
කලක් චීස් සඳහා ප්‍රසිද්ධ වූ ඉතාලියේ ප්‍රදේශයක ගොවියෝ දැන් ගංජා වගා කිරීමට යොමු වී සිටිති. ඒ, දුම් පානය කිරීමට හෝ විකිණීමට නොවේ. අප හිතන්නෙවත් නැති කටයුත්තකටය. ගංජා වැවීමේ ඔවුන්ගේ අරමුණ වස විසවලින් අන්තයටම දූෂණය වූ පසේ විස ඉවත් කිරීමය:
වින්සෙන්සෝ ෆෝර්නාරෝ නම් ගොවියා, සීබීඑස් ප්රවෘත්ති සේවයට වරක් බැටළුවන් 600කට වඩා පිරී සිටි නමුත් මේ වන විට මුළුමනින්ම හිස් වූ ගොවිපළක් පෙන්වමින් මෙලෙස කියයි.
“පරම්පරා ගණනාවක් තිස්සේ අපේ පවුල රිකෝටා (චීස් වර්ගයක්) සහ මස් නිෂ්පාදනය කළා. ඒත්, 2008 දී රජය අපේ බැටළුවන් තුළ, විෂ රසායනික ඩයොක්සින් සොයාගෙන මුළු රංචුවම මරා දැම්මා. ඒ විස අපි දැනුවත්ව බැටළුවන්ට ඇතුළු වෙච්චි ඒවා නෙවෙයි. වැරදිකාරයා සිටියේ සැතපුමක් විතර දුරින්....”
යුරෝපයේ තියෙන විශාලතම වානේ කම්හලකින් පිටවන අපවිත්‍ර ද්‍රව්‍යවලින් ඒ ඩයොක්සීන් පසට ඇතුළු වී තිබිණි. පසුව එම විෂ සතුන්ගේ ශරීරයට ඇතුළු වී ඇත. එයින් අදහස් කරන්නේ ෆෝර්නාරෝට නැවත කිසි දිනෙක සතුන් ඇති කළ නොහැකි බවය. සතුන් පමණක් නොව, ඩයොක්සීන් වලින් දූෂිත පසේ කිසිදු භෝගයක් වවන්නත් නොහැකිය. ඩයොක්සීන් යනු, ජාන විකෘති කරන, පිළිකාකාරක සඳහා හේතු වෙන භයානක රසායනික ද්‍රව්‍යයකි.
ලංකාවේ මෙන් නොව, යුරෝපා රටවල්වල බලධාරීහු ආහාරත් සමඟ විස රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයට ඇතුළුවීම පිළිබඳ නිතරම සෝදිසියෙන් සිටිති. නමුත් ඉතාලි රජය, ඔවුන්ගේ ආර්ථිකයේ මර්මස්ථානයක් වුණ වානේ කර්මාන්තශාලාව ඉවත් කරන්නට හෝ මේ ගොවීන්ට වෙනත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඉදිරිපත් වී තිබුණේ නැත. ඇතැම් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දුන් නමුත් පරම්පරා ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශයේ කීර්තිමත් පශු නිෂ්පාදන නතර කරන්නට වීම සම්බන්ධව ගොවීන් සිටින්නේ මහත් වේදනාවකිනි.
මේ අතර අන්තර්ජාලයේ පළ වී තිබුණු පර්යේෂණ වාර්තා කිහිපයක් කියවීමට ෆොර්නාරෝට හැකි විය. පසුව, තම ඉඩම පිරිසුදු කිරීම සඳහා තරමක් අසාමාන්‍ය අත්හදා බැලීමක් කරන්නට ඔහු තීරණය කළේය.
පර්යේෂණ පත්‍රිකා ප්‍රකාරව ෆෝනාරෝ ඩයොක්සීන්වලින් දූෂිත තම ඉඩමේ කංසා රෝපණය කළේය. ඒ පසෙන් අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කර ගන්න පුළුවන්දැයි අත්හදා බලන්නටය. වැඩේ අතිශයින්ම සාර්ථක විය. ඒ අත්දැකීම අනෙක් ගොවියෝත් හුවමාරු කර ගත්හ. ඔවුහු ද ගංජා වගා කළහ. නැවතත් තම පැරණි රැකියාව කරගෙන යන්න මේ ගොවීන්ට නුදුරු දිනකදීම හැකි වනු ඇත.
ෆයිටොරිමීඩියේෂන් යනු වස විස අවශෝෂණය කර ගැනීමේ සුවිශේෂි හැකියාව සහිත ශාක භාවිත කරගෙන, වස විස වලින් දූෂිත පසක් හෝ ජලාශයක් පෙරහන් කරගන්නා ක්රමවේදයයි. ගංජා ශාකයේ වේගයෙන් වර්ධනය වන මූලයන් මඟින් දූෂක ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නා හෝ ගබඩා කරන සේම සමහර අවස්ථාවලදී විෂ ද්‍රව්‍ය හානිකර නොවන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම සිදු කරන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.
https://www.researchgate.net/publication/281651509_Phytoremediation_Pote...
“ඔබ සිතන්නේ මේ කංසා ඔබේ ගොවිපොළේ අනාගතය කියලද?”
“ඔව්, ඇත්තෙන්ම,” ෆෝර්නාරෝ පැවසීය.
අපේ රටේ පසෙන් සහ ජලයෙන් වස විස පෙරහන් කරගැනීමට.
ලංකාවේ කෘෂි රසායනිකවලින් දූෂිත වගා බිම්වල, දූෂිත ජලය භාවිත කරගෙන වගා කෙරෙන ආහාර භෝග, අපි කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අනුභව කරමින් සිටින්නෙමු.
වස විසවලින් දූෂිත පස සහ ජලාශ ක්ෂුද්‍ර ජීවීන් සහ පැළෑටි වර්ග භාවිත කරගෙන පෙරහන් කරන ක්‍රම ඕනෑ තරම් තිබේ. මේ ක්‍රම වැඩි වියදමක් යන්නේ නැති, ස්වභාවික ක්‍රමය.
විසහරණ ශාක වර්ග වගා කිරීමෙන් දූෂිත පස සහ ජලය පෙරහන් කිරීමේ ක්‍රමවේදය ෆයිටොරිමීඩියේෂන් (Phytoremediation) ලෙස හඳුන්වයි. ඒ සදහා භාවිත කරන්නට හැකි ශාක වර්ග බොහෝ ප්‍රමාණයක් විද්‍යාඥයන් හදුනාගෙන ඇත.
අබ (Brassica juncea) සූරියකාන්ත, (Helianthus annuus) හුලංතලා, කඩුපහර වැනි Emilia ගණයේ පැළෑටි, කූර තම්පලා (Amaranthus viridis) කලුකැම්මේරිය (Solanum nigrum), ගෙඳ පලා (Portulaca oleracea), ඇඹුල් ඇඹිලිය (Oxalis corniculate), බුත්සරණ (Canna indica) වැනි කැනාස් පවුලේ පැලෑටි වර්ග, වගා බිම්වල දූෂිත පස්වල වස විස පෙරහන් කර යථා තත්ත්වයට ගෙන ඒම සඳහා අත්හදා බැලිය හැකි පැළෑටිවලින් කිහිපයකි.
ඒ සමහර ශාකවලට විස රසායනික ද්‍රව්‍ය වේගයෙන් අවශෝෂණය කරගන්නට හැකිය. සමහර ඒවාට වස විස උරාගෙන විස නොවන සංඝටක බවට පරිවර්තනය කරන්නටත් පුළුවන. උදාහරණ ගංජා සහ කැනාස් වර්ගය. ලෝකයේ සමහර රටවල් මේ ක්‍රමවලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.
අපේ රටේ විශේෂයෙන් මාරාන්තික වකුගඩු රෝගය පැතිරෙමින් තිබෙන ප්‍රදේශවල මෙය අත්හදා බලන්න හැකිය. ඒ ප්‍රදේශවල වාරි ජලාශ සහ පද්ධති ඇසුරෙහි විස පෙරහන් කරන ශාක වගා කළ හැකිය . එසේ ජෛව පෙරහන් පද්ධති සැලසුම් කර ස්ථාපනය කරන්න පුළුවන.
ඕලු, නෙලුම්, මානෙල් යනු එසේ ජලාශවල වැවිය හැකි විස හරණ පැළෑටි කිහිපයකි. ජලාශවල ඉවුරේ ගෝල්ඩන් කැනාස් නමැති විෂ පෙරහන් ශාඛ වර්ගය වැවිය හැකිය. ඒ වගේම Grass-Type Shoreline Plants ජලාශවල ඉවුරුවල වවන්නට හැකි තෘණ පවුලේ පැළෑටි වර්ගය. තව වස විස පෙරහන් කරන පැළෑටි වර්ග බොහෝ ප්‍රමාණයක් තිබේ.
කංසා පැළෑටිය මේ විස පෙරහන් කරන කටයුත්තට ඉතාම සුවිශේෂි පැළෑටියකි. අවශ්‍ය නම් මත්කාරක ගුණය ඉතාම අඩු කංසා ප්‍රභේද තෝරාගෙන වගා කරන්නත් හැකිය. හරියට කළමනාකරණය කර ගතහොත් වස විස මාරයාගෙන් අපව ගලවාගන්නා අනාගත පරම්පරාවේ දිව්‍යමය ශාකය කංසා වෙන්නටත් බැරි නැත.