![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/08/02/sil-08-04-suwasewana.jpg?itok=2HKkwoBy)
* රෝගී ගිලන් මධ්‍යස්ථානයක් බවට පත් කළේ පන්සලක්
* කෑම බීම, ඉදුම් හිටුම් නොමිලේ
* මුදල් නැත්නම් බස් ගාස්තුවත් දෙනවා
අතමිට මුදල් කොතෙක් ගැවසුණ ද යමෙකු රෝගී වූ අවස්ථාවක ඔහු දැඩි සේ අසරණ වෙයි. කායිකව රෝගී වූ විට මිනිසා මානසිකව ද පීඩාවට පත් වන්නේ නිරායාශයෙනි. විශේෂයෙන්ම කාත් කවුරුත් නැතිව රෝහල් ගතවන්න වූ විට මෙන්ම, ඉතා දුර බැහැර සිට ප්‍රතිකාර ලබාගැනීමට රෝහලක් වෙත පැමිණිමේදී විඳින්නට සිදු වන පීඩා අපමණය. එවන් විටෙක නන්නාදුනන කෙනෙකුගෙන් ලබන කාරුණික වදනකින් වුව ලබන්නේ අපමණ සහනයකි.
ඒ සහනය ලබාදිය හැක්කේ බෝසත් හදවත් ඇත්තෙකුටම පමණි. වදනින් පමණක් නොව කෑම බීම නවාතැන් පහසුකම් සපයා දෙමින් ගිලන් හදවත් සුවපත් කරන පුණ්‍යායතනයක් පිළිබඳ පසුගිය දා අපට දැන ගන්නට ලැබිණි. ඒ ගාල්ල කරාපිටිය රෝහල ආසන්නව පවත්වාගෙන යන “මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුවසෙවණයි.”
ඒ සුවසෙවණ ආරම්භ කරන්නේ භික්ෂූන් වහන්සේ නමක විසිනි. කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක කහඳ අමරබුද්ධි නාහිමියන් මහත් පින්කම් කරන්නේ රෝගීන් කෙරෙහි හද උපන් කාරුණික බව නිසාය. අමරබුද්ධි නාහිමියන් එම පුණ්‍යයාතනය ආරම්භ කරන්නේ උන්වහන්සේ ලද කටුක අත්දැකිමක ප්‍රතිඵලයක් ලෙසිනි. කලකට පෙර අමරබුද්ධි නාහිමිගේ ගුරු හාමුදුරුවන් වූ මාබොටුවන පියරතන නාහිමියෝ ගිලන්ව කරාපිටිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ඒ බව දැනගත් අමරබුද්ධි නාහිමි කඩිනමින් ලංකාවට වැඩම කළේය. දිගු කාල වේලාවක් ගුවන්යානයක ගත කරමින් දැඩිසේ විඩාබර බවකින් යුක්තව ලංකාවට වැඩම කළ උන්වහන්සේ විවේකයක් නොගෙනම ලොකු හාමුදුරුවන්ට උවටැන් කිරීම සඳහා කරාපිටිය රෝහලේ නතර වූහ.
රෝහල් වාට්ටුවේ සයනයේ සිටින ගුරු හාමුදුරුවන් බලා ගන්නා අතර රාත්‍රියේදී දැඩි වෙහෙසකර බවින් මිදීම සඳහා අමරබුද්ධි නාහිමියෝ රොහල් වාට්ටුවෙන් පිටතට පැමිණියහ. ඒ මොහොතකට හෝ ගහ කොළ පරිසරයේ පහස විද වෙහෙස මඟහරවා ගැනීම සඳහාය. එසේ පැමිණි මොහොතේදී උන් වහන්සේ දකින්නේ පසු දින වෛද්‍ය සායනය සඳහා ඇඹිලිපිටියේ සිට රෝගී දරුවා ද කරපින්නාගෙන පැමිණ රෝහලේ කණුවකට බර දී සිටින මවකි. ඒ මව සහ දරුවා දැකීමෙන් අමරබුද්ධි නාහිමියන්ගේ හද සසල වෙයි. වරු ගණනාවක් තිස්සේ මව දරුවාද වඩාගෙන කොතරම් නම් දුකක් විඳිනු ඇතිදැයි උන්වහන්සේ කල්පනා කරන්නට වූහ.
ඒ මොහොතේ පටන් අමරබුද්ධි නාහිමියන්ගේ සිත උපන්නේ වෙනස් සිතුවිල්ලකි. දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ට කොතැනක හෝ නතර වී සිට වෙහෙස නිවාගෙන රෝහල වෙත පැමිණිමට ක්‍රමයක් ඇති නම් හොඳ නේදැයි අමරබුද්ධි හිමියෝ තමන්ගෙන්ම විමසන්නට වූහ. එහෙත් දුප්පත් අසරණ රෝගීන්ට කොහේ හෝ නතර වන්නට සිදු වන්නේ මුදල් ගෙවාය.
රෝගීන් වෙනුවෙන් තමන්ට පුළුවන් ආකාරයෙන් සුව පහසු නවාතැනක් සකස් කර දිය යුතුයැයි උන්වහස්සේ තමන්ටම පොරොන්දුවක් දුන්නේ එදින රාතියේය. කාලය ගත වී ගියේය. අමර බුද්ධි හිමියන්ට කොට්ටව ගුණසිරි හිමියන් දැන හඳුනාගැනීමට ලැබෙන්නේ මේ අතරය. අමරබුද්ධි හිමියන්ට සිය පන්සල භාර ගන්නා ලෙස ගුණසිරි හිමියන් කිහිප විටක්ම ආරාධනය කරන්නේ උන්වහන්සේ බොහෝ වයෝවෘද්ධ බැවිනි. බුද්ධ මන්දිරයක් හා එක් ආවස ගෙයක් හැර ඒ පන්සලේ වෙනත් කිසිවක් නොතිබිණි.
කොට්ටව ගුණසිරි හිමියෝ අවුරුදු අසූවක් ආයු වළදා අපවත් වුහ. අවට පන්සල් තව තවත් ඇති නිසා උන් වහන්සේගේ අපවත් වීමෙන් පසු එම ස්ථානයේ පන්සලක් පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයි අමරබුද්ධි හිමියන්ට තේරුම් ගියේය. ඒ වන විටත් ඒ අවට පන්සල් කිහිපයක්ම තිබිණි. තම යටි සිතේ තිබූ අරමුණ ඉටු කිරීමට උන් වහන්සේ ඉටාගත්තේ මේ අතරය. එනම් එම ස්ථානයේ කරාපිටිය රෝහලට ප්‍රතිකාර ගැනීමට එන රෝගීන් වෙනුවෙන් නේවාසික පහසුකම් ලබාදීම සඳහා නවාතැනක් ඉදි කිරීමය.
අමරබුද්ධි නාහිමියෝ ඒ පිළිබඳ කැලිෆෝනියාවේ වෛද්‍ය An Pham මහත්මිය හා කතාබහ කළහ. එහි ප්‍රතිඵලය වුයේ එම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රුපියල් කෝටි තුනක මූල්‍ය දායකත්වයක් ලබාදීමට ඉදිරිපත් වීමය. දානපතීන්ගෙන් ලද ආධාර ද ඇතිව උන්වහන්සේ විසින් “මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණ” ගොඩනඟන ලදී.
උන්වහන්සේ කරන ලද සමාජ සත්කාරයේ තරම කොතරම්ද කියා වැටහෙන්නේ එහි ගිය විටය.
“බොහෝ දුර බැහැර ඉඳලා කරාපිටිය රෝහලට එන රෝගීන්ට ඇතැම් විට දිනපතා එහෙමත් නැත්නම් දවස් දෙකෙන් දෙකට වගේ රෝහල එන්න සිදු වෙනවා. විශේෂයෙන් මෙහෙම වෙන්නේ හෘද සැත්කම්වලට භාජනය වූ රෝගීන්ට මාසයක් පමණ රෝහල ආසන්නයේ නතර වන්නට සිදු වෙනවා. ඒ වගේම වකුගඩු රෝගීන්ට නිතර නිතර ලේ මාරු කිරීම සඳහා රෝහලට එන්න වෙනවා. එසේම පිළිකා රොගීන්ට නිතර ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා.
ඒ වගේ වේලාවට මේ අයට යන්න එන්න තැනක් නෑ. ඥාතියෙකු හිටියොත් ඒ ගෙදර නතර වෙනවා හැරෙන්න එකම පිළියම මුදල් ගෙවා කාමරයක නතර වීමයි. ඒත් ඇතැමුන්ට මුදල් නැහැ. මේ දුක තේරුම් ගත්ත නිසා තමයි නවාතැන සෑදීමට තීරණය කළේ. මෙහි කාමර පහළොවක් තියෙනවා. රෝගියා බලාගන්න කෙනාත් එක්ක තිහකට නේවාසික පහසුකම් තියෙනවා. තුන් වේලම කෑම සපයනවා. මේ ස්ථානයේ උයන්නේ පිහන්නේ නැහැ. කෑම සැපයීම කේටරින් සේවාවකට භාර දී තිබෙනවා. මුලිකම දේ තමයි මේ ස්ථානය පිරිසුදුව තබාගැනීම. ඒ සඳහා වෙනමම පවුලක් මෙහි පදිංචි කර තිබෙනවා. ඔවුන්ට වෙනම නිවෙසක් සදා දී තිබෙනවා. ඊට අමතරව මෙහි කළමනාකරුවෙක් සිටිනවා.
රෝගීන්ට රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත්තාට පසුව තම ගමට යෑමට මුදල් නැති නම් ඔවුන්ට ඒ මුදල ලබාදීමටත් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. මෙහි නතර වන අයට බුලත් කෑම, සිගරට් මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම්. විශේෂයෙන්ම කිව යුතු වන්නේ කිසිවෙකුගෙන් සතපහක් අප අය කරන්නේ නැහැ. ඉදිරියේදි තවත් කාමර පහසුකම් වැඩි කිරීමයි මගෙ අරමුණ.”
අමරබුද්ධි නාහිමියන් පවසන්නේ බෙහෝ තැන්පත් හඬිනි.
ගාල්ලේ කහඳ ගමේ උපන් අමරබුද්ධි නාහිමියන් පැවිදි දිවියට එළැඹෙන්නේ අවුරදු දොළහක් තරම් වයසේදීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කලක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවය කළහ. ඉන්පසුව ධර්ම ප්‍රචාරය සඳහා අප්‍රිකාවට වැඩම කළ උන් වහන්සේ පසුව ඇමරිකාවට වැඩියහ. උන්වහන්සේ ඇමරිකාවේ කැලිෆොනියා, සැන්ප්‍රැන්සිස්කෝ හි සිලිකන් ප්‍රදේශයේ විහාරස්ථානයේ වැඩවාසය කරති. ඒ උන්වහන්සේ විසින්ම මීට බොහෝ කලකට පෙර ඉදි කරන ලද විහාරස්ථානයකි.
ජීවිතය යනු පොදිබැඳිම නොව අනුන් වෙනුවෙන් සේවය කිරිමය. මෛත්‍රීය කරුණාව දැක්වීමය. මේ වචන වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ම පෙන්වීමට උන්වහන්සේ උදක්ම කටයුතු කර ඇත. එයට ඇති හොඳම සාක්ෂිය වන්නේ මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණයි.
එහි නවාතැන්ගත් පළමු රෝගියා ත්‍රිකුණාමලයේ සිට පැමිණි අයෙකි. 2018 ජුලි 16 වෙනි දින සිට කරාපිටිය රෝහලට දුර සිට පැමිණෙන රෝගීන්ට එම සුවසේවා මධ්‍යස්ථානයේ නවාතැන් දීම ආරම්භ කරන ලදි. රෝගීයාට සහ උපස්ථායකයාට අවශ්‍ය උදේ දහවල් රාත්‍රී ආහාර සහ තේ පැන් නොමිලයේ සැපයේ. දන්තාලේප දත්බුරුසු ආදියද නොමිලයේ ලබාදෙයි. බණ පිරිත් අසන්නට කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් ද අවශ්‍යතාව අනුව ලබාදීමට කටයුතු යොදා ඇත.
ආරක්ෂාකාරී සුන්දර පරිසරයක පිහිටා ඇති ස්ථානයකි. කරුණාවන්ත සේවක මඩුල්ලක සේවයද රෝගියාට හා රෝගියාගේ භාරකරුට තනි කාමරය බැගින් තිස් දෙනෙකුට දිනපතා ආහාරපාන සමඟ සියලු පහසුකම්ද නොමිලේ සපයයි. පැය 24 පුරාම සේවය කිරීමට ඉතා කාරුණික හා මිත්‍රශීලී කාර්ය මණ්ඩලයක් එම සුව සෙවණේ සිටී. ජාති ආගම් භේද නොසලකන අතර රෝගියාගේ සහ භාරකරුගේ අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.
අප එහි ගිය අවස්ථාවේ නේවාසිකයන් කිහිප දෙනෙකු හා කතා කිරීමට අවස්ථාව ලැබිණි. මිහින්තලේ සිට පැමිණි පනස් හය හැවිරිදි ආර්. බී ප්‍රේමරත්න මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
“මම අසනීප වී අනුරාධපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. එහිදී වෛද්‍යවරුන් කිව්වෙ ගාල්ල කරාපිටිය රෝහලෙන් හෘද සැත්කම කරගන්නා ලෙසයි. ඒ අනුව හෘද සැත්කම කරාපිටිය රෝහලේදී සිදු කළා. රෝහලෙන් මෙතැනට ඇවිත් දැනට සති දෙකකට කිට්ටුයි. මාව බලාගන්න අයියටත් මටත් මේ කාමරයේ ඇඳන් දෙකක් තියෙනවා.
මේ ලැබෙන පහසුකම් අපට විශාල සහනයක්. වෛද්‍ය පරීක්ෂණ සඳහා විනාඩි ගණනකින් අපි කරාපිටිය රෝහලට යනවා. අනුරාධපුර ඉඳලත් සැතපුම් තිහක් ඈතින් වූ අතිදුෂ්කර ගමක ජීවත් වන අපට මේ ආයතනයෙන් ලැබෙන උපකාරය නිසා අසනීපය හොඳ කරගෙනම ගමට යන්න පුළුවන්.” ඔහු පවසන්නෙ අමරබුද්ධි නාහිමියන්ට පින් දෙමිනි.
“මට කරාපිටිය රෝහලේදී සිදු කරන වැඩිදුර පරීක්ෂණ සඳහා දිනපතා ගෙදර ඉඳල එන්න අමාරුයි. දුරබැහැරක ඉන්න අපි වාහනයක් කතාකරගෙන එන්න ඕනෙ. එහෙම නැති නම් මට සල්ලි ගෙවලා කොහේ හෝ නතර වෙන්න සිදු වෙනවා. ආයතනයෙන් අපට අවශ්‍ය රැකවරණය ආහාරපාන නවාතැන් නොමිලයේම ලැබෙනවා. උදේට රෝහලට ගිහින් පරීක්ෂණ සිදු කරගෙන එනවා. ඇත්තටම කොහොම අගය කරන්නද කියල අපට හිතාගන්න බැහැ.”
ශානිකා පවසන්නේ ස්තුතිපුර්වකය. හැම කෙනෙකුගේම මුහුණේ ඇත්තේ ලැබෙන සේවාව ගැන තෘප්තිමත් බවකි.
වකුගඩු රෝගයෙන් පෙළෙන එච්.ජී.පියසීලි මහත්මිය හැට හැවිරිදිය.
“මගේ වකුගඩු දෙකම අක්‍රිය වෙලා. කාලයක් මම රෝගයට ප්‍රතිකාර ගත්තා. නමුත් වකුගඩු බේරගන්න බැරි වුණා.දැන් වකුගඩුවක් ලැබෙන තුරු මම බලා ඉන්නෙ. ප්‍රතිකාර ලෙස දැනට දින හතරෙන් හතරට ලේ පිරිසුදු කරනවා. ඒ සඳහා රාත්‍රී හතට කරාපිටිය රෝහලට ඇතුළු වෙනවා. ලේ පිරිසිදු කිරීම් ඉවරවෙන්නෙ රෑ එකට. මගේ ස්වාමි පුරුෂයා රැකියාව අතහැරල ඇවිත් මට සාත්තු කරනවා.” පියසීලි අම්මා එසේ පවසන විට බදුල්ලේ සිට කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි විරසිංහ අම්මා පවසන්නේ මෙවැකි කතාවකි.
“බදුල්ල වැනි දුර බැහැරක ඉඳන් බයිපාස් සැත්කමට ගාල්ලට ආව මට සුවසෙවණ ආයතනය මගින් මට ලැබෙන සේවාව ඉතා ඉහළයි. මට හෘද සැත්කම කරලා තියෙන්නේ. සායනවලට මෙතැන ඉඳල යන්න ලැබීම වාසනාවක්. අපි කුලියට කාමරයක් අරන් කඩෙන් ආහාර ගත්ත නම් අපේ ගේ දොරත් මේ වන විට උකස් කරන්න සිද්ධ වෙලා. අපේ නායක හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න නිදහසේ සැනසිල්ලෙ ප්‍රතිකාර ගන්නවා.”
ඇගේ හදට දැනෙන ඒ සැනසිල්ල ලබාදුන්නේ උතුම් වූ බුද්ධ පුත්‍රයකු විසිනි. සංසාර මඟ කෙටි කරගැනීමට බුද්ධ ශාසනයට ඇතුළත් වූ මේ බුද්ධපුත්‍රයාණෝ සංසාර මඟ අතරමඟදි කළ මේ පින්කම ගැන කෙසේ නම් වර්ණනා කරන්නද ?
“ මම නැති කාලෙක වුණත් මේ ස්ථානය පවත්වාගෙන යන්න පුළුවන් විදිහට මම වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මට තවත් දැනිච්ච දෙයක් තමයි මේ ප්‍රදේශයේ සිටින ආබාධිත දරුවන් නිසි ආකාරයෙන් බලාගැනිම සිදු වන්නේ නැහැ. එවැනි දරුවන් වෙනුවෙන් ඉදිරියේදි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හිතාසිටිනවා. මේ ස්ථානයෙන් සේවාව ලබාගන්නා අයගෙන් මට එක් ඉල්ලිමක් කරන්නට තිබෙනවා. ඒ තමයි මේ ස්ථානයේ පිරිසුදුකම තබාගන්නට සහාය ලබාදෙන්න කියලා.”
ප්‍රාර්ථනා ලියනගේ