
වාහනය Quick charge කිරීම හැකිතාක් අඩු කරන්න.
ඉලෙක්ට්‍රික් වාහනයක් චාජ් කරන ක්‍රම තුනකි.
Level 1 - ගෘහස්තව 110 වෝල්ටේජ්එක යටතේ සිදුකරන ආරෝපණයයි.
Level 2 - ගෘහස්තව 240 වෝල්ටේජ්එක යටතේ සිදුකරන ආරෝපණයයි.
Level 3 - Quick charge හෙවත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන මගින් සිදුකරන ආරෝපණයයි. මෙමගින් ආරෝපණය කිරීමේදී ආරෝපණය වන්නේ බැටරියෙන් සියයට 80ක් පමණි. එය බැටරියේ ආයුකාලයට එතරම් හිතකර වන්නේ නැත. එබැවින් ක්ෂණිකව සිදුකරන ආරෝපණය හැකිතාක් අවම කරගැනීමට කටයුතු කළ යුතුය.
මෝටර් රථ නිවසේදී ආරෝපණය කිරීමට වෙනම ප්ලග්එකක් යොදා ගන්න. නිවසට විදුලිය ලැබෙන ප්‍රධාන මාර්ගයෙන් වෙනම චාජිං පොයින්ට්එකකට ලබා ගන්නා විදුලිය මගින් මෝටර් රථය ආරෝපණය කිරීමට සකසා ගන්න. එය විදුලි සැපයුම්කරුවාට විශේෂයෙන් පවසා සකස් කර ගත යුතුයි. එම චාජිං පොයින්ට්එකේ අර්ත්එක සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන්න.
මෝටර් රථය ආරෝපණය කිරීමේදී රාත්‍රී කාලය ඒ සඳහා වැඩි වශයෙන් යොදා ගන්න. දිනපතා ඔබේ රථය ආරෝපණය කර ගැනීමේ කිසිඳු ගැටලුවක් නැත. එහෙත් රාත්‍රී කාලයේ ආරෝපණය කර ගැනීමෙන් විදුලි බිලෙන් කිසියම් සහනයක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇති.
මෝටර් රථය හැකිතාක් අව්වේ තවත්වා තැබීමෙන් වළකින්න. මෝටර් රථය රත් වූ විට බැටරියේ ආයු කාලය අඩුවේ.
මාස තුනකට වරක් මෝටර් රථයේ ඇති චාජිං ලිඩ්එක හොඳින් පිරිසිදු කර ගන්න. ඒ සඳහා සුදුසු සේවා ස්ථානයකට යන්න.
මෝටර් රථයේ ඇති වෝල්ට් 12 බැටරිය ගැන සැලකිලිමත් වන්න.
පසුගිය අයවැය දෙකතුනකදීම දිගින් දිගටම වාහන බදු ඉහළ දැමීම වැඩිදෙනාගේ කනගාටුවට හේතු වූයේ වාහන සිහිනය එමඟින් සිහිනයක්ම වූ බැවිනි. එසේ සාමාන්‍ය වාහන බදු වැඩි වන විට ඉලෙක්ට්‍රික් වාහනවල බදු අඩු වන බව අයවැයෙන් ප්‍රකාශ වූයේ වාහන ලෝලීන්ට යම් සහනයක් ගෙන එමිනි. ඒ අනුව ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගැනීමට ජනතාව දිරිමත් කෙරුණු අතර ඉදිරි වසර කිහිපයක් ඇතුළත රජයේ සියලු ආයතනවල භාවිතය සඳහා ඉලෙක්ට්‍රික් වාහන පමණක් යොදවන බවද ප්‍රකාශ විය.
ඉන් දිරිමත් වූ තරමක් අතමිට ඇති පිරිස වහා ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගන්නට වූයේ බදු සහනය පමණක් නොව රටේ අනාගතය ගැනද කල්පනාවට ගනිමිනි. ක්ෂය වෙමින් යන ඛනිජ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති භාවිතය ලෝකයේම අනාගත ක්‍රියාමාර්ගය බවට පත්ව අවසන්ය. එපමණක්ද නොව ඉලෙක්ට්‍රික් වාහන භාවිතය පරිසර දූෂණය වෙනුවෙන්ද ලබාදිය හැකි හොඳම පිළිතුර ද වේ.
ඒ අනුව අප රටේ ඉලෙක්ට්‍රික් වාහන භාවිතය වැඩි වුවද අද වන විට ඔවුන් මුහුණ දී සිටින්නේ කිසිසේත්ම නොසිතූ ගැටලු රැසකටය. මේ වන විට ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගත් ඇතැම් දෙනා එම වාහන පාරේ ධාවනයට නොව නිවසේ ගෘහ භාණ්ඩයක් ලෙස භාවිත කිරීමට පෙලඹී සිටින්නේ එම වාහනවලින් ගත හැකි වෙනත් ප්‍රයෝජනයක් නැති තැනය. එසේ වීමට මූලික හේතුව වී ඇත්තේ අප රටේ භාවිතයට එක්ව ඇති බෝහෝ ඉලෙක්ට්‍රික් වාහනවලට බැටරිය ඇතුළු සෙසු අමතර කොටස්වල ඇති වී ඇති හිඟයයි.
එසේ වීමට හේතු පැහැදිලි කරන ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු නුවන් මදනායක මහතා පවසා සිටියේ ඉලෙක්ට්‍රික් වාහන බැටරිය අප රට තුළ ඉතා දුර්ලභ වීමට කරුණු කිහිපයක්ම බලපා ඇති බවයි.
“අපේ රටේ විතරක් නෙමෙයි, වර්තමාන ලෝකයම මුහුණ දෙන ගැටලු රාශියකට ලබාදිය හැකි හොඳම පිළිතුරක් ඉලෙක්ට්‍රික් වාහන. ඒ නිසා ඉලෙක්ට්‍රික් වාහන භාවිතය දිරිමත් කිරීම ඉතා හොඳයි. එහෙත් එසේ කිරීමට පෙර අපේ රටේ ඉලෙක්ට්‍රික් වාහන භාවිතය සඳහා සම්පූර්ණ කළ යුතු අවම කරුණු කිහිපයක් තිබෙනවා. අමතර කොටස් කියන්නේ ඒ අතරින් එකක් පමණයි.
ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රික් වාහන වර්ග දෙකක් දක්වන්න පුළුවන්. ඒ තමයි,
1.BEV (Battery Electric Vehicle)
2.EREV (Extended Range Electric Vehicle)
පළමුවැනි වර්ගයේ ඉලෙක්ට්‍රික් වාහනවල අන්තර් ගත වන්නේ ආරෝපණය කළ යුතු බැටරියක් පමණයි. එහෙත් බැටරි ආරෝපණයේ ඇති වන දුෂ්කරතා හේතුවෙන් පසුව වෙළෙඳපොළට එවනු ලැබූ දෙවැනි වර්ගයේ ඉලෙක්ට්‍රික් වාහනවල කුඩා ධාරිතාවකින් යුතු එන්ජිමක්ද සවි කොට තිබෙනවා. ඒ වාහනවල බැටරිය බැස යන විට එන්ජිම ක්‍රියාත්මක වී රථයේ අන්තර්ගත ජෙනරේටරයක් ක්‍රියාත්මක කරනවා. ඒ ජෙනරේටරය මඟින් බැටරියද අරෝපණය කරනවා. එලෙස ආරෝපණ කාර්ය සිදු වන අතරතුර නොනවත්වා ධාවනය කිරීමේ හැකියාවද ලැබෙනවා. මෙතැනදී ශක්ති ප්‍රභව දෙකක් ක්‍රියාත්මක වනවා.
කොහොම වුණත් බැටරි හිඟවීමේ ප්රශ්නය මේ මෝටර් රථ වර්ග දෙකටම එකසේ බලපා තිබෙනවා. එත් වැඩියෙන්ම බලපා ඇත්තේ අපේ රටේ වැඩියෙන්ම භාවිත වන පළමු ඉලෙක්ට්‍රික් රථ කාණ්ඩයට හෙවත් BEV රථවලටයි.
බැටරි හිඟවීමට හේතු කිහිපයක්ම බලපා තිබෙනවා. බැටරි ආනයනය කිරීමේ ගැටලු ඒ අතර ප්‍රධාන වනවා.
අපේ රටට ඉලෙක්ට්‍රික් මෝටර් රථ කොපමණ ආනයනය කළත් ඒ එකක්වත් Brand new මෝටර් රථ නොවෙයි. මොකද Brand new ඉලෙක්ට්‍රික් මෝටර් රථ අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එවීමට නිෂ්පාදන ආයතන කැමත්තක් දක්වන්නේ නැහැ. එයට හේතුව එවැනි රටවල ඔවුන්ගේ නිෂ්පාදනය නිසි ආකාරයෙන් භාවිත කිරීමට සුදුසු පරිසරයක් නොවීමයි.
එවැනි පරිසරයකට ඔවුන්ගේ නිෂ්පාදන මුදාහැරීමෙන් ඒවා භාවිතයේදී යම් යම් ගැටලු ඇති විය හැකියි. එහෙත් ඒවා භාවිතය සඳහා අදාළ පහසුකම් නොවීම නිසා ඇති වන ගැටලු මිස නිෂ්පාදන භාණ්ඩයේ ගැටලු නොවෙයි. එසේවුවද එවැනි ගැටලු දිගින් දිගටම වාර්තා වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදනයේ කීර්ති නාමයට විශාල වශයෙන් හානි සිදු විය හැකියි. ඒ නිසා ඔවුන් එවැනි රටවලින් තම වෙළෙඳපොළ වර්ධනය කර ගැනීමට අදහස් කරන්නේ නැහැ.
අපේ රටට ඉලෙක්ට්‍රික් කාර් ආනයනය කරන්නේ මෝටර් රථ අලෙවිකරුවන් විසින්. ජපානය වැනි රටවල සිටින ඔවුන්ගේ තැරුව්කරුවන් මඟින් ඔවුන් ඒ රටවල භාවිත කළ මෝටර් රථ අපේ රටට විශාල වශයෙන් ගෙන්වනු ලබනවා. ඒ වාහන මෙරටට එන්නේ Brand new ලේබලය යටතේ නොවෙයි. ඒ සියල්ල ලියාපදිංචි කරනු ලබන්නේ recondition වශයෙන්. එවැනි වාහන සඳහා කිසිදු නිෂ්පාදකයකුගේ වගකීම් සහතිකයක් ලැබෙන්නේ නැහැ.
ඉලෙක්ට්‍රික් මෝටර් රථවල විශේෂත්වය වන්නේ එ්වායේ භාවිත කරන ලද බැටරි ආරක්ෂිතව බැහැර කළ යුතු වීම. එය සියලුම ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදන සමාගම් අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒ බැටරි ලිතියම් වැනි රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන බැවින් නිසි ආකාරව බැහැර නොකිරීමෙන් සිදු වන පරිසර හානිය අති විශාල විය හැකියි. එබැවින් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයන් තම මෝටර් රථයක් වෙනුවෙන් තවත් Brand new බැටරියක් මුදා හරින්නේ එම රථයේ පෙර භාවිත බැටරිය ඔවුන් වෙත ලබාදීමෙන් පසුව පමණයි.
අප රටට ගෙන්වන සියලු ඉලෙක්ට්‍රික් රථ recondition බැවින් එම රථ සඳහා නිෂ්පාදකයා වෙතින් අලුත්ම බැටරි ලබාගැනීමට හැකියාවක් නැහැ. එබැවින් කළ හැකි වන්නේ තවත් පෙර භාවිත කරන ලද බැටරියක් පිටරටින් ගෙන්වා ගැනීමයි. එවැනි බැටරි මිලෙන් ඉතා අධික වුවද කිසිදු වගකීම් සහතිකයක් හිමි වන්නේ නැහැ.
සාමාන්‍යයෙන් මෙවැනි බැටරියක් මෙරටට ගෙන්වීමේදී රුපියල් ලක්ෂ පහක් පමණ මිලක් ගෙවීමට සිදු වනවා. එහෙත් ඒ සඳහා මාස හයක හෝ වගකීමක් හිමි වන්නේ නැහැ. එවැනි බැටරියකින් ධාවනය කළ හැකි වසර ගණන හෝ ධාවනය කළ හැකි කිලෝමීටර් ගණන කිසිවකුටත් පැවසිය නොහැකියි. ඒ නිසාම වැඩි දෙනෙක් අධික මිලක් ගෙවා එවැනි බැටරියක් තම රථයට යොදන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. “
එහෙත් මේ වන විට එවැනි භාවිත කරන ලද බැටරියක් හෝ වෙළෙඳපොළෙන් සොයා ගැනීමේ ගැටලු මතු වී තිබේ. එසේ වීමට හේතුව ලෙස මදනායක මහතා පෙන්වා දෙන්නේ එවැනි බැටරි ප්‍රවාහනයේදී මතු වන දුෂ්කරතා හේතුවෙන් බැටරි ආනයනය අතිශයින් සීමා වීමයි.
අප රටේ සාමාන්‍යයෙන් භාවිත කරන ඉලෙක්ට්‍රික් කාර් බැටරියක වෝල්ට් 300 - 400 අතර කිලෝවොට් 24ක පමණ කැපෑසිටි එකක් තියෙනවා. මෑතකදී ගෙන්වූ අලුත්ම මෝටර් රථවල කිලෝවොට් 40ක කැපැසිටි එකක් තියෙනවා. මේ අධිබල බැටරි ප්‍රවාහනය ඉතා විධිමත් ලෙස කළ යුතුයි. ආරක්ෂිත උපාය මාර්ග අනුගමනය කළ යුතුයි. ඒ බැටරි ප්‍රවාහනයේදී එක උඩ එක සිටින සේ ඇසුරුම් කිරීමට බැහැ. එසේ කරනවා නම් ඉතාම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි. අපි දන්නවා භාණ්ඩ ගෙන්වීමේදී බහාලූම්වල වැය වන ඉඩ ප්‍රමාණය අනුව ගෙවීම් කළ යුතු වනවා. ඒ හේතුවෙන් මේ බැටරි ගෙන්වීම සිදු වන්නේ ඉතාම අවම වශයෙන්.
මේ බැටරි Over Heat වුණොත් පුපුරා යා හැකියි. යම් හෙයකින් ප්‍රවාහනයේදී නැව ගිනි ගැනීමකට ලක් වුණොත් මේ බැටරි බෝම්බ මෙන් පුපුරා යා හැකියි. ඒ නිසා මේ වර්ගවල බැටරි ආනයනය සිදු වන්නේ ඉතාම අවම වශයෙන්.
ඉලෙක්ට්‍රික් මෝටර් රථ ගෘහභාණ්ඩ බවට පත් වීමේ ඛේදවාචකයට හේතු එසේ පැහැදිලි කර සිටි නුවන් මදනායක මහතා අමතරව මෙසේද පවසා සිටියේය.
“ ඇත්තටම අපේ රටේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය වර්ධනය කළ යුතුයි. ඒ සඳහා ප්‍රථමයෙන් සූර්ය බල ශක්තිය භාවිතය වැඩි කළ යුතුයි. මෝටර් රථ ආරෝපණය කළ හැකි ස්ථාන රට පුරා ස්ථානගත කළ යුතුයි. මෝටර් රථ නිෂ්පාදන ආයතන ඔස්සේම බැටරි ගෙන්වීමට කටයුතු සම්පාදනය කළ යුතුයි.
එමඟින් ප්‍රමාණවත්, නියම ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් ලබාගැනීමට කටයුතු කළ යුතුයි. එසේ කිරීමෙන් රටේ ඉන්ධන සඳහා වැය වන අති විශාල මුදල් සම්භාරයක් ඉතිරි කරගැනීමටත්, පරිසරය ආරක්ෂා කරගැනීමටත්, ජනතාවට ආරක්ෂිත සුඛෝපභෝගී ප්‍රවාහන මාර්ගයක් සම්පාදනය කර ගැනීමටත් හැකි වනු ඇති.“