අවන්හලක හෝරාවක්... | සිළුමිණ

අවන්හලක හෝරාවක්...

නිල් රතු කහ විදුලි පහන් කණාමැදිරි එළි වගේ නිවි නිවී පත්තු වන අවට පරිසරය අඩ අඳුරුයි. නානාවිධ හීන් සුවඳ මුසු වාතය නාස් පුඩු අග ගෑවි ගෑවී හමා යයි. ඒවා ඉතා මිල අධික සුවඳ විලවුන් මගේ මනස මට කියයි. මා කැටුව පැමිණි මගේ මිතුරන් සතුටින් හා කෙළිදෙළෙන් ඉතා අලංකාර රංගනයන්හි යෙදෙනු මට පෙනෙයි. මට හිතවන්ත මගේ අාදරණීය සගයන් හා ඔවුන්ගේ ඇසුර හුදෙකලා මට ප්‍රීතිය හටගන්වයි. ටාං ටාං හඬින් සව් දිය පුරන නානාප්‍රකාර තරාතිරම්වල, වයස් පරතර වල ගැහැනු පිරිමි සහ ඊයේ පෙරේදා පාසල් කාලය හමාර කළා යැයි සිතිය හැකි යෞවන යෞවනියන්හේ කොක්හඬලෑම්වලින් මුළු සමාජ ශාලාවම අඩක් පමණ පිරී ගොසිනි. වේලාව රාත්‍රී හය හමාර වී මිනිත්තු කීපයක් ගෙවී තිබුණි. මාගේ යාළුවන් සමඟ එකතුව මිලදී ගත් දෙහි මිශ්‍ර සෝඩා වීදුරු තොලගාමින් සිටි මට මෙසේ සිතෙයි, මේ කවුද... මොනව කරන්නද?

අඬ අඳුර මහා ගුප්ත බවක් ගෙන ඒ. එය ඇතැම්විට සත්‍ය වසන් කරන්නට රුකුලක් වනු ඇත. මගේ වම් පසින් ශාලාවේ ද කොනේ රුසිරු ලියක් නිසොල්මන් ව බලා සිටිනු පෙනේ. ඇගේ රුසුරු වත සැබැවින්ම සිත් ඇදගන්නා සුලු ය. මගේ දෑස ඇගේ දෑස හා ගැටුණු සැණින් මාහේ මනසේ එක්ස්රේ යන්ත්‍රය වහා ක්‍රියාත්මක විණි‍. වත දිදුලෙ ඇහිබැමට යටින් ඇති මුදු දෑස් මැලවිලා ය. ඒවා සුදුමැලිය. ඇගේ සිරුරේ රුධිරය නොගලන්නේ ද; නැතිනම් ඈ විසින් හුදෙක් සුදුමැලි බවම තෝරා ගත්තේ ද? ඇය කෙසේ නම් ජීවත්වන වන්නේද? ඇවිදින මළසිරුරක්...? නැත; එය එසේ විය නොහැකිය. දෑත් යුගල ඒ ඉණ මත බැඳ සිය අත් බෑගය උකුළේම රඳවා තබා ගනිමින් කවුරුන් හෝ එනතෙක් මෙන් ඈ දිගටම බලා සිටියාය. ඇහේ ඉදිරියේ ඇති මේසය හිස් ය. ඈ මා මෙන් දෙහි මුසු සෝඩා ඇණවුම් කොට නොතිබිණි. ඈ වෙත රහසින් බැලුම් හෙළන යමෙක් මහේ නෙත ගැටුනේ අහම්බෙනි. ඔහු විනාඩියකට අඩි පහක් පමණ බැගින් කෙමෙන් කෙමෙන් ඈ වෙත ළං වෙමින් ප්‍රධාන ‍දොරටුව හා බැඳි බිත්තිය දිගේ හොරගල් ඇහිලුවේ ය. ඔහු නම් හැබෑම ස්ත්‍රී ලෝලියකු ගානය. මම ඉවත බලා ගතිමි.

සමාජය යනු කුමක්ද? එය හුදෙක් මිනිස් ගහනයම යැයි මට සිතිණි. ජීවිතය යනු කුමක්ද? මීට අර්ථකතන දෙන්නට සදාචාර සේලයෙන් වැසුණු දැඩි නිශ්චයන්, උසස් අධ්‍යාපනය, උපාධි, තනතුරු තාන්නමාන්න, බාහිර කටයුතූන්හි ක්‍රියාකාරි සාමාජිකත්තවයන්, උසස් කුල පරම්පරා ගර්වයන්, අන්තගාමී ලෙස නොයෙකුත් දෘෂ්ටීන්ට වහල් ධාර්මික උතුරුසලු, කෙනකුට අත්‍යවශ්‍යම වන්නේද? රාහුල මහ ‍ෙතරුන් වහන්සේ සත් අවුරුදු වයසේදී උතුම් සෝතාපත්තතියෙන් සපිරුණ සේක. චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් බවට පත් කළේ කුඩා රහතුන් වහන්සේ නමකි. රුසියාවේද මහා දාර්ශනික ගත්කරු මැක්සිම් ගෝර්කි එදා කම්කරුවෙකි. එදිනෙදා ජීවිතයේ ගතවූ සෑම තත්පරයක්ම ඔහුට විශ්ව විද්‍යාලයක

නිමේෂයන් විය. ඔහු කී පරිදි ජීවිතය දකින්නට කිසිදු වැටුපක් තානාන්තරයක් නො ඉල්ලා දෙන අම්මගේ කිරි බිඳුවත්, හැමදාම උදේට දිනක් නොවරදවා කිසිම අතිකාල දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමකට උද්ඝෝෂණය නොකර පායන හිරුගේ රැස් මාලාවත් සෑහේය. සමාජය සිටින්නේ සමාජශාලාවක් ඇතුළේ විතරමද? මේ යන එන්නවුන් පමණක්ම ඒ සමාජයට අයිතිද? එසේ බැලූ කල මට නම් මේ ශාලාවෙන් එපිටත මුළු ලොවමත් එකම සමාජශාලාවකි.

මාගේ මිතුරන් තාමත් ප්‍රීතියෙන් නටනු පෙනේ. කැරකෙන කහ රතු නිල් කොළ දම් එළි වලින් සුසැදි කණාමැදිරි රාත්‍රීයකි. වේග රිද්ම සංගීතය හා ගැයෙන ඉංග්‍රීසි ගායනා වල තාලයට අතේ රැඳි මුධුපානය මේසය මත මඳකට ගිමන් හැරීමට ඉඩහැර ඇතැමකු නැඟිට රඟනු පෙනේ."Im stressed Rosheni. It was a hectic day. I also need a “me time” and

for independent women...”, ලෙසින් එක කාන්තාවක් ඇගේ අනෙක්පසින් වාඩිවී සිටින ඇගේ යෙහෙළියට පවසමින් සව්දිය පුරයි. ආතතිය සිඳලන මෙවන් සොඳුරු හුදෙකලාව නම් සැබැවින්ම මෙයද? සැණකින් මාහට යමක් සිහි වී මගේ වම්පසට නෙත් යොමු වුයේ ඉබේටම ය. එකත්පස්ව උන් ඒ රූමත් ලඳ...! ඈ එතැන නැත. කොතැනකට වහන් වීද? මේ ආලවන්ත වීදියේ... අමරසිරි පීරිස්හේ ගීයක වදන් පෙළක් මගේ ඇතුළාන්තයේ රැව්දිණි. ඈ ආලවන්ත වීදියේ සැඟව ගොසිනි. නැත්නම් ඇය සොරා ගෙන ගොස් තිබිණි.

ප්‍රේමය ඉවසිලිවන්තය; කරුණාවන්තය; එය පාරට්ටු කරන්නේ නැත; වංචා කරන්නේ නැත. ඒ මිනිසා කෙරෙහි වු අප්‍රමාණ අනුකම්පාවෙන් දෙසුණු උත්තතරීතර මනුෂ්‍ය පුත්‍රයකු වූ ජේසුස් වහන්සේ ආදරණීය ඉගැන්වුම් ය. ජේසුස් වහන්සේම දෙවියන් වහන්සේ වූ සේක. මිනිසා විසින් ගල් ගසනු ලද්දා වූ ස්ත්‍රිය මුදා ගනිමින් උන්වහන්සේ කිවුවේ ද පාපයක් කිසිදා නොකලෙක් වේ නම් ඇයට දඬුවම් කරන ලෙසටය. ගල් ගැසු සියල්ල පසු බා සීරුවට ඉවත් ව ගියේ උන් සැවොම වරෙකවත් අඳුරේ ඈ හා යහන් ගත වූ නිසා යැයි ඒ කියවූ මට හැඟිණි. එදා අඩු තරමින් උන් පසු බෑහ. අද එසේ වන්නේ නැත.

සතර ආර්ය මාර්ගයෝ මිනිසා උතුම් නිර්වාණය කරා රැගෙන යනු ඇත. ඒ සම්මා සම්බුදුන් වහන්සේ බුදු වෙන වන සේක. හුස්ම ගන්නාවූ පෘතග්ජන සියල්ලෝ කෙලෙස් ගුලි වන්නෝය. නිරන්තරයෙන් වෙනස් වෙන තරංග ගුලිවන් ජීවිහු යමක් ඇතැයි සිතමින් සියල්ල බයෙන් බෙදා ගනිති. සියලු පාපයන්ට හෝ බල අධිකාරීනට ඉඩ සකසා ගනුවස් සංස්කෘතික කොටු, ආගමික කොටු, තානාන්තර කොටු, කුල පරම්පරා කොටු, තනා ගනිමින් එය එසේ අවසානයේ සවිමත් යැයි සිතන දුබල මිනිසා විසින් අනෙක් දුබල මිනිසාම පෙළනු ලැබේ. වේදනාවම සතුටක් ලෙසින් ද සතුටම වේදනාවක් ලෙසින් ගෙන වහලුන් සේ මාර මායා දැ‍ලේ සිරවූ මේ දුබල මිනිසා බුදුබණ නිරතුරුවම ඇසෙන රටේ ද ජීවත් වෙති. ඔවුනට බුදුන් වහන්සේ ද හරිහැටි මතකයක නැත. ජේසුස් වහන්සේ දෙසූ ප්‍රේමය බයිබලයේ හිරවී පණ අදිමින් සිටී. ගෝර්කි සිතූ හැටියට නම් ගැහැණිය මෙලොව කිරි බිඳුවෙන් තනන අම්මාය. බුදු රදුන් විසින් මුදා හැරුණු මෛත්‍රියත් යේසුස් පැතිරූ ප්‍රේමයත් ඇතැම් විට අන්ත:පුර පිරිවැරූ රජුන්ට වඩා බතක් සරි කරන්නට ඈත වියළි බිමක පස් පෙරළන ගොවිරාළකෙනකු ළඟ තිබී ගැහැනියකුට හමුවනු ඇත. එවැන්නකුට දිවි හිමියෙන් කැපවීම අවසන ගැහැණියකුට ගරු කටයුතු වන්නේ ම ය. ඔහු ඈ පණ මෙන් රකිනු ඇත. පූජාවක් මෙන් සලකනු ඇත. ඔහුට අන්ත:පුර නැත. ජීවිතයේ තමාටම වූ නිමේෂයන් නැත. ඈ හා දිවිය ඔහුට 'අපි' . අල්පේච්ඡ දිවියේ හැබෑ ගැහැනියකට මේ හැර අවශ්‍ය තව වෙන මොනවාද... මා දුටු රුසිරු ලඳ ගැන මට සැහණකින් දුකක් සිතුණි.

දකුණුපස මඳක් දුරට වන්නට සැහැල්ලුවෙන් රඟන මාගේ යහළු යෙහෙළියන්ගේ සිනා හඬින් මා සිටි සිතිවිලි සමුහයෙන් නැවතත් මඳකට ඉවත් වීමි. උන්ගේ සතුට මට මඳකට අස්වැසිල්ලක් සමඟ හීන් සැනසිල්ලක් ගෙන දිණි. මම උන් දෙස බලා මඳ සිනා පෑවෙමි. දෙහි මුසු සෝඩා වීදුරු‍‍වේ ද අයිස් කැට සියල්ලම පාහේ දියවී ගොස් ය. එහි මට නීරස ඇඹුලක් දැනිණි.

ගයනි දයාරත්න

Comments