![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/08/02/nelumvila-tag.jpg?itok=nOhQMVoD)
මහණකම
ගමේ පන්සල පරණ ය. පුංචි ය. සරල ය. ආරණ්‍ය සුන්දරත්වයෙන් හෙබි ය. ගමේ සැදැවතුන් පරම්පරා ගණනාවක සිට සිය සිත්සතන් පිවිතුරු කර ගත්තේ එයිනි. පන්සලේ නායකත්වය දරන්නෝ පණ්ඩිත හාමුදුරුවෝ ය.
උන්වහන්සේ ගමේ දනට, බණට, රැස්වීමට පයින් ම වඩින්නෝ ය. ළඟ දී මහණකම ලැබූ තරුණ හාමුදුරුවන්ගේ පැතුම වූයේ මේ පුංචි පන්සල පරයා නැගෙන මහ පන්සලකි. දිනක් තරුණ හාමුදුරුවෝ ගම් පෙදෙසෙහි තරුණ පිරිසක් පන්සලට කැඳවූහ. රැස්වීම අවසන් වූයේ පුංචි පන්සල වෙනුවට විසිතුරු මහ පන්සලක් ගොඩ නැංවීමේ අරමුණෙනි. විහාර කර්මාන්ත ශිල්පියෙකු ලවා නව පන්සලේ අනුරුවක් තැනිණ. එය තරුණ හාමුදුරුවන් ඇතුළු තරුණ සමාගමයේ මනදොළ පිනවී ය. දැන් තිබෙන පරණ පුංචි පන්සලත් අනාගත මහ පන්සලත් අහසට පොළොව මෙනි. පරණ පුංචි පන්සල වැසී යන පරිදි හිටි බුදු පිළිමයක් ද ඉදිකැරෙනු ඇත. ඉක්බිති තරුණ පිරිස අලුත් පන්සල ගොඩ නැංවීමට සම්පත් සොයා අලුත් ව්‍යාපාරිකයන් අඹා ගිය හ. ව්‍යාපාරිකයෝ ද විටින් විට තරුණ හාමුදුරුවන් බැහැ දුටහ. පණ්ඩිත හාමුදුරුවෝ මේ සියල්ල දැක නුදුටුවාක් මෙන් මුනිවත රැක්කහ. තරුණ හාමුදුරුවන් සිතුවේ ගුරු හාමුදුරුවන් පැරදී ඇති බව ය. තවත් දිනක තරුණ හාමුදුරුවෝ තරුණ සමාගම ලවා පන්සල් බිමේ ගස් පෙරළවමින් වැඩ ඇල්ලූ හ. සීස් ගා යමක් වැටෙන හඬින් කලබලයට පත් පණ්ඩිත හාමුදුරුවෝ වේගවත් ගමනින් පන්සල් බිම බලා ආහ. උන් වහන්සේ දුටු තරුණයෝ පසුබා ගිය හ. තරුණ හාමුදුරුවෝ පණ්ඬිත හාමුදුරුවන් නොදුටුවාක් මෙන් නව විහාර සැලැස්ම දිගහැරගෙන සිටිය හ. පණ්ඩිත හාමුදුරුවෝ තරුණ හාමුදුරුවන් අබිමුවට ආහ.
‘මොකද ඤණාලෝක මේ කලබලේ?‘
‘ඇයි දන්නැද්ද? අලුත් පන්සල හදන්ඩ කැලේ කපනව. මේ තියෙන්නෙ සැලැස්ම!‘
‘ඤාණාලෝක, මේ ගමේ දායකයන්ට නිවන් දකින්ඩ මේ තියෙන පන්සල හොඳටම ඇති! පන්සල් ගොඩ ගොඩවල් හදන තරමට මිනිස්සු ගොඩ ගොඩවල් නිවන් දකින්නෙ නෑ. තමුන්ට පැවිදි ජීවිතේ රැකගන්ඩ බැරි බව මේකෙන්ම ඔප්පු වෙනව. තමුන්ට චීවරේ ඔරොත්තු දෙන්නෙ නෑ. දායකයො අමාරුවෙ නොදා හෙට පාන්දරම ගිහිගෙට ගියොත් හොඳයි...‘
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
දියණියගේ සැත්කම
මම දැරියන් දෙදෙනකු ගේ මවක් වෙමි. සැමියා නැත. දැරියන් ද සමඟ සොහොයුරකු ගේ නිවෙසෙහි වෙසෙමි. මගේ එක් දියණියක් මුඛයේ හනු සම්බන්ධ ආබාධයකින් පෙළෙන්නී ය. දහ හත් හැවිරිදි ඇය උසස් පෙළ හදාරමින් පසු වන්නී ය. ඇගේ ආබාධය සුව *කර ගැනීම සඳහා සැත්කම් කිහිපයක් සිදුකළ යුතු ව තිබිණ.
මේ වනවිට සැත්කම් තුනක් සිදුකර හමාරය. ඉතිරි ව ඇත්තේ සිවුවන ප්ලාස්ටික් සැත්කම ය. සැත්කම් සිදුවන්නේ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී. කේ. ඩයස් මහතා ගේ අධීක්ෂණය යටතේ ය. ඒ අනුව නියමිත ප්ලාස්ටික් සැත්කම ළඟදී ම සිදුකිරීමට නියමිත ය.
සැත්කම සඳහා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වැයවන බවට ගණන් බලා ඇත. ඒ සඳහා මා සතු ව මුදල් නැත. දරුවන්ගේත් මගේත් සියලු කටයුතු ඉටු කරන මගේ සහොදරයන්ට ද ඒ බර දැරීමට නොහැකි ය. නමුත් දැරියට මේ සැත්කම සිදු කළ යුතු ම නිසා පින්වත් සත් ජනයා ගෙන් උදවු ඉල්ලමි.
අප පත් ව ඇති අසරණකම ගැන සලකා මේ සැත්කමට උදවු කරන හැටියට ඔබෙන් කාරුණිකව අයදිමි. ගාල්ලේ මවක විසින් යොමු කරන ලද ලිපියකි. ඇගේ ඉල්ලීම පරිදි දියණිය ගේ අනන්‍යතාව සඟවා තිබේ.
සැත්කමට උදවු කිරීමට කැමැති අයට 0112429265 අංකයෙන් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ඉනෝකා සමරවික්‍රම මහත්මිය අමතා විස්තර ලබාගත හැකි ය.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.