
වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමැතිවරුන් 08 දෙනකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් අගෝස්තු 20 වැනිදාය. ඒ එදින වන විටද නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ. හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් 2018/19 වර්ෂයට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කර නැති බව පවසමිනි.
වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතිය යටතේ සුදුසු පරිදි නඩු පැවරීමේ බලය ලත් ආයතනය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. පසුගිය කාලයේ මේ ආයතනයට පැවරුණේ සුළු-පටු රාජකාරි ගොන්නක් නොවේ. 2015දී බලයට පත් ආණ්ඩුවට ඇවැසි වූයේ අල්ලස හා දූෂණයට විරුද්ධව සටන් කරන්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකොල්ලකෑම් රටට හෙළිදරවු කරන්නය. එහෙත් එය ඉටු කළ යුතු වූයේ නීත්‍යනුකූල දීර්ඝ ක්‍රියාවලියක් ඔස්සේ වූ බැවින් ඒ අපේක්ෂා කළ පරිදි මේ අරමුණ කරා යා නොහැකි විය. ඒ අතර මෙය කරන්නා වූ ක්‍රමවේදය කුමක්ද යන්න බොහෝ දෙනකු දැන සිටියේ නැති බැවින් ‘කෝ අල්ලපු හොරු...!‘ යනුවෙන් ඇතැමෙක් අසන්න වූහ.
හොරුන් අල්ලන්නද, අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන්නද රටක ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතුය. 1994න් පසු අල්ලස් සම්බන්ධ නීති හෝ වත්කම් බැරකම් නීති හෝ කාලයට ගැළපෙන පරිදි සංශෝධනය වූයේ නැත. මේ වන විට කාලය, හොරකමේ ප්‍රමාණය, වටිනාකම වෙනස් වුවද මේ සම්බන්ධයෙන් හොරු ඇල්ලීමට ඇති නීතිය වසර 25කටත් වඩා පැරැණිය. බොහෝ දෙනකු අල්ලස නැති කරන්නට කතා කළද එය ක්‍රියාත්මක කිරීමේ අඩු-පාඩු හෝ වෙනස් කළ යුතු තැන් කතා කළේ නැත. ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී පැවැත්වූ දූෂණ විරෝධි පනතට රටවල් 180ක් සමඟ ශ්‍රී ලංකාවද අත්සන් කළත්, මේ පනතින් අපේක්ෂා කළ නිසි දූෂණ විරෝධි මාර්ගයට ලංකාව ප්‍රවිෂ්ට වූයේ නැත. එහෙත් වර්තමානයේ එහි අධ්යක්ෂ ජනරාල් වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ පැමිණීමෙන් පසු ඔහු සතු හසළ දැනුමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ සූදානමකට ප්‍රවිෂ්ට වන්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හැකි විය.
විවිධ සංවිධාන හරහා අල්ලස, දූෂණය හා වංචාවන් හෙළිදරවු කර මාධ්‍ය ඉදිරියේ සන්දර්ශන පැවැත්වීම පහසුය. එහෙත් මේ සියල්ලේ බරපතළ වැඩ කොටස පැවරී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටය. එහෙත් උකුසු ඇසින් කළ යුතු වන හොරුන් ඇල්ලීමේ, ඇසින් දුටු සාක්ෂි නැති වංචා අනාවරණය කිරීමේ මේ කාර්ය කරන්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතු ශක්‍යතාව ගැන බලධාරීන් කතා කළේ නැත. තවමත් මේ ආයතනය කටයුතු කරන්නේ දත් තිස්දෙකට මැදි වූ දිව මෙන් බොහෝ බාධක මධ්‍යයේ, සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
“වත්කම් නඩුවක් ගෙන යන්න නම් ඉතා දක්ෂ නීතිඥයන් සිටිය යුතුයි. ඒ වගේම මේවායේ ඇසින් දුටු සාක්ෂි නැති නිසා ඒවා විමර්ශනයට දක්ෂ විමර්ශකයන් සිටිය යුතුයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මේ කටයුතු සියල්ල කරන්න ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තවෙන් අතමාරුවට ගත් නිලධාරීන් 200ක් විතරයි. මේ 200න් පමණක් මේ කටයුතු කරන්න අපහසු නිසා අපි අදාළ තැන්වලට ලියුම් ලියලා අලුතින් තනතුරු 200ක් ඇති කළා. ඒ තනතුරු 200ට විවිධ ක්ෂේත්රවලින් උපාධිධාරී ඉල්ලුම්පත් 10,000ක් විතර ලැබුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වුණත්, මේ සඳහා නිර්ණායක සකස් කිරීමට පමණක් නොව, අපට අවශ්‍ය විමර්ශකයන් තීරණය කිරීමේ බලයවත් අපට ලැබී නැහැ. මේ අය තෝරන්නේත්, මේ නිර්ණායක සකස් කරන්නේත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්. මෙහෙම දෙයක් ලෝකේ කොහේවත් නැහැ...
“මේ විමර්ශකයන් තේරීමේ කටයුතු ලෙහෙසියෙන් කරන්න බැහැ. විමර්ශකයන් තේරීම කරන අය ඊට වඩා දක්ෂ විය යුතුයි. එහෙත් මේ අය තේරීමේදී විභාග කොමසාරිස්වරයා විසින් විභාගයක් පැවැත්වුවා. විභාගය පවත්වා කාලයක් ගිය පසු අපට නම් 400ක් තෝරා දුන්නා. පසුව මේ අයගේ විමර්ශන හැකියාව සොයන්න අප ලිඛිත පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුවා. එයින් අප 200 දෙනකු තෝරාගත්තා, මේ අල්ලස් හා වත්කම් නඩු ඉදිරියට කර ගෙන යෑමට. ඒත් තාමත් මේ තෝරාගත් 200 දෙනා බඳවාගෙන නැහැ. රාජ්‍ය බුද්ධි සේවය විසින් මේ අයගේ බුද්ධි තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසුවයි ඔවුන් බඳවාගත හැකි වන්නේ. ඒ වගේම මේ අයගේ පුහුණු කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයට මුදල් නැහැලු. ඒ නිසා රටේ අල්ලස් දූෂණ නැති කරන්න නම්, පළමුව මේ අඩුපාඩු සම්පූර්ණ විය යුතුයි...“
ඒ අධ්යක්ෂ ජනරාල් වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතායි.
වාර්තා වන අන්දමට අල්ලස් හෝ දූෂණ නැති කිරීමේ ක්‍රියාවලියට දායක වී ඇත්තේ නීතිඥයන් 27 දෙනකු පමණි. ඒ මිලියන 27ක ජනතාවගේ ප්‍රශ්න විසඳන්නය! එයින්ද 23ක්ම කාන්තාවෝය. එපමණක් නොව, මේ අයට ආයතනයෙන් බැහැරට ගොස් රාජකාරි කිරීමේදී දිනකට ගෙවන්නේ රු.1000ක් වැනි සුළු මුදලකි!
මේ හා සමානව බලන විට අල්ලස් නීතියද යල්පැන ගිය එකකි. මෙය වර්තමානයට ගැළපෙන පරිදි සකස් විය යුතුව ඇත. අල්ලස් නඩු විභාග කරන්න නම් මේ වෙනස් වීමද අවශ්‍යය. මේ වන විට අල්ලස් නීති කාලයට ගැළපෙන සේ සකස් කිරීමේ කටයුතු ඒ දෙපාර්තමේන්තුව විසින් අරඹා ඇත.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඒ පිළිබඳ පළ කළේ මෙවන් අදහසකි:
“අල්ලස් හා වත්කම් නඩු විභාග කටයුතු විධිමත් කරන්න නම් අල්ලස් නීති සංශෝධනය විය යුතුයි. මේ කටයුතු අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. සියලු අල්ලස් හා වත්කම් නීති සංගෘහීත නීති පද්ධතියක් අප ගෙන එනවා. මෙයට තිබුණු අල්ලස් නීති පමණක් නොව, අල්ලස් සම්බන්ධ නව නීති වගන්ති කිහිපයක්ද එයට ඇතුළත් කර තිබෙනවා. ඒ අලුතින් හඳුනාගත් වැරදි කිහිපයක් සම්බන්ධවයි. මෙහිදී බැඳියාවන් අතර ඇති වන ගැටුම් පිළිබඳ වැරදි සම්බන්ධයෙන් හඳුන්වා දෙන නව නීති, පෞද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධ නීති, විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීම සම්බන්ධ නීති, රාජ්‍ය ආයතන තුළ සිදු වන විවිධ දේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අය ආරක්ෂා කිරීම හා මුක්තිය සැලසීමේ නීති, අල්ලස් පනතට අනුව සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීති, යම් යම් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බලතල දීම් හා අල්ලස් කොමිසමේ විධාන බැහැර කිරීම අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමේ නීති ආදි නව නීති ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් කොමිෂන් සභා පනතත් සංශෝධනය කරමින් යනවා. ඒ වගේම අල්ලස් ගැන කතා කිරීමේදී නිවාරණ කටයුතු අතිශය වැදගත් නිසා නිවාරණ බලයත් මේ යටතට ගෙනෙන අතර, ඉදිරියේදී නිවාරණ ඒකකයක්ද ස්ථාපිත කරනවා. මේ පිළිබඳ පළමුවන හා දෙවැනි කෙටුම්පත් පසුගිය මාසයේ දූෂණ විරෝධි ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළා.“
අල්ලස පමණක් නොව, වත්කම් දූෂණ නැති කිරීමේ භාරධුර කර්තව්යයේද නියැළී සිටින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද නව ක්‍රමවේදයක් හඳුන්වා දිමට සැරසෙයි. මේ අනුව ඉදිරි වසරේ සිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම් සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමටද කොමිසම බලපොරොත්තු වෙයි.
“ලබන වසරේ සිට රජයේ සියලු නිලධාරීගේ මෙන්ම මැති-ඇමැතිවරුන්ගේත් වත්කම් ප්‍රකාශ ඔන්ලයින් ක්‍රමයට අල්ලස් කොමිසමට එවිය යුතුයි. ඒ කටයුතු සඳහා වෙනම ඒකකයක් අප පිහිටුවා තිබෙනවා වගේම මේ සඳහා වෙනම මෘදුකාංගයකුත් සකස් කර තිබෙනවා. යම් අයකුගේ වත්කම් ප්‍රකාශ වැරදි නම් හෝ අඩු-පාඩු සහිත නම් හෝ ස්වයංක්‍රියව මෙමඟින් රතු සංඥාවක් නිකුත් කෙරෙනවා. මේ අවස්ථාවේ අපට හැකියාව තිබෙනවා අදාළ අංශ සමඟ සම්බන්ධ වී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් කරන්න. එහිදී යමකු වැරදි තොරතුරු හෝ නොගැළපෙන තොරතුරු දී ඇතැයි අනාවරණය වුව හොත් විමර්ශනයක් කිරීමට හැකි වනවා. මේ අනුව සැම රජ්‍ය සේවකයකුම සිය වත්කම් ප්‍රකාශ ඔන්ලයින් ක්‍රමයට ජූනි 30 දාට පෙර අල්ලස් කොමිසමට ලැබෙන්නට සැලැස්විය යුතුයි. මේ තොරතුරු එවන්න ප්‍රමාද වන අයගෙන් මුල් මාසය තුළ දිනකට සිය වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් දඩයක් වශයෙන් අය කර ගන්නවා. දෙවැනි මාසයත් ප්‍රමාද කළොත් මාස 6ක වැටුප දඩයක් වශයෙන් අය කරගන්නවා. තුන්වැනි මාසයේත් මඟහැරියොත් නඩු මාර්ගයට යැවීමට කටයුතු කරනවා. එහිදී දඩය වශයෙන් වසරක වැටුප හෝ සිර දඬුවමක් නියම වනවා. එසේම හෙළිදරවු නොවූ වත්කම් සියල්ල රාජ සන්නකද වනවා...“
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවැසුවේ මේ ගැටලු සමනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවය.
සංඛ්‍යා ලේඛන කවර සෞභාග්‍යයක් පැවසුවද තවමත් දුක්මහන්සියෙන් එදාවේල හරිහම්බ කරමින් දිවිපෙවෙත ගටගසාගන්නා බහුතරයක් වෙසෙන අප රටේ අහිංසක ජනතාව රජයෙන් ලොකු ලොකු දේ බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන්ට දුක: තමා රුපියල් එක සියයක් කඹුරන්නට අවුවේ වැස්සේ දුක් විඳිද්දී, සැප පුටුවකට වී හොර ලියවිල්ලකට එක අස්සනක් ගසා මොහොතකින් රුපියල් කෝටි ගණනක් උපයන මැති-ඇමැතීන්, රාජ්‍ය නිලධාරීන් ගැන අසන්නට දකින්න ලැබෙන විටදීය. අප නිවා-ලිය යුත්තේ සාපයක් වී වා තලයට මුසු වන ඒ අහිංසකයන්ගේ වේදනාවය. මේ හොර පාරේ යන්නේ රටට හිමි විය යුතු ජාතික ධනය වන බැවිනි.