ගොවියන්ගේ භෝගවලට වතුර නැතිව දින 5කට වඩා ඉන්න බෑ
මහවැලි එච් කලාපයේ කුඹුරුවලින් සියයට 70ක මේ කන්නයේ වගාව දුම්කොළ
ගොවියන්ගේ බීජ පැළ වී තවානෙම වැඩෙන තුරුත් ජලය නිකුත් කර නෑ
දින 10කට වරක් වතුර නිකුත් කරන්නේ දුම්කොළ වගාවට ප්‍රමාණවත් නිසා
අතීත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් යැපුණු පවුල් සංස්ථාවක් ගම තුළ ජීවත් වූ බව ඉතිහාසය විමසා බලන කෙනෙකුට හොඳින් පසක් කරගත හැකිය. ඒ පවුල් සංස්ථාව තුළ එකිනෙකා අතර සමඟිය, සංහිඳියාව, විනෝදය, කෑම බීම යන සියල්ල එකට සැබැඳි තිබුණු අවස්ථා එදා අපේ පවුල්වල මුල් පරම්පරාවේ සාමාජිකයන් අපට අනන්තවත් සිහිපත් කර ඇත. ඉපැරැණි රජ කාලේ ශ්‍රී ලංකාවේ ඉදි වූ සියලු වැව් අමුණු ආශ්‍රිතව ප්‍රධාන අරමුණ වූයේ ජලයෙන් කෘෂිකර්මාන්තය දියුණු කර රට ස්වයංපෝෂිත කිරීමය.
ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කර ඔවුන්ගේ භව භෝග ලංකාවේ ප්‍රචලිත කිරීමේ සිට අද දක්වා අපේ කෘෂිකර්මාන්ත අගාධයට වැටී ඇති බවට හේතුසාධක එමටය. කොහොම වුණත් මේ කියන්නට යන්නේ දේශීය කෘෂිකර්මාන්තය කරගැනීමට බැරිව දුක්විඳින ගැමියන් පිරිසකගේ කතාවකි.
1970 - 80 දශකවල බහුජාතික සමාගම් කූට ප්‍රචාරණ කටයුතු කරමින් අහිංසක ගැමියන්ගේ වගාබිම් තමන්ගේ හෙංචයියන් යටතේ විවිධ අල්ලස් ලබාදී දුම්කොළ වගාවට බලෙන් යොමු කරගෙන ඇත. ගලේවෙල ප්‍රදේශය අදටත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ දුම්කොළ වගාවටය. දුම්කොළ සමාගම පොහොර, වල්නාශක, කෘමිනාශක පමණක් ලබා දී අස්වැන්න සමාගමට ලැබෙන, ගොවියට සුළු මුදලක් අතට ලැබෙන පරිදිත් මේ වගාව ප්‍රචලිත කර තිබේ.
විවිධ ආණ්ඩු රටේ බලයට පත් වන විට කෘෂිකර්මාන්තය දියුණු කර ගොවියා රජ කරවන බව කීවත් ඒ කිසිම රජයකට විනාශකාරී දුම්කොළ වගාව ව්‍යාප්තිය වළක්වාගැනීමට හැකි වී නැත. කඩිනම් මහවැලි ව්‍යාපාරය මඟින් ගොවියන්ට මඩින් අක්කර 5ක් සහ ගොඩින් අක්කර 3ක් ලබාදුන්නද දුම්කොළ වගාවට තම ඉඩම් ලබානොදීමට එකල නිලධාරීන් මෙන්ම ගොවීහු ද වගබලා ගත්හ.
මහවැලි කලාප වැඩි වන විට ඊළග පරම්පරාවට ගොඩින් අක්කර දෙක හමාරක් සහ මඩින් අක්කර බාගයක් දෙන විට ඒ පසුපස දුම්කොළ සමාගම ලුහුබඳින බව එදා කිසිවකුත් දැන සිටියේ නැත. ඔවුන් ගොවීන්ගේ කුඹුරුවල යල කන්නය දුම්කොළ වගාවට පොලඹවා තමන්ගේ මඩිය තරකර ගත්තේ ද එම සමාගමේ ගම්වල නියෝජිතයන් මඟිනි. මේ කතාව ආරම්භ වන්නේ එතැන් සිටයි.
මහවැලි එච් කලාපය විහිදෙන්නේ කලාවැව - බලලුවැව ඒකාබද්ධ ජලාශයේ දකුණු ඉවුරු ඇළ ආරම්භයේ සිටය. එම ඇළ මාර්ගයේ එක් එක් ගම්මාන සඳහා කුඩා සොරොව් සාදා ඒ වෙනුවෙන් වෙනමම කෙත් ඇළ අංකයක් සහිතව වෙන් කර ඇත. බලලුවැව, නෙල්ලියගම, අවුකන, සිරිමාගම, මල්බලිගල, හදුන්ගම, ගල්නෑව. යන කෙත් ඇළවල් යටතේ මේ කන්නයේ වගා කර ඇති කුඹුරුවලින් 70% ක් වගා කර ඇත්තේ දුම්කොළය.
2019 යල් කන්නය සඳහා මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජලය නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවිය යුත්තේ අප්‍රේල් මස අවසාන සතියේ හෝ මැයි 15 දිනට කලින්ය. එහෙත් මේ වසරේ ජලය නිකුත් කිරීම ජුනි මස මුල දක්වාම ප්‍රමාද කිරීමට මහවැලි බලධාරීහු කටයුතු කළහ. ඒ කාලය තුළ දුම්කොළ වගාකරුවන් මවු සමාගමෙන් බීජ ලබාගෙන මහවැලි ඉඩම්වල එම බීජ රෝපණය කිරීමට පියවර ගත්තේ කිසිවකුට නොපෙනෙන ලෙස ඉටිකොළ ආවරණ යොදමිනි. මේ අතර ගොවීහු මිරිස් බීජ පැළ කරගෙන, ලොකු ලූනු තවාන් දමාගෙන, සෝයා, බඩඉරිගු සහ තවත් රනිල කුලේ භෝග වගාකිරීමට යුහුසුලුව බලාගෙන සිටියහ.
එහෙත් මහවැලියේ නිලධාරීන් ජලය ලබාදීම මාස එක හමාරක් පමා කිරීම නිසා දේශීය භෝග වගා කරන ගොවීයෝ කබලෙන ළිපට වැටුණහ. ඔවුන් වගාවට සූදානම් කර තිබුණු පැළ, තවාන්වලම වැඩීම නිසා ජලය ලබාදෙන විට වගා කළ යුතු කාලය පසු වී තිබිණි. බහුජාතික සමාගමේ නියෝජිතයෝ සහ මහවැලි ව්‍යාපාරයේ ඇතැම් නිලධාරීහු එක් වී දවස් 10කට වරක් දවස් තුනක් ජලය ලබාදී දුම්කොළ වගාවට අනියමින් උදව් කළහ. බළලුවැව - ගල්නෑව මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයෙකුට මේ සරුසාර දුම්කොළ වගාව දැකගත හැකි වේ.
ගොවිතැන් කරමින් ජීවත්වන ජනතාවට අද අත්වී ඇති ඉරණම ඉතාම කනගාටුදායකය. ඔවුන්ගේ ගොවිතැනට නැති ජලය කිසිම ප්‍රයෝජනයක් ලබානොදෙන ශාකයක් වෙනුවෙන් වෙන් කර තිබීම අහස පොළොව නුහුලන අපරාධයක් බව ඔවුහු කියා සිටිති. විශ්‍රාමික ග්‍රාමනිලධාරියකු වන ගුණතිලක මහතා අදහස් දක්වමින්.
“අපි මහවැලි ව්‍යාපාරය ආරම්භක ගොවි පවුල්වල සාමාජිකයෝ. දැන් ජීවත් වෙන්නෙ මහවැලි එච් කලාපයේ තුන්වැනි පරම්පරාව. ඉස්සර බහුජාතික සමාගම්වලට කුඹුරුවල දුම්කොළ වගාව කිරීමට අවසර දුන්නේ නෑ.
එදා දුම්කොළ වැව්වේ කැලය කපලා හේන්වල. නැති නම් ගම්වල තිබුණ කුඩා වැව් ආශ්‍රිතව ජලය පොම්ප කරමින් ගොඩ ගොවිතැනක් විදියට. ඒ කාලෙ දුම්කොළ වගාව අපිට දකින්න ලැබුණේ කලාතුරකින්. අද බලන්න මේ පාරෙ යනකොට සරුවට වවලා තියෙන වගාව මොකක්ද කියලා. ඒ තමයි සිගරට් දුම්කොළ. මේ වගාවෙන් කිසිම කෙනකුට ප්‍රයෝජනයක් අත්වෙනවා කියල අහල තියෙනවද? කෑමට ගන්න මේ ගසේ කිසිම කොටසක් නෑ. පොළොවට මේ ගසේ කිසිම කොටසක් වැටෙන්න දෙන්නෙ නෑ. ගහේ මුලේ කොළේ ඉඳලාම සමාගම සූරාගෙන යනවා. අවසානෙට ගසේ මලක් පිපෙනවා.. ඒ මලත් කඩාගෙන යනවා. අඩි 4ක 5ක් විතර උස ගසේ කඳ විතරක් ගලවලා කුඹුරෙන් එළියට දානවා. ඉතින් මේ පොළොව තවත් වගාවකට ඉතුරු වෙයිද?
ගහක් කොළක් වැව්වම ඒ ගහෙන් බාගයක් ම පොළොවට පොහොර විදියට ලැබෙනවා. මිනිස් පරිභෝජනයට ගන්නේ ඒ වගාවෙන් කොටසක් පමණයි. මේ වගාවෙන් කිසිම දෙයක් අපේ පරිභෝජනයටත් නෑ. පොළොවටත් නෑ.
දුම්කොළ වගාවට පමණක් ජලය ලබාදීම නිසා අනෙක් ගොවීන්ට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා. අපේ දුක ගැන බලන්න කිසිම කෙනෙක් අද නැහැ. උපන්දා සිට ගොවිතැන ජිවිකාව කරගත් නවරත්න බණ්ඩා ද පවසන්නේ ඔවුන්ගේ දුක ගැනය.
“මගේ කුඹුර තියෙන්නෙ ඩී5 කෙත් ඇළ ආරම්භයේ. නමුත් මට මේ කන්නයෙ කිසිම වගාවක් කරගන්න බැරි වුණා. ඒ අවශ්‍ය වේලාවට ජලය ලබානොදීම නිසා. ඒත් අපේ ඇළෙන් කුඹුරු 155ක් විතර වගා කරනවා. විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් වෙලා තියෙන්නෙ. මේ වෙනකොට දවස් 10කට වතාවක් නොකඩවා දින 3ක් ජලය ලබාදෙනවා
ඒකෙ වාසිය අරගෙන තියෙන්නෙ දුම්කොළ වගාකරුවන්. ඔවුන්ට අවශ්‍ය විදියට තමයි ජලය මුදාහරින්නෙ. වෙනත් ගොවිතැනකට දවස් 4-5කට වතාවක් ජලය අවශ්‍ය වෙනවා. ඒත් දුම්කොළ ශාකයට ජලය නැතිව දවස් 10ක් විතර නොමැරී තියාගන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වේලාවට ඇළේ ජලය මුදා හැරෙනවා. අපිට දෙයියන්ගෙම
පිහිටයි.“ නවරත්න කියා සිටී.
අහස් දිය හැරුණ විට මහවැලියේ වතුරින් ගොවිතැන් කරන ගොවියෝ තමන්ට අත්විඳින්ට සිදුව ඇති අබැද්දිය පිළිබඳ කතා කරන්නේ හිත් අමාරුවෙනි.
“මහවැලිය ආරම්භ කළේ මිනිස්සුන්ට හිතකර වගාවලට මිසක අහිතකර දේ වගා කරන්න නෙමෙයි. අපි අවුරුද්දකට වතාවක් අනුරාධපුර උඩමළුවට සහ කලාවැවේ කඩවර දේවාලයට අලුත් සහල් මංගල්‍යයක් පවත්වා පිහිට ආශිර්වාද ලබාගන්නවා. ඒ ගොවිතැන් සාර්ථක වෙන්නත් භව භෝග ලෙඩින් මුදාගැනීමටත් නිසි කලට වැසි ලබාගැනීමටත්. අද මොකද වෙලා තියෙන්නෙ බලන්න. දැන් සමහර කුඹුරු පිට්ටනි බවට පත් පත් වෙලා. ගල්නෑව ඒකක කළමනාකාර කාර්යාලයේ නිලධාරීන් කන්න රැස්වීම තියනකොට කෑ ගහලා කියනවා මේ සැරේ දුම්කොළ හදන්න දෙන්නෙ නෑ. කරුණාකරලා අපේ වගාවක් කරන්න කියලා. නමුත් ඔවුන් එහෙම කිව්වාට අවසානයට බලන කොට වගා කරලා තියෙන්නේ දුම්කොළ.“
ගොවියන්ට විඳින්නට මුහුණ පාන්නට සිදු වී ඇති අසාධාරණය පිළිබඳ ගම්වැසියකු අප හා කීවේ මෙවැනි කතාවකි.
“මම ලොතරැයි අලෙවි කරන්නෙක්. මම කලංකුට්ටියෙන් ආරම්භ කර මේ ලොතරැයි අලෙවිය අවසාන කරන්නෙ නෙල්ලියගම ගමින්. ඒ දුර කිලෝමීටර් 40-50ක්. මේ වපසරිය තුළ දුම්කොළ වගාව බහුලව සිදු වන කලාපය වෙන්නෙ අවුකන ඒකක කළමනාකාර කාර්යාලයට අයත් වගාබිම් විතරයි“
සැබැවින්ම මේ සිදු වන්නේ කුමක්ද, ගැමියන්ට අත්විඳින්නට සිදු වී ඇති තත්ත්වය පිළිබඳ විමසීම සඳහා ඒකක කළමනාකාර කාර්යාලයට ගොඩවැදුණු නමුත් එහි සියලු දොරවල් ඉබි යතුරු දමා වසා තිබිණි.
ධාතුසේන රජතුමා විසින් වෙහෙර විහාර ඉදි කරවා ඒවාට අයිති නින්දගම් සහ කුඹුරු වෙන් කොට කෘෂිකර්මාන්තයෙන් ජීවනෝපාය සරි කරගත් අපේ ම මිනිසුන් පිරිසක් ජීවත්වන මේ ඓතිහාසික ප්‍රදේශයට අයත් කුඹුරුවලට මේ වන විට ඇති වී ඇති ඉරණම ගැන ගොවිජනතාව සිටින්නේ මහත් කලකිරීමකිනි.
තත්ත්වය එසේ තිබියදී මෙවර යල කන්නය සඳහා කිසිම ගොවිතැනක් කරගැනීමට නොහැකි වූ ගොවීන්ගේ හෙට දවස ගැන විමසා බැලීමට කිසිවකුත් නැත. ඔවුන්ගේ පරම්පරා 3ක්ම එකම කුඹුර බෙදා වෙන් කරගෙන, එකම ගොඩ ඉඩම් අක්කර බාගය වෙන් කරගෙන ජීවත්වන කාලයක, ගොවිතැනක් බතක් නැතිව ජීවත් වීමට ලැබුණ ද බලධාරීන් ඇස මේ අසරණ ගොවි දුක කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි.