
අද පුවත්පතෙහි ප්‍රකාශ වන විචාර ගැන නම් කතා කිරීම පවා නිෂ්ප්‍රයෝජන ය. එම පුවත්පත් විචාරය වනුයේ කෘතියක හොඳ ප්‍රකාශ කිරීම පමණකි. අඩු ලුහුඩුකම් පෙන්වා දුන්නහොත් ඒ කෘතියේ නිර්මාණකරුවා බොහෝ සේ කලබල වෙයි. පෙරළා එම විචාරය ලියූ පුද්ගලයාට මතු නොව එම ලිපිය පළ කළ පුවත්පතට, පුවත්පතේ බලධරයන්ට පවා විරුද්ධ ව ක්‍රියාත්මක වෙයි.
මගේ පැහැදිලි අදහස වනුයේ මේ රටේ හොඳ සාහිත්‍යයක් කියැවීමට අවශ්‍ය නම් අද පවතින සම්මාන උලෙළවල් තහනම් කළ යුතුය යන්න ය. මන්ද මේ සම්මාන ප්‍රදානයෙන් සිද්ධ වන හානි මෙතෙකැයි කියා කියා නිම කළ නොහැකි හෙයිනි. ලේඛකයාට වන ලොකු ම හානිය නම් සුවිශාල කැපවීමකින් යුතුව, හොඳ නිර්මාණ, හොඳ කෘති බිහි කළත් ඒ නිසාම ඔහුට ඇති වන කලකිරීම හා පසුබෑම ය. එය එසේ වනුයේ විශේෂයෙන් වෙනත් කිසිදු හේතුවක් නිසා නොව සම්මානයක් ලැබීම හෝ සම්මානයකට නිර්දේශ වීම යනු වසරේ හොඳම, නොහොත් මඟ නොහැර කියැවිය යුතු ම කෘතිය ලෙස එය නිර්දේශ වීම නිසා ය. එවිට කාර්බහුල, තරඟකාරී ජීවිතයකට උරුමකම් කියන නූතන පාඨකයා, සමාජය කෙසේ හෝ සොයා ගනුයේ, කෙසේ හෝ කියවා ගනුයේ ඒ නිර්දේශිත කෘතිය පමණක් වීම නිසා ය. නොහොත් අනෙකුත් හොඳ නිර්මාණ පාඨකයාගෙන් ගිලිහී යෑම නිසා ය. එසේම උසස් කියැවීමක් සහිත පාඨකයාත් සිය කාර්යබහුලත්වය නිසා හඹා ගෙන ගොස් සොයා ගනුයේ සම්මාන ලැබුණ පොත ය. එය කියවා ඔවුහු ‘අපේ නවකතාව අද තියෙන්නෙ මෙතනද?’ කියා විපිළිසර වෙති. තව මොහොතක ‘අය්යෝ මේවද සිංහල නවකතා කියල කියන්නෙ? විශ්ව සාහිත්‍යයට සාපේක්ෂව සිංහල නවකතාව මේ තරම් දුප්පත්ද?’ කියා සමස්ත සිංහල නවකතාව ගැනම කලකිරෙති.
එසේම අද නිර්මාණකරුවාගේ මනස මෙකියන සම්මාන සිහිනය විසින් විකෘති කොට ඇති නිසා ඔහුගේ මනස ඔහුට ලියන්නට කියනුයේ සම්මානයක් ගන්නා තරඟයකට වීම ද තද් සාහිත්‍යයේ පරිහාණියට හේතුවකි. එහෙයින් ඔහුට ශානරයේ දියුණුව හෝ සමාජයේ සුබ සාධනයක් සඳහා පාඨකයා අමුතු චින්තනයකට ඇරලවීමක් අවශ්‍ය වන්නේ නැත. ඔහුට අවශ්‍ය වනුයේ සම්මානය දිනා ගැනීම ම පමණකි.
සැබවින්ම වර්තමාන සිංහල සාහිත්‍යය පවතිනුයේ සුවිශාල අවනතියක බව පිළිගත යුතුය. එසේ කියනුයේ හොඳ නිර්මාණ බිහි නොවෙනවා යන අදහසින් නොවේ. පවසරේ ප්‍රකාශිත කෘති අතරේ හොඳ නිර්මාණ තිබේ. එහෙත් ගැටලුව වනුයේ ඒවාට හිමි තැන නොලැබීම නොහොත් සම්මානයකට පාත්‍ර නොවීම සහ එනිසා ඒවා පාඨක අවධානයෙන් ගිලිහීම ය; ඒ විවිධ කාරණා හේතු කොටගෙනය. උදාහරණයක් දෙකක් ගතහොත් පසු ගිය අවුරුදු දෙක තුනේ ලියැවුණු ආරියවංශ අබේසේකරගේ ‘මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක්’, නිශ්ශංක විජේමාන්නගේ ‘තාරා මගේ දෙව් දුව’, සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අතනෑර’ වැනි නවකතා දැක්විය හැකිය. මේ නවකතා ත්‍රිත්වය ම ඉතා අපූර්ව ලෙස සාහිත්‍ය සංස්කෘතියේ එන නූතන ම සංකථන වන ‘අන්‍යත්වය හා ආත්මීයත්වය’ විශ්ලේෂණය කිරීමේ කාර්යයේ යෙදුණේ ය. ඒ ප්‍රස්තුත තුනක ය. ‘අත අතනෑර’ මූලිකවම හිසෙන් එක ම සිරුරකට බද්ධ ව සිටින පුද්ගල මනස් දෙකක ක්‍රියාත්මක අන්‍යත්වය හා ආත්මීයත්වය හෙළිදරව් කරනුයේ ඉතාමත් චමත්කාරජනක ලෙස ය. ‘තාරා මගේ දෙව් දුව’ දෙමළ, සිංහල අනන්‍යතා ඔස්සේ ගොඩනැඟෙන සංස්කෘතික විකාර පසෙක තබා මනුෂ්‍යත්වය සමඟ එකතු වීමට පාඨකයාට ආරාධනා කළ අතර ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’ නවකතාව සිංහල හමුදා සෙබළකුගේ සිරුරකට දමිළ එල්.ටී.ටී.ඊ. තරුණයකුගේ ආත්මයක් බද්ධ කෙරෙන අතරේ එසේ හිස් වූ දමිළ ශරීරයට අර සිරුර අහිමි වුණ හමුදා සෙබළාගේ ආත්මය බද්ධ කොට ඉතාමත් සුන්දර ලෙස අපට අන්‍ය වූ සංස්කෘතිය කියැවීමට අවස්ථාව උදා කොට දුන්නේ ය. මේ නවකතා තුනෙහි ම ආකෘතිය අපූරු ය; නිර්මාණාත්මකය; රූපකාත්මක ය; ‘මේක වෙන්න පුළුවන්ද?’ කියා ප්‍රශ්න කරන ඊනියා යථාර්ථවාදයක් හිසෙහි තබා ගත් අයට නම් විකාරයකි. එහෙත් මේ සිංහල නවකතා ශානරයේ අලුත් අත්හදා බැලීම් ය. එහෙත් කරුමය නම් අපේ විචාරකයා ඒ නවකතා ගැන කට නොහෙල්ලීම ය. ඒවා කිසි සම්මානයක් හිමි කොට නොගැනීම ය.
බුදුන් වහන්සේ කලියුග කාලය සඳහා, එනම් අද යුගය සඳහා දේශනා කළ බවට ජාතක කතාකරුවා විසින් දක්වන, කොසොල් රජු දුටු සිහින දහසයෙහි ඵලාඵල විභාගය ඇතුළත් මහා සුපින ජාතකය ජාතක පොතේ එන අගය මෙතෙකැයි කියා කියා නිම කළ නොහැකි අපූර්ව කතාවකි. සැබවින්ම මේ ජාතකය අද තරම් වෙන කවර දාකට ගැළපෙන්නේද යන්න අපට ප්‍රත්‍යක්ෂයෙන් වැටහෙනුයේ ඒ සිහින ඵලාඵල විසින් විග්‍රහ කරන ලද සියලු අකටයුතු අද ඇස් පනා පිටම සිද්ධ වනවා දැකිය හැකි හෙයිනි. සොබා දහමෙහි සංසිද්ධියෙහි පටන් එහි එන පිළිවෙළට සිද්ධ වනුයේ මහා සුපින ජාතකය දන්නා අප කවුරුත් පුදුමයට පත් කරවමිනි. අපි එහි එන තෝරා ගත් සිහින සහ ඵලාඵල කිහිපයක් විභාග කොට බලමු.
“ස්වාමීනි ආරෝහ පරිණාහ සම්පන්න වූ මහගොන් යුග පරම්පරා අග යොදා තරුණ වූ ගොන්නාඹුන් රථසකටාදී වූ භාරයන් අදනා සඳහා මුල් ගැල් හිස යොදන්නවුන් දිටිමි. ඒ නාඹුගොන් මුල යොදන ලද්දාහු භාරය ඇදගත නොහී කරින් විය දමා සිටියාහුය. එසේ හෙයින් ගැල් කැමති තැනකට ගොස් වෙළඳාම් ආදී වූ කාරිය සමුර්‍ධ කොට ගන්ට නුවූයේය... මහරජ්ජුරුවෙනි මීට විපාක අනාගත කාලයෙහි අධර්මිෂ්ට වූ රජදරුවන් සමයෙහි වන්නේ ය. අනාගතයෙහි අධර්මිෂ්ට වූ කෘපණ වූ රජදරුවෝ නුවණැත්තා වූ පරම්පරාව දැන්මෙහි සමර්‍ථ වූ ඒ ඒ කාර්‍ය්‍ය සමුර්‍ධ කොට දීලන්ට නිසි වූ මහා අමාත්‍යයන්ට යස පිරිවර නොදෙති, ධර්‍මාධිකරණයෙහිත් රාජකාර්‍ය්‍ය විචාරන්නා වූ ස්ථානයෙහිත් නුවණැත්තා වූ විනිශ්චයෙහි දක්‍ෂ වූ පරම්පරාවෙන් පැවත ආවා වූ වයෝවෘර්‍ධ අමාත්‍යයන් නොසලස්වති. ඔවුන්ට විරුද්ධ වූ තරුණ වූ බාල අමාත්‍යයන්ට යස පිරිවර දෙති. එබඳු වූවන්ම විනිශ්චයෙහි සලස්වති. ඒ තරුණ අමාත්‍යයෝ රාජ කටයුතු හා යුක්තා යුක්ති නොදන්නාහු ඒ තමන්ට දුන් යස සත් දරාගත නොහෙති. මහලු වූ නුවණැති අමාත්‍යයෝද යසස් නොලබන්නාහු රාජ කටයුතු සමුර්‍ධ කොට දීලන්ට සමත්‍ර්‍ථයෝ වී නමුත් අපට මේ රාජ කටයුත්තෙන් ප්‍රයෝජන කිම්ද? අපි දැන් පිටත්ව ගියමෝ වේද? අභ්‍යනතර වූ බාල අමාත්‍යයෝම ඒ රාජකාරිය දන්නෝ වේදැයි උපන්නා වූ රාජකාරියක් නොකෙරෙති. එසේ කල්හි සර්‍වප්‍රකාරයෙන්ම ගැල් හිස උසුලන්ට අසමර්‍ථ වූ නාඹුගොන් ගැල් හිස වියෙහි යෙදූ කලක් මෙන්ද ගැල් හිස උසුලන්ට අදින්ට සමර්‍ථ වූ මහගොන් වියදඬු පරම්පරාවන් අග යෙදූ කලක් මෙන්ද, ඒ රජ දරුවන්ට මහත් වූ පරිහානියම වන්නේය.”
බුදුන් වහන්සේ විසින් දේශිත මේ මාහැඟි ‘අනාගත ප්‍රක්ෂේපණය, පේනය’ අද සාහිත්‍යයයේ සෑම තැනක ම ක්‍රියාත්මක වන බව කිව යුතුය. වසරේ හොඳ ම කෘතිය කුමක්දැයි කියා තෝරන සම්මාන මණ්ඩලවල සිටිනුයේ හොඳ සාහිත්‍යය මෙන්ම නූතනම සාහිත්‍යය කියැවීමේ අත්දැකීම් අඩු එහෙයින් ම ඒ සාහිත්‍යය නිසි ලෙස කියවා ගැනීමට අවශ්‍ය විචාර බුද්ධිය සහ විවේකය, දැනුම නොමැති පිරිස් ය. (මහා සුපින ජාතකයේ තරුණ, බාල, අකුලීන ආදී වශයෙන් හැඳින්වෙනුයේ මෙම අර්ථයෙන් මිස කුලයෙන් අඩු හෝ වයසින් බාල යනාදී අර්ථවලින් නොවේ.) විශේෂයෙන් මෙතැනදී ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මානවල පාදක මණ්ඩලයේ සිටින සාමාජිකයන් දැක්විය හැකිය. ඔවුහු කොහෙන් හෝ අහුලා ගත් වෙන වෙන සබඳතා පදනම් පිට තෝරා ගත්තෝ වෙති. විශේෂයෙන් සාහිත්‍යයේ හොඳ කියැවීමක් ආචාර්ය මහාචාර්ය පිරිස්වලට සහ නිර්මාණකරණයේ යෙදෙන ලේඛක, ලේඛිකාවන්ට තිබෙනුයේ ඔවුන් අඩුම තරමේ ළමුන්ට ඉගැන්වීමේ සහ සිය ලිවීමේ කාර්යයේදීවත් මේ ප්‍රවණතා කියවන, ඉගෙන ගන්නා නිසා ය. එහෙත් පාදක මණ්ඩලයේ ඒ කිසිවකුත් නැත. සිටිනුයේ එක්කෝ ජනප්‍රිය රූපවාහිනී හෝ රේඩියෝ චැනලයක නිවේදකයෙකි; නැත්නම් මෙලෝ කියැවීමක් නැති පුවත්පතක සාහිත්‍ය පිටුවක් සකසන්නෙකි; එසේත් නැත්නම් බලවතකුගේ අම්මා කෙනෙකි; සහෝදරියකි; නැත්නම් මුද්‍රණාලයක අයිතිකරුවෙකි; එක්කෝ පාසැල් විෂය නිර්දේෂයට අදාළ ගුත්තිලයවත් හරියට කියවා ගත නොහැකි ගුරුවරියකි. ඉඳින් අවසාන වටය සඳහා සුදුසු කෘතිය තෝරා දෙන්නේ එසේ වූ නුසුදුස්සන් ය. උත්තරීතර මණ්ඩලයේ සිටින ප්‍රබුද්ධයා පවසනුයේ ‘මොනවා කරන්නද අපට ලැබෙන පොත් හතරෙන්, පහෙන් එකක් තෝරලා දෙන එක තමා අපිට තියන රාජකාරිය’ කියා ය. නිතරම මේ පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිද්ධ වනුයේ කෘතියක් නිසි ලෙස කියවා ගැනීමේ අවබෝධය නැත්තා සේම තමන්ට කියැවීමට දෙන කෘතිය නොකියවා, කියැවූ බව අඟවා, අනෙක් අයගේ මතයට එකඟ වීම ය. විශේෂයෙන් ම පිටු දෙසිය පණහ, තුන්සියය ඉක්මවන කෘතියක් නම්, එය නම අප්‍රසිද්ධ, බලයක් නැති අයකුගේ නම්, එය යන්නේ කුණු කූඩයට ම ය. තවත් විධියකින් ඔවුන් කිසිදු කියැවීමකින්, විචාරයකින් තොරව ඉතිහාසයේ ප්‍රවීණයන් ලෙස සම්මතව සිටින අයගේ නම බලා ඔහුගේ, ඇයගේ කෘතිය අවසන් වටයට තේරීම කරන්නේ ය. නැත්නම් තව ද, ඊට ද වඩා ප්‍රබල, සුවිශේෂ පදනමක් තිබේ. මහා සුපින ජාතකය එය මෙසේ දක්වයි.
“ස්වාමීනි පෙර දිවියෝ එළුවන් කති. මම වූ කලි දැන් එළුවන් දිවියන් පසු පස්සෙහි ලුහුබඳවාගෙන ගොස් මුරු මුරු යන අනුකරණ කොට කන්නා දිටිමි. එකල්හි අන්‍ය වූ දිවියෝ එළුවන් දුරින්ම එන්නා දැක භයින් ත්‍රස්තව පලා ගොස් කැළයට වැද සැඟවෙන්නාහුය.... මහ රජ්ජුරුවෙනි, මීටත් අනාගතයෙහි අධර්මිෂ්ඨ රජ දරුවන් සමයෙහි විපාක වන්නේය. එසමයෙහි අකුලීනයෝ රාජවල්ලභ වෙති. ඉසුරුමත් වෙති. කුලපුත්‍රයෝ අප්‍රසිද්ධ වෙති. ඒ රාජවල්ලභ වූ කුලහීනයෝ තමන්ගේ බස් රජ දරුවන්ට කියා ගිය නම් මා විනිශ්වය ශාලාදියෙහි බලව හිඳ ජාති සම්පන්න වූ ප්‍රවේණියෙන් ආවා වූ සත්‍වයන්ගේ කෙත්වත් ආරාමාදියට මේ අප සන්තක වූ කෙත්වත් ආදිය යුක්ති බැණ ඒ ඒ කුලයන් විසින් ‘තොපගේද අපගේදැයි කියා විනිශ්චය සථානාදියෙහි විවාදකරන කල්හි වේවැල් ආදියෙන් ගස්වා බොටුව අල්වා ඉවත දම්මවා ‘තොපගේ පමණ නොදනුද? අප හා සමඟ විවාද කරව්ද? දැන් රජ්ජුරුවන් වහන්සේට දන්වලා හස්ත පාදාදිය කප්පවා පියමි’ ඒ කුලපුත්‍රයා භය ගන්වති. ඒ කුලපුත්‍රයෝ රාජවල්ලභ වූ කුලහීනයන්ට භයින් තමන් සන්තක වූ ක්‍ෂෙත්‍ර වස්තු ආරාමාදිය තොපිම ඇරගනුව; තොපටම යයි පාවාදී තමන් ගෙට යහපත්ව වැදහෝනාහුය... වනයට වැද කැලෑදියෙහි සැඟවී හිඳිනා සේක. මෙසේ කල්හි හීන ජාතීන් හා පාපී භික්‍ෂූන් විසින් පීඩිත වූ ජාතිමත් කුලපුත්‍රයන් හා ලජ්ජි භික්‍ෂූන් එළුවන්ට යටින් දිවියන් සැඟවී භය ගෙන පලා යන කලක් මෙන් වන්නේය.”
මේ අපූර්ව ලෙස ප්‍රකට කරනුයේ ‘හිතවත්කම’ පිළිබඳ ගැටලුවයි. එකක් හිතවත්කම මත සමීක්ෂණ මණ්ඩලවලට නුසුදුස්සෝ පත් කිරීමයි. අනෙක ඒ නුසුදුස්සන්ගේ මාර්ගයෙන් නුසුදුස්සන්ට සම්මාන ලබා දීමයි. පසුගිය වසර කිහිපය පුරාවට සම්මාන දිනා ගත් කෘතීන්ගෙන් ‘හිතවත්කම නොහොත් ඒ මත නිර්මාණය වූ සම්මාන බෙදා ගැනීමේ කණ්ඩායමෙන්’ පරිබාහිර කෘතියකට සම්මානය හිමි වූයේ නම් ඒ ඉතා ම කලාතුරකින් බව කිව යුතුය. බොහෝ විට සිද්ධ වනුයේ මේ වසරේ සම්මානය ගන්නා නිර්මාණකරුවා ඊළඟ වසරේ තම මිත්‍රයාට සම්මානය දිනා දීමට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කොට දීම ය. එහිදී විශේෂයෙන් ඔහු රහසේ සිට සම්මාන සමීක්ෂණ මණ්ඩලවලට බලපෑම් කරන්නේ ය. එය එසේ කළ හැක්කේ ඒ මණ්ඩලයේ සිටිනුයේ තම හිතවතුන් වීම නිසා ය. එක්කෝ එකට මධු පානය කරන අයෙකි; නැත්නම් තමන් යටතේ උපාධියක්, පී. එච්. ඩී. එකක් කළ අයෙකි. නැත්නම් එකම පන්තියේ ඉගෙන ගත් සගයෙකි. මේ සමීක්ෂණ මණ්ඩලවලට කරන බලපෑමට අමතරව සිය විචාර කෘති, පුවත්පත් විචාර හරහා ඒ මිත්‍ර කෘතිය විශිෂ්ට කෘතියක් බව ප්‍රකාශ කිරීම ද සිද්ධ කරන්නේය. එනම්, තම කණ්ඩායම අතරේ පමණක් සම්මානය බෙදී යෑමට අවශ්‍ය කටයුතු සියල්ල එසේ සම්පාදනය කරන්නේ ය. මේ වසරේ සම්මානය ගන්නා නිර්මාණකරුවා ඊළඟ වසරේ සමීක්ෂණ මණ්ඩලයේ සිටීමත් ගිය වසරේ සමීක්ෂණ මණ්ඩලයේ සිටි පුද්ගලයා මේ වසරේ කෘතියක හිමිකරුවා වීමත් තවත් අවස්ථාවක සිද්ධ වෙයි. ඒ තරමට සම්මානය අද ගනුදෙනුවක් වී තිබේ.
එසේම පොත ලියුවාට පසු ලේඛකයාගේ කාර්යය වනුයේ කොළඹ අවට ගැවසී හිතවත්කම් ගොඩනඟා ගැනීම සහ තිබූ හිතවත්කම් අලුත් කොට ගැනීම ය. මේ නිසා අද වන විට පැහැදිලිවම සම්මාන බෙදී යනුයේ හිතවතුන් අතරේ ය යන තැනට තීරණය වී තිබේ. එක් වතාවක මාගේ නවකතාවක් එක්තරා සම්මාන උලෙළක අවසාන වටයට තේරී තබුණා මට සිහි වෙයි. ඒ මාගේ ලේඛකයකු ලෙස තරුණ කාලය ය; පළමු නවකතාව වන සීරුමාරුව ය. ඒ යුගයේ අද මෙන් සම්මාන මාෆියාවක් නොතිබූ නිසා මැදහත් විචාරයක් සහ විනිශ්චයක් තිබූයෙන් කිසිදු හිතවත්කමකින් තොරව මාගේ කෘතිය අවසන් පොත් පහ අතරට නිර්දේශ වූයේ ය. කෙසේ වෙතත් අන්තිමට ඉවත් වූයේ ය. තීරණය ලැබුණාට පසු එම විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක් (අද එතුමා ජීවතුන් අතර නැත) මට දුරකථනයෙන් අමතා කීවේ ‘මහින්ද තව ලියන්න, අධෛර්ය වෙන්න එපා, ඔයාගෙ පොත ඉතාම හොඳයි, ඒත් ජජ් බෝඩ් එකේ ඒ පොත වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියෙ නෑ, ඔය පේරාදෙණියට වෙලා ඉන්න එපා, කොළඹ ඇවිත් මේ මිනිස්සු හිතවත් කරගන්න, එතකොට ඔයාගෙ පොත් වෙනුවෙන් කතා කරන අයත් ඉන්නව’ කියලා. ඉඳින් තත්ත්වය නම් එය ය. කෙසේ වෙතත් අද වන තෙක් මා කොළඹ පැමිණ එම හිතවත්කම් ගොඩනඟා ගත්තේ නැත. මන්ද මාගේ අදහස වනුයේ සම්මානය දිය යුත්තේ ලේඛකයාට නොව කෘතියට යන්න ය.
“ස්වාමීනි සිස් වූ වියළි ලබු දියෙහි ගැලෙන්නා දිටිමි... මීටත් අනාගතයෙහි යහපත පෙරලෙන්ට වන් කල්හිම විපාක වන්නේය. එසමයෙහි රජ දරුවෝ ජාති සම්පන්න කුල පුත්‍රයන්ට යශස් නොදෙති. කුල ගැත්තන්ටම යශස් දෙති. ඒ කුලහීනයෝ ඉසුරුමත් වෙති. කුල පුත්‍රයෝ දිළිඳු වෙති. රජ දරුවන් සම්මුඛයෙහිත් රාජද්වාරයෙහිත් අමාත්‍යයන් සම්මුඛයෙහිත් විනිශ්වය මණ්ඩලයෙහිත් සිස් ලබු හා සමාන අකුලීනයන්ගේම කතා ගැලී සිටියා මෙන් නිශ්චලව සුප්‍රතිෂ්ඨිත වන්නාහුය. සංඝකර්‍ම ගණකර්‍මයෙහිත් පාත්‍ර චිවරාදිය හා විහාරාදීන්ගේ විනිශ්වය සථානයෙහිත් දුශ්ශීල වූ පාපී පුද්ගලයන්ගේම කතාව නෛර්‍ය්‍යාණික වන්නේය. ඔවුන්ගේ බස් ග්‍රාහ්‍ය වන්නේය. ලජ්ජි භික්‍ෂූන්ගේ බස් අග්‍රාහ්‍ය වන්නේ යැයි මෙසේ සර්‍වප්‍රකාරයෙන්ම සිස් ලබු ගිලෙන කලක් මෙන් වන්නේය.”
අද පුවත්පතෙහි ප්‍රකාශ වන විචාර ගැන නම් කතා කිරීම පවා නිෂ්ප්‍රයෝජන ය. එම පුවත්පත් විචාරය වනුයේ කෘතියක හොඳ ප්‍රකාශ කිරීම පමණකි. අඩු ලුහුඩුකම් පෙන්වා දුන්නහොත් ඒ කෘතියේ නිර්මාණකරුවා බොහෝ සේ කලබල වෙයි. පෙරළා එම විචාරය ලියූ පුද්ගලයාට මතු නොව එම ලිපිය පළ කළ පුවත්පතට, පුවත්පතේ බලධරයන්ට පවා විරුද්ධ ව ක්‍රියාත්මක වෙයි. මා වරක් එසේ මාගේ කියැවීමට අනුව හොඳ, නරක දෙපාර්ශ්වය ම පෙන්වා දෙමින් සාධාරණ විචාරයක් සහිත ලිපියක් සපයා එය පළ කළ පුවත්පතේ ඒ පිටුවේ සංස්කාරකට ද මට ද බලපෑම් එල්ල වූ අතර මට විරුද්ධව අගනුවර විශාල ලේඛක, විචාරක පිරිසක් අවි අමෝරා ගත්තෝ ය. අදටත් මා සමඟ උරණ වූවන් අවස්ථාවක් ලැබෙන තැනදී, මාගේ නිර්මාණ තේරීම්වලදී ඒ පළිගැනීම කරන බව මම දනිමි. මා අබියස සිටියේ කෘතිය මිස කතුවරයා නොවේ; මාගේ විවේචනය එල්ල වූයේ කෘතියට මිස කතුවරයාට නොවේ.
“ස්වාමීනි දෙදිසාවෙන් මුඛ දෙකක් ඇති අශ්වයෙකු දිටිමි, ඔහුට දෙපිටිම්ම කෑ හැකිය. ඒ තෙමේ දෙපිටින්ම කන්නේය... මහරජ මේ ස්වප්නයටත් අනාගතයෙහි අධර්මිෂ්ඨ වූ රජදරුවන් සමයෙහි විපාක වන්නේය. අනාගතයෙහි අධර්මිෂ්ඨ වූ අඥාන රජ දරුවෝ අධර්මිෂ්ඨ වූ කල අධර්මිෂ්ඨ මනුෂ්‍යයෝත් විනිශ්චයෙහි සලසති, කුසලාකුසලයෙහි ආදරයක් නැත්තා වූ ඒ අඥාන මනුෂ්‍යයෝ සභාවෙහි හිඳ විනිශ්චය කරන්නාහු හිමි නොහිමි දෙදෙනා අතින්ම අල්ලස් ගෙන මුඛ දෙකින් කන්නා වූ අශ්වයා මෙන් අත්ලස් කන්නාහුය.”
කොතෙකුත් සුදුස්සන්, උගතුන් සිටිනා රටේ හොඳම කෘතිය විනිශ්චය කිරීමේ යෙදෙන්නේ ගෙවන රුපියල් 10,000ට ආශාවෙන් හෝ වෙනත් අල්ලස්, ගසා කෑම් බලාපොරොත්තුවෙන් සමීක්ෂණ මණ්ඩලයට එන්නෝ ය. එසේම ඇතැම් සාමාජික සාමාජිකාවෝ සමීක්ෂණ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෝ වෙති. කුමන කළමනාකරු ආව ද, කුමන රජයක් ආව ද ඔහු එම මණ්ඩලයේ සිටියි. හැමදාටම සිටියි. ඇතැම් අයට එම තනතුරු හිමි වනුයේ සිය රූපවාහිනිය හෝ රේඩියෝ චැනලය ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමයේ සම්පූර්ණ මාධ්‍ය ආවරණය සපයන නිසා ය. ඇතැම් අයෙක් ඒ බලධාරීන්ගේ ඥාතියකු (මව, සහෝදරිය) වීම නිසා ය. එහෙත් සැබවින්ම කිව යුත්තේ මෙය ජාතික වගකීමක් මිස දේපළ බෙදා ගන්නා තමන්ගේ පරවේණි බූදලයක් නොවන බව ය.
මා දන්නා එවැනි සමීක්ෂකයෝ කිහිප දෙනෙක් කෘතියෙහි අයිතිකාරයාට දුරකථන ඇමතුම් ලබා දී සහ පෞද්ගලික මුණ ගැසීම් කොට ගනුදෙනුවකට එකඟව කටයුත්ත නිම කොට ගත් අවස්ථා තිබේ. එය ප්‍රතික්ෂේප කළ, එහෙයින් ම කෘතියට තැනක් නොලැබුණ, උත්කෘෂ්ට නිර්මාණකරුවන් කිහිප දෙනෙකුද මට මුණ ගැසුණි.
සම්මානය දෙනුයේ එ් උත්සව අවස්ථාවේ සියල්ලන් ම පුදුමයට පත් කරමිනි. කුතූහලයෙන්, භීතියෙන් ආශාවෙන්, බලාපොරොත්තුවෙන් පුරවා ලමිනි- එහෙත් බොහෝ විට සම්මානය හිමි ලේඛකයා කලින් ඒ බව දැන සිටින බව දන්නේ කව්රුද? අනෙක් අය නිකන් නිස්කාරණේ නාටකයක නළුවන් වී ඇති බව, රස්තියාදු වී ඇති බව දන්නේ කව්රුද?
“ස්වාමීනි මහත් වූ කුළුගෙවල් පමණ වූ ඝන ශෛල නැව් මෙන් දියෙහි හිල්පෙන්නා දිටිමි... මහ රජ්ජුරුවෙනි මීටත් එබඳු වූ කාලයෙහිම විපාක වන්නේය. එසමයෙහි අධර්මිෂ්ඨ රජ දරුවෝ අකුලීනයන්ට යශස් දෙති, ඔවුහු සම්පත් ලැබ ඉසුරුමත් වෙති. කුලීනයෝ දුක්පත් වෙති. ඔවුන් කෙරෙහි කිසිවකුත් ආදර ගෞරව නොකෙරෙති. අන්‍ය වූ අකුලීනයන් කෙරෙහිම ආදර ගෞරව කෙරෙති. රජ්ජුරුවන් සම්මුඛයෙහිත් අමාත්‍යයන් සම්මුඛයෙහිත් විනිශ්වය මණඩලයෙහි දක්‍ෂ වූ බරගල් හා සමාන වූ කුලපුත්‍රයන් බස් පිහිටා නොසිටිනේය. ඒ කුලපුත්‍රයන් කතා කරන්ට වන් කල්හි මුන් කියන්නේ කිම්දැයි අන්‍ය වූ අකුලීනයෝ අපහාස කොට නින්‍දා කෙරෙති. භික්‍ෂූන් වහන්සේගේ සන්නිපාතයෙහිත් උක්ත ප්‍රකාර වූ ස්ථානවල්හී ලජ්ජි පෙසල භික්‍ෂූන් වහන්සේ ගරු කොට නොසිතති. ඒ ලජ්ජි භික්‍ෂූන්ගේ කථාවත් සංඝ සන්නිපාතාදියෙහි නිශ්චලව නොසිටින්නේය. ගල හිල්පෙන කලක් මෙන් හිල්පෙන්නේය. ග්‍රාහ්‍ය නොවන්නේය.”
හොඳ පොත තේරීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් ඉන්නා බව මතු පිටට පෙන්වුව ද සත්‍යය නම් මේ සමීක්ෂණ මණ්ඩලයේ සිටිනා එක් අයකු දෙන්නකුගේ තීරණය ජයග්‍රහණය කරන බව ය. ඔහුගේ මුකරිකමට, කට හැකරකමට අනෙක් හඬවල් යටපත් වෙයි. බොහෝ දුරට එසේ මුඛරි වනුයේ රූපවාහිනී, ගුවන් විදුලි නිවේදකයා, නළුවා, නිළිය ය. එහෙයින්ම පෑනෙන් වික්‍රමපාන සාහිත්‍යකරුවාට තැනක් නැත. හඬක් නැත. වෙන ලෙසකින් කියනවා නම් එහෙයින්ම විනිශ්චය මණ්ඩලයේ බලවතා වනුයේ එම කාර්යයට නුසුදුස්සා මිස සුදුසු සාහිත්‍යධරයා හෝ විචාරකයා හෝ නොවේ.
උක්ත ගැටලු සියල්ලෙහිදීම කාගේත් ගැලවුමට ඉදිරිපත් කළ හැකි අපූරු තර්කයක් තිබේ. ඒ ‘කියැවීම කරනුයේ මනුෂ්‍යයකු විසින් වීම’ යන්නයි. සැබවින් ම එකරුණ සත්‍යයකි. ඔහු සියල්ල දකිනුයේ, අගය කරනුයේ තමන්ට දැනෙන, වැටහෙන ක්‍රමයට ය. ඔහුගේ අභිරුචීන්, ඇගයීම් මට්ටම් ඔහුට ම පෞද්ගලික ඒවා වීමට හැම අතින්ම ඉඩ තිබේ. පරිගණකගත කොට කරන දත්ත විශ්ලේෂණයක් නම් සහ අවසාන උත්තරය ගණන්වල එකතුවකින් මෙන් ලබා ගත හැක්කක් නම් ගැටලුවක් නැත. එහෙත් එහෙමයි කියා මෙම කරුණ ඉදිරියේ තබා කෙරෙන කොතෙකුත් අකටයුතුවලට ඉඩ දී බලා සිටීම බරපතළ අපරාධයකි. එ් කියන ගැටලු අවම කර ගැනීම සඳහා සාකච්ඡා කිරීම, මෙවැනි ලිපි ලේඛන සම්පාදනය ආදිය තුළින් විවිධ ක්‍රමෝපාය සොයා යෑම සිද්ධ විය යුත්තකි.
ගැටලුව ඇත්තේ එකරුණෙහි නොව සුදුසු පුද්ගලයන් ඒ කාර්යයේ නොයෙදවීමේ ය. අපක්ෂපාතී, බුද්ධිමත්, හොඳ කියැවීමක් සහිත පුද්ගලයන් ඒ කාර්යයට යොදා ගත යුතුය. ඔවුනට කියැවීමට වුවමනා නිදහස, පරිසරය හා කාලය සපයා දිය යුතුය. සමීක්ෂකයා ද තමන් ඒ ජාතික වගකීම බාර ගත යුත්තේ එම වාතාවරණය සිතා බලා, තමන් භාර ගනුයේ ජාතික මෙහෙවරක් බව සිත තබාගෙනය. විනිසුරු තීරණය විනිවිදභාවයෙන් යුතු විය යුතුය. සෑම විනිශ්චයකරුවෙකුම තමන් කියවන පොත සම්බන්ධ තමන්ගේ කියැවීම ලේඛනගත කළ යුතුය. එය මහජනතාවට, පාඨකයාට කියැවීමට පුවත්පතකින් හෝ පොතක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය. තමන් හොඳ කෘතියයි කියා කිසි කෘතියක් තෝරා ගන්නේත් තවෙකක් හොඳ නැතැයි කියා ඉවත දමන්නේත් කුමන කාරණා නිසාද කියා සමාජයට හෙළිදරව් කළ යුතුය. මෙය එම වසරේ ලියැවුණ සෑම කෘතියක් සම්බන්ධයෙන්ම විය යුතුය. එසේ කළහොත් අගනා සාහිත්‍ය කලා නිර්මාණ සහිත ලෝකයක් අපට නිර්මාණය කොට ගත හැකිය.
සම්මාන උලෙළවල සිටිනා පාදක මණ්ඩල පිළිබඳ ගැටලුවේදී නම් පළමුව ඇසිය යුත්තේ ‘පාදක මණ්ඩලයක් අවශ්‍යයද?’ යන්න ය. සැබවින්ම ඒ කාර්යය අවශ්‍ය සියලුම පහසුකම්, කාලය, මුදල් ආදිය සපයා උත්තරීතර මණ්ඩලයට ම බාර දුන්නේ නම් හොඳ ය. නැති නම් පාදක මණ්ඩලයට ද හොඳ කියැවීමක් ඇති ආචාර්ය, මහාචාර්යවරුන්, ලේඛක, ලේඛිකාවන් ඇතුළත් කළ යුතුය. තවද උත්තරීතර මණ්ඩලයේ අධීක්ෂණය සහ නිර්ණායක යටතේ පාදක මණ්ඩලය විසින් තේරීමේ කටයුත්ත කළ යුතුය.
ඉඳින් මෙවැනි සංස්කරණයන් සහිතවවත් සම්මාන උලෙළක් සංවිධානය වන්නේ නම් අපට හොඳ සාහිත්‍යයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇත. එසේ කිරීමට නොහැකි නම් කළ යුතු වටිනාම දෙය ‘සම්මාන උලෙළ තහනම් කිරීම’ බව මම පැහැදිලිව කියමි.