* කසළ විකුණලා රුපියල් 5000කටත් වඩා අරගත් අය ඉන්නවා
* ගම්මන්පිල කසළ පොළේ කුණු ටොන් 3ක් දවසකට විකිණිලා
අපේ කුණු ප්‍රශ්නයට හරිහමන් විසඳුම් නැති කොට පිටරටින් ටොන් ගණන් කුණු ගෙන්වන යුගයක, ප්‍රාදේශිය සභාව එකතු කරන කුණු ගැනුම්කරුවන්ට දෙමින් එක අතකින් ආදායමක් ද තවත් අතකින් පරිසරය රැකගැනීමට ද බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව ඉදිරිපත්ව සිටීම අගය කළ යුතුය.
දිනපතා රාජකාරියට යන සාමාජිකයන් සිටින පවුල්වලට නම් සෙනසුරාදා යනු හිස ඔසවන්නට බැරි වැඩ වැඩි දිනයකි. එහෙම දිනයකත් අහල පහල අය පෝර උරවල පැටවූ මොන මොනවාදෝ ඔසවාගෙන අතුරු පාරවල් ඔස්සේ ප්‍රධාන පාරට එනවා දුටුවේ අහම්බෙනි.
“කොහෙද මේ යන්නේ කට්ටියම?”
“අද නගර සභාවෙන් එනවනේ විදූරු ප්ලාස්ටික් කාඩ්බෝඩ් එකතු කරන්න. ඒවා තමයි අපි මේ අරගෙන යන්නනේ.”
අසල්වැසි කාන්තාවක පවසන්නට වූයේ බර පොදියක් ඔසවාගෙන යන අතරය.
කවුරු කවුරුත් මාර්ගය දෙපසය. ඒ හැම කෙනෙකුම තම නිවෙස්වලින් ඉවත දැමු අපද්‍රව්‍ය රැසක් ගෙනැවිත් තිබිණි. ගත වුයේ ටික වේලාවකි. නළා හඬ දෙමින් පැමිණි කසළ ටැක්ටරයට, අසල්වැසියන් විසින් ගෙනෙන ලද කසළ වෙන් වෙන්ව පටවන ලදි.
කුඩා ඉඩම් ඇති නිවාස හිමියන්ට මහත් හිසරදයක් වන කසළ ප්‍රශ්නයට විසැඳුමක් ලැබුණේ එලෙසිනි. නිවෙස් හිමියන්ට එසේ විසඳුමක් ලැබුණ ද බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවට නම් එලෙසින් සැනසීමක් ලැබිය නොහැකි විය. ප්‍රාදේශිය සභාව විසින් එකතු කරගෙන යන කැළි කසළ දමන්නටවත් හරි හමන් බිම්ක් නැතිව තව තවත් කුණු එකතු කරමින් මේ කුමක් කරන්නේ ද යන පැනය අප සිතේ මතු වූයේ නිතැතිනි.
කාලය ගෙවිණි. ගෙවුණ කාලය සති කිහිපයකි. “අන්න බණ්ඩාරගම කසළ පොළක් තියෙනවා.”
ලද තොරතුරට අනුව බණ්ඩාරගම කසළ පොළ ගැන තොරතුරු සොයන්නට වීමු.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොළවල් කිහිපයකි. එක් පොළක් වන්නේ වැල්මිල්ල හන්දියේ පැවැත්වෙන සඳුදා පොළය. ඒ පොළේ නැති දෙයක් නැත. එළවළු, මාළු, පමණක් නොව මැටි වළඳේ සිට ඇලුම්නියම් භාණ්ඩ දක්වා සියලු දේ එහි ඇත. අනෙක් පොළ, බණ්ඩාරගම ඇති ඉරිදා පොළය. එයද වැල්මිල්ලේ සඳුදා පොළ වගේමය. මේ හැරුණ විට තවත් ගම් කිහිපයකම පොළවල් ඇත. ඒ සඳුදා පොළ, ඉරිදා පොළ අපට හුරු වුවද කසල පොළ නම් අපට නුහුරුය.
මොකක්ද මේ කසළ පොළ. එහි තේරුම කුමක්ද ? සොයන්නට ඉකුත් දිනෙක එයට වගකිවයුත්තන් හමු විමු.
“බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එකතු වන කැළි කසළ වලට විසඳුමක් දීමේ වැඩසටහන මුලින්ම ආරමභ කළේ 2007 වසරේ. කැළි කසළ අංගණය තිබුණේ පිහිටා තිබුණේ මිල්ලනියේ දෙල්දොරවත්තේ. කැළි කසළවලින් කොම්පෝස්ට් නිපදවීමේ ව්‍යාපෘතිය බොහෝම සාර්ථකව කරගෙන ගියා. අපේ බල ප්‍රදේශයට එදා ග්‍රාම සේවා වසම් 104ක් තිබුණා. නමුත් පරිපාලන හේතු මත බෙදා වෙන් කළාට පසු ග්‍රාම සේවා වසම් 57යි දැන් තියෙන්නේ. දැන් කොම්පෝස්ට් අංගණය අයිති මිල්ලනිය ප්‍රාදේශිය සභාවට. අපට කසළ දමන්නට අද ඉඩමක් නැහැ. පාරවල්වල එකතු වන කුණු ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. පොලිතීන්, බෝතල් ආදි දේ දාන්න තැනක් නැතිව ගියා. මිල්ලනිය අපේ කුණු ගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා අපට විකල්පයක් සොයන්න සිදු වුණා. වෙනත් තැන්වල කුණු දාන්න ගියාම ජනතා විරෝධය ආවා. බණ්ඩාරගම කියන්නේ ඉතා ඉක්මනින් දියුණු වූ ජනාකිර්ණ වූ නගරයක්. විශාල ඉඩම් මේ පළාතේ අඩුයි. කුඩා බිම් කොටස්වලයි නිවාස ඉදි කර තිබෙන්නේ . ඒ ඉඩම්වල පදිංචි අයට කසළ දමන්න තැනක් නැහැ. අපි හැම විටම ජනතාවට සේවයක් කිරීමට බැඳී සිටින අය. මෙන්න මේ හේතු නිසා අපට සිදු වුණා කසළ ප්‍රශ්නයට විසඳුම් සොයන්න.”
රටටම ප්‍රශ්නයක් වූ කසළ වලට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව දුන් විසඳුම ගැන කීවේ ප්‍රදේශීය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාය.
එක් අයෙකුට පමණක් නොව සාමුහිකව කළ යුතු ක්‍රියා මාර්ගයක් ඔවුහු ජනතාව වෙත හඳුන්වා දුන්හ. එයට සැමගේ සහාය අවශ්‍ය විය.
“අපි සෑම නිවැසිෙයකුම දැනුවත් කළා. නිවසේ ඇති කසළ වර්ග වෙන වෙනම එකතු කරන්න කියලා. නිවෙස්වලින් හෝටල්වලින් ඉවතලන ඉඳුල් එකතු කර ඒවා සත්ව ආහාර ලෙස ලබා දෙනවා. ඒවා ටොන් එකක් ලැබෙනවා. මදුරාවල ප්රබුද්ධගම තිබෙන සත්ව ගොවිපළට එසේ ඉවත ලන ඉඳුල් ආහාර ලබා දී ආදායමක් උපයා ගන්නවා. ඉඳුල් ආහාර එකතු කිරීමට කුණු ටැක්ටරය දිනපතා යන පාරවල් තිබෙනවා. ඒ වගේම දින දෙකකට වරක් යන පාරවල් තියෙනවා. ඒ වගේම අපි නිවැසියන් දැනුවත් කළා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ නොහැකි ලෙස කුණු වර්ග කරන්න කියලා. ඒ විදිහට එකතු කරගෙන ආව කසළ තමයි අපි කසළ පොළට දැම්මේ. අපි පරිසර පොළවල් කරනවා. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සේවාව අපට ලැබෙනවා. මේ අපද්‍රව්‍ය මිලට ගන්නේ හරිත ගැනුම්කරුවෝ. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ ගන්න අය අප හඳුනාගෙන තිබෙනවා. අපේ කසළ පොළට ඔවුන් එනවා. මේ වන විට අපි කසළ පොළවල් පනහක් පමණ පවත්වා තිබෙනවා. ”
කුණු ප්‍රශ්නයට විසඳුම් සොයමින් කරගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරි ජී. ටී. ප්‍රියන්ති මහත්මිය පවසන්නේ මේ වන විට සාර්ථක වී ඇති සැලසුම් ගැනය. පසුගිය දා කසළ පොළ පැවැතියේ ගම්මන්පිල ශෛල බිම්බාරාමයේදීය. එහිදි කසළ ටොන් තුනක් අලෙවි විය.
“අපි හැම විටම ජනතාවට කියන්නේ අපට සහාය දෙන්න කියලා. ඔවුන්ට අපට සහාය දක්වන්න පුළුවන් කසළ නිසි ලෙස වෙන් කරලා අප වෙත භාර දීමෙන්.” ඒ සංවර්ධන නිලධාරිනියගේ පණිවිඩයයි.
කැළි කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට පෙර අප මිනිසුන් තුළ ඇති ආකල්ප වෙනස් කළ යුතුය. පරිසරය පිරිසුදුව තබාගැනීමේ පුරුද්ද ඇති කළ යුත්තේ කුඩා කල පටන්ය. මන්ද දරුවන් වැඩිහිටියන් වූ පසුද පුරුදු අත්නොහරින බැවිනි. ඒ අදහසට මුල් තැන දෙමින් පාසල් කේන්ද්‍ර කරගනිමින් ද කසළ පොළවල් පවත්වයි.
දැනුම් දුන් විට දරුවන් පාසලට පැමිණෙන්නේ නිවෙස්වල ඇති ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ද රැගෙනය. එවා අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම අදාළ පාසලට ලබා දෙයි.
මේ වන විට බණ්ඩාරගම අවට පාසල් කීපයකම කසළ පොළ පවත්වා තිබේ. ඒ අතර බණ්ඩාරගම මහා විද්‍යාලය, මෛත්‍රී මහා විද්‍යාලය, පතහවත්ත ස්වර්ණජෝති මහා විද්‍යාලය, සාරලංකාර කනිෂ්ඨ විද්‍යාලය වෙයි.
“පාසල්වල පරිසර භටයන් ඉන්නවා. ගුරුවරුන්ගේ සහායත් අපට ලැබෙනවා. දරුවන් බොහෝම උනන්දුවෙන් මේ කටයුතුවලට සම්බන්ධ වෙනවා. ප්‍රාදේශිය සභාව මඟින් පවත්වාගෙන යන පෙර පාසල්වලත් පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉවත ලන ටින් නිසි කළමනාකරණය කිරීම සඳහා පෙර පාසවලට ටින් ගස හඳුන්වා දුන්නා. එය දරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරන්නේ. අළුබෝමුල්ල මෛත්‍රී පෙර පාසල පරිසර කැකුළු රන් සම්මානය දිනා ගත්තා.
අපට පුළුවන් අයුරින් තමයි මේ වැඩ ක්‍රියාත්මක කරන්නේ. අපි තවත් ක්‍රම සොයනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලට කරන්නේ කුමක්ද ඒ සඳහා ඇති විසඳුම් මොනවද කියලා. අදාළ ආයතතන සහ ගැනුම්කරුවන් සමඟ අප සාකච්ඡා කරමින් සිටින්නේ ”ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කරන සංවර්ධන නිලධාරිනි ප්‍රියන්ති මහත්මිය පවසන්නේ අධිෂ්ඨානශිලීවය.
නගරයට පමණක් නොව පිටිසර ගම්වලට ද දැන් කැළි කසළ විශාල ප්‍රශ්නයක් වෙමින් පවතී. සුළුවෙන් හෝ තම තම බල ප්‍රදේශවල කරනු ලබන එවැනි ක්‍රියා අගය කළ යුතුමය.
“මුල සිටම මේ වැඩපිළිවෙළ අපට අභියෝගයක්. කුණූ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට අපට පමණක් උනන්දුව තිබිලා වැඩක් නැහැ. ගම්මන්පිල කසළ පොළේදි කසළ ටොන් තුනහාමාරක් විකිණුවා. අපේ කසළ පොළවල්වලට ආව සමහර අය කසළ විකුණලා රුපියල් 5000ට වැඩි මුදල් අරගෙන ගිහින් තියෙනවා. සමහර වේලාවට ගමේ ඉඩකඩම් තියෙන අයත් පාරට කුණු ගෙනැල්ලා දානවා. තමන්ගේ ඉඩම් වල ජීවකොටු, කොම්පෝස්ට් බැරල් ආදිය භාවිතා කරනවා නම් එයත් අපට සහාය දැක්වීමේ මඟක්. නොදිරන ද්‍රව්‍ය පමණක් අපට දෙන්න කටයුතු කරනවා නම් එය ලොකු දෙයක්.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා කරන්නේ එවැනි ඉල්ලීමකි. කුණු ගැන කනුකුනුගාන හැමෝටම බණ්ඩාරගම කසළ පොළෙන් යම් අදහසක්, ආදර්ශයක් ගත හැකි යැයි හැඟේ.