
අපේ රටේ පොලිතීන් භාවිතය තහනම් කළ යුතු බවට කතා බහ කරන්නේ අදක ඊයේක සිට නොවේ. ඒ වෙනුවෙන් බරපතළ නීති රීති සකසා පොලිතීන් භාවිතය ඉඳුරාම තහනම් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කළද ඒ සියල්ලම අබිබවා සෑම තැනකම පොලිතීන් භාවිත වෙයි.
පොලිතීන් භාවිතය තහනම් කොට ඒ වෙනුවට විවිධ ආදේශකයන් මේ ජන සමාජයට හුරු පුරුදු කිරීමට බොහෝ ආයතන මෙන්ම සංවිධාන දැඩි වෙහෙසක් ගන්නා ලද නමුත් ඒ සියල්ලම මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා විය.
යාපනය විශ්වවිද්‍යාලය පොලිතීන්වලින් තොර කලාපයක් බවට නම් කෙරෙන්නේ අපේ රටේ දකුණේ පොලිතීන් භාවිතය පිළිබඳ බොහෝ කතිකාවන් සිදු වෙමින් පවතින වකවානුවකදීය.
යාපනය විශ්වවිද්‍යාලය තුළ වෙනත් තීන්දු තීරණ ගැනීමට ගිය අවස්ථාවලදී ඒ තුළ මිනී මරාගන්නට ගියද මේ පොලිතීන් භාවිතය තහනම් කිරීමට ගත් තීරණයයේදී කිසිම ගැටලුවක් උද්ගත නොවීය.
අගෝස්තු මාසයේ පහළොස් වැනිදා සිට යාපනය විශ්වවිද්‍යාලය පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් බවට නම් කිරීමත් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම ආපන ශාලා තුළ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබිණි.
උදෑසනම ආහාර ගැනීමට ගිය සියලු දෙනාටම යාපනය විශ්ව විද්‍යාලයීය ආපන ශාලාවෙන් ලැබුණේ තඩිම තඩි නෙලුම් කොළයකි. සියලු ආහාර බෙදුණේ ඒ නෙලුම් කොළයටය. මීට පෙර ලන්ච් ෂීට්වලින් හා වෙනත් පොලිතීන්වලින් පිරුණු යාපනය විශ්ව විද්‍යාලයේ සෑම තැනකම දක්නට ලැබුණේ නෙලුම් කොළය.
අද අපේ රටේ දකුණේ සෑම තැනකම හතු පිපෙන්නාක් මෙන් ''නෙලුම් කොළේ බත් කඩ '' බිහි වූවද දෙමළ ජනතාවගේ සම්භවය සිදු වූ දා පටන් ඔවුන් බත් කෑවේත් අනෙක් කෑම අනුභව කළේත් මේ නෙලුම් කොළවලය. එසේත් නැති නම් කෙසෙල් කොළවලය.
ඉන්දීය බ්‍රාහ්මණයන්ගෙන් මේ සිරිත ඉන්දීය දෙමළ ජනතාවට සමීප වූයේ පිරිසුදුකම මුල් කරගෙනය. කෙනෙකු අනුභව කළ පිඟානක ආහාර අනුභව කිරීම බ්‍රාහ්මණයන්ගේ සිරිත නොවේ.
බ්‍රාහ්මණයන් එදා සෙම්බුවක හෝ කෙණ්ඩියක පමණක් දැමූ දිය පානය කළේද මේ පිරිසුදුකම ආරක්ෂා කරගැනීම පිණිසය. එසේ නැති අවස්ථාවලදී ඔවුහු දිය කඩිතිවලට ගොස් දෝතට ගත් ජලය පානය කළහ.
වරක් ඉන්දීයාවේ මහත්මා ගාන්ධිතුමා යුරෝපයේ සංචාරය කළ අවස්ථාවක ඔහුට භෝජන සංග්‍රහයක් ලබාදුන් රාජ්‍ය නායකයෙකුට ඔහු පවසා තිබුණේ අපේ රටේ ආහාර වේලෙන් වේලට පිඟාන මාරු කරන බවයි. භෝජන සංග්‍රහය අතරතුරදී ගාන්ධිතුමා ඒ බව ප්‍රකාශ කළත් යුරෝපීය රාජ්‍ය නායකයා ඔහුට ඒ බව නෑසුණාක් මෙන් සිට ඇත්තේ ඔහුට එය තේරුම් නොගිය බැවිනි.
පසු කලෙක ඒ යුරෝපීය රාජ්‍ය නායකයා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මහත්මා ගාන්ධි තුමා භෝජන සංග්‍රහයක් සූදානම් කළ අවස්ථාවේදී ඔහුට පිඟන් සපයා දුන්නද ගාන්ධි තුමා ආහාර අනුභව කොට ඇත්තේ කෙසෙල් කොළේය. ගාන්දි තුමා කතාව මතක් කොට දීමටත් පෙර යුරෝපීය නායකයා විමසා ඇත්තේ ''ඔබ තුමා එදා කී පිඟන් මාරු කිරීම මෙය දැයි '' යනුවෙන් පමණි.
මේසා විශාල දිගු ඉතිහාසයක් ඇති පොලිතීන් භාවිත නොකිරීමේ හින්දු ක්‍රමය ඔවුන් විසින් අතහැර පොලිතීන් භාවිතයට හුරු වූයේද ගෝලීයකරණය නිසාය. නමුත් එහි ආදීනව දිනෙන් දින දක්නට ලැබෙන විට යළිත් ඉපැරණි ක්‍රමයටම ඔවුන්ට පැමිණීමට සිදුව තිබේ.
යාපනය විශ්වවිද්‍යාලය මේ නව අරුතට මුහුණ දෙනු ලැබුවේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයත් සෙසු ශිෂ්‍ය සංගම් කීපයත් ගන්නා ලද තීරණවලට අනුවය.
මාසයක් වැනි කාලයක් තුළදී සියලු දෙනාම ඊට කැමති කරවා ගැනීමට හැකි වූ බව කියා සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එස්.ක්රිෂාන්තන්ය.
''මේ දේ කරන්න ඕනේ කියලා අදහසක් ආවේ අපේ විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු සංස්කෘතික උත්සවයකට පස්සේ දවසෙයි.
ඒ උත්සවේ අවසන් වෙලා උදේ බලනකොට මුළු පිට්ටනිය පුරාම තිබුණේ පොලිතීන් පිරිලා. ඒවා සුද්ද කරන්න වුණේ අපිටමයි. ඒ ශ්‍රමදානය කරන අතරතුරේ තමයි අපි කතා වුණේ යාපනය විශ්ව විද්‍යාලය පොලිතීන්වලින් තොර කලාපයක් කරන්න ඕනේ කියලා. මේකට ඔක්කොම වගේ කැමති වුණා. ඊට පස්සේ අපි ආචාර්යවරුන්ගේ සංගමය එක්කත් කතා කළා. ඒ අයත් පීඨාධිපතිවරයාත් අනෙක් සේරම අයත් කැමති වුණා.
මේ වැඩපිළිවෙළේදී වැඩියෙන්ම කැමති වුණේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසයි. මොකද ඒ අයට උදේට අතු ගාන්න ගියාම වැඩ ගොඩයි. හැම තැනම තියෙන්නේ පොලිතීන්... ඒවා ඉදල්වල පැටලෙනවා. අතු ගාන්න හරිම අමාරුයි.
අපි සේරම සංවිධානය වෙලා විශ්වවිද්‍යාලයේ ආපන ශාලා ඔක්කෝටම මේ ගැන කිව්වා. කිසිම තැනක අපි දැන්වීමක් දැම්මේ නෑ. ඔක්කොම කිව්වේ කටින් කට පණිවුඩ ක්‍රමයටයි. අපේ සහෝදර සහෝදරියන්ටත් කිව්වා කෑම ගෙදරින් ගේනකොට නැවත පොලිතීන්වල ගේන්න එපා කියලා.
ඉතින් මේ විදිහට තමයි මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුණේ. දැන් වැඩේ ඉතා සාර්ථකව ක්‍රියාත්ම වෙනවා. ඉතින් සතුටුයි අපිට පුළුවන් වුණා බුද්ධිමතුන් විදිහට ඉදිරි පරම්පරාවට යමක් කරලා තියන්න. ඊළඟ පරම්පරාවනුත් මේක තවත් සංවර්ධනය කරලා ඉදිරියට ගෙනියන්න ගත්තම ඉබේම පරිසරය ආරක්ෂා වෙනවා.’’
විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සමඟ ප්‍රවෘත්තියට අදාළ දේ කතා කරමින් එක් වරම යමක් මතක් වූවා සේ මෙසේ කීවේය.
''අපිට කලින් යාපනයේ කෝවිල් කීපයකම මේ පොලිතීන් තහනම ක්‍රියාත්මක කරනවා යැයි'' පැවසුවේය.
''ඒ කොහෙද?.” මම විමසුවෙමි. ඔහු කෝවිල් ගණනාවකම නම් වට්ටෝරුවක්ම කියා ගෙන ගියේය. ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව මම ක්‍රියාත්මක වුණෙමි.
යාපනයේ වඩමරච්චි නැඟෙනහිර ශ්‍රී සිත්ති විනයාගර් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් සත්‍යවේල් කුමාරස්වාමීගේ දුරකතන අංකයට මම ඇමතුමක් ලබා ගත්තෙමි. දුරකතනයට කුරුක්කල්වරයා පිළිතුරු දුන්නත් ඔහු සිටියේ මහා කංකරච්චලයක් ඇති තැනකය.
''අපි මේ කෝවිල් උත්සවවල පොලිතීන් පාවිච්චි කරන්න එපා කියලා කරත්තවලින් ලොකූ පෙළපාළියක් යනවා . පස්සේ මට කතා කරන්න ''යනුවෙන් පවසා ඔහු දුරකතනය විසන්ධි කළත් ඒ චිත්‍රය මම මගේ මනසේ මවා ගන්නට උත්සහ කළෙමි.
කෙසේ වෙතත් රාත්‍රී අටට පමණ කුරුක්කල්වරයාට කතා කළ විට ඔහු මා සමග කතා කළේ ඔහුගෙන් වරදක් සිදුවූ ආකාරයේ පශ්චාත්තාපයෙනි..
''මේ අපේ කෝවිල්වල උත්සව කාලේ ඇවිල්ලා. ඉස්සර මේ කෝවිල් උත්සව වලට සියලුම සැරසිලි කළේ පොල් කොළ තල් කොළ මඩු අතු මල් පොකුරු විවිධ කොළ වර්ග හා ලණු වගේ දේවලිනුයි.
දැන් එහෙම නෑ. හැම ඒකටම අරන් එන්නේ පොලිතීන් රෝල් පිටින්. ඊට පස්සේ එවගේ ලස්සනක් තිබ්බට ගරු ගාම්භීරකමක් නෑ. ඒ ඔක්කොටම වඩා දැන් මුළු ලෝකෙම අය කියනවනේ මේ පොලිතීන් පරිසරයට අහිතකරයි කියලා. ඒක නිසා අපිත් තීරණය කළා මේ කෝවිල් උත්සවවලට මොනම හේතුවක් නිසාවත් පොලිතීන් ගේන්න එපා කියලා මිනිස්සුන්ට කියන්න.
මේ පණිවුඩේ අපි මිනිස්සුන්ට කිව්වේ කරත්ත පෝලිමක ගිහිල්ලයි. පරිසරය දුෂණය වෙන නිසා අපි ලව්ඩ්ස්පීකර් බැන්දෙත් නෑ. කරත්ත පෝලිම ගෙවල් ළඟ නතර කරලා මිනිස්සු ආවම අපි කටින් පණිවුඩේ කිව්වා. තෙරුම් කරලත් දුන්නා.
අපේ කෝවිලේ උත්සවේ තියෙන්නේ අගෝස්තු මාසේ අගදී. ඒක නිසා අපි මේ කාලයේ කරන්නේ මිනිස්සුන්ව දැනුවත් කරන එකයි. මේ තීරණය ගත්තේ යාපනයේ එක කෝවිලක් නෙමෙයි. කෝවිල් ගණනාවකම උදවිය මේ තීරණයට එකඟ වුණා.
අපි උත්සහ කරනවා පුළුවන් තරම් ලවුඩ්ස්පීකර් භාවිතා නොකර ඉන්නත්. කෝවිල්වල මෝලම් (විශේෂ බෙර) නාද ස්වරම් (කෝවිල්වල පිඹින නලා විශේෂයකි) මැදට ලවුඩ්ස්පීකර් සද්දෙත් ආවහම මිනිස්සුන්ට එපා වෙනවා.
මිනිස්සු පරිසරයට ආසා කරනවා වගේම දෙවියොත් පරිසරයට ආදරේ කරනවා කියලා අපේ ලොකූ විශ්වාසයක් තියනවා. ඉර හඳ අව්ව වැස්ස ගස් ගල් පර්වත ලෝකයට එක් කළේ මැව්වේ දෙවියන් කියලා හින්දූන් විශ්වාස කරනවා. ඒක නිසාමයි අපි ගොඩාක් පූජාවල් සූර්යා මුල් කරගෙන පවත් වන්නේ. සූර්යා තමයි මේ ලෝකෙට හැම දේම බිහි කරන්නේ. ඒ හැම දේම පවත්වා ගෙන යන්නේත් සූර්යාමයි. මේ සූර්යාටම ඒ හැම දෙයක්ම විනාශ කරන්නත් ශක්තියක් තියනවා.
දෙවියන් කියන්නෙත් එහෙම කොටසක් කියලා දහමේ උගන්වනවා. දෙවියන් සතුටු වුණාම අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. දෙවියන් කෝප වුණාම නරක ප්‍රතිඵල වගේම ඉතාම භයානක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. මේ නිසා දෙවියන් වෙනුවෙන් කරන සියලු දේම පරිසරයට හිතකාමීව කරගෙන යන්නයි අපි තීරණය කරලා තියෙන්නේ.
බලමු අපි දැන් අවුරුදු ගාණක්ම පොලිතීන් භාවිතා කළානේ. එව්වා භාවිතා නොකරත් මේ කෝවිල් මංගල්ල කරලා බලන්න වටිනවා. මොකද ඉස්සර මේ පොලිතීන් තිබ්බේ නැහැ. අපූරුවට කෝවිල් මංගල්ල කළා. දෙවියන්ගේ පිහිටත් එදා මිනිස්සුන්ට හොඳට ලැබුණා.
දැන් මිනිස්සු කියන්නේ දෙවියෝ නැහැ. දෙවියන්ගෙන් පිහිටක් නෑ කියලයි. අපි ආයෙත් පැරණි විදිහටම වතාවත් සැරසිලි කරලා උත්සහ කරන්නට ඕනේ දෙවියන්ගෙන් අපිට නැති වුණු පිහිට ලබා ගන්න.''
අප කතා කළ කුරුක්කල්වරයාට අයත් කෝවිලේ වාර්ෂික මංගල්ලය තවමත් පවත්වා නැති නිසා මේ දිනවල වාර්ෂික මංගල්ල පැවැත්වෙන කෝවිලක් සෙවීමට අප උත්සාහ කළේ ඔවුන් කටයුතු කරන්නේ කුමන ආකාරයකින්දැයි දැන ගැනීම පිණිසය.
යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය මේ දිනවල පැවැත්වුණද එහි කිසිම වගකිව යුතු කුරුක්කල්වරයෙකු සමඟ කතා කිරීමට නොහැකිය. ඔවුන් ඒ තරමටම කාර්ය බහුලය.
නමුත් යාපනයේ චුන්නාකම් පළාතේ පිහිටි කන්නගි අම්මාන් කෝවිලේ කුරුක්කල් පොන්නයියා ඥානප්‍රගාසම් කුරුක්කල්වරයා සමඟ කතා කිරීමට අවස්ථාව ලැබිණි.
කෝවිලේ සරසිලි ඇතුළු සියලු දේ වඩමරච්චි කෝවිලේ කුරුක්කල්වරයා කී ආකාරයටම චුන්නාකම් කෝවිල විසින්ද පිළිපැද තිබිණි. එහි වෙනසක් වශයෙන් අපට දැකගැනීමට ලැබුණේ යාපනය විශ්ව විද්‍යාලයේ පොලිතීන් තහනම නිසා සිදු වී ඇති හොඳ විපර්යාසය මෙන් වූ වෙනසකි.
''කෝවිලේ මංගල්ලයේදී විවිධ වර්ගයේ කෑම බීම ලබාදෙනවා. එළකිරි බොන්න දෙනවා. ඒ දෙවියන්ට පූජා කළාට පස්සෙයි. ඒ වගේම දෙවියන්ට පලතුරු පූජා කරලා ඒවත් කන්න දෙනවා. කිරිබත් දෙනවා. දවල්ට අන්නා දානය (දෙවියන් වෙනුවෙන් කෑමට දෙන දානය) දෙනවා.
මේ හැම දේම ඉස්සර කාලේ දුන්නේ තල්කොළ පොල් කොළවලින් වියපු වට්ටිවලට උඩින් නෙලුම් කොළයක් හරි කෙසෙල් කොළයක් හරි දාලයි. ඒත් මේ මෑතක සිට ඒ හැම දේම දෙන්නේ පොලිතීන් ලන්ච් ෂීට්වලයි.
කෝවිල්වල පොලිතීන් තහනම් කරන්න ඕනේ කියලා කෝවිල් සංගම් තීරණය කළාට පස්සේ අපි මේ සැරේ පළමු වෙනි වතාවට අන්නා දානය දෙන්නේ කෙසෙල් පරඬැවලින් හදපු විශේෂ පිඟන් වලයි. ඒ පිඟාන කෑම කාලා කුනුවලට දැම්මම සතියෙන් දිරලා පොළොවට පස් වෙලා යනවා.
පරිසරයට හිතකර මේ කෙසෙල් පරඬැල්වලින් හදන පිඟාන හදන්නෙත් යාපනයේමයි. ඉතින් මේකෙන් ඒ අයට කීයක් හරි අතට ලැබෙනවා. ඒ වගේම පරිසරයට කිසිම හානියකුත් නැහැ. අපේ කෝවිලේ විතරක් නෙමෙයි මේ අවුරුද්දේ ඉඳලා යාපනයේ ගොඩාක් කෝවිල්වල දානය දෙන්නේ කෙසෙල් පරඬැල් පිඟන් වලයි.
යාපනයේ නල්ලූර් කෝවිලෙත් මේ සැරේ කිරිබතුයි දානයයි දෙන්නේ කෙසෙල් කොළවලයි. මේ දවස්වල පෑවිල්ල දරුණු නිසා කෙසෙල් කොළ නෙලුම් කොළ හොයා ගන්න අමාරුයි. ඒක නිසා අපි මේ කෙසෙල් පරඬැල් පිඟාන තෝරා ගත්තා''
යාපනය විශ්වවිද්‍යාලයේ කැන්ටින්වල කෑම බෙදන්නේ නෙලුම් කොළයේය. යාපනයේ කෝවිල්වල කන්නට දෙන්නේ විශේෂ පිඟන්වලය. කෝවිල්වල උත්සවවලට පොලිතීන් නැත. ඉතාම කෙටි කාලයක් තුළ සියල්ල වෙනස් වෙමින් පවතී. ඒ වෙනස් වීම වෙනස් වී ඇත්තේ පරිසරයටත් රටටත් ලෝකයටත් ඉතාම හිතකර ආකාරයකටය.
මේ වෙනස් වීම සඳහා කවරෙකුගෙන් හෝ කිසිදු බලපෑමක් නැත. තම තමන්ගේ හිත්වලට හදවත්වලට අනාගතය පිළිබඳව දැනුණු විශාල අවදානමක් නිසා ඔවුන් මනසින්ම වෙනස් වී ඇත. එවැනි මිනිස්සු ඉතාම සුන්දර මිනිස්සු වෙති.