මවා යා හැකි පරිණත බවක් අත්කරගෙන සිටිය යුතුය.

පෝලන්ත කිවියර සෙස්ලොව් මිලෝස් මෙලෙස පවසනුයේ එවන් පරිණත සාහිත්‍යකරුවකුගේ බලයෙහි මහිමයයි.

‘මිනිසුන් එකාවන්ව කාමරයක් තුළ නිහැඬියාව නම් කුමන්ත්‍රණයේ නියැළෙන සඳ සත්‍යවාදී එක වදනක් පිස්තෝල වෙඩිල්ලක් මෙන් හඬ නැගෙන්නේය.’

‘සත්‍යවාදී එක වදනක්’- අද අපට මේ එක වදනෙහි අවශ්‍යතාව කෙතරම් තදින් දැනෙන්නේද?

 

Comments