රටේ අනාගතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් පෙන්නුම් කරමින් මීළඟ ජනාධිපතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇත. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් ජාතික ජන බලවේගයත් තම ජනාධිපති අපේක්ෂකයන් නම් කර තිබේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද නුදුරේදීම නම් කෙරෙනු ඇත. ජනාධිපතිවරණය රට පුරා කතා-බහට ලක්ව ඇති මේ අවස්ථාවේ ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද හා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි පුද්ගලයන් කවරේද යන කරුණු පිළිබඳ විමසා බැලීම වටනේය.
1981 මාර්තු මස 12 දින සහතික කර ඒ වසරේම මාර්තු 13 දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II කොටසේ අතිරේකයක් ලෙස පළ කරන ලද 1984 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනත යටතේ ජනාධිපති ධුර අපේක්ෂකයකු විසින් සපුරා ලිය යුතු සුදුසුකම් දක්වා තිබේ.
ඒ අනුව ජනාධිපති ධුර අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් විය යුතුය. දෙවනුව ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව තිබීමද අනිවාර්ය වේ. තෙවනුව නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ වී තිබීමද අත්‍යවශ්‍යය.
මේ අවම සුදුසුකම් සපුරා ඇති තැනැත්තකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.1 වගන්තියට අනුව ඔහුට හෝ ඇයට තම නාමයෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් මාර්ගයෙන් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ හිටපු මන්ත්‍රීවරයකු හෝ විය යුතුම නැත. එසේ නොවී ස්වාධීනව ඉදිරිපත් වන අයකු නම් ඔහු මන්ත්‍රීවරයක හෝ කලින් මන්ත්‍රීවරයකුව සිටි අයකු හෝ විය යුතුය.
ජනාධිපතිවරයා විවාහකයකු විය යුතු බවක් හෝ බෞද්ධයකු විය යුතු බවක් හෝ කිසිදු ලෙසකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව නැත. ඒ නිසා ඕනෑම ජාතියක ඕනෑම ආගමක අයකුට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය හැකිය.
පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් අපේක්ෂකයා රු. 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, අනෙක් අපේක්ෂකයන් රු. 75,000ක මුදලක් ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතුය. ඡන්දය දුන් ප්‍රතිශතයෙන් 5%ක් ලබා නොගන්නා අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වනු ඇත.
මේ ජනාධිපතිරවණය සඳහා වන සාමාන්‍ය ක්රියාදාමයයි. මීළඟට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලද නොහැකි පුද්ගලයන් කවුරුද යන්න විමසා බලමු.
අපේක්ෂකත්වය ලද නොහැකි පුද්ගලයෝ
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට පුරවැසියකු වුවත්, තවත් රටකද පුරවැසිභාවයක් ලබා ඇති අයකුට - එනම්: ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති අයකුට - ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකිය.
එසේම දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ අයකුටද ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉල්ලුම් කළ නොහැකිය. මේ වගන්තිය අනුව මෙරට පුරවැසියන් වුවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට යළි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලා සිටිය නොහැකිය.
එමෙන්ම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ අධිකරණයකින් සිහි විකල් අයකු ලෙස තීරණය කරනු ලැබූ අයකුටද ඉදිරිපත් විය නොහැකිය. දෝෂාභියෝගයක් මඟින් ජනාධිපති පදවියෙන් පහ කරනු ලැබූ අයකුටද, ජනාධිපතිවරණය පවත්වන වකවානුව වන විට පෙර වසර 7 ඇතුළත මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයකුටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තියට අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයකුට - එනම්: ප්‍රජා අයිතිය අහෝසි කළ හෝ ප්‍රජා අයිතිය සම්බන්ධ ගැටලුවක් මතුව ඇති අයකුට - ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. කෙසේ වුවත් මාස 6ක සිර දඬුවම් නියමව කොන්දේසි විරහිත සමාවක් ලැබූ අයට ඉදිරිපත් වීමට අවකාශ තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තම ප්‍රථම ධුර කාලය ආරම්භ වී වසර 4ක් ඉක්මවීමෙන් පසු ගැසට් ප්රකාශනයක් මඟින් ජනාධිපතිවරණය පැවැත්වීමට දැනුම් දුන් විට එය මැතිවරණ කොමිසමට කරන ලද ජනාධිපතිවරයාගේ නියෝගයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වීම උදෙසා කළ නිවේදනයක් ලෙස සැලකෙයි.
ඒ අනුව කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් විසින් ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලියට එළැඹෙනු ඇත. ජනාධිපතිවරයා විසින් දිනයක් දී ඇත් නම් එදින හෝ කොමිසම විසින් තීරණය කරනු ලබන දිනයක හෝ ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කරනු ලබන අතර, එහිදී ප්‍රථමයෙන්ම නාමයෝජනා භාර ගැනීමේ දිනය, වේලාව සහ ස්ථානය ප්‍රසිද්ධ කර, ඉන් පසු ජනාධිපතිවරණයට අදාළ අනෙක් කටයුතු සංවිධානය කරනු ඇත.
19න් ජනපති බලතල වෙනස් වූ හැටි
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතේ 'විධායක ජනාධිපති ධුරය' අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරෙන බවට විධිවිධාන ඇතුළත් වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඒ වගන්ති ඉවත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ වුවද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා එය සම්මත වී දෙවනුව ජනමත විචාරණයකින්ද එය සම්මත විය යුතු බවය. එහෙත් එවැන්නක් මෙරට සිදු නොවුණු හෙයින් ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කිරීම හෝ පාර්ලිමේන්තුවට පැවරීම හෝ නිසි අයුරින් සිදු නොවීය.
විශේෂයෙන්ම ජනමත විචාරණයකට යෑමක් අවශ්‍ය වන වගන්ති සියල්ල කෙටුම්පතෙන් ඉවත් කරගැනීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේ එකඟ වීම නිසා විධායක ජනාධිපති ධුරයේද ඇතැම් බලතල සීමා වීමක් මිස විධායක ජනාධිපති ධුරය අහෝසි වීමක් එමඟින් කිසි සේත්ම සිදු වූයේ නැත. අදද බලාත්මක වන්නේ ඒ සීමා වීමට පමණක් ලක් වූ විධායක ජනාධිපති ධුරයයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වන බැවින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර, වසර 6ක් වූ විධායක ජනාධිපති ධුර කාලය වසර 5ක් දක්වා අඩු විය. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමද කළ හැකි විය.
19 වන ව්‍යවස්ථා මුල් කෙටුම්පතේ දැක්වුණු අන්දමට ජනාධිපතිවරයාට පුද්ගලික කාරණාවලට අදාළව පමණක් නඩු පැවරිය හැකි වුවද සංශෝධන සහිතව සම්මතවූ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකි වේ. එසේ වුවත් ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු ගොනු කළ නොහැකිය.
ඒ අනුව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම මෙන් අහෝසි වුවද 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ යම් යම් විධිවිධාන යම් යම් සංශෝධන සහිතව තවදුරටත් බලාත්මකව වී තිබේ.
විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය ඉදිරියටත් ජනාධිපතිවරයා සතු වන නමුත් ඔහු විසින් එකී පත් කිරීම් සිදු කිරීමේදී අගමැතිවරයාගේද එකඟත්වය විමසා තීරණ ගත යුතුය. එහිදී ජනාධිපතිවරයා යම් හෙයකින් අගමැතිවරයාගේ එකඟත්වය නොගන්නේ නම් ජනාධිපතිවරයාගේ ක්‍රියාව අභියෝගයට ලක් කරමින් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකිය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීරණයට අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය.
31 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා වූ ඡන්ද විමසීමකදී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අපේක්ෂකයකු නොවන්නා වූ හෝ නැවත තේරී පත් නොවන්නා වූ හෝ අවස්ථාවක, ඔහුගේ ධුර කාලය, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ පත් කරනු ලැබූ දිනයේදී අවසන් වූ බව සැලකේ. ඒ නිසා පත් වූ නව ජනාධිපතිවරයා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට සති දෙකක් ඉකුත් වීමට පෙර, ජනාධිපති ධුරය භාරගත යුතුය. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගන්නා ලදැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා ධුරයේ කටයුතු භාර ගන්නා තෙක්, එවකට ධුරය දරන ජනාධිපතිවරයා, ජනාධිපති ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුතුය.
ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගන්නා ලදැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා ධුරය භාර නොගැනීමේ හේතුවෙන් ජනාධිපති ධුරය හිස් වුව හොත් කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලීමට කටයුතු කළ යුතු බව කලින් සඳහන් විය. ඒ අවස්ථාවේ කථානායක ධුරයද හිස්‌ව ඇත් නම් හෝ කථානායකවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ඒ කාර්යය ඉටු කළ යුතු විය. එහෙත් වර්තමානයේ ඒ කාර්යය භාර ගත යුත්තේ අගමැතිවරයාය.