සඟ රුවනටත් නිගා කර පේව්මන්ට් පල්ලේ දඟලන සිවුරු පෙරවියන්ගේ ඛේදවාචකය | සිළුමිණ

සඟ රුවනටත් නිගා කර පේව්මන්ට් පල්ලේ දඟලන සිවුරු පෙරවියන්ගේ ඛේදවාචකය

මේ විකෘතිකයන් සසුන්ගත වීමේ ඉතිහාසය බුදුන් ධරමාන කාලය තෙක්ම දිව යයි. බුදුන්වහන්සේගේ අප්‍රමාණ පෞරුෂයටත් වලංගු නොවූ කහකඩයෝ එදවසත් ශාසනයේ උන්හ. පච්චධාරී අයි.ආර්.සී කාරයන්, අසංවර මැරයන්, මනෝ විකෘතික ලිංගික  අසහනකාරයන්, අලජ්ජී අශිෂ්ටයන් කහ සිවුරු පෙරවාගෙන සිටි ආකාරය ශාසන ඉතිහාසයේ පැනේ.

කාම මිත්‍යාචාරී චීවරධාරීන් දෙදෙනෙක් පාරාජිකා වී ඇති ආකාරය පිළිබඳ සමාජය තුළ දිගින් දිගටම දිවෙන ජුගුප්සාජනක කතාබහක් ඉපදී තිබේ. ඒ කතාබහ ඇති වන්නේ දැඩි ලිංගික අතවරයට ලක් වී ඇතැයි කියන සාමනේර හිමිවරුන් දෙනමක් මවුපියන් සමඟ පැමිණ රජයේ ඇමතිවරයෙකුට සිය අවනඩුව පැමිණිලි කිරීමත් සමඟය. චූදිත චීවරධාරීන්ගෙන් අයෙක් රටේ ප්‍රකට ධර්මකථිකයෙකි.

එම සිද්ධිය පවතින සමාජයේ යථා ස්වරූපය අපට කියා දෙමින් සිටී. වින්දිත සාමනේරවරුන් මෙන්ම චූදිත චීවරධාරීන් මුලින්ම දේශපාලනිකව අවභාවිත වූ අයුරු අපට පෙනිණි. පසුව සිද්ධියට මැදිහත්වූ ආමාත්‍යවරයා සමාජයේ නිර්දය විවේචනයට ලක් විය. මල්වත්ත මහ පන්සලට කැඳවා ඔහුට දැඩිව අවවාද කළ බව කියැවිණි. එහෙත් ඒ අපචාරය කළ බව කී පුද්ගලයන් ඉලක්ක කරගෙන නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. රටේ නීතිය වංගු සහිතව ගලා යන නොතේරෙන මොකක්දෝ එකක් බව යළිත් අප දුටුවේය.

මේ අතර චීවරධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන සේ බල කරමින් සංඝ සමාජයේ පෙව්මන්ට් එකේ සිටිනා කසාවතුන් පිරිසක් සටන් කරන අයුරු දුටිමු. එක් කසාවතෙක් කීවේ නොදරු සාමනේර හිමිවරුන් ලිංගික අතවරයට ලක් වී ඇත්දැයි සෙවීමට වෛද්‍ය පරීක්ෂණකයට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බවය. මේ රට තුළ වලංගු පොදු නීතිය කසාවස්ත්‍ර ධාරී දූෂකයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට එරෙහි බලපෑමක් ඔවුහු සිදුකරමින් සිටිති.

අධිකරණ නියෝග නොපිළිගැනීම

මේ අතර ලිංගික අපරාධ පිළිබඳ වගඋත්තරකාරයන් වන චීවරධාරීන් විටෙක අධිකරණ නියෝග නොපිළිගෙන කටයුතු කරන ආකාරය පිළිබඳත් වාර්තා වේ. මේ සිද්ධිය වාර්තා වන්නේ හම්බන්තොට රිදියගමිනි. මේ වන විට උක්ත අපරාධය හම්බන්තොට අධිකරණයේ විභාග වෙමින් පවතී.

හම්බන්තොට රිදියගම පිරිවෙණක් ලෙස පවත්වාගෙන යන ධම්මාවාස නැමැති බෞද්ධ මධ්‍යස්ථානයේ චීවරධාරියා නොදරු සාමනේරවරුන් ගණනාවක් සහාසික ලිංගික අපාරධයන්ට ලක් කිරීම සම්බන්ධව හම්බන්තොට උසාවියේ නඩුවක් ඇසෙමින් පැවතිණි. එහි නඩු අංකය බී.ආර්.621/19 විය. එම නඩුවට අදාළ පරීක්ෂණවලදී එම පන්සලේ විසූ බාලවයස්කාර හිමිවරුන් කිහිප දෙනෙකුටම මේ චීවරධාරියා විසින් අඛණ්ඩව කළ ලිංගික අපරාධ සම්බන්ධව හෙළි වෙමින් පැවතිණි.

එහෙත් 2019 මැයි මස 24 දා මේ චීවරධාරියාට ඇප ලැබිණි. අධිකරණය ඔහුට ඇප ලබා දුන්නේ නැවත එම පන්සලට නොයන ලෙස නියෝග කරමිනි. ඔහුට වාසය සඳහා වෙනත් විහාරස්ථානයක් තෝරාගන්නා ලෙසත් අධිකරණය අණ කළේය. එහෙත් අධිකරණ නියෝග නොතකා මේ චීවරධාරියා නැවත ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි ආකාරයත්, එසේ පැමිණ තමන්ට එරෙහිව පැමිණිලි කළ හිමිවරුන්ට අශිෂ්ට බලපෑම් කරන ආකාරයත් පොලිසියට වාර්තා විය.

මේ අතර පසුගිය මැයි 29 දා 18 හැවිරිදි හිමිනමක් අම්බලන්තොට පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානයේ වර්ෂ 2013 සිට වැඩ වාසය කරනු ලබන බව කී මේ හිමියන්ගේ පැමිණිල්ලෙන් කියැවුණේ වර්ෂ 2014 සිට උක්ත ප්‍රධාන චීවරධාරියා විසින් එවකට 13 හැවිරිදිව සිටි තමන්ව අඛණ්ඩව අපයෝජනය කළ ආකාරය පිළිබඳය. අම්බලන්තොට පොලිසිය ඒ පැමිණිල්ලට අදාළ නඩුව, නඩු අංක බී.ආර්.673/19 යටතේ හම්බන්තොට දිසා / මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළේය. එහිදී පොලිසිය වැඩිදුරටත් උසාවියට කරුණු වාර්තා කරමින් කීවේ මේ චීවරධාරියා උසාවි නියෝග නොතකා පන්සලට පැමිණ කුඩා හිමිවරුන්ට බලපෑම් කරන ආකාරය ගැනය. මේ වන විට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණය ඔහු යළිත් වරක් මුදා හැර තිබේ. නැවත නඩුව 2019.10.03 දින කැඳවීමට නියමිතය.

මේ එළිපිට කියැවෙන්නේ මිනිසුන් දැනගෙනත් නොදැන සේ සිටි යථාර්ථයකි. එසේ මුනිවත රකින්නට නිශ්චිත හේතුවක් තිබිණි. සුපේෂල ශික්ෂාකාමී යතිවරු ඉතිහාසය පුරාම මේ රටේ වැඩඋන්හ. අදත් වැඩ සිටිති. උන්වහන්සේ ස්වකීය අධ්‍යාත්මික සුබසිද්ධිය මතු නොව, සමාජ සුබසිද්ධිය වෙනුවෙන්ද කැපවෙමින් නිහඬ අල්පේච්ඡ ජිවිත ගත කළහ. අදත් එසේය. වසර දහස් ගණනක් තිස්සේ සංඝ සමාජයට මහා ප්‍රභාවක් දෙමින් එහි පාරිශුද්ධත්වය සාධනය කරනු ලැබුවේ උන්වහන්සේ ය. සිවුරු පෙරවි නිඝණ්ඨයන් අතළොස්සකගේ එවැනි අශික්ෂිත සමාජ විරෝධී ව්‍යසන උපේක්ෂාවෙන් දකින්නට මිනිසුන් උත්සාහ කළේ සිල්වත් භික්ෂූන්ගෙන් ශෝභනය වන ශාසනය තුළ ද ඉහඳ පණුවන් ද මතු විය හැකි බවට වූ යථාවබෝධයෙනි. එමෙන්ම එවැනි අලජ්ජී විකෘතිකයන් ශාසනයෙන් පලවා හැරීමේ ක්‍රමවේදයක් සංඝ ශාසනය තුළම තිබිණි. එම සංඝාධිකරණය අතිශය ව්‍යක්ත හා ප්‍රබුද්ධ එකක් විය.

අලජ්ජීන්ගේ ඉතිහාසය

මේ විකෘතිකයන් සසුන්ගත වීමේ ඉතිහාසය බුදුන් ධරමාන කාලය තෙක්ම දිව යයි. බුදුන්වහන්සේගේ අප්‍රමාණ පෞරුෂයටත් වලංගු නොවූ කහකඩයෝ එදවසත් ශාසනයේ උන්හ. පච්චධාරී අයි.ආර්.සී කාරයන්, අසංවර මැරයන්, මනෝ විකෘතික ලිංගික අසහනකාරයන්, අලජ්ජී අශිෂ්ටයන් කහ සිවුරු පෙරවාගෙන සිටි ආකාරය ශාසන ඉතිහාසයේ පැනේ. බුදුන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කල්හි කීටාගාරයේ ආවාසිකව හිඳ, කුල ස්ත්‍රීන් දූෂණය කරමින්, සුරා පානය කරමින්, සූදු කෙළිමින්, මල්ලව පොරයන්හි යෙදෙමින්, සඟල සිවුරු එළා ඒ මත නළඟනන් නටවමින්, ඔවුන් හා ආලිංගන රංගනයේ යෙදෙමින් සිටි අස්සජි පුනබ්බසුක වැනි භික්ෂූන් පිළිබඳ පවත් විනය පිටකයේ පාරාජිකා පාලියේ දැක්වේ. ඒ චීවරධාරී මැරයන් මර්දනය කිරීම සඳහා තරුණ ජවය සහිත බොහෝ භික්ෂූන් සමඟ සැරියුත් මුගලන් හිමිවරුන්හට කීටාගාරය වෙත වඩින්නට සිදු වූ ආකාරයත් අතීත ශාසන පවත් පෙන්වා දෙයි.

බුදුන්වහන්සේ විසින් විනය නීතියක් පනවනු ලබන්නට අනුදැන වදාරන්නේ සංඝයාගෙන් අයෙකු යම් විනය විරෝධී, සමාජ විරෝධී කටයුත්තක් කළ පසුවය. මුල්ම විනය නීතිය පැනවෙන්නේ බුදු සසුන පිහිටුවා වසර විස්සකට පසුවය. ඒ සුදින්න සිටුපුත් තෙමේ මහණව අට වසරක් ඇවෑමෙන් සිය ගිහි නිවසට වැඩම කර ගිහි කල බිරිය හා සංවාසයේ යෙදී ඇය ගැබ්ගැන්වීමෙන් පසුය. බුද්ධ ශාසනයේ පළමු විනය නීතිය පැනවෙන්නේ ලිංගික හැසිරීම් තහනම් කරමිනි. එනම් “යම් මහණෙක් ලිංගිකව හැසුරුණේ නම් පාරාජිකා වේ... සංඝයා සංවාසට නුසුදුසු වේ” ලෙසය. ඉන් ටික දවසකට පසු මෙම ශික්ෂාපදයට අනුප්‍රඥප්තියක් එක් විය. ඒ “තිරිසන්ගත ස්ත්‍රියක සමඟ වුව ලිංගිකව හැසිරුණේ නම් පාරාජිකා වේ” ලෙසය. එවැනි අනුප්‍රඥප්තියක් පැනවෙන්නේ විශාලා මහ නුවර මහා වනයේ විසූ භික්ෂුවක් වැඳිරියක හා සංවාසයේ යෙදීම හේතුවෙනි. මළමිනී සමග ද, දිරාපත් නොවූ මිනිස් අස්ථි පංඤජර සමඟද මෛථුනයේ යෙදුණු මනෝ විකෘතිකයන් ශාසනයට අතුළු වී සිටි ආකාරය පිළිබඳ සරල කියවීමක් විනය පිටකයේ පාරාජිකාපාලිය යන්තම් දැකීමෙන් පමණක් වුවද වටහාගත හැකිය.

අතළොස්සක් අශිෂ්ටයන් සිටියද ගිහියෙකු ලෙස ශාසනයට ඇතුළු වන පුද්ගලයෙක් පොදුවේ ඒ සිල්වත් සමාජය තුළ ශික්ෂණය වුණේත්, පොදු සමාජයේ හැඩය සංඝ සමාජයෙන් රූපණය නොවුණේත් ඊට ඇතුළු වන්නන් හික්මවීම සඳහා ප්‍රබුද්ධ ශාසන භාරයක් සහිත ආදර්ශවත් යතිවරු අධ්‍යාත්මික ගැඹුරක් හා විනයක් සහිතව හැසිරුණු නිසාය. ඒ ශාසන භාරය ලිහිල් වූ සෑම අවස්ථාවකම බෞද්ධ සමාජය බරපතළ ව්‍යසනයකට ලක් විය.

මේ තත්ත්වය අපි ඉතිහාසය පුරාම අත්දැක්කෙමු. මිහිඳු හිමියන් මේ රටේ සංඝ සමාජය පිහිටුවනු ලබන්නේ දේශපාලනික බරක්ද සමඟිනි. රජුන්ට ඉදිරියෙන් වැඩ සිටිනා සංඝයා වහන්සේ සමාජයේ සංස්කෘතික හා අධ්‍යාත්මික හැඩය නිර්මාණය කළහ. ස්වකීය කාර්ය රාජ්‍ය භාරය ඉක්මවා යන්නක් බවට වූ අවබෝධය ශාසන භාරකරත්වයට තිබිණ. මේ සංයමය මුල්ම වරට බිඳෙන්නේ බුදු සසුන පිහිටුවා ශතවර්ෂයක් ගතවන්නටත් පෙරය.

දුටුගැමුණු රජ සමයේ සංඝයා වහන්සේට විශාල ගෞරවයක් හා බලයක් ආරෝපණය වුණු ආකාරයක් ඉතිහාසයේ පැනේ. හෙතෙම යුද්ධයට යන්නේත් මහා සංඝයා පෙරදැරිවය.

සංඝයා සතුව තිබූ එම සිවිල් බලය දුටුගැමුණු රජු ඇවෑමෙන් එළඹෙන කෙටි කාලයකින් ප්‍රකාශ වන්නේ රටේ චිරාගත රාජ්‍ය සම්ප්‍රදාය සංඝයා එක්ව බිඳ දැමීමෙනි. සද්ධාතිස්ස රජුගෙන් පසු ථූපාරාමයට රැස්වූ සංඝයා ස්වකැමැත්තෙන් සද්ධාතිස්සයන්ගේ දෙටු පුත් ලජ්ජිතිස්ස තබා කනිටු පුත් ථුල්ලත්ථන රාජ්‍ය බලයෙහි පිහිටුවීම ඒ ඓතිහාසික සිදුවීමය.

සංඝයාගේ දේශපාලන මැදිහත්වීම්

අනතුරුව ථුල්ලත්ථන පලවා බලයට එන ලජ්ජිතිස්ස තුන් වසරක් සංඝයාට නිගරු කොට හැසිරණ අයුරු මහාවංසය කියයි. එසේ ඇරඹි සංඝයාගේ දේශපාලන මැදිහත්වීම් වළගම්බා රජ සමයේදී රටේ නිකාය භේදයක් නිර්මාණය කළේය. මහසෙන් රජ සමයේ ශාසන විලෝපනයක් කළේය. මහා විහාර නිර්මාණය වීමෙන් අනතුරුව ශාසනික අරමුණු තුරන් වූ දේශපාලන බළකොටු බවට එම මහාවිහාර පත් විය. ස්වකීය දේශපාලන අභිමතාර්ථ සඳහා රජවරු මහාවිහාර ඇසුරු කළහ.

දුශ්ශීල භික්ෂූන් ශාසනය තුළ ඇති කළ විප්‍රකාර මැඬ පැවැත්වීමට ශාසන භාරධාරීන්ට මතු නොව රටේ රජතුමා නියෝජනය කරන රටේ නීතියටත් නොහැකි වූ අවස්ථා තිබිණි. ක්‍රිස්තුවර්ෂ 30 දී රජ වුණු කණීරාජානු තිස්ස රජු සෑගිරිය පොහොය ගෙයි සංඝයා අතර ඇති වූ ආරවුලක් විසඳීම අවසානයේදී කෙළවර වන්නේ භික්ෂූන් විසින් කරන ලද රාජ අපරාධ කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමෙනි. රජු මැරීමට කුමන්ත්‍රණය කළ භික්ෂූන් හැට නමක් රජ තුමා විසින් ඝාතනය කරනු ලැබූහ. ක්‍රිස්තුවර්ෂ 614 දී රජවන සිලා මේඝවර්ණ රජුගේ වකවානුවේ අභයගිරියේ වැඩිවන දුශ්ශීල භික්ෂූන්ගේ බලය රාජ්‍ය අනුග්‍රහය සහිතව මර්දනය කරන්නට ගිය බෝධි නැමැති භික්ෂුවක් අභයගිරිය තුළදීම දුශ්ශීලයන් අතින් ඝාතනය වන ආකාරය මහාවංකසය කියයි. ශාසනික අරමුණු ඉක්මවා දුශ්ශීල භික්ෂු බලය ප්‍රධාන ආරාම තුළ වර්ධනය වන විට එය දැක කලකිරුණු අභයගිරිවාසී විනයගරුක භික්ෂූහු මහා ආරාමය හැරගොස් පාංශුකූලික භික්ෂු පරම්පරාව ගොඩ නැංවූ ආකාරයත්, ඒ සිල්වත් භික්ෂූහු සමාජයේ අප්‍රමාණ වන්දනාවට පාත්‍රවූ ආකාරයත් වංශකථා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක තහවුරු කරයි. ශාසන විලෝපන, දුශ්ශීල භික්ෂූන්ගේ අගතිගාමී හැසිරීම්, ශාසනයේ හරය රක්ෂා කිරීම සඳහා සිලවත් භික්ෂූන් කළ විශිෂ්ට පරිත්‍යාග මෙන්ම බිහිසුණු සමාජ ඛේදවචාක අතරින් ගලාගෙන එන ලංකාවේ ශාසනයේ වංශකථාව ලංකා ඉතිහාසයේම පිළිබිඹුවකි. අනුරාධපුර යුගයේ අග භාගයේ සිට නුවර යුගය දක්වා යම් යම් වකවානුවල රටේ එකම උපසම්පදා භික්ෂුවක්වත් සොයාගත නොහැකි වූ අවස්ථා තිබිණි.

කහ නූලක් අතේ බැඳගෙන ගොවිතැන් කරමින් අඹුදරුවන් පෝෂණය කළ ගණින්නාසේලාගෙන් ශාසනය නියෝජනය කරනු ලබන කාලයක් තිබිණි. වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන් විසින් යළි ප්‍රභාමත් කරනු ලැබුවේ ඒ බිඳවැටුණු ශාසනය ය.

සමාජ ප්‍රාර්ථනාව

මේ වකවානුවලදීත් මිනිස්සු ස්වකීය අධ්‍යාත්මික ප්‍රාර්ථනාවන්හි පිළිබිඹුවක් සංඝ ශාසනයෙන් අපේක්ෂා කළහ. සරණංකර හිමිපාණන්ට ශාසනය පුනරුත්ථාපනය කිරීමේ අවකාශ සැලසුවේ ඒ සමාජ ප්‍රාර්ථනාවය.

ඒ ප්‍රාර්ථනාව මේ මොහොතේත් මේ රටේ මිනිසුන් තුළ තිබේ. ශාසනය තුළ ජීවත් වන සොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකයන්, බොරුකාරයන් දුටුවද ඔවුන්ව ඉවසමින් ස්වකීය පාරිශුද්ධ චිත්තරූපය කෙලෙසා නොගන්නේ ඒ නිසාය. ධර්ම ප්‍රදීපිකාවේ පැනෙනා එක් කතාවක් මේ මනෝභාවය විවරණය කරයි.

මෙරට ජය ශ්‍රී මහා බෝධිය පිහිටුවා සියක් වසරක් ඉකුත් වන වකවානුවේ ලක්දිව මහලේ විරිඳුනාවෝ නම් කෙනෙක් වූහ. මේ වකවානුව වන විට මහා සෑය ඉදි වී නොතිබිණි. සර්වඥ ධාතු නිදන්කොට තැනූ ථූපාරාමය පමණක් විය. හේ මහ බෝ වැඳ ධාතු වන්දනා පිණිස ථූපාරාමය වෙත ගමන් කරමින් සිටියදී සිවුරු පෙරවි ස්ත්‍රියක හා පුරුෂයෙකු පඳුරක් යට ලිංගිකව හැසිරෙමින් සිටින අයුරු දුටුවේය. හේ මින් කම්පා වන්නේ අප කුල දෙවියන්ගේ වරදක් දුටුවේය, ඔවුන් කෙරෙහි උපන් අප්‍රසාදයෙන් අපායභාග්වම්හයි සිතා ඇස් පුරා වැලි පුරවා මිරිකා ඇස් අන්ධ කරගත්තේය. කතාව ප්‍රකාරව අවසානයේ මහකෙළ නා රජු දෙන කඩුපුල් මලක ආනුභාවයෙන් ඔහුට පෙනීම ලැබෙයි. මහලේ විරිඳුනාවන්ට බලාපොරොත්තු සහගත වීමට තරම් සාර ශාසනික වටපිටාවක් එකල්හි තිබුණු බව පෙනේ.

එහෙත් ඒ අධ්‍යාත්මික ප්‍රාර්ථනාව නොව, අවම සදාචාර වටිනාකම් රක්ෂා කර නොගෙන ජාතික ව්‍යසනයකදී පවා පුහුදුන් ගෝත්‍රිකයන් ලෙස හැසිරෙන, රට ව්‍යසනයට ලක් කරන දේශපාලනය වෙනුවෙන් අවිචාරවත්ව කටයුතු කරමින් පන්සල් දේශපාලන ගුබ්බෑයම් කරන, ලෙයට ලෙයම ඉල්ලමින් සිවුරුවලින් පිට පොට ගසාගෙන දඟලන අස්සජි - පුනබ්බසුක පරම්පරාවේ මැරයන් සිල්වත් භික්ෂූන් හා භික්ෂු පරමාර්ථ යට කොට මතුව පිස්සු කෙළින විට පොදු මිනිසා ඒ අශිෂ්ටත්වය ඉවසන්නේ නැත. දුශ්ශීල සංඝයා විෂයෙහි දැන් ගිහි සමාජය විසින් එළිපිට කෙරෙන විවේචනයේ නොකියැවෙන කතාව එයය.

මේ මැරයන් පන්සල් ගුබ්බෑයම් කරගෙන සාමනේරවරුන් දූෂණය කරන්නට බලය ඉල්ලති. එළිපිට පාරාජිකා වූ අශිෂ්ටයන් සිවුරු ගලවා පන්නා දමනු වෙනුවට ඔවුන්ව රක්ෂා කරන්නට පෙළ ගැසෙති. රටේ නීතිය ඔවුන්ට වලංගු නොවන බව පෙන්වන්නට බලය යොදති. කහරෙද්දක් රෙදිවැලක වැනූ විට එය චීවරයක් වන්නේවත්, රෙදි වැල පූජනීයවන්නේවත් නැති බව පොදු සමාජය මේ කසාවස්ත්‍රධාරීන්ට කියා දෙන්නට යන්නේ ඒ අවසාන ඉවසීමේ සීමාවත් ඉක්ම වන තැනය.

Comments