ඔයාගේ පෙරකදෝරු කතා මෙතනට හරි යන්නේ නෑ | සිළුමිණ

ඔයාගේ පෙරකදෝරු කතා මෙතනට හරි යන්නේ නෑ

සුනන්දා සැනසුම් සුසුමක් හෙළා සුපුරුදු දින චරියාව ආරම්භ කළද සිරිමාන්නට එය පහසු නොවීය. අමාලි සමඟ කතාබහ කරන්නට බලවත් වුවමනාවක් පැන නැඟුණද, ඉඩක් නොලැබිණ. පියා මඟහැර ඉන්නට ඇය වග බලා ගත් බැවිනි. ඔහුගේ පියවර හඬ කන වැකෙත්ම දෙනෙත තදකොට වසා ගනිමින් තමා තද නින්දක පසු වන බව ඇඟවූවාය. සුනන්දා කුමන වැඩපළක නිරතව සිටියද සොහොයුරා පසුපස එයි. “අනේ ‍අයියෙ කෙල්ලට ගහන්න බනින්න එපා... ඔහොම ඉන්න අරින්න...” යි ඇය ආයාචනා කරන්නේ හැඬුම්බර හඬිනි.

බ්‍රයන් හා තමා අතර ප්‍රේම සබඳතාවක් නැතැයි පුන පුනා පැවසීමෙන් ඇය හෙම්බත්ව සිටියාය.

“මොන නරි මෝඩ රටක්ද ‍මේ? කොල්ලෙකුට කෙල්ලෙකුට කතා කරන්න බෑ... පැයක් කතා කළොත් කසාද බන්දලා ළමයින්ට උප්පැන්නත් දීලා ඉවරයි.” යි බැණ වදින්නට පවා ඇයට සිතිණ. එහෙත් ඒ වෙනුවට ඇය “මං තේ හදන්නම්” යි කියමින් කාමරයෙන් පිට වූවාය. අෂේන් ඇය පසුපස දිව ගියේය. තනිවූ නලින් කැඩපතින් දිස්වන රුවෙහි වෙහෙසකර හා පරාජිත බවක් ගැබ්ව ඇත්දැයි පිරික්සුවේය. ඔහු දුටුවේ ඉකිබිඳින යුවතියක තුරුලු කරගත් තරුණයෙකුගේ හැඟීම්බර මුහුණය. ඒ දසුනින් තිගැස්සුණු හෙතෙම වහා විසිත්ත කාමරයට ගියේය.

“අපි යන්නම් නලින්. මං හෙට ඉස්කෝලෙ යන්නත් ඕන නේ..” යි සිරිමාන්න වෙහෙසකර හඩින් කීය.

“චුට්ටක් ඉන්න මිස්ට සිරිමාන්න” යි කී නලින් ආපසු හැරුණේය.

“ෂෝක් කොල්ලා නේද අයියේ?” සුනන්දා පහත් හඬින් ඇසුවාය.

“ළමයෙකුත් ඉන්නවා නේද?” සිරිමාන්න නොසැලකිල්ලෙන් කීවේය.

“ඒ වුණාට වැඩි වයසක් නැති පාටයි. ඇත්තට ම අපේ අමා මෙහෙ ආ එකනෙ පුදුමෙ. මේ දෙන්නගෙ මොකක් හරි සම්බන්ධයක් නැති වෙන්න බෑනෙ අයියෙ. එහෙම එකක් නැත්තං අමා එයිද මෙහේ...?”

ඔහු වමතින් නළල මිරිකා ගත්තේ ය.

“අනේ මට තේරෙන්නෑ නංගි... අමා කරන කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ. එයාට තේරෙන්නෙ නෑ අපි කියන දේ... මේක මහා අවාසනාවක්.. මං දන්නෙ එච්චරයි...”

ඇය තවත් යමක් නොපවසා නිහඬ වූවාය. එහෙත් රැකියාවක් සහ මනහර නිවසක් හිමි මේ කඩවසම් තරුණයා අමාලිට නුසුදුසු දැයි යළිත් සිතන්නට වූවාය. ඔහු එක් දරු පියෙකු බව සැබෑය. දික්කසාදය ළඟදීම ලැබෙන බව ඔහු කියා සිටි කල්හි ඇය තුළ යම් අපේක්ෂාවක් ජනිත විය.

“අර රස්තියාදුකාරයාට වඩා දහස් වාරයක් හොඳයි මේ ළමයා” යි ඇය කොඳුළේ බ්‍රයන්ගේ වර්ණ ගැන්වූ හිස දකිමිනි.

මුළුතැන්ගෙයි තේ පිළියෙල කරන යුවතිය දෙස නලින් බලා සිටියේ විමතිය හා ශෝකය ද සෙනෙහස ද මුසු හදිනි.

“අනේ තාත්තා...”

අෂේන් සිය පියා වෙත හෙළුවේ බැගෑබර බැල්මකි.

“ඇයි අෂේන්?” යි අසමින් ඔහු සිය පුත්‍රයා වඩා ගත්තේය.

“ආයෙ එතල් ආන්ටිට එන්න එපා කියන්න.”

“එතකොට මං වැඩට ගියාම ඔයාව බලා ගන්නෙ කව්ද?”

කොලුවා අමාලි වෙත අතක් දිගු කළේය. නලින් පොපියන හදින් ඇය දෙස බැලුවේය. ඇය තේ බන්දේසිය දිගු කළා විනා කිසිවක් නොපැවසුවාය. එහෙත් අෂේන් වඩා ගත්තාය.

“භූතයට තේ එකක් දෙන්නෙ නැද්ද අෂේන්?”

නුහුරු හැඟීම් පිස දමා හරින්නට වුවමනා වූ බැවින් නලින් හාස්‍යයේ පිහිට පැතුවේය.

“ඉතිං තාත්තෙ භූතයනෙ තේ හැදුවෙ...”

මුළුතැන්ගෙය වෙත එමින් හුන් සුනන්දා ඒ උස් සිනා හඬින් ප්‍රමුදිත වූවාය. ඇගේ දෑස දැල්විණ. දරුවා වඩාගත් අමාලි හා තේ බන්දේසිය දෑතින් ගත් නලින් දකිත් ම ඇගේ මුව’ගද ප්‍රීතිමත් සිනාවක් නැගිණ.

සුනන්දා සැනසුම් සුසුමක් හෙළා සුපුරුදු දින චරියාව ආරම්භ කළද සිරිමාන්නට එය පහසු නොවීය. අමාලි සමඟ කතාබහ කරන්නට බලවත් වුවමනාවක් පැන නැඟුණද, ඉඩක් නොලැබිණ. පියා මඟහැර ඉන්නට ඇය වග බලා ගත් බැවිනි. ඔහුගේ පියවර හඬ කන වැකෙත්ම දෙනෙත තදකොට වසා ගනිමින් තමා තද නින්දක පසු වන බව ඇඟවූවාය. සුනන්දා කුමන වැඩපළක නිරතව සිටියද සොහොයුරා පසුපස එයි.

“අනේ ‍අයියෙ කෙල්ලට ගහන්න බනින්න එපා... ඔහොම ඉන්න අරින්න...” යි ඇය ආයාචනා කරන්නේ හැඬුම්බර හඬිනි.

“ගහන්න බනින්න නෙමේ නංගියේ. මේ ළමයා නලින්ගේ ගෙදර හැංගිලා හිටපු එක ගැන අපි හොයන්න බලන්න ඕන නේද? ගෑනු ළමයෙක් කසාද බැඳලා දරුවෙකුත් ඉන්න පිරිමියෙක්ගෙ ගෙදර දවසක් දෙකක් හිටියා කියන්නෙ කොයි තරම් බරපතළ කාරණාවක්ද?”

ව්‍යාජ නින්දක නිමග්නව සිටින යුවතිය දෙස හැරී බලමින් සුනන්දා සිය සොහොයුරාගේ අතින් අදියි.

“මෙන්න මෙහේ එන්න අයියෙ යන්න.”

නිකම්ම නිකං ගෘහණියක වන ඇගේ අණට අවනත වන්නට ඔහුගේ විදුහල්පති තනතුර ඉඩ නොදෙයි. එහෙත් ඇය වදෙන් පොරෙන් මෙන් ඔහු විසිත්ත කාමරය තෙක් ඇදගෙන එයි.

“අනේ ඇත්තට අයියෙ.. දැං ඉතිං නලින් අල්ලගෙන නටන්නද හදන්නෙ? සැරයක් අර බ්‍රයන් එක්ක දැඟලුවා. දැන් මේ මනුස්සයා ගැන ඕන්නැති කතා කියලා අමා යන්න ගියොත් ආයෙ කවදාවත් අපට හොයාන්න හම්බවෙන්නෙ නෑ.. ආං ඒ ටික මතක තියාගන්න හොඳට...”

ඔහුගේ නොඉවසිල්ල අකා මකා දමන්නට ඒ අනතුරු ඇඟවීම සෑහේ. එහෙත් පුටුවක් මත කඩා වැටෙන පියා නවතාලන්නට ඒ අනතුරු ඇඟවීම ප්‍රබල නොවේ.

“ඒ වුණාට මේ ළමයා කරන කියන හැම තක්කඩිකමක්ම කරබාගෙන ඉවසන්න පුළුවන්ද අපට? ගෑනු ළමයෙක් විදියට අමා මේ කරපු දේ අන්තිම නරකයි... වැරදියි....”

සුනන්දා හිස සලා එකඟ වෙයි.

“මං නෑ කිව්වද අයියෙ... ඒ වුණාට අපි කලබල නොවී තව ටිකක් ඉවසමු. අනිත් එක නලින් දැනගෙන ඉඳල නෑනෙ අමා තමුන්ගෙ ගෙදර ඉන්නවා කියලා. දැන ගත්තු හැටියෙනෙ අයියට කියලා තියෙන්නෙ..”

සිරිමාන්න මුව කොන ඇද කළේය.

“කවුද දන්නෙ දෙන්නත් එක්ක එකතු වෙලා ගහපු ගැටයක්ද කියලා. ඔය නලින් කියන මනුස්සයා අපි අඳුනන්නෙ නෑනෙ... නංගි විශ්වාස කළාට මම නම් හිතන්නෙ නෑ අමා ඒ ගෙදර හැංඟිලා හිටපු කතාව ඇත්තක් කියලා. ඒවා නිකං සුරංගනා කතානෙ. දවස් දෙකක් හැංඟිලා ඉන්න පුළුවන්ද ගෙදරක කෙනෙකුට... අර පොඩි එකා දැනගෙන හිටිය නං තාත්තට කියන්නෙ නැද්ද... පොඩි උං ලේසියෙන් බොරුවක් කියන්නෙ නෑ හරි ඉක්මනට ඇත්ත කියනවා....”

සුනන්දා පිරිහුණු චිත්ත ධෛර්යයෙන් සිය සො‍හොයුරා දෙස බලා‍ගත්වන ම සිටියාය. ඔහු ගෙනහැර දක්වන කරුණුවලට ඇය සසලව යයි. ඒ එකක් හෝ බිඳ හෙළන්නට සමත් තර්කයක් ඇය වෙත නැත්තේය.

“අනේ මන්දා අයියෙ... මට තේරෙන්නෑ මොනවා කරන්නද කියලා.” යි ඇය දුබල හා ශෝකී හඬින් කොඳුළාය.

“කරන්න ඕන දේ තමා මං කරන්න හදන්නෙ. කෝ ඉතිං නංගි මට ඒකට ඉඩ දෙන්නෙ නෑනේ. මට අමා ළඟට කිට්ටු වෙන්න දෙන්නෙ නෑ... බෙරිහන් දෙනවා පස්සෙන් ඇවිත්.”

ඇය සමාව අයදින බැල්මක් හෙළුවාය.

“අයිය ඕක අහන්න ගියොත් අමා රණ්ඩු වෙනව අයියෙ. මං හිමීට අහගන්නං... මට බැරි වුණොත් විතරක් අයියා අහන්න...”

ඒ අදහසද නරක නැතැයි ඔහුට සිතිණ. මේ උදෑසන ඔහු මෝටර් රියට නඟින්නේ ඒ කාර්යයෙහිලා නැගණිය අසාර්ථක වන්නේ නම් පාස‍ලේ සිට පෙරලා පැමිණි වහා නඩු විභාගය ආරම්භ කරන අදහසිනි.

“පරිස්සමට යන්න අයියෙ... මේ කරදර ගැන හිත හිතා වාහන එලවන්න එපා. අමාටයි මටයි දෙන්නටම ඉන්නෙ අයියා විතරනෙ..” යි කියන්නට වුවමනා වුවද සුනන්දා නිහඬවම ගේට්ටුව වසා දැමුවාය. ඒ සා හැඟීම්බර වන්නට ඇය අදිමදි කරයි. කඳුළු සුසුම් හා සෙනෙහස අමාලි අබියස විනා එකම සොහොයුරා අබියස නොවේ. ඔහු නිතර කියන්නේ කඳුළු ගැහැනුන්ගේ දුර්වලකම හුවා දක්වන බවය. එහෙත් ශක්තිමත් පිරිමියෙකු වන තමාද ඇතැම් රැයක නිදි යහනේදී අතුරුදහන් බිරිය සිහි කොට කඳුළක් හෙළන බව රහසක් කොට රැක ගනියි.

අමාලිගේ කාමරයට කඩා වැදුණේ හමුදා ‍බළ ඇණියක ප්‍රෞඪ ශක්තිය කැටි කරගත් ගැහැනියකි. මෝටර් රිය පිටත්ව යන හඬත් සමඟ අමා ව්‍යාජ නින්ද නිමා කර තිබිණ.

ලබන සතියට‍...

Comments