
ශ්‍රී ලාංකික විචිත්රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී මේ 21 සිට 27 දක්වා පැවැත්වෙයි. ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය ප්‍රදර්ශනය සංවිධානය කරයි.
දේශීයත්වය ලෝකයට....
වසර 2500කට වඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව පෞඪ ඉතිහාසයක් මෙන් ම සුවිශේෂී ස්වභාව සෞන්දර්යක් සහිත දිවයිනකි. එකී දිවයිනේ සුන්දරත්වය මෙවර ප්‍රදර්ශනයෙන් ලොවට ප්‍රදර්ශනය කරයි.
ශ්‍රී ලංකාවට අවේණික සුවිශේෂී සත්ත්ව හා ශාක රැසක් ඇති තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය, දියලුම, දුන්හිඳ වැනි මනස්කාන්ත දියඇලි, උඩවලව, යාල වැනි සුන්දර අභයභූමි, සුන්දර මධ්‍යම කඳුකරය, අලංකාරවත් තේ වතු, මන්දාරම් නුවර වැනි කදු නිම්න තැනිතලාවලින් සමන්විත, මහවැලි, කළු වලවේ යන මහා ගංගාවන්ගෙන් පෝෂිත කෙත් යායෙන් පිරි පරිසරය, මහා රජ දරුවන් ඉදි කළ අභය වැව, තෝපාවැව, කලාවැව යන වාරි සංස්කෘතියෙන් ආඪ්‍ය වූ කෘෂිකර්මාන්තය, හික්කඩුව, ආරුගම්බේ, නිලාවේලි, මාබල් බීච් වැනි අති සුන්දර රමණීය වෙරළ තීර ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන මනස්කාන්ත දිවයින බවට සාක්ෂි සපයයි. එවන් සුන්දරත්වය සහිත දිවයිනක තෙවැනි ඇසක සටහන් එම ඡායාරූප ප්‍රදර්ශනය මඟින් ඔබ සමීපයට ගෙන එයි.
ඡායාරූප කලාවෙන් ලොව දිනුවෝ
ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීහු 06 දෙනෙක් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටිති. කේ.ජී.කීර්තිර්ත්න , යමුනී රශ්මිකා පෙරේරා ,රංජනී පෙරේරා, විකුම් සේනානායක, රෝහිත ගුණවර්ධන, කුමාර කරුණාරත්න යන විශිෂ්ට ඡායාරූප ශිල්පීන් එසේ සහභාගී වන අතර යමුනි රශ්මිකා පෙරේරා ,රංජනී පෙරේරා යන කාන්තා ඡායාරූප ශිල්පිනියන් දෙදෙනෙකු එක් වන්නේ ප්‍රථම වරටය.
මේ ඡායාරූප ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ වනජීවී, ස්වාභාවික සෞන්දර්ය, නාගරික සංවර්ධනය, සංස්කෘතික වටිනාකම්, කලාව, ආදී සංචාරක ආකර්ෂණය ඇති කරවන කෘති රැසක් ප්‍රදර්ශනයට එක් කර ඇත. එහි ප්‍රදර්ශනය කෙරෙන ඇතැම් කෘති අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී සම්මානයන්ට පාත්‍ර වූ නිර්මාණයි.
තෙවැනි ඇසක අත්දැකීම් හුවමාරුව
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන ඡායාරූප ශිල්පීන්ට අමතරව ඇමෙරිකාවේ සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසක් මේ ඡායාරූප ප්‍රදර්ශනය සඳහා එක්වීම ද සුවිශේෂී වෙයි.
දෙරටේ සිටින ඡායාරූප ශිල්පීන් සිය ක්ෂේත්රයේ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු ද එම ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබයි.
මෙම ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වන ලොස් ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකික අනන්‍යතාව කියාපාන ඡායාරූප රැසක් සහිත ප්‍රදර්ශනයක් ඉහළ මට්ටමින් පැවැත්වීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වන බවය. එමෙන් ම මෙවැනි ප්‍රදර්ශන මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ධනාත්මක සහයෝගයක් ලබාදීමට හැකිවන බව ද ඇය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය පෙරේරා එම කාර්ය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදෙයි. 2018 වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් ලොස් ඇන්ජලීස් නුවර සෙපුල්වෙදා වනජීවී කලාපයේදී පැවැත්වු කුරුල්ලන් නැරඹිම, චිත්‍ර ඇඳීම හා ජායාරූපකරණය වැඩමුළුවට සහභාගිවු දරුදැරියන්ට සහතික පත්‍ර ප්‍රදානයද එදින සිදු වේ.
ශ්‍රී ලංකාව පිළිබඳව ඇතැම් තැන වැරදි ප්‍රචාර වැරදි ප්රතිරූප ගොඩනැඟෙන අවධියක ශ්‍රී ලංකාවේ කීර්තිය කියාපෑමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් කීපදෙනෙකු මේ සඳහා දරන්නා වූ කැපවීම මෙහිදී අගය කළ යුතු වෙයි.
ඇමෙරිකාවේ සිටින අපේම ජනතාවට ද තම මවු රටේ සුන්දරත්වය දැකබලාගැනීමට මෙය කදිම අවස්ථාවක් වී තිබේ. එමෙන් ම එරට සිටින දරු පරම්පරාවට ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලාගැනීමට එමඟින් අවස්ථාවක් උදා වී තිබේ.