
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධති නියාමනය කිරීමට නව පනතක් ගෙන එන්නට රජය සූදානම්ය. උසස් අධ්‍යාපනය සඳහා වූ තත්ත්ව සහතික කිරීම හා ප්‍රතීතන කොමිෂන් සභාව (Quality Assurance and Accreditation Commission for Higher Education) පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත නමින් දිගු නමකින් යුතු මේ පනත තවමත් ඇත්තේ කෙටුම්පතක් ලෙසයි. මේ වන විට ගැසට් කර ඇති මේ පනත් කෙටුම්පත ඉදිරියේදී පනතක් වශයෙන් ගෙන එන්නේ පාර්ලිම්න්තුවේ සම්මත වීමෙන් අනතුරුවය. එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යෑමට පෙර ආංශික අධීක්ෂණ කාරක සභාවට යැවෙන අතර, එහිදී යම් යම් සංශෝධන කිරීමටද නියමිත බව වාර්තා වෙයි.
මේ වන වට මෙම නව පනත් කෙටුම්පත හදාරා ඇති යම් යම් පාර්ශ්ව විසින් මේ එයට විරුද්ධව ජන මතයක් මතු කරන්නට පටන් ගෙන ඇත. ඒ මහත් ආන්දෝලනයක් ඇති කළ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්ද මෙයට ඈඳාගනිමිනි. සාමාන්‍යයෙන් යම් ආයතනයක් විශ්වවිද්‍යාලයක් හෝ එසේත් නැති නම් උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කිරීමේ අනුමැතිය ලැබීම ලෙහෙසි-පහසු කරුණක් නොවේ. 2016 වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ උපාධි පිරිනමන ආයතනයක් බවට වූ සහතිකය දෙන ලෙසයි. එහෙත් 2019 වසරේ ඒ ඉල්ලුම් පත්‍රය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කළේ අනුමැතිය සඳහා වූ නිසි සුදුසුකම් පසුරා නොතිබීම හේතුවෙනි. මේ නව පනත පිළිබඳ විරෝධතා දක්වන අය මතු කරන ප්‍රධාන චෝදනාව නම් මේ නව කොමිසම මඟින් ඒ අවශ්‍යතාව ඔවුන් පහසුවෙන් ඉටු කරගනු ඇති බවයි.
ඊට හේතු සාධක ඔවුන් පෙළ ගස්වන්නේ මේ ආකාරයෙනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් වඩා ඉහළින් ඇති මේ කොමිසමට, මෙතෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතු වූ බලතල බහුතරයක් පැවැරී ඇත්තේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි මේ නව කොමිසමේ කාර්ය දෙකක් හඳුනාගෙන ඇත. ඉන් එකක් වන්නේ මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පාලනය වූ හා තත්ත්ව පාලනය කළ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ඇතුළුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාලනය වූ කොතලාවල ආරක්ෂක විද්‍යායතනය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, සාගර විශ්වවවිද්‍යාලය ඇතුළු අනුබද්ධිත විශ්වවිද්‍යාල 5, පෞද්ගලික විශ්වවිද්‍යාල හා උපාධි පිරිනමන ආයතනයවල තත්ත්ව පාලනය හා ප්‍රතීතනය කිරීමට හැකි වීමයි (ප්‍රතීතනය යනු තත්ත්වය පවත්වාගෙන යෑම, දිගින් දිගටම අධීක්ෂණය කිරීමයි). මේ අනුව මේ වගකීම් සියල්ලේ වැඩි බලතල ඉදිරියේදී හිමි වන්නේ ඒ කොමිසමටය.
එහෙත් ප්රශ්නය ඇත්තේ වෙනත් තැනකය. එනම්: මේ කොමිසම සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත වන අතරේ එයින් 9 දෙනකුම පත් කරන්නේ උසස් අධ්‍යාපන ඇමැති විසින් වීමේය. ඉතිරි 4 දෙනා පත්වන්නේ නිල බලයෙනි. ඒ 4 දෙනාට මුදල් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හෝ ලේකම් නියෝජනය කරන්නෝ දෙදෙනෙක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා ජාතික අධ්‍යාපන කොමිසම යන දෙකෙහි සභාපතිවරු හෝ ඒ අය නියෝජනය කරන්නන් දෙදෙනෙක් අයත් වෙති. මෙයට විරෝධතාව දක්වන ආචාර්යවරුන්ගේ සංගමය හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සංගමයේ ප්‍රශ්නාර්ථය යොමු වන්නේ විෂය භාර ඇමැති විසින් පත් කරන තනතුරු 9 කෙරෙහිය. මේ 9 දෙනා තේරීම සඳහා විෂය භාර ඇමැති විසින් තමන් තොරාගත් 15 දෙනකුගේ ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යොමු කළ යුතුයි. එයින් කමිටුවේ 9 දෙනා තෝරාගන්නේත්, ඒ 9 දෙනොගෙන් සභාපතිවරයා තෝරාගන්නේත් ජනාධිපතිවරයා විසින්ය. සාමාන්‍ය ක්‍රමයට කෙටුම්පතක් සංශෝධනය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙනි. එහෙත් මෙයට අධ්‍යාපන ක්ෂේත්රයේ බලවතුන්ගෙන්ම එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ප්‍රථමයෙන් මේ කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන්නේ සංශෝධන අපේක්ෂාවෙනි. එහිදී මේ පත් කිරීම් පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා මේ සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසකි:
“මේ පනත සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දක්වන්න, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වගේම උපකුලපතිවරුන්ගේ සංගමය අපෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා කමිටු අවස්ථාවේදී ඉඩ හිමි වනවා. මේ කොමිසමේ පොදු අරමුණු කිහිපයක් තිබෙනවා. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල, අනුබද්ධිත විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල, මෙන්ම උපාධි පිරිනමන ආයතනවල මෙතෙක් නීත්‍යනුකූල ක්‍රමයකට තත්ත්ව පාලනයක් සිදු වුණේ නැහැ. ඒ අඩු-පාඩු සියල්ල මේ මඟින් ඉටු කෙරෙනවා. මෙයින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටවත්, නිදහස් අධ්‍යාපනයටවත් කිසිදු ආකාරයේ හානියක් වන්නේ නැහැ. මේ වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය වුණේ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණයි. එහෙත් මේ කොමිසමෙන් ඒ සියල්ල ඉදිරියේදී තත්ත්ව පාලනයකට යටත් වෙනවා. එයින් කියන්නේ නැහැ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලතල හීන වීමක් හෝ අඩපණ වීමක් සිදු වුණා කියලා. මේ හැම දේම සොයා බැලීමට නිල ආයතනයක් තිබීමේ අවශ්‍යතාව කාලයක සිට තිබුණා. මේ කෙමිසම පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. ඒ වගේම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මේ මඟින් උපාධි පිරිනැමීමේ සහතිකය ලබාගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. අපි ඒ අයගේ ඉල්ලීම ඉවත දැම්මේ නිසි සුදුසුකම් සපුරා නොතිබීම නිසයි. ඕනෑම ආයතනයක් අප ලබා දෙන ඒ සුදුසුකම් සපුරා ඇත් නම් ඒ අවස්ථාව ලබා ගත හැකියි. මේ කොමිසම පිහිටුවූවත් නැතත් අවශ්‍යතා සියල්ල සපුරා ඇත් නම් අනුමැතිය ලබා ගත හැකියි...“
ශ්‍රී ලංකාව තුළ විදේශ රටවල් සමඟ සම්බන්ධයක් පවතින උසස් අධ්‍යාපන ආයතන රැසක් ඇත. එහෙත් ඒ ආයතන නියාමනය කරන්න ලංකාවේ කිසිදු ආයතනයක් නැත. එසේම විදේශ රටවල රාජ්‍ය, පෞද්ගලික මෙන්ම අනුබද්ධ හා උපාධි ප්රදානය කරන ආයතන සියල්ල පාලනය වන්නේ එක් ආයතනයක් මඟිනි. එහෙත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙනුත්, තවත් සමහරක් උසස් අධ්‍යාපන ආයතනයෙනුත් පාලනය කරන්නේය. විදේශ රටවල් සමඟ සම්බන්ධතා ඇති ඒවා පාලනය කරන්නේ ඒ ඒ රටවලිනි. එමෙන්ම විදේශ රටවලද මේ ආයතන සියල්ල තත්ත්ව පාලනය හා ප්‍රතීතනය වන්නේය.
අපේ විශ්වවිද්‍යාලවල පවතින ගුණාත්මක භාවය හා රටට වැඩදායි පාඨමාලාවලට දරුවන් යොමු කරන්න මෙවැනි කොමිසමක අවශ්‍යතාව තිබුණද ඒ කටයුත්ත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින්ම කළ නොහැක්කේ මන්දැයි ප්රශ්නයකි. එසේම අපේ රටේ තරම් මැති-ඇමැතිවරු එහා මෙහා මාරු වීම වෙන කිසිම රටක සිදු වන්නේ නැත. එවන් තත්ත්වයක් යටතේ ඇමැති මාරු වෙද්දි කොමිසමේ 9 දෙනාද මාරු වන්නට ගිය හොත් මේ අපේක්ෂිත ප්‍රතිඵලය ඉටු වේද යන්න ප්රශ්නයකි.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උඩුවාවල මහතාගේ අදහස මෙබඳුය:
“විශ්වවිද්‍යාලයක් පවත්වා ගෙන යෑමට ප්‍රතීතනයක් අවශ්‍යයි. එහෙත් මේ තාක් කාලයක් එය ඉටු වූවාද යන්න ප්‍රශ්නයක්. මේ මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලතල අහෝසි වන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කිරීමේ කටයුතු සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟිනුයි. එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙනුයි මෙතෙක් සිදු කළ තත්ත්ව පාලන කටයුතු ඉදිරියේදී පැවැරෙන්නේ අලුත් කොමිසමටයි. මේ නිසා බලතල බෙදිලා, කටයුතු වඩා විධිමත් වෙනවා. මේ කොමිසම පත් වන්නේ අවුරුදු 5ක කාල සීමාවකට. ඒ වගේම කොමිසමට ඇමැති විසින් පත් කරන අයටත් යම් කාලසීමාවක් දිය යුතුයි. මෙයට කැබිනට් අනුමැතිය ලැබුණා; නීතිපති අවසරය ලැබුණා. නීති කෙටුපත් සම්පාදක විසින් මෙය පනත් කෙටුම්පතක් වශයෙන් සකස් කර තිබෙනවා. මෙහි නිලධාරීන් නම් කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින් පනත සම්මත කළ පසුවයි...“
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් රටේ පවතින ආකල්පය එතරම් යහපත් නොවන බව අමුතුවෙන් නොකිව මනාය. නවකවධය හා සිසු අරගල හමුවේ අපේ විශ්වවිද්‍යාල ලෝකය ඉදිරියේ ගොඩනඟාගෙන ඇති ප්‍රතිරූපය යහපත් නැත. මෙය මවක-පියකු සිය දරුවකු සරසවියට ඇතුළු කරන්නට දෙවරක් සතන යුගයකි. ඒ ම්ලේච්ඡ නවකවධ සිදුවීම් මෙන්ම පාරක් පාරක් ගානේ රස්තියාදු වෙමින් කරන සිසු අරගල හේතුවෙනි. මේ තත්ත්වයට විසඳුම් දී, අපේ විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ජාතිකව හිමිව තිබූ ඉහළ පිළිගැනීම රැකගන්නට තවමත් කිසිදු රජයක් සමත් වී නැත. උසස් අධ්‍යාපනය පැත්තෙන් අප රැකගත යුතු ගැටලු මේවාය. අලුත් තනතුරු ඇති කරමින්, ඒවාට වැටුප් හා දීමනා ගෙවමින් පත් කරන නව කොමිෂන්වලට මෙවැනි දේ නවතා ලන්නට බලයක් නොදෙන්නේ මන්දැයි ප්රශ්නයකි.