මා ලියන දේ කිසි විටෙක සංසන්දනය කරන්නේ නැහැ | සිළුමිණ

මා ලියන දේ කිසි විටෙක සංසන්දනය කරන්නේ නැහැ

සමන් අතාවුදහෙට්ටි නම් සොඳුරු මිනිසා ගේ " චාරිකා උමතුව" හේතුවෙන් සිංහල සාහිත්‍යයට එක් වූ චාරිකාලංකාර අතරට "සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” හා "සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ” එක් වූයේ පසුගියදා ය. සාහිත්‍ය, ඉතිහාසය, පුරාණෝක්ති, කලාව, දේශපාලනය, ලිංගිකත්වය ආදී සියල්ල ආවරණය කරමින් ලියැවුණ මේ කෘති ද්විත්වය පිළිබඳ

ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

 

පසුගිය දා ජනගත කළ ඔබේ නවතම කෘති දෙක චාරිකාලංකාරයේ නව ඉසව්. මේ අත්දැකීම් ගැන කතා කළොත්?

ජපානය පිළිබඳ ලියූ ‘සොඳුරු සැරිසර - රම්‍ය සාගරය දිගේ’ සහ ඉන්දියාව පිළිබඳ ලියූ ‘සොඳුරු සැරිසර - රතු බලකොටුව දිගේ’ කෘති දෙක තමයි පසුගිය දා එළි දැක්වුණේ. ඒ මගේ චාරිකාලංකාර කෘති මාලාවේ පස් වැනි සහ හය වැනි පොත් ලෙසයි.

මේ වන විට මම චීනය, මැලේසියාව, ජපානය සහ ඉන්දියාව ගැන ලියා තිබෙනවා. මේ කෘති මාලාවේ පළවැනි පොත 2011 වසරේ දී ‘සොඳුරු සැරිසර - හනමිචිය දිගේ’ ලෙස ප්‍රකාශයට පත් වුණා. එහි ලියැවුණේ ජපානය පිළිබඳවයි. 2012 වසරේ දී චීනය පිළිබඳ ව ලියූ ‘සොඳුරු සැරිසර - සේද මාවත දිගේ’ ලෙස දෙවැනි පොත පළ කෙරුණා. මැලේසියාව පිළිබඳ ‘සොඳුරු සැරිසර - සරවක් නදිය දිගේ’ 2013 වසරේදීත් ඉන්පදුව ටිබෙටය කේන්ද්‍රකර ගනිමින් ‘සොඳුරු සැරිසර - සක්වළ පියස දිගේ’ කෘතියත් පළ කළා.

 

ඒ කෘති ජනගත කිරීමේ අවස්ථාව මෙරට පාඨකයන්ට වෙනස් අත්දැකීමක් එක් කළා. වෙනම චාරිකා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ද ඔබ එසේ කරන්නේ?

ඔව්. මගේ සෑම කෘතියක් ජනගත කරද්දි ම වෙනස් අත්දැකීමක් ලබා දීමට මම උත්සාහ කරනවා. මෙවරත් ගත්තේ එවන් උත්සාහයක්. බොහෝ වෙලාවට කරන්නේ කථිකයෝ කිහිප දෙනෙක් දේශන පවත්වන එක හෝ ඔවුන් ගේ අදහස් දක්වන එක. ඒ රටාවෙන් මිදෙන්න ඕන බව හිතලා සංවාද මණ්ඩපයක් පදනම් කර ගෙන ඒ වෙනස සිදු කළා. ඒ ගැන ඊට සම්බන්ධ වූ අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙමින් පවතිනවා.

 

ලංකාව ලස්සන රටක් වුණත් එහි සුන්දරත්වය විඳින්නන් අඩුයි. ඒ දැකීමේ බැලීමේ කලාව අපේ පාඨකයන්ට පුරුදු කරන්න ඔබ උත්සාහ දරනවද කියලත් හිතෙනවා?

මම පුංචි කාලයේ සිටම ඇවිදින්න කැමතියි. ඒ ආසාව නිසා අවස්ථාවක් ලැබුණ ගමන් රට ඇතුළෙ හරි, රටින් පිට හරි ඇවිදින එක තමයි කළේ. ඒ ඇවිදිල්ල ඇවිදිල්ලට විතරක් සීමා වුණේ නැහැ. මගේ පුරුද්දක් තිබුණා, ඒ ඇවිදිල්ලේ දී සංචාරකයකු විදියටම නැතුව ඉන් එහා ගිහින් කරුණු සොයන එක. සාමාන්‍යයෙන් තැනකට ගියාම වෙන කෙනෙක් පැයෙන් බලා ගන්න දේවල් වලට මට දවසක් යනවා. මොකද මම එතැන ඊට වැඩිය හදාරනවා. එහෙම හැදෑරුවේ මගේ තියෙන ආසාව නිසා. එතැනින් එහාට මම පොත පත ගවේෂණය කරනවා; කරුණු එකතු කරනවා; සමහර ස්ථාන වල පැරණි කෞතුකාගාර, ලේඛනාගාර වලට ගිහින් තොරතුරු එකතු කරගන්නවා. නමුත් ඒවා ලියන්න අදහසක් තිබුණේ නැහැ.

පසුකාලීනව එක්තරා අහඹු සිදුවීමක දී ජාතික පුවත්පතක කතුවරයෙක් කිව්වා " ඇයි ඔයා මේ දේවල් ලියන්නේ නැත්තේ, මේවා ලියන්න " කියලා. ඉන්පසුව තමයි පත්තරේක කොලමක් විදියට ලියන්න පටන් ගත්තේ. මේ කොලම එක දිගට පළ වුණා. පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය වුණා. ඒ අතර ප්‍රේම් දිසානායක මහතා යෝජනා කළා අපි මේ ටික එකතු කරලා පොතකට ගනිමු කියලා.

ඉන්පසුව කොලම නැවතුණා. පළමු පොත පළ වුණා ‘සොඳුරු සැරිසර - හනමිචිය දිගේ’ නමින් 2011 වසරේ දී. ඒ වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි වුණා. එයින් මා තවදුරටත් උනන්දු වුණා. ඉන්පසුවත් ප්‍රේම් දිසානායක මහතා ගේ අදහසත් අනුව සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවක් ලෙස ඉදිරියට කර ගෙන ආවා. ඒ අනුව හය වෙනි පොතත් ජනගත කර තිබෙනවා.

 

මෙවන් සංචාරක, ගවේෂණාත්මක කෘති සිංහල සාහිත්‍යයේ අඩු ඇයි?

මූලික වශයෙන් මෙය සාහිත්‍යයක් ලෙස වර්ධනය වුණේ නැහැ. අනෙක් එක තමයි මෙය අසීරු කාර්යයක්. අතීතය ගත්තොත් අපි තැනකට ගිහින් තොරතුරු සොයා ‍ගෙන ඇවිල්ලා ලියනවා කියන එක ඉතා වෙහෙසකර වගේම විශාල කැපකිරීමක් කළ යුතු කාර්යයක්. ඒ වගේම මූල්‍ය ශක්තිය තිබිය යුතුයි.

වර්තමානය ගත්තොත් තාක්ෂණය දියුණු නිසා අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න, පින්තූර බලන්න, වීඩියෝ බලන්න, වර්චුවල් ටුවර්ස් යන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි පොතක් ලියද්දි කොහොමද අපි ඒ අභියෝගයට මුහුණ දෙන්නේ. ඕන කෙනෙකුට යන්න පුළුවන් තැනක් අපි කොහොමද ඊට වඩා වෙනස් විදියට ඉදිරිපත් කරන්නේ? ඒ නිසා ඒ සඳහා හැදෑරීම් ගණනාවක් කළ යුතු වෙනවා.

මටත් මේ පොත් කරන්න අවකාශ සැලසෙන්නේ බොහෝ රටවල ඉන්න මගේ හිත මිතුරන්, විවිධ සංවිධාන වලින් උදව් කිරීම නිසයි. එහෙම නැත්නම් මූල්‍යමය පැත්තෙන් වගේම සෑම පැත්තකින් ම මේ බර දරන්න අමාරුයි. පැයකින් බලන්න පුළුවන් දෙයක් දවසක් ගත කරලා බලද්දි ශාරීරිකව ගත්තත් වෙහෙසකරයි නේ. ඒ වගේම මුදල් වියදම් වෙනවා. ඒ සියලු දේවල් පුද්ගලයෙක් ලෙස දර ගන්න අමාරුයි.

ඒ වගේම අපේ රටේ තියෙන පාඨක සමාජය. ඉන්දියාව වැනි රටක විශාල, පුළුල් පාඨක සමාජයක් තිබෙනවා; ලංකාවේ එහෙම නැහැ. ඒ ප්‍රශ්නයත් තිබෙනවා. එතකොට පොත ජනප්‍රිය වුණාට අංක ගණනින් ගතහොත් එය විකිණී ඇත්තේ පොඩි ගණනක්. ඒ නිසා පොතෙන් ලබන ආදායමෙන් මේ දේ කරන්න පුළුවන් කියන එක කවදාවත් ප්‍රායෝගික නැහැ.ඉන්දියාව පිළිබඳ පොත වසර 20-25ක ලැබූ අත්දැකීම් එකතු කරලා තමයි ලියන්නේ. ඒ සඳහා විශාල කාලයකුත් ගත වෙනවා.

පෙර කිව්වා වගේ ම‍ගේ සංචාරක උමතුව හඳුන ගත් මගේ හිත මිතුරන් හා සංවිධාන උදව් කළ නිසා තමයි මේ කටයුත්ත මට කරන්න පුළුවන් වුණේ.

 

සාහිත්‍යය, ඉතිහාසය, පුරාණෝක්ති, කලාව, දේශපාලනය, ලිංගිකත්වය ආදී සියල්ල ආවරණය කරමින් මේ කෘති ඉදිරිපත් කිරීම චාරිකා සටහනක් ලියනවාට වඩා අභියෝගයක් නේද?

ඇත්තටම ඔව්. එය තමයි වර්තමානයේ සංචාරක ලේඛකයන්ට තිබෙන අභියෝගය. පහසුවෙන්ම තොරතුරු ලබා ගත හැකි තාක්ෂණික යුගයක කොහොමද මේ ලේඛනයේ විශේෂයක් කරන්නේ කියන එක අභියෝගයක්. ඒ අභියෝගය අපි ජය ගත්තොත් තමයි පාඨකයා ළඟට පොත ගෙන යන්න හැකි වන්නේ. එහෙම නොවුණහොත් අපි අසාර්ථක වෙනවා; මගේ පැත්තෙන් මම වෙහෙසෙනවා. වෙහෙසිලා ඒ කටයුත්ත කරනවා.

 

ඉහත කී තොරතුරු සියල්ල සංචාරක අත්දැකීමක් ලෙස සම්පිණ්ඩනය වූයේ කෙසේද?දත්ත විශාල ප්‍රමාණයක් හා අපමණ වින්දනයක් අකුරු කිරීමේ ගැටලුව ඔබ ඉදිරිය‍ේ.

මම කිව්වා වගේ වසර 20- 25ක අත්දැකීම් තුළින් තෝරා බේරා ගත් තොරතුරු තමයි පොතට ඇතුළත් වෙන්නේ. එහෙත් ඒ තුළ කිසිවක් මඟ හැරෙන්නත් බැහැ. ඒ වගේම ඒ තොරතුරු යාවත්කාලීන විය යුතුයි. සමහර ස්ථානයක් තිබිය හැකියි මම අවුරුදු 20කට කළින් ගිය තැනක්. පොත ලියන කොට සමහර විට මට නැවත එතැනට යන්න සිදු විය හැකියි. මොකද සියලු තොරතුරු තිබුණට ඒවා වෙනස් විය හැකියි. ඒවා නැවත නිරීක්ෂණය කළ යුතුයි. ඒ වෙනස්කම් වලට අනුකූලව ඒ ලියූ සටහන් අලුත් කරන්න වෙනවා. ඒ වගේම සංචාරක සටහන් නිර්මාණාත්මක විය යුතුයි. ඒ වගේ බොහෝ වෙහෙස කර කටයුත්තක් තමයි අත්දැකීම් සම්භාරයක් පිටු සිය ගණනකට ලඝු කිරීම කියන්නේ.

 

ලේඛකයන් කිහිප දෙනකු ලියූ සංචාරක සටහන් කියවා ඇතත් චාරිකාලංකාර සිංහල සාහිත්‍යට එකතු වන්නේ ඔබගෙන් බව කිව හොත්?

චාරිකාලංකාරය කියන වචනය කුලරත්න ආරියවංශයන් විසින් මගේ මුල් කෘතියක් සඳහා ලියූ ලිපියක ඇතුළත් වූ නිසා මේ අදහස පළ කරනවා ඇති. නමුත් මීට පෙර වගේම පසුත් මෙවන් චාරිකා සටහන් ලියවෙනවා. එහිදී මුලින්ම ලිව්වේ කවුද, හොඳට ලිව්වේ කවුද කියන දේ තීරණය කිරීම මගේ කාර්යය නෙවෙයි. තවත් කෙනෙක් ලිවූ දේ සමඟ මා ලියන දේ කිසි විටෙක මම සංසන්දනය කරන්නේ නැහැ.

මම එවන් පොත් කියවන්න ගොඩක් කැමතියි. සිළුමිණ පුවත්පතට මීමන ප්‍රේමතිලක, ධර්මසිරි ගමගේ ලියූ චාරිකා සටහන් මා කියවා තිබෙනවා. මාකො පෝලෝ, ඉබන් බතූතා, හියුං සියෑන්, ෆාහියන් වැනි විදෙස් ලේඛකයන් ගේ සංචාරක සටහනුත් මා කියවා තිබෙනවා. සින්බෑඩ්, රොබින්සන් කෲසෝ වැනි ප්‍රබන්ධ කෘතිනුත් මා කියවා තිබෙනවා. ඒ මා සංචාරයට දැක් වූ වැඩි කැමැත්ත නිසයි. ඒ අත්දැකීම් බෙදා ගැනීමට ඇති කැමැත්ත නිසා ඒවා ලිව්වා. මම නිරන්තරයෙන් උත්සාහ ගන්නේ පාඨකයාට නීරස නොවන ලෙස කරුණු ඉදිරිපත් කරන්න විතරයි.

 

චාරිකාලංකාර පිළිබඳ ව සිංහල පාඨකයාගේ රුචිකත්වය මොන වගේ ද?

මගේ ලිවීමට ඉල්ලුම තිබෙන නිසයි තව දුරටත් පොත් ලියවෙන්නේ. වයස් බේදයකින් තොරව ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

ඔබ පාඨක සමාජය ගැන කිව්වා. අපේ රටේ පොත් කියවීමේ අඩුවක් ගැන අදහසක්ද ඉන් කියවුණේ?

අපේ වෙළෙඳපොල අඩු වෙන්නේ පුංචි රටක් නිසා. අනිත් පැත්තෙන් අපේ පාඨක සමාජයත් එන්න එන්න ම පටු වෙමින් යනවා. ඩබ්ලිව්. ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ යුගයේ එක පොතක මුද්‍රණයක් පිටපත් 20,000ක් විතර. නමුත් අද සමහර මුද්‍රණ 250ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ පාඨක සමාජය අඩු වී තිබෙනවා. ඒ නිසා අපි මේ ගැන බැරෑරුම් ව හිතන්න අවශ්‍යයි. අපේ වෙළෙඳපොල පුංචියි තමයි. නමුත් එහිත් අපි පටු වෙමින් යනවා. එය පුළුල් කර ගන්නේ කොහොමද කියන එක පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා විය යුතුයි. විශේෂයෙන් දියුණු වන තාක්ෂණය ඇතුළත.

අප දන්නවා ජපානය, චීනය වැනි රටවල මුද්‍රණය වන පොත් වලට ඉල්ලුම තිබුණත් පොත් කියවීම බොහෝ විට සිදු වන්නේ නව තාක්ෂණයත් සමඟයි. අපිත් එතැනට නොගිහින් බැහැ. සාම්ප්‍රදායික පොත් කර්මාන්තය විතරක් නෙවෙයි, සාම්ප්‍රදායික මාධ්‍ය කර්මාන්තයටත් මේ අභියෝගය තිබෙනවා. ගුවන් විදුලියට, පුවත්පතට පවා මේ අභියෝගය තිබෙනවා. මම හිතන්නේ නැහැ ඒ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා කියලා. නැවතත් කියනවා නම් අපේ රටෙත් කියවීම සඳහා නව මාධ්‍ය භාවිත කළ යුතුයි.

 

මේ රටේ දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කියවන පිරිසකුත් සිටින බැවින් ඔබේ කෘති සිංහල භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත් වීම අසාධාරණ නැද්ද? අදහසක් නැද්ද මේ පොත් පරිවර්තනය කරන්න.

හොඳ පරිවර්තකයෙක් ඉන්නවා නම් ඇත්තට ම කැමැතියි ඒ කටයුත්ත කරන්න. මීට පෙරත් මේ අදහස ඇවිල්ලා අපි කිහිප වතාවක් ම අත්හදා බැලීම් කළා. පර්වර්තනය කියන්නේ වචන විතරක් නෙවෙයි; ඊට වැඩිය පුළුල් දෙයක්. මේ පොත් වල ආකෘතිය, අන්තර්ගතය, ශෛලිය, රස ආදි සියලු දේ නොනසා තමයි පරිවර්තනය විය යුත්තේ. බොහෝ වෙලාවට වචනයෙන් වචනය පරිවර්තනය කරනවා මිස එහි ගැඹුර පරිවර්තනය වන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් බොහොම කැමැත්තෙන් එය කරනවා. එය අපිට කියලා කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පොතට කෙනෙක් බැඳෙන්න ඕනෑ. බැඳුණොත් තමයි පරිවර්තනය කරන්න හිතෙන්නේ. ඒ වගේ මේ පොත් වලට බැඳුණ කෙනෙක් ඉදිරිපත් වුණොත් එය කරන්න පුළුවන්. තවම එහෙම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ.

 

කටහඬින් හදවත් දිනූ පුද්ගයකු වූ ඔබ; මේ වන විට ලේඛකයකු ලෙසත් හදවත් දිනා ගෙන අවසන්. මේ මාර්ග දෙකෙන් ඔබේ වඩා කැමැත්ත?

ඉස්සර ඉඳලම මම ලිව්වා. නමුත් වැඩි බර තිබුණේ විද්යුත් මාධ්‍යයට. පුංචි කාලේ මම මිහිර පත්තරේට ලිව්වා. ඉන්පසු රැකියාවක් ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වෙන කොටම ඊට සමාන්තරව දෙසතිය සඟරාවේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කළා. රූපවාහිනී වැඩසටහන් කළා. ඒ නිසා මේ මාධ්‍ය දෙකම මම සමාන්තරව ඉදිරියට ගෙන ගියා. පොත් ලියන ඒවා ඒ කාලෙත් කළා. ඒ තමයි මා කැමැති දේ. මා ලියන පොත් මිලට ගෙන බොහෝ දෙනා කියවනවා. ඒ සඳහා ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. බොහෝ දෙනා කතා කරලා විමසනවා. ලේඛකයකු විදියට සතුටු වෙන්න එය ප්‍රමාණවත්.

චීනය, ජපානය, ඉන්දියාව, මැලේසියාව හරහා සංචාරය කරන ඔබේ මීළඟ නැවතුම කොතැනද?

එහෙම අදහසක් නැහැ. යන්න අවස්ථාව ලැබෙන හැම තැනම ඉඩකඩ ලැබෙන විදියට යනවා. කරුණු එකතු කර ගෙනත් තිබෙනවා. යුරෝපීය රටවල් ගණනාවක කරුණු එකතු වෙලා තිබෙනවා. ඒත් පොතක් වෙන්න තරම් කරුණු මදි කියලා මම හිතන්නේ. අවස්ථාව ලැබෙන පරිදි හැදෑරීම් කරලා එනවා; හදිසියක් නැහැ. කාලය අරගෙන නිදහසේ මේ වගේ අත්දැකීම් බෙදා ගන්නවා.

 

ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ

Comments