නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

නුහුරු පැතුම

දළදා හාමුදුරුවන්ට දානයක් පිළිගන්වනු පිණිස අපි එදින පහන් වන විට ම දළදා මාලිගාවට ගොස් සිටියෙමු.

මුලින්ම මල් පිදූ අපි දන් පිළිගැන්වීමේ වාරය එනතුරු පහන් සිතින් රැඳී සිටියෙමු. ටිකකින් මමිතුරා කටයුතු සොයා බැලීම ස‍ඳහා මාලිගා අභ්‍යන්තරයට ගියේ ය. ඔහු එනතුරු මම බලා සිටියෙමි.

මා මෙන් තලතුනා පියකු මා දෙස අවධානයෙන් බලා සිටින බව මට දැනුණේ මෙවිට ය. මම වහා ඔහු දෙස බැලුවෙමි. දෑතින් සුදු නෙළුම් වට්ටියක් දරාගෙන සිටි ඔහු මට සිනාවක් පෑවේ ය.

පිළිතුරු සිනාවක් පෑ මම යළි මිතුරා එන මග බැලුවෙමි. එසේ බලා සිට යළි අමුත්තා දෙස බැලූ විට ඔහු මට කිට්ටු වී සිටිනු දුටුවෙමි.

ඊළඟට බලද්දී ඔහු මගේ වම්පසින් මා සමීපයේ ම සිටියේ ය.

මේ මට අමතකව ගිය දුර නෑයෙක් ද? අතීතයේ මගහැරී ගිය මිතුරෙක් ද? මම කල්පනා කළෙමි. එහෙත් එබඳු රුවක සේයාවක්වත් සිතට නාවේ ය.

මෙවර අමුත්තා මට ගෑවී නොගෑවී සිට මගේ කනට කර යමක් විචාළේ ය.

“මහත්තය, මහත්තයට පුළුවන්ද මාත්තෙක්ක මේ මල්වට්ටිය පූජා කරන්ඩ එන්ඩ?”

මට අමුත්තක් දැනිණ. මින් පෙර කිසිවකු මට මෙබඳු යෝජනාවක් කර නැත. එහෙත් එය අතිකාරුණික අහිංසක ආයාචනයකි.

“හොඳයි පූජා කරමු!”මම කීමි.

“එහෙනං යං මහත්තය” ඔහු බලාපොරොත්තු මුහුණින් කීවේ ය.

අපි දෙදෙනා එකට ම මල් ආසනය අබියසට ගියමු.

“පූජා කරන්ඩ” ඔහු කීවේ ය.

“ඔයා ඉස්සෙල්ල පූජ කරන්ඩ”

ඔහු තමන් දරා සිටි වට්ටියෙන් එක නෙළුමක් සුරතට ගෙන එය මල් ආසනය මත තැබුවේ ය.

“දැං මහත්තය”

මම ද සුදු නෙළුමක් ගෙන ඔහු පූජා කළ නෙළුමට යාන්තම් ගෑවෙන පරිදි මලසුනෙහි දිගු අතට තැබුවෙමි. ඔහු ඊ ළඟ මල මා පිදූ මලට ගෑවෙන නොගෑවෙන පරිදි මලසුනේ දිගු අතටම තැබුවේ ය.

මම මල් පුදන ගාථාව තොල් මතුරමින් ඊ ළඟ මල ඔහු පිදූ මලට ඉදිරියෙන් තැබුවෙමි. ඔහු ද එසේ කළේ ය. මේ කාර්යය දිගින් දිගට ම සිදු විය. අවසානයේ අප පිදූ මල් විස්ස එක පෙළට පිහිටියේ ය.

මෙසේ අප මල් පූජා කරමින් සිටිය දී ඒ කෙරෙහි ආසක්ත වූ දෙදෙනෙක් වූහ. මම විටින් විට ඔවුන්ගේ හැසිරීම යටැසින් නිරීක්ෂණය කරමින් සිටියෙමි. ඒ මවක් සහ තරුණ දියණියකි. ඔවුහු ටිකින් ටික අපට කිට්ටු කළහ.

මා විසි වැනි මල පූජාකර අවසන් වූ මොහොතේ මගේ ආගන්තුක හිතවතා ඒ මවත් දියණියත් වෙත හැරී කිසියම් හැඟීමක් පළ කළේ ය. ඒ හැඟීම තේරුම් ගත් ඒ දෙදෙනා අප පිදූ මල් එකිනෙක ස්පර්ශ කරමින් එක් අයකු විසි වර බැගින් හතළිස් වරක් පමණ වැන්දෝ ය.

ඉනික්බිති මසිතෙහි පැන වැලක් ම හට ගත්තේ ය. මේ නන්නාඳුනන පුද්ගලයා මල් පූජා කරන්නැයි මට ආරාධනා කළේ ඇයි? මේ මවත් දියණියත් අප පිදූ හැම මල ම ස්පර්ශ කරමින් වැන්දේ ඇයි? පිළිතුරු ලබා ගත යුත්තේ නන්නාඳුනන ඔහුගෙන් ම ය. එහෙයින් මම ඔහු දෙස බලා රහසින් මෙසේ ඇසුවෙමි.

“ඇයි මේ?”

ඔහු ද එලෙසින් ම පිළිතුරු දුන්නේ ය.

“බාරයක්!”

මම නිහඬ වීමි.

බාරය යනු පැතුමකි. ආධ්‍යාත්මික අපේක්ෂාවකි.

මෙවිට ම මමිතුරා පැමිණ මා කැඳවාගෙන ගියේ ය. දන් පිළිගැන්වීම අවසන් වී පිටතට පැමිණි මට අර තිදෙනා දක්කට නොලැබිණ. ටිකකින් අපි මාලිගාවේ කෞතුකාගාරය දෙසට ගියෙමු. එය විවෘත කර නොතිබූ බැවින් ආපසු හැරුණෙමු. එවිට අර තිදෙනා මගේ නෙත ගැටිණ. ඔවුහු එහි පසෙක සිටියහ.

“අපි යන්නං” කියන්නාක් මෙන් මම ආගන්තුක හිතවතා දෙස බැලුවෙමි.

“හොඳමයි” කියන්නාක් මෙන් ඔහු ගෞරවනීයව සිනාසුණේ ය. ආපසු එන ගමන් මම මේ සිදුවීම සෙසු මිතුරන් හා කීවෙමි. පුදුමය පළ

කළ ඔවුහු ඊට හේතුව කුමක්දැයි විචාළහ.

“මං හිතන්නෙ ඒ තාත්ත මං වගේ කඩවසම් තරුණයෙක් ඒ දුවට ලැබේවා

කියල ප්‍රාර්ථනා කරන්ඩ ඇති” මම කීවෙමි. සෙස්සෝ කොක්හඬ නගා සිනාසුණහ.

“හොඳ කඩවසම් තරුණය!”

ඒ කෙසේ වුව ද, මේ අමුතු අත්දැකීමෙන් මම මිහිරක් වින්දෙමි. ඒ පියා සිය පැතුම ඉටු කරවා ගැනීමට මා ම තෝරා ගැනීම ගැන මම මහත් සේ සතුටු වෙමි. ඔවුන් ගේ පැතුම ඉටු කර දීම වෙනුවෙන් දායක වීමට ලැබීම මට ඊටත් වඩා සතුටකි. යමකු සතුටු කිරීමට දැන හැඳුනුම්කම් වුවමනා ම නොවේ.

වේයන්ගොඩ සේපාල සේනානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල සිළුමිණ, 
ලේක්හවුස්, කොළඹ 10.

Comments