ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් සිකුරාදා (4) නිෂ්ප්‍රභ කරන නියෝගය ප්‍රකාශ කළ අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි පිරිසක් අත්පොළසන් දෙමින් ජයඝෝෂා නැඟූ අතර, විනිසුරු මඬුල්ල එය අප්‍රසාදයට ලක් කළේය.
මේ ක්‍රියාවට කිසියම් නීතිඥයකු සම්බන්ධ වී ඇති නම් ඔහුට එරෙහිව පියවර ගන්නා බව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා සවස මේ පෙත්සමට අදාළ තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය මත නිෂ්ප්‍රභ කෙරුණු අතර, පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කරන ලදි. පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මේ නියෝග කරන ලදි.
පුරවැසි බලය සංවිධානයේ සම-කැඳවුම්කරුවන් වන ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් මේ පෙත්සම ගොනු කර තිබිණි. ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා, ඒ අමාත්‍යාංශ ලේකම්වරයා, නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වූහ.මේ පෙත්සම ඉකුත් 2-3 දෙදින අභියාචනාධිකරණය හමුවෙහි කැඳවූ අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් විදානපතිරණ නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාද, 1, 2 වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතාද, ඇමැතිවරයා වෙනුවෙන් නීතිඥ චානක ද සිල්වා මහතාද, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද කරුණු ඉදිරිපත් කළහ.