රටේ නීතිය අතට ගෙන ගල්කිස්සේත් රත්මලානේත් මිනී මරණ ගොනාකෝවිලේ රොහා සහ අංජුගේත් ගැටුම මේ වනවිටත් ඇත්තේ ජීවිතවලට ඉව අල්ලමිනි. පසුගිය දශක දෙක තුළ දෙපැත්තේ තිහකට ආසන්න සංඛ්‍යාවක් එකිනෙකා මරාගෙනය. තවත් එකිනෙකාගේ ජීවිතවලට එකිනෙකා ඉව අල්ලමිනි. ගොනාකෝවිලේ රොහාගේ ගෝලයින්, හිතවතුන් සොය සොයා මරා දමන අංජු මේ වනවිට ඩුබායිවලය. ටෙස්ට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා අංජු අතින් ඝාතනය වන්නේත්, ධනංජය හා සොයුරා ඝාතනයට කුමන්ත්‍රණය වන්නේත් ඔවුන් රොහා සමග සබඳකම් ඇතැයි අංජු විශ්වාස කළ නිසාය. අපරාධ රැසක් සම්බන්ධව ගොනා කෝවිලේ රොහා බන්ධනාගාරගතවය. අපරාධ මෙහෙයවෙන්නේ ඩුබායිවල සිට හා බන්ධනාගාරයේ සිටය.
මේ මොහොත වනවිට අංජුගේ ගෝලයන් ගිනි අවි රැගෙන රොහාගේ ගෝලයන් සොයමින් එළිපිට හැසිරෙන්නේය. ගැටලුවක්වන අවස්ථාවකදී අංජු සිය ගෝලයන් ඩුබායි ගෙන්වා ගන්නේය. නොමැතිනම් පොලිසිය බැලන්ස් කර බන්ධනාගාරය ඇතුළට යවා ගන්නේය. මේ ගැටුමේ කෙළවරක් දකින්නට නැත. මිනී කඳු ගොඩ ගැසූ මේ කාකොට ගැනීමේ මුල රොහාගේ අතින් අංජුගේ සහෝදරයා ඝාතනය වීමය.
අංජුගේ සහෝදරයාට කීවේ ලංසියා කියාය. ලංසියා යුරෝපීය පෙනුමක් සහිත කඩවසම් තරුණයෙකි. ලන්සියාත් රොහානුත් කාලයක් ගජ මිතුරන්ය. ඒ ගටුම පිලිබඳ කතාව 80 දසකයේ මුල් භාගය දක්වාම දිව යන්නෙකි.
එකල රත්මලාන හොල්ලගෙන සිටියේ ලන්සියාගේ බාප්පලාය. එකල මුළු රත්මලානම හෙල්ලී ගියේ ලංසියාගේත් ලොකු බාප්පාගේ නමටය. ඔහු රාජාය. රත්මලානේ රාජා යැයි කී විට එකල නොදන්නා කෙනෙක් නැති තරම්ය. රත්මලානටම පිළිලයක් වූ රාජා 88 – 89 භීෂණයේ ගොදුරක් බවට පත්වූයේය. චන්ඩිකාර ලන්සියාගේ බාප්පාවරු කිහිප දෙනෙක්ම මිය යන්නේ අකාලයේය.
ලන්සියාත් රොහාත් අංජුත් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකිනි. රොහාත් ලන්සියාත් එක පන්තියේ මිතුරන්ය. අංජු එකල පොඩි කොල්ලෙකි. මේ තිදෙනාම සාමාන්‍ය පෙළෙන් ඉහළට අධ්‍යාපනයක් ලබා ඇති බවක් දැන ගන්නට නැත. ලන්සියාටත් රොහාටත් එකල පැවැති එකම ආශාව වූයේ ඇග පත පුම්බා ගන්නටය. ඔවුන් කායවර්ධන ක්‍රීඩාවට යොමුවන්නේ ඒ අනුවය. ලන්සියාගේ බාප්පලා ගමේ චණ්ඩින් වූවත් ඔවුන් ලන්සියාට ඒ චණ්ඩිකම් ඇඟට ගන්නට ඉඩ දුන්නේ නැත. ගමේ සාමාන්‍ය පවුලක දරුවෙක් වූ රොහාටත් ඒ නිසා ලන්සියා සමග එක්ව කිසිවෙකුටත් වැඩ පෙන්නන්නට ඉඩක් නොවීය. ලන්සියාත් රොහාත් අතර පැවැති මිතු දම කොතරම්දැයි සඳහන් කළහොත්එකල ඔවුන් කෑවේ බිව්වේ එකටය. ඇදුම් පවා ඇන්දේ එකම විදිහටය.
ඒ බැදීමට කණකොකා හැඬවෙන්නේ ලන්සියාගේ ඥාති දියණියකට රොහාගේ මිතුරෙක් පෙම් කරන්නට ගොසිනි. ඒ බව දැනගත් රංජි නැමැති ලන්සියාගේ බාප්පා එම මිතුරාවත් රොහාවත් නිවසට කැඳවා අතපය දිගහැර සලකන්නේ බඩකටපුරාය. එම පාවාදීම පිටුපස සිටියේ ලන්සියාය. ඒ බව දැනගත් රොහා ලන්සියාගෙන් ඈත් විය. රොහා තෙලවල පැත්තේ පිහිටි ප්‍රසිද්ධ ඇඟළුම් කම්හලක ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස සේවයට ගියේ පවුලේ වැඩි මහල් දරුවූ වූ බැවින් පවුලේ බර කරට ගන්නටය. එම රැකියාවෙන් ලැබෙන සොච්චම් පවුලේ බර කෙසේ වෙතත් ඔහුටද ජීවත්වන්නට ප්‍රමාණවතක් නොවීය. ඔහු අලුත් තැනක රක්ෂාවකට ගියේ. ඒ මොරටුවේ අවන්හලක වේටර්වරයෙක් ලෙසිනි. රොහාගේ ජීවිතය කණපිට පෙරලෙන්නේ එහිදීය. ඒ එකල මොරටුව හොල්ලාගෙන සිටි මොරටු සමන්ව දැන හඳුනා ගන්නට ලැබීමෙනි. මොරටු සමන් එම හෝටලයට නිතර ආ ගිය අයෙකි. එහිදී මොරටු සමන් දැනහඳුනා ගන්නා රෙහා පාතාලයට අතපොත් තබන්නේ ද මොරටු සමන්ගේ ආශිර්වාදයෙනි. ඒ ලන්සියාගේ බාප්පාගෙන් පළිගන්නටය.
ඒ බව ලන්සියාගේ බාප්පාගේ කණ වැකීමත් සමග රොහාට සිදුවන්නේ අත්බෝම්බයක් ලඟ තබා ගැනීමේ චෝදනාවකට ගල්කිස්ස පොලිසියේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වන්නටය. ඒ පිටුපස සිටියේ පොලිසිය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැති ලන්සියාගේ තවත් බාප්පෙකි. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්රීවරයෙක්වූ ඔහුව බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ පොඩි මහත්තයා යැයි කියාය.
නොකල වරදකට බන්ධනාගාරගතවන රොහා මාස ගණනාවකට පසු එළියට එන්නේ අපරාධ ලෝකයේ වැඩ කරුවන් රැසක් සමග සම්බන්ධකම් ඇතිකර ගනිමිනි. විශේෂ කාර්ය බලකායෙන් පළාවිත් සිටි සෙබලෙක් වන බයිසිකල් බේබි නැමැති ප්‍රකට වෙඩික්කරුවා දැන හදුනා ගන්නට රොහාට අවස්ථාව ලැබෙන්නේ බන්ධනාගාරයේදීය. රොහා බන්ධනාගාරයෙන් එළියට එන්නේ අපරාධ ලොකයේ පරිණතයෙක් ලෙසය. ඒ එදා ඔහුගේ කණට ගැසූ ලන්සියාග් බාප්පාට බන්ධනාගාරයේදී දැන හඳුනාගත් වෙඩික්කරුවෙක් යොදා පානදුරේදී වෙඩි තබා මරා දමමිනි. ලන්සියාගේ බාප්පාවරුන්ගේ හිරිහැරවලට ලක්වුණු තරුණයින් රොත්තක්ම රොහා වටා එක්වන්නේ ඒත් එක්කමය. ඒ අය අතර බොරුපන සංජීව, පිංවත්තේ කළු, මහේෂ්, වාසනා ඇතුළු පිරිසක්ම සිටියහ.
බන්ධනාගාරයෙන් එළියට පැමිණි රොහා සිය නාමය ඉදිරියේ පළමු මිනිස් ඝාතනය පොලිස් පොත්වල ලියවා ගන්නේය. ඒ පොලිසිය සමග එක්ව බෝම්බයක් අතින් දම්මවා තමාව හිරගතකල පොඩි මහත්තයා මරා දැමීමෙනි. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්රීවරයෙක්වූ පොඩි මහත්තයාට එදා රොහා වෙඩි තබා මරා දමන්නේ මහා නගර සභාව තුළදීමය. මොරටු සමන්ද වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ මේ අතර තුරදීය. මොරටු සමන්ගේ හිඩැසට නිතරගයෙන් පත්වන්නේ රොහාය. ඒ වන විට රොහා රටේ නමගිය කොල්කරුවෙක් බවටද පත්ව සිටියේය. රන් භාණ්ඩ අලෙවිසල් ඔහුට පෙන්නන්ට බැරිය. රට වටේම කරක් ගසමින් ඔහු රන් භාණ්ඩ අලෙවිසල් කොල්ලකෑවේය. ඔහුව පොලිසියටත් හිසරදයක් විය. එම හිසරදයෙන් පොලිසිය ගැලවෙන්නේ බොම්බයක් සමග රොහා ඇතුළු ඔහුගේ කල්ලියේ හය දෙනෙක්ම හිරේට යවමිනි.
වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින රොහා සිය ගෝලබාලයින් සමග ඇප මත එළියට එන්නේ 2006 වසරේදීය. ඒ වන විට ලන්සියා සිටින්නේ සිය බාප්පාවරු මරා දැමුවාට රොහාගෙන් පළි ගන්නට සූදානමිනි. පිරිස් බලයෙන් මෙන්ම ආයුධ අතින්ද ලන්සියා සිටියේ රොහාට වඩා බලවත්වය. ලන්සියා මත්කුඩු ජාවාරමටද අත තබා තිබුණේ ගල්කිස්සේ සිට පානදුර දක්වාම බලය අල්ලමිනි. රොහාද සටන අතහැරියේ නැත. ඔහුත් මත්කුඩු ජාවාරමට අත තැබුවේය. ඒ ලන්සියාගේ බලය හීන කරන්නටය. ලන්සියා මත්කුඩු බෙදූ තැන්වලටම රොහාද බෙදන්නට ගත්තේය. ලන්සියාත් රොහාත් අතර පාතාලයේ ගැටුම් ඇතිවන්නේ ඒත් එක්කමය. මේ ගැටුම පාලනය කිරීමට බැරිම තැන පොලිසිය කරන්නේ බොම්බයක් සමග අල්ලා රොහාව නැවතත් ඇතුළට දැමීමය.
එසේ වූ පමණින් දෙපැත්තේ ගැටුමට නිමක් වූයේ නැත. රොහා බන්ධනාගාරය ඇතුළේ සිට සිය ගෝලබාලයින් ලන්සියාට එරෙහිව මෙහෙයවන්නට ගත්තේය. දෙපැත්තේම තරුණයින් එකිනෙකා මරා ගන්නා විට මේ කල්ලි දෙක සමාදාන කරන්නට ඉදිරිපත්වන්නේ මොරටුවේ එකල සිටි අණ්ඩුවේ දේශපාලන බලවතාය. එම දේශපාලන බලවතා ඊට මැදිහත් වන්නේ “බලන්න සර්, මුං එකට හැදිච්ච කොල්ලො, දැන් මරා ගන්නවා. දවස ගානේ එක එකා මැරෙනවා. සර්වත් මුංට ටිකක් කථාකරල මේ මරා ගැනිල්ල නවත්තල දෙන්න“ යැයි ලන්සියාගේ මවගෙන් ලද ඉල්ලීමකටය.
ඒ වන විට රොහා සිටින්නේ බන්ධනාගරයේය. රොහා වෙනුවෙන් එම සාම සාකච්ඡාවට එක්වන්නේ රොහාගේ ගෝලබාලයින්ය. ලන්සියාත් ඔහුගේ ගෝලයින් සමග එම සාකච්ඡාවට එක්ව සිටියහ. දේශපාලන බලවතා ඉදිරියේ දෙපැත්ත සාම ගිවිසුමකට එළඹෙන්නේ එකිනෙකා වැලඳගෙන නැවතත් මරා නොගන්නා බවට ප්‍රතිඥා දෙමිනි. ගොනාකොවිලේ පොදුජය මාවතේ පිහිටි රොහාගේ ලෑලි නිවස දෙමහල් සුවිසල් මන්දිරයක් ලෙස ගොඩ නැගෙන්නේද මේ කාලයේදීය. ගෙට ගෙවදීමේ උත්සවය සමරන්නේ මහ ඉහළිනි. ඒ වන විටත් රොහා සිටින්නේ බන්ධනාගරයේය. ප්‍රාදේශීය දේශපාලනඥයන්ටත් පොලිසියටත් ආරාධනා ලැබ තිබුණු එම උත්සවයට ලන්සියාට මෙන්ම ඔහුගේ ගෝලබාලයින්ටත් ආරාධනා ලැබී තිබුණේය. ඒ දෙපැත්ත දැන් සාම දාන බව තවදුරටත් තහවුරු කරමිනි.
ලන්සියාගේත් රොහාගේත් මේ එක්වීම කේලම්වලින් යැපුණු දෙපැත්තේම කිහිප දෙනෙකුට දැඩිව බලපෑවේය. ඔවුන් දෙපැතක්තට කේලම් කියමින් හැම විටම උත්සාහ ගත්තේ ගැටුමක් අවුලුවන්නටය. ලන්සියා කෙසේ වෙතත් එම කේලම් වලින් රොහා ඇවිස්සෙන්නට ගියේ නැත. ඒ නිසාම 2013 වසරේ රොහා ඇපමත එළියට එන තුරුම දෙපැත්තම සාමකාමී විය.
රොහා එළියට ආවත් වැඩි පුර ගමේ රැඳී සිටියේ නැත. ඔහු ගත කරන්නට වූයේ සැගවුණු ජීවිතයකි. ඒ වන විට කොළඹ හොල්ලාගෙන සිටි පාතාලයේ වැඩ කරුවන් රැසක් සමගින්ද රොහාට ලොකු සම්බන්ධකම් ගොඩ නැගී තිබුණේය. දකුණු පළාත් සභා මැතිවරණය පැවැති සමයේදී ඔහු දකුණේ දේශපාලනඥයෙකුට වැඩ කරන්නට යන්නේ ඒ හිතවත්කම් මත ඇතිවුණු සම්බන්ධකමක් ඔස්සේය. මැතිවරණ ජයග්රහණයෙන් පසු එම දේශපාලඥයා දකුණු පළාත් සභාවේ ඇමතිධුරයක්ද දැරුවේය. මහියංගනය පැත්තේද දේශපාලනඥයෙකුගේ මැතිවරණ කටයුතු වලට රොහා සම්බන්ධව සිටියේය. ඒ සිය ගෝලයින් රොත්තක්ද සමගිනි. එම දේශපාලඥයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඒ වන විට රොහාගේ හොදම මිතුරා බවට පත්ව සිටින්නේ දිනේෂ්ය. රත්මලාන පැත්තේ ඔහුට කියන්නේ පොලී දිනේෂ් යැයි කියාය. රොහාගේත් ලන්සියාගේ ගැටුම්වලට නැවතීමේ තිත කැබීමෙන් පසු කේලම් වලින් යැපුණු රොහාගේ දෙදෙනෙක් කරන්නේ දිනේෂ් සහ රොහා අතර ගැටුමක් ඇතිකරවන්නට උත්සහ ගැනීමය. ඒ ලන්සියා සමග දිනේෂ් එක්ව රොහාව මරා දැමීමට සැළසුම් කරන බව රොහාට කියමිනි. රොහාගේ මත්කුඩු ජාලයේ වැඩි කොටසක් මෙහෙයවනු ලැබුවේ දිනේෂ්ය. ඒ වන විට රොහාගේ මත්කුඩු අලෙවියද පහත බැස තිබුණේය. කේලම් කාරයින් දෙදෙනා ඒත්තු ගන්වන්නේ ලන්සියාගේ උවමනාවට දිනේෂ් විසින් රොහාගේ මත්කුඩු නිසි පරිදි බෙදා නොහරින බවය.
රොහා ඒ ලණුව කෑවේය. ඔහු සිය මිතුරාව මරා දැමීමට තීරණය කළේය. වෙඩික්කරුවන් යොදා තෙලවල පිහිටි සැලුන් එකකදී දිනේෂ්ට වෙඩි තැබූවත් ඒ වෙඩිල්ල වදින්නේ වෙනත් අයෙකුටය. ඒ 2014 වසරේදීය. වෙඩික්කරුවා බයිසිකල් බේබිය. අනතුරුව කල්දෙමුල්ලේදී බන්දු නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තබා මරා දමන්නේ තමාගෙන් එතෙක් කලක් මත් කුඩු ලබාගෙන බෙදා හරිමින් සිටි ඔහු ලන්සියාට හේත්තුවීමේ වරදටය.
මේ අතර දිනක් රොහාගේ බිරියගේ සහෝදරයා ත්‍රී රෝද රථයකින් එන්නේ සිය නැගණිය මුණ ගැසෙන්නටය. ඔහු බන්ධනාගාර නිලධාරියෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නිරතව සිටින ලන්සියාගේ ඥාතියෙක් මෝටර් රථයකින් රොහාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරන්නට යෙදෙන්නේ ඔය අතර තුරදීය. රොහාගේ මස්සිනාගේ ත්‍රී රෝද රථයෙන් ඒ වන විටත් මාර්ගය තිබෙන්නේ අවහිර වීය. ඒ ගැන රොහාගේ මස්සිනා සහ ලන්සියාගේ ඥාතියා අතර ඇතිවන්නේ බහින්බස් වීමකි. එහිදී රොහාගේ මස්සිනාගෙන් පහරක් වදින්නේ ලන්සියාගේ ඥාතියාටය. එය කණ වැකුණු ලන්සියා එදා රොහාගේ නිවසට කඩා වදින්නේ ගෝලබාලයින් රොත්තක් සමගිනි. ඒ වන විට නිවසේ සිටින්නේ බිරිඳගේ පියා පමණි. ඔහුගේ කටට පිස්තෝලය දමා කරකවා මරණීය තර්ජනය එල්ල කරන ලන්සියා “වැඩිය දගලන්න හැදුවොත් තොපි ඔක්කොම බාවනවා“ යැයි කියමින් යන්නට ගියේය.
රොහාගේත් ලන්සියාගේත් සාම ගිවිසුම බිඳ වැටෙන්නේ ඒත් එක්කමය. දෙපැත්ත මරා ගන්නා විට රොහා ඩුබායි පනින්නේය. ඒ සුදු වෑන් රථ ඔහුව හඹා එන්නට වූ බැවිනි. ලන්සියාද සිදු වෑන් රථ වලට බියෙන් සැඟවුනේය. ඔහු සැඟවෙන්නේ ජා-ඇල පැත්තේ කුලියට ගත් නිවසකය. රොහා ඩුබායි රැඳී සිටියේ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ලා සමගිනි. මේ සියළු දෙනාම මෙරටට එන්නේ ඉකුත් මහා මැතිවරණ සමයේදීය. මහනුවර පැත්තේ දේශපාලනඥයෙකුට එවර රොහා හේත්තු විය. මේ අතර ලන්සියාද කලඑළි බැස්සේය. ඒ වනවිට රොහාගේ කේලම්කාර ගෝලබාලයින් කිහිප දෙනෙක්ම සිටියේ ලන්සියාට හේතුවීය. ඒ හයිය ඇඟට ගත් ලන්සියා රොහාව මරා දමන්නට සැලසුම් කළේය. එම කේලම්කාරයන්ගෙන්ම කල්තියාම ඒ වග රොහාගේ කණ වැකී තිබුණේය. ලන්සියාට කලින් ක්‍රියාත්මක වූ රොහා මහර බන්ධනාගාරය ඉදිරිපිටදී 2016 වසරේ ජුනි 23 වෙනිදා ලන්සියාව මරා දැම්මේය.
අංජු නැමැති පාතාලයේ අපරාධකරු බිහි වන්නේ ඒත් සමගය. ඒ සිය සහෝදරයා වූ ලන්සියා මරා දැමූ රොහාගෙන් පලි ගන්නටය. ඒ වන විටත් අවස්ථා හය හතකදීම රොහා විසින් අංජුට ඉව අල්ලා තිබුණි. අංජු පාසල් ශිෂ්‍යයෙක්ව සිටියදීත් වරක් රොහා අංජුට කොකා ගැස්සුවේය. එම වෙඩිල්ලට බිලි වන්නේ අංජුගේ හොඳම මිතුරාය. අංජුගේ හිතේ සිය මිතුරාගේ මරණයද තදින්ම කා වැදී තිබුණි. ඔහු ආයුධය අතට ගන්නේ ඒ සියල්ලගෙන්ම පළි ගන්නට සිතාගෙනය. ඔහුගේ මුල්ම බිල්ල රොහාගේ සමීපතමයෙක් වූ ප්‍රභාත් නැමැත්තාය. අංජු පිළියන්දලදී ප්‍රභාත්ට වෙඩි තබා මරා දමන්නේය. අනතුරුව අංජු අතින් ඝාතනය වන්නේ රොහාගේ බාප්පාය. කැලණිතිස්ස විදුලි බලාගාරයේ සේවකෙයෙක් වූ ඔහුව මරා දමන්නේ වාද්දූවේදීය. අනතුරුව දිගට හරහට රොහාගේ ගෝලබාලයින් රැසක්ම අංජුගේ ඉලක්කය බවට පත්වන්නේය. අංජු මෙසේ ඝාතන අණ දෙන්නේ ඩුබායි සිටය.
රොහාගේ මත්කුඩු ජාලය පවා මේ වන විට අංජු බිඳ හෙලා හමාරය. ඩුබායි සිට ඔහු දැන් සිටින්නේ බලය අල්ලමිනි. රොහාට එලියට එන්නට ඇප කරුවන් වන අයටද අංජුගෙන් කිසිදු සමාවක් නැත. ඒ අතර රොහාත් කල් යල් බලමිනි. පුරා වසර විස්සක් තිස්සේ දිග් ගැසෙන මේ පාතාල ගැටුම්වලට තැබීමට වගකිවයුත්තන් මීට වඩා අවධානය යොමු කළ යුතුය.