සංඛ්‍යා­ව­ලින් ශ්‍රද්ධාව හා බුද්ධිය චිත්‍ර­ණය කළ පුරාණ වංශ­ක­ථා­ක­රුවෝ | සිළුමිණ

සංඛ්‍යා­ව­ලින් ශ්‍රද්ධාව හා බුද්ධිය චිත්‍ර­ණය කළ පුරාණ වංශ­ක­ථා­ක­රුවෝ

 

මෙරට ඉති­හා­සය හැදෑ­රීමේ දී ක්‍රි. ව. හත­ර­වන සිය­වස අග භාගයේ දී රචනා වී ඇති දීප­වං­ස­යෙන් සහ ක්‍රි. ව. පස්වන සිය­වස මුල දී රචනා වී ඇති මහා­වං­ස­යෙන් ලැබෙන පිටු­බ­ලය ඉම­හත් වේ. එම පාලි වංශ­කථා ද්විත්වයේ මෙරට මුල් ජන සමා­ජ­වල වාසය කළ අපේ මුතු­න්මි­ත්තන්ගේ සංඛ්‍යා භාවි­තය හා ඔවුන් තුළ සංඛ්‍යා පිළි­බඳ වූ නිර­වුල් අව­බෝ­ධය වට­හා­ගැ­නී­මට අවශ්‍ය වැද­ගත් තොර­තුරු ද අන්ත­ර්ග­තව ඇති බව දන්නා පිරිස සීමි­තය.

 

මහා­වංස කතු­ව­රයා මෙන් ම දීප­වංස කතු­ව­රයා ද ප්‍රමා­ණා­ත්ම­කව තමන්ගේ අද­හස් ප්‍රකාශ කිරීමේ දී ප්‍රමු­ඛ­ත්වය දී ඇත්තේ සංඛ්‍යා­ව­ල­ටය. කාල වක­වානු පිළි­බඳ අද­හස් දැක්වීමේ දී මෙන්ම දිග, පළල, උස, ගැඹුර හා වප­ස­රිය වැනි මිනුම් පිළි­බඳ සඳ­හන් කිරීමේ දී ද කතු­ව­රුන් දෙදෙ­නා­ගේම අව­ධා­නය යොමු වී ඇත්තේ සංඛ්‍යා කෙරෙ­හිය. බෞද්ධ සිවු­ව­නක් පිරි­වර ජනයා හා විවිධ රජ­ව­රුන් මෙරට බුදු­ස­මය නඟා සිටු­වී­මට කළ අනේක වූ පුණ්‍ය­කර්ම, සෝවාන් ඵල­යට හා රහත් ඵල­යට පත් වූවන් ගැන ප්‍රමා­ණා­ත්ම­කව කරුණු ඉදි­රි­පත් කිරීමේ දී හා විවිධ පූජා­භාණ්ඩ හා දාන­මා­න­වල වටි­නා­කම් දැක්වීමේ දී ද වංශ­කථා රච­ක­යන් වඩා විශ්වා­සය තබා ඇත්තේ සංඛ්‍යා පිළි­බ­ඳය.

බිංදුවේ සිට අන­න්තය දක්වා වූ සංඛ්‍යා පිළි­බඳ එම වංශ­කථා ද්විත්වයේ ම රච­ක­යන් තුළ පැහැ­දිලි අව­බෝ­ධ­යක් පැවැති බව එම වංශ­කථා පරි­ශී­ල­නයේ දී හඳු­නා­ගත හැකි වේ.

වංශ­ක­ථා­වල සඳ­හන් සියලු සංඛ්‍යා භාවි­තයේ පූර්ව අර­මුණු කෙරෙහි අව­ධා­නය යොමු කොට දෙකො­ට­ස­කට බෙදා වෙන් කිරීම කළ හැකිය.

1. සත්‍ය සංඛ්‍යා­ත්මක අග­යන් සන්නි­වේ­ද­නය වන සංඛ්‍යා

2. විශා­ල­ත්වය පිළි­බඳ සාපේක්ෂ අද­හ­සක් සන්නි­වේ­ද­නය වන සංඛ්‍යා

පැරණි සමා­ජය තුළ භාවි­තයේ පැවැති සත්‍ය සංඛ්‍යා­ත්මක අග­යන් සන්නි­වේ­ද­නය කරන සංඛ්‍යා ප්‍රමා­ණ­යෙන් විශාල නොවේ. 1 - 100 දක්වා වූ සංඛ්‍යා සමු­ච්චය වංශ­ක­ථා­වල බොහෝ විට යොදා ඇත්තේ ඒවායේ සත්‍ය වටි­නා­කම පාඨ­ක­යාට සන්නි­වේ­ද­නය කිරීමේ පූර්ව අභි­ම­තා­ර්ථ­යෙන් යුතුව බව නිද­සුන් සහි­තව පෙන්වා දිය හැකි වේ. වෙළ­ඳාම සමාජ ගාමක බල­වේ­ග­යක් නොවූ ඒ යුගයේ සමා­ජයේ එදි­නෙදා ක්‍රියා­කා­ර­කම් සඳහා අවශ්‍ය වූයේ සීමිත පරා­ස­යක සංඛ්‍යා පමණි. අති­වි­ශාල වටි­නා­ක­මින් යුක්ත වන සංඛ්‍යා අවශ්‍ය වූයේ ආග­මික අද­හස් සන්නි­වේ­ද­න­යේ­දීය. එමෙන් ම එම වංශ­කථා ද්විත්වයේ සඳ­හන් සියලු සංඛ්‍යා අත­රින් වැඩිම වාර ගණ­නක් යෙදී ඇත්තේ එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා සමූ­හ­යය.

මහා­වං­සය රචනා කිරීමේ දී මහා­නාම හිමි­යන් අවස්ථා 684ක දී සංඛ්‍යා උප­යෝගී කොට­ගෙන ඇති අතර එයින් අවස්ථා 263කදීම එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා භාවිතා කිරීම ඉස්මතු වී පෙනේ. මහා­වංස කතු­ව­රයා දේවා­න­ම්පි­ය­තිස්ස මහ­ර­ජ­තුමා රජ වූ අව­ස්ථාවේ දී මෙරට වෙර­ළින් වර්ග අටක මුතු මතු වූ බව සඳ­හන් කොට එම මුතු වර්ග අටේ නම් ද වෙන් වෙන් වශ­යෙන් දක්වා සිටී. “හය­මු­තුය, ගජ­මු­තුය, ආම­ල­ක්ක­මු­තුය, වළ­ලු­මු­තුය, අඟු­ලි­වෙ­ඪ­ක­මු­තුය, කකු­ධ­ළු­ල­මු­තුය, ප්‍රකෘ­ති­මු­තුය. ඒ අට­ජාති ඇති මුක්තාවෝ මුහු­දින් නැඟී වෙරළේ වැටි­යක් සේ සිට­ග­ත්තාහ.” දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා දඹ­දිව ධර්මා­ශෝක රජු වෙත යවනු ලැබූ දූත­යන් හත­ර­දෙනා ගැන සඳ­හන් වන අව­ස්ථාවේ දී ද එම දූත­යන් සිව්දෙනා කවු­රු­න්දැයි නාමි­කව සඳ­හන් කොට තිබේ.

මහා­නම හිමි­යන් මුල සංඛ්‍යා අත­රින් ද වැඩිම වාර ගණ­නක් යොදා­ගෙන ඇත්තේ හත සංඛ්‍යා­වයි. ඒ මෙකල ලේඛ­ක­යන් භාවිත කරන සතිය යන කාල සීමාව පිළි­බඳ අද­හස් දැක්වී­මට ය. (පිරි­නි­වී­මෙන් සත් දින­කින් / ඔටුනු පලන් සත් වන දවස් / සත් දිනක් පූජා උප­හාර පවත්වා / සේසත් ඔසවා සත් දව­ස­කින්)

සම­ස්ත­යක් ලෙස ගත් කල මහා­වං­ස­යට සාපේ­ක්ෂව දීප­වං­සයේ සංඛ්‍යා භාවි­තය අඩු වුව ද එකේ සිට දහය දක්වා වූ මුල සංඛ්‍යා භාවි­තය මහා­වං­ස­යට වඩා දීප­වං­සයේ වැඩි වේ. දීප­වංස කතු­ව­ර­යාගේ ප්‍රිය­තම මූල සංඛ්‍යාව වී ඇත්තේ හතර ය. චතු­රාර්ය සත්‍යය, සිව්දිශා, සත­ර­ව­රම් දෙවියෝ, සිව්රඟ සේනා වැනි අද­හස් සන්නි­වේ­ද­නයේ දී සංඛ්‍යා­මූල නාම­පද භාවි­තය දීප­වං­සයේ මතුව පෙනෙන ප්‍රව­ණ­තා­වකි.

දීප­වංස හා මහා­වංස කතු­ව­රුන් දෙදෙනා ම වැඩිම වාර ගණ­නක් යොදා ඇති මූල සංඛ්‍යා හත­රක් වේ. ඒ 3, 4, 7 සහ 8 යන සංඛ්‍යා ය. එක සංඛ්‍යාව භාවිත කිරී­මට කතු­ව­රුන් දෙදෙ­නාම වැඩි අව­ධා­න­යක් යොමු කොට නැත. මුල සංඛ්‍යා දහ­යට අම­ත­රව 11 - 100 දක්වා වූ සංඛ්‍යා සමූ­හය ද වංශ­කථා රච­ක­යන්ගේ නිර­තුරු අව­ධා­න­යට පාත්‍රව ඇත. එම සංඛ්‍යා ශ්‍රේණි­යට අයත් 16, 17, 18, 24, 32, 60, 80 සහ 100 යන සංඛ්‍යා සමූ­හය මහා­වං­සයේ හා දීප­වං­සයේ වැඩි ම වාර ගණ­නක් භාවි­තව ඇති සංඛ්‍යා ලෙස හඳු­නා­ගැ­නීම අප­හසු නොවේ.

එකේ සිට සියය දක්වා ඇති සංඛ්‍යා සියය අතු­රින් මතු දැක්වෙන සංඛ්‍යා 54 කිසිදු අව­ස්ථා­වක මහා­වංස කතු­ව­රයා හෝ දීප­වංස කතු­ව­රයා විසින් හෝ තම නිර්මාණ කට­යු­තු­වල දී භාවිත කොට නොති­බීම ද සුවි­ශේෂ කරු­ණක් ලෙස සැල­කිය හැකිය.

14, 19

23, 26, 27, 29

34, 35, 36, 39

41, 42, 43, 46, 47, 49

51, 53, 54, 57, 58, 59

62, 63, 65, 66, 67, 69

71, 72, 73, 74, 75, 76, 77, 78, 79

81, 82, 83, 84, 85, 86, 87, 88, 89

90, 91, 92, 94, 95, 96, 97, 98, 99

කාල වක­වානු දැක්වීමේ දී වංශ­ක­ථා­ක­රු­වන්ගේ අව­ධා­නය සංඛ්‍යා කෙරෙහි යොමු වූ බව අප විසින් පෙරදී ද සඳ­හන් කරන ලදි.

මෙරට පාල­නය කළ රජුන් හා රැජි­නි­යන් බොහෝ දෙන­කුගේ පාලන කාල ගැන සඳ­හන් කිරීමේ දී ඒ ඒ රජුගේ හෝ රැජි­ණගේ හෝ සමස්ත පාලන කාලය ආසන්න වස­රට වටයා පූර්ණ සංඛ්‍යා­ව­ලින් ඉදි­රි­පත් කිරීම වංශ­කථා රච­ක­යන්ගේ සාමාන්‍ය සම්ප්‍ර­දාය වී තිබේ. (ශුභ සය­හ­වු­රු­ද්දක් රජ කළේ ය / මහා­චූ­ලි­ම­හ­තිස්ස අවු­රුදු 14 ක් රජ කළේය. ථුල්ල­ත්තන අවු­රුදු තුනක් ද භාතිය අවු­රුදු දෙකක් ද රජ කළේ ය.)

එහෙත් ඇතැම් රජුන්ගේ රාජ්‍ය කාල ඉදි­රි­පත් කිරීමේ දී වර්ෂ, මාස හා දින ගණන ද සංඛ්‍යා­ත්ම­කව ඉදි­රි­පත් කිරී­මට මහා­වංස කතු­ව­රයා තම අව­ධා­නය යොමා තිබේ. එසේ පාලන කාලය ආසන්න වර්ෂ­යට වටයා නැති බොහෝ අව­ස්ථා­වල දී අදාල රාජ­කී­යයා ඝාත­න­යට ලක් වීම හෝ බල­යෙන් පහ කිරීම හෝ සිදු වී තිබේ. (යස­ලා­ල­ක­තිස්ස හත්අ­වු­රුදු අට­ම­සක් / ථුල්ල­ත්තන එක් මස් දස දිනක් / මහා­රට්ඨ එක් දිනක්) බොහෝ රාජ­කී­ය­යන්ගේ රාජ්‍ය කාල දැක්වීමේ දී වංශ­ක­ථා­වල සංඛ්‍යා උප­යෝගී කොට ගත්ත ද ඔවුන්ගේ ආයු කාල දැක්වී­මට සංඛ්‍යා­ත්මක අග­යන් භාවිත කොට ඇත්තේ දෙ අව­ස්ථා­වක දී පමණි.

දුටු­ගැ­මුණු රජු අට­සැට වස­රක් ද කාව­න්තිස්ස රජ­තුමා සූසැට වස­රක් ද ජීවත් වූ බව මහා­වං­සයේ දැක්වේ. මහා­වං­සයේ සඳ­හන් වී ඇති ලෙස වැඩිම ආයු සම්ප­ත්තිය විඳ ඇත්තේ සබ්බ­කාමී රහ­ත­න්ව­හන්සේ ය. ආනන්ද තෙරුන්ගේ සද්ධි­වි­හා­රි­ක­යකු වූ එහි­මියෝ උප­ස­ම්ප­දා­වෙන් එක­සිය විසි­ව­සක් ගෙවා පිරි­නි­වන් පෑ බව මහා­වංස රචක මහා­නාම හිමියෝ පව­සති.

ඓති­හා­සික වශ­යෙන් වැද­ගත් වන්නා වූ ඇතැම් වැද­ගත් සිදු වීම් වූ කාල­ව­ක­වානු පිළි­බඳ අද­හස් ඉදි­රි­පත් කිරීමේ දී ද මහා­වංස හා දීප­වංස රච­කයෝ සංඛ්‍යා භාවිත කිරී­මට පෙලඹී ඇත්තාහ. ලංකා ඉති­හා­සයේ මහා ආන්දෝ­ල­න­ය­කට ලක් වූ අභ­ය­ගිරි විහා­රය පිහිටු අව­ස්ථාව නිර­වුල්ව දැක්වී­මට වංශ­කථා ද්විත්වයේ ම සංඛ්‍යා උප­යෝගී කොට­ගෙන තිබේ. (මහා­වි­හා­රයේ පටන් ගැන්මෙන් දෙසිය සත­ළොස් දස­මස දස දිනක් ඉක්මුණු කල) මහා­වං­සයේ හා දීප­වං­සයේ මූලික වශ­යෙන් සංඛ්‍යා උප­යෝගී කොට­ගෙන ඇත්තේ ආග­මික, රාජ්‍ය පාලන හා ශාස­නික කට­යුතු පැහැ­දිලි කිරීම සඳහා ය.

එහෙත් ඇතැම් අව­ස්ථා­ව­කදී ගිහි­යන්ගේ අති­ශය පෞද­ග­ලික ලෞකික කරුණු පිළි­බඳ අද­හස් දැක්වීම සඳහා ද සංඛ්‍යා උප­යෝගී කොට­ගෙන තිබේ. දුටු­ගැ­මුණු කුම­රුගේ නම් තැබීමේ මංග­ල්‍ය­යෙන් පසු නම වන දවසේ කාව­න්තිස්ස රජු විහා­ර­මහා දේවිය සමඟ සංවා­සයේ යෙදී­මෙන් සද්ධා­තිස්ස කුම­රුගේ පිළි­සිඳ ගැන්ම සිදු වූ බව මහා­වං­සයේ දක්වා ඇත්තේ මෙලෙ­සිනි. “එයින් නම වන දවස් මාගම් ගොස් දේවිය හා සංග­මය කළේය. ඒ බිසව් ඉන් ගැබ් ගත්තී ය.”

දීප­වංස කතු­ව­රයා ලංකා­ද්වී­පයේ සමස්ත භූමි ප්‍රමා­ණය පිළි­බඳ කරුණු දැක්වීමේ දී ද විශ්වා­සය තබා ඇත්තේ සංඛ්‍යා කෙරෙ­හිය. ලංකා නම් දූපත දිගින් යොදුන් 3ක් ද පළ­ලින් යොදුන් 18ක් ද වට­ප්‍ර­මා­ණ­යෙන් යොදුන් සිය­යක් ද වන බව දීප­වංස කතු­ව­ර­යාගේ අද­හස වී තිබේ. විවිධ ආග­මික ගොඩ­නැ­ගි­ලි­වල දිග, පළල, උස වැනි භෞතික මිනුම් අව­ධා­ර­ණය කිරීම සඳහා ද වංශ­ක­ථා­වල සංඛ්‍යා භාවිත කිරීම සම්ප්‍ර­දාය වී ඇත. (තොපගේ මුනු­පුරු වූ දුටු­ගැ­මුණු නම් මහ­පි­නැති මිහි­ප­ති­යෙක් තෙම අනා­ග­තයේ මනො­හර වූ එක­සිය විසි­රි­ය­නක් උස් වූ සොණ්ණ­මාලි නම් මහා ස්තූපය කර­වන්නේ ය. / ඇගේ රත්න ප්‍රාසා­දය තෙම දොළොස් යොදු­නක් උස්විය අවට යොදුන් අට­සා­ළි­සෙක, කුළු­ගෙ­වල් දහ­ස­කින් සැර­සුන් නව­ම­හල් විය, දහ­සක් ගබ­ඩා­වෙන් සම­න්විත වූයේ සත­ර­දි­ගට මුඛ ඇතිව බබ­ළන්නේ ය.)

විශා­ල­ත්වය පිළි­බඳ සාපේක්ෂ අද­හස් ඉදි­රි­පත් කිරීමේ දී මහා­වං­සයේ හා දීප­වං­සයේ බිංදුවේ සිට අන­න්තය දක්වා වූ අති විශාල පරා­ස­යක පැතිර ඇති සංඛ්‍යා පිළි­බඳ අව­ධා­නය යොමු කොට තිබේ. මහා­වං­සයේ සඳ­හන් වී ඇති විශා­ල­තම වටි­නා­ක­ම­කින් යුක්ත සංඛ්‍යාව වන්නේ දස­කෙළ දහ­සය. වත්මන් ව්‍යව­හා­රයේ දී එම සංඛ්‍යාව හැඳි­න්වෙන්නේ සියක් බිලි­ය­න­යක් ලෙසිනි. එම දස­කෙළ දහස සංඛ්‍යාව මහා­වංස කර්තෘට අවශ්‍ය වූයේ මහා­කාල නග­යාගේ පිරි­වර සේනාව පිළි­බඳ සාපේක්ෂ අද­හ­සක් ඉදි­රි­පත් කිරීම සඳහා ය.

එම සංඛ්‍යාවේ සත්‍ය වටි­නා­කම පිළි­බඳ මහා­වංස රච­කයා හෝ එකල විසූ පාඨක ජනයා හෝ නොදැන සිටි බව පිළි­ගත හැකි­මුත් එයින් අති­වි­ශා­ල­ත්වය යන හැඟීම ජන­නය වන බව එකී දෙපා­ර්ශ්ව­යම පැහැ­දිලි ලෙසම දැන සිටියේ ය.

මහා­වංස කතු­ව­ර­යාට වඩා ඉතා විශාල වටි­නා­ක­ම­කින් යුත් සංඛ්‍යා තම රච­නා­වට එක් කිරී­මට දීප­වංස කතු­ව­රයා නොයෙක් අව­ස්ථා­වල දී උත්සහ ගෙන තිබේ. දීප­වංස කතු­ව­ර­යාගේ අව­ධා­න­යට ලක් වී ඇති විශා­ලම සංඛ්‍යාව වන්නේ එක්ලක්ෂ හතර නහු­ත­යයි. නහු­තයේ වටි­නා­කම දැක්වී­මට ද දීප­වංස කතු­ව­රයා අම­තක කොට නැිිිත. දීප­වංස කතු­ව­ර­යාට අනුව දහයේ විසි අට­වන බලය නහු­ත­යයි. එම නිසා එක්ලක්ෂ හතර නහු­තය 1000040000000000000000000000000000 (එක්ලක්ෂ හත­රයි, බිංදු විසි අට) ලෙස හෝ කැටි­කොට 100004 × 1028 බලය ලෙස හෝ දැක්විය හැකිවේ.

ඒසා විශාල වටි­නා­ක­ම­කින් යුත් සංඛ්‍යා­වක් දීප­වංස කතු­ව­ර­යාට අවශ්‍ය වූයේ පෘථි­විය මත බිහි වූ මුල් ම රජු ලෙස සැල­කෙන මහා­ස­ම්ම­තගේ සිට සිද්ධාර්ථ කුමරු දක්වා වූ ක්ෂත්‍රිය රාජ පර­ම්ප­රාවේ වූ සාමා­ජික රජුන් ගැන ප්‍රමා­ණා­ත්මක අද­හ­සක් ඉදි­රි­පත් කිරීම සඳහා ය.

මහා­වංස කතු­ව­රයා මෙන් ම දීප­වංස කතු­ව­රයා ද ඇතැම් අව­ස්ථා­වල දී සංඛ්‍යා­ත්ම­කව ප්‍රකාශ කළ නොහැකි ය යන අද­හස ඉදි­රි­පත් කිරීම සඳහා අසං­කෙ­යිය, අසං­ඛ්‍යාත ගණ­නා­ප­ථා­ත්‍රි­කාන්ත වැනි යෙදුම් භාවිත කොට ඇත. වත්මන් ගණි­තයේ දී එම අද­හස සඳහා භාවිත වන්නේ අන­න්තය (infinite) යන යෙදු­මය. බුදුන්ගේ පරි­නි­ර්වාණ අව­ස්ථාවේ දී කුසි­නා­රා­වට වැඩම කළ භික්ෂූන් ප්‍රමා­ණය දැක්වීමේ දී ද රුව­න්මැලි සෑ ධාතු නිධාන උත්ස­වයේ දී සෝවා­න්ඵ­ල­යට පත් වූවන්ගේ ප්‍රමා­ණය දැක්වීමේ දී ද මහා­වං­සයේ අසං­කෙ­යිය (ගණ­නය කළ නොහැකි) යන අද­හස ඉදි­රි­පත් කොට තිබේ.

වංශ­ක­ථා­වල සඳ­හන් වී ඇති අසං­ඛ්‍යාත හා අසං­කෙ­යිය යන දෙව­දන ගැන අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට දීප­වං­සයේ ඇති එක් සඳ­හ­නක් උපුටා දැක්විය හැකිය. දීප­වං­සයේ දැක්වෙන ලෙස මිනි­සාගේ බුද්ධි­යට ගෝචර වන සංඛ්‍යා පරා­සයේ අව­සා­නයේ ඇති සංඛ්‍යාව පදු­මය නම් වේ. එහි වටි­නා­කම ලෙස දීප­වං­සයේ දක්වා ඇත්තේ එක සංඛ්‍යාව පෙරටු කොට­ගත් බිංදු එක­සිය දහ­න­ව­යයි. නූතන ගණි­තයේ දී එකී සංඛ්‍යාවේ අගය 10119 බලය ලෙස හඳුන්වා දෙනු ලැබේ. රම සංඛ්‍යා­වට එපි­ටින් වූ සංඛ්‍යා අසං­කෙ­යිය (incalculable) නම් වේ.

මහා­වං­සයේ මෙන් ම දීප­වං­සයේ ද ආග­මික සාහි­ත්‍ය­යට අදාළ කරුණු දැක්වීමේ දී අති­වි­ශාල වටි­නා­ක­ම­කින් යුත් සංඛ්‍යා යොදා­ගෙන ඇත්තේ අනු­ගා­මි­කයා තුළ ශ්‍රද්ධාව ඇති කිරීමේ අර­මු­ණින් බව පැහැ­දිලි ය. දුටු­ගැ­මුණු රජ­තුමා ලෝවා­ම­හා­පාය සෑදීම සඳහා කෝටි තිහක ධනය වැය කළ බව දීප­වං­සයේ සඳ­හන් වේ. බුදුන්ගේ පිරි­නි­ව­න්පෑ­මෙන් පසුව සංවි­ධා­නය කළ උත්ස­ව­යට හත්ල­ක්ෂ­යක් ශ්‍රාව­ක­යන් වහන්සේ එක්රැස් වූ බව ද එහිම සඳ­හන් වේ. බුදු­ද­හමේ උන්න­තිය සඳහා අශෝක රජු විසින් ආරාම අසූ­හාර දහ­සක් ඉදි කිරී­මට වැය කළ ධනය කෝටි අනූ­හ­යක් වූ බව දීප­වංස කතු­ව­රයා තව­දු­ර­ටත් දක්වා ඇත. පිරි­වර සේනා අනු­ගා­මි­ක­යන් පිළි­බඳ සාපේක්ෂ අද­හස් දැක්වීමේ දී දහස, ලක්ෂය මෙන් ම කෝටිය යන සංඛ්‍යා­ත්මක අග­යන් ද වංශ­කථා රච­ක­යන් දෙදෙ­නාම යොදා­ගෙන තිබේ. (භික්ෂූන් දහ­සක් සහිත සබ්බන්දි තෙර­ණිය / අනූ­හය දහ­සක් භික්ෂු­ණීන් / අසූ කෝටි­යක් සංඝයා / හත්ල­ක්ෂ­යක් ගෝලයෝ) එහෙත් කිසිම අව­ස්ථා­වක මේ සංඛ්‍යා­වල සත්‍ය වටි­නා­කම පාඨ­ක­යාට අව­බෝධ කිරී­මට වංශ­කථා රච­ක­යන් උත්සාහ කළ බව පිළි­ගැ­නී­මට ඇත්තේ අල්ප වූ අව­ස්ථා­වකි.

අති­වි­ශාල වටි­නා­ක­ම්ව­ලින් යුත් සංඛ්‍යා හඳු­න්වා­දී­මෙන් ඔවුන් අපේක්ෂා කළේ විශා­ල­ත්වය හා අති විශා­ල­ත්වය ගැන අද­හ­සක් පාඨ­කයා තුළ ඇති කිරීම පමණි. ඒ ව්‍යායා­මයේ දී වංශ­කථා රච­ක­යන් දහයේ ගුණා­කාර, සියයේ ගුණා­කාර සහ ඇතැම් අව­ස්ථා­වල දී සියස් සහසේ ගුණා­කාර සංඛ්‍යා ද උප­යෝගී කොට­ගෙන තිබේ.

දීප­වං­සය හා මහා­වං­සය රචනා වූ යුගය වන විට ලක්දිව මහා­යාන බුදු­ද­හම ද ස්ථාපි­තව තිබිණි. විශා­ල­ත්වය නිසා භක්තිය උප­දින බව මහා­යා­නයේ දී පිළි­ගැ­නෙන අද­හ­සකි. එම අද­හස ද මහා­වංස හා දීප­වංස රච­ක­යන්ගේ අව­ධා­න­යට ලක් වූ බව පිළි­ගැ­නී­මට ද අව­ස්ථා­වක් වේ. මහා­යාන ලලිත සූත්‍රයේ දක්වා ඇති ලෙස බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ තුළ බිංදුවේ සිට දහයේ 421 බලය දක්වා (එනම් එක පෙරටු කොට­ගත් බිංදු හාර­සිය විසි එක­කින් නිරූ­පන වන සංඛ්‍යාවේ වටි­නා­කම) වූ පරා­සයේ පිහිටි සියලු සංඛ්‍යා පිළි­බඳ අව­බෝ­ධ­යක් තිබී ඇත.

සම­ස්ත­යක් ලෙස ගත් කල සැක­යෙන් තොරව අපට පැවැ­සිය හැක්කේ අනු­රා­ධ­පුර සමාජ සංවි­ධා­නයේ විසූ පොදු ජනයා තුළ ප්‍රායෝ­ගික ජීවි­ත­යේදී භාවිත වූ සංඛ්‍යා පිළි­බඳ මෙන් ම ආග­මික අද­හස් සන්නි­වේ­ද­නයේ දී ධර්ම­ප්‍ර­චා­ර­ක­යන් විසින් භාවිත කළ අන­න්තය දක්වා වූ උප­ක­ල්පිත සංඛ්‍යා පිළි­බඳ ද පැහැ­දිලි අව­බෝ­ධ­යක් පැවැති බවය. කෝටිය, කෙළ­කෝ­ටිය, නහු­තය යන සංඛ්‍යා­ව­ලින් පැරණි සමා­ජයේ ජනයා තුළ මෙන් ම අධ්‍ය­තන සමා­ජයේ ජීවත් වන බොහෝ දෙනකු තුළ ද ජන­නය වන්නේ අති විශා­ල­ත්වය පිළි­බඳ අද­හ­සකි.

එම සංඛ්‍යා­වල සත්‍ය වටි­නා­කම් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ යුත්තේ ගණි­ත­ඥ­යන්, විද්‍යා­ඥ­යන්, ව්‍යාපා­රි­ක­යන් හා ආර්ථික විද්‍යා­ඥ­යන් පමණි. ඔබ­ටත් මටත් එම සංඛ්‍යා හෙටත් පෙර මෙන් ම විශා­ල­ත්වය හා අති­වි­ශා­ල­ත්වය පිළි­බඳ සාපේක්ෂ අද­හ­සක් සන්නි­වේ­ද­නය කරන සංකේ­ත­යෝම වන්නාහ.

මෙරට පාලි­වං­ශ­කථා රචනා ලිවී­මට පෙර කාල­යක භාරත දේශයේ රාජ්‍ය පාල­ක­යන්ට ගුරු­හ­රු­කම් දීම සඳහා රචනා වූ කෞටි­ල්ල්‍යයේ අර්ථ­ශාස්ත්‍ර නමැති ග්‍රන්ථයේ 1/4, 1/2, 3/4 වැනි භාග සංඛ්‍යා විශාල වශ­යෙන් භාවිත කොට තිබිණි. රජ­යට අයත් විය යුතු විවිධ බදු වර්ග ගැන සඳ­හන් කිරී­මේදී එම සංඛ්‍යා යොදා­ගැ­නී­මට අර්ථ­ශාස්ත්‍ර රචක චානක්‍ය පඬි­තු­මාට අවශ්‍ය විය.

එහෙත් මහ­වංස රච­කයා හෝ දීප­වංශ රච­කයා හෝ කිසිම අව­ස්ථා­වක භාග සංඛ්‍යා භාවිත කිරී­මට උත්සුක වී නැත. ඒ ඔවුන් එම සංඛ්‍යා පිළි­බඳ අන­ව­බෝ­ධ­යෙන් සිටි නිසා නොව ඔවුන්ගේ අව­ධා­න­යට ලක් වූ විෂය සඳහා එම සංඛ්‍යා­වල අදා­ළ­තා­වක් නොවූ නිසාය.

Comments