මවුපියන්ට බාර නොදී ඔයා පාරට දාන්න මට බෑ | සිළුමිණ

මවුපියන්ට බාර නොදී ඔයා පාරට දාන්න මට බෑ

ඇය ඔහුගේ මුහුණ සිප­ගත්තේ අප­ම­රණ ආද­ර­යෙනි. ඒ මොහො‍තේ කාම­ර­යට එබුණු නලින් තුළ ද එබඳු ම ආද­ර­යක් හට ගැනිණ. සිය පුත්‍රයා අර­බයා පම­ණක් නොවේ. ඔහු වඩා­ගෙන සිප සුර­තල් කරන යුව­තිය ද ඒ ආද­රයේ කොට­ස්කා­රි­යක වූවාය. දෙපැ­ය­කට පෙරා­තුව ගේට්ටුව වෙත දිව ගිය අමාලි හඹා යන කල පවා ඔහු කෝප­යෙන් හා අප්‍ර­සා­ද­යෙන් අව­පැ­හැ­ ගැන්වී සිටි­යේය.

නලින් ඒ රිදුම් දෙන හද­වත වෑය­මින් උසු­ලා­ගත් මිනිසා පසු­පස ගිය අතර අෂේන් යෙහෙ­ළිය වෙත පැන්නේය.

“යන්න එපා.. අනේ යන්න එපා..”

“මං ආයෙත් එන්නං...” යි අමාලි ඔහු වඩා­ග­නි­මින් පොරොන්දු වූවාය.

“ආයෙත් රස්ති­යා­දුවෙ යන්න නම් හිත­න්න­වත් එපා අමා. ඔයාව නිවාස අඩ­ස්සියේ තියා­ගන්නවා මිසක අපි මොනවා කර­න්නද මීට පස්සේ?”

කොලු පැටියා වෙත දයා­න්විත බැල්මක් හෙළ­මින් වුව සුනන්දා රළු හඬින් කීවාය.

“ඔයා මට තර්ජ­නය කර­න­වද?”

“තර්ජන ගර්ජන සේරම කරන්නෙ ඔයානෙ... අපි ද? ඔයා ගහන පදේ­ටනෙ අයි­ය­ටයි මටයි දෙන්න­ටම නටන්න වෙලා තියෙන්නෙ...” යි කල­කි­රී­මෙන් කී සුනන්දා කාම­ර­යෙන් පිට වූවාය. තව­මත් මුර­ණ්ඩු­කම අත් නොහළ එකි­යක සමඟ වාද විවාද කිරී­මෙන් පලක් නැතැයි හිටි හැටියේ අව­බෝධ කර ගත්තාක් මෙනි.

“ඒ ගොල්ලො ඔක්කොම ගියානෙ..”

අෂේන්ගේ බොළඳ හඬ සතුට දන­වයි. අමාලි සිනා­මු­සුව හිස සැලු­වාය.

“කවු­රු­වත් නෑනෙ...”

“ඇයි? රහ­සක් කිය­න්නද හදන්නෙ?”

කොලුවා හිස සැලු­වේය.

“මොකක්ද..? ඉක්ම­නට කිය­න්නකෝ.” යි ඇය ද රහ­සින් ඉල්ලා සිටි­යාය.

“අපි” යි කී ඔහු වට­පිට බැලු­වේය. විසිත්ත කාම­රයේ සාක­ච්ඡාව ඇහුණ ද ඒ හැටි පැහැ­දිලි නැත. ඒ ලොකු උද­වි­යගේ කතා­බහ ඔහු වැනි කුඩා එකෙ­කුට කොහෙත් ම නොවැ­ට­හෙන සුලු ය.

“කිය­න්නකෝ ඉතිං අගේ නොකර” යි අමාලි නොඉ­ව­සි­ල්ලෙන් ඉල්ලා සිටි­යාය.

“අපි දෙන්නා..”

“ඔව්.. අපි දෙන්නා...”

“පැනල යමු...”

දෑස අයා­ගත් ඇය අන­තු­රුව හඬ නඟා හිනැ­හු­ණාය.

“අනේ යංකෝ....” යි ඔහු පෙරැත්ත කළේය.

“අනේ මගේ චූටි පිස්සා...”

ඇය ඔහුගේ මුහුණ සිප­ගත්තේ අප­ම­ණ ආද­ර­යෙනි. ඒ මොහො‍තේ කාම­ර­යට එබුණු නලින් තුළ ද එබඳු ම ආද­ර­යක් හට ගැනිණ. සිය පුත්‍රයා අර­බයා පම­ණක් නොවේ. ඔහු වඩා­ගෙන සිප සුර­තල් කරන යුව­තිය ද ඒ ආද­රයේ කොට­ස්කා­රි­යක වූවාය. දෙපැ­ය­කට පෙරා­තුව ගේට්ටුව වෙත දිව ගිය අමාලි හඹා යන කල පවා ඔහු කෝප­යෙන් හා අප්‍ර­සා­ද­යෙන් අව­පැ­හැ­ගැන්වී සිටි­යේය. තමාගේ හා පුත්‍ර­යාගේ කුඩා ලෝකය අවුල් විය­වුල් කළ, එතල් වැනි අති­ශය විනය ගරුක භාර­කා­රි­යක රැවටූ යුව­තිය හැකි ඉක්ම­නින් පිටු දකි­න්නට ඔහුට වුව­මනා විය.

“කොහෙද ඔය දුවන්නෙ?”

ඔහු ඇගේ අතින් අල්ලා ඇද්දේ ද නොරි­ස්සු­මිනි.

“එළ­ව­න­කොට නොයා හිඟ­න්නි­යක් වගේ වැටිල ඉන්නද කියන්නේ?” යි ඇය ඇසුවේ ද කෝප­යෙනි. එකි­නෙකා දෙස රවා බලන යුවළ වෙත යොමු වූ ඇසක් නැත. භූත කත­න්දර හේතු කොට­ගෙන අෂේන් ගෙතුළ සිටි­න්නට ද පිට­තට දිව යන්නට ද තරම් නිර්භීත විය නොහැ­කිව අන්ත අස­ර­ණ­වය. ඔහු දෑතින් මුහුණ වසා­ගෙන පොඩි කාම­රයේ ඇඳ මත දණින් වැටී සිටි­යේය.

“ඔයාට එහෙම යන්න දෙන්න බ‍ෑනේ.. ඔයාව ඔයාගෙ අම්මට තාත්තාට බාර නොදී පාරට දාන්න පුළු­වන්ද මට?”

නලින් කතා කළේ සිය ග්‍රහ­ණය දැඩි කර­මිනි. ඇය ඔහු වෙතින් ඉව­තට යාමට තැත් කළාය.

“ඇයි බැරි...? දෙම­වු­පියෝ දරුවො පාරට දාන්නෙ නැද්ද? දරුවො දෙම­වු­පි­යන්ව පාරට දාන්නෙ නැද්ද...? ඔයාට මොකද බැරි මාව එළ­වන්න? අපි ඒ තරම් අඳු­න­න්නෙත් නැති එකේ...”

ඔහුගේ දෙනෙත ගිනි පුපුරු නිවිණ. මෘදු මොළොක් බවක සේයා ඉස්මතු විය.

“කෙනෙ­කුට කෙනෙක්ව අඳු­ර­ගන්න මහ ලොකු කාල­යක් ඕන වෙන්නෙත් නෑ. සම­හ­ර­විට එක බැල්ම­කින් එක මොහො­ත­කින් කෙනෙක්ව හොඳ­ටම අඳුර ගන්න පුළු­වන් වෙනවා...”

ඇගේ තෙත්ව ගිය දෑස අබි­යස දයා­න්විත බැල්මක් හෙළුවේ තිරි­සන් සත්ත්ව­යෙකු උර මත නංවා­ගත් තරු­ණ­යාය. හැකි ඉක්ම­නින් ඒ කුඩා ගම් පිය­සට යන්නට, ඔහුගේ තියුණු දෙඇ­සින් වේදනා විඳි­න්නට ඇයට වුව­මනා විය.

“මට යන්න දෙන්න..” යි ඇය සෝබර හඬින් කී කල ඔහුගේ සිත රිදුම් දුන්නේය.

“මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ඇයි මෙහෙම දෙයක් කළේ?”

“නෑ... මට කිසිම ප්‍රශ්න­යක් නෑ..”

අමාලි සුපු­රුදු හිතු­ව­ක්කා­රි­යගේ භූමි­කාව නැව­තත් වැලඳ ගත්තාය.

“ප්‍රශ්න­යක් නැත්නං මේ විදි­යට අනුන්ගෙ ගේක හැංගිලා ඉන්නෙ නෑනේ...”

“අනේ... අෂේන්ගෙ තාත්තෙ මට යන්න දෙන්න...”

වෙහෙ­සට පත් යුව­තිය ඔහුගේ ග්‍රහ­ණ­යෙන් ගැල­වෙ­න්නට වෑයම් කළාය.

“බෑ.. ඔයාට එහෙම යන්න දෙන්න බෑ...”

“ඇයි? මං ඔයාගෙ මාලි­ගා­වෙන් රත්තරං බඩු සල්ලි හෙම හොර­කම් කළා­ කි­යලා පොලීසි යන්න ඕනද ඔයාට...?”

නලින් කෝප­යට පත්විය. එබඳු අභි­ප්‍රා­යක් ඔහුගේ සිත නොවිණ.

“විකාර කතා කියන්න එපා.”

ඔහු සැබැ­වින් ම කෝප­යට පත් වූ වග වට­හා­ගත් ඇය නිහඬ වූවාය.

“ජීව­ත්වෙන එකත් කලා­වක් අමා. දෙයක් කියන්න කලින් දෙපා­රක් හිතන්න” යි අම්මා නිතර කී කතාව මේ මොහො­තේදී ඇගේ දෙස­වන නින්නාද විය.

“තාත්ත­ලාට කියන්න බෑනෙ දූලගෙ මේ හිතු­ව­ක්කා­ර­කම්. කෝ.. මට දෙන්න අම්මගෙ ෆෝන් නම්බර් එක. අම්මා හිමීට තාත්තට කිය­යිනෙ.”

එවර නම් ඇගේ ශක්ති­යද ධෛර්ය­යද අව­සන් බිඳුව දක්වා පිරිහී ගියේය. යටි­තොල විකා ගනි­මින් හැඬුම් මැඩ­ග­න්නට තැත් කරන යුව­තිය දෙස ඔහු බලා සිටියේ කුහු­ලිනි.

“හරි හරි අම්මට කිය­න්නත් බෑ නම් ඔයාගෙ අර ආද­ර­ව­න්ත­යාගේ නම්බර් එක දෙන්නකෝ...”

තමාට මවක පම­ණක් නොව ආද­ර­ව­න්ත­යෙකු ද නැතැයි හැඟී ගියෙන් අස­රණ වූ අමාලි තව­දු­ර­ටත් කඳුළු මැඬ­ග­න්නට තැත් නොක­ළාය. ගේට්ටුව වසා දමා නොති­බෙ­න්නට ඇය පාර දිග දිව යනවා නොඅ­නු­මා­නය. වේද­නා­වෙන් කැකෑ­රෙ­මින්, ඇය ගෙතු­ළට යන මඟද අහු­රා­ගෙන උසට උසේ හිට­ගෙන ඉන්න තරු­ණයා දෙස බලා සිටි­යාය. ඇගේ දෙඇ­සින් ගලා හැලෙන කඳුළු දෙකො­පුල් ඔස්සේ රූරා හැලෙයි. ඔහු මහත් සංවේ­ග­යෙන් ඇගේ දෙවු­රින් අල්ලා ගත්තේය. ඇය ඔහ‍ුගේ ළය­ම­ඬ­ලෙහි මුහුණ හොවා ගත්තේ හිතා­මතා නොවේ. ඉකි­බිඳ හඬන යුව­තිය උදෙසා කිව යුත්තේ කුම­ක්දැයි ඔහු නොද­ත්තේය. “අඬන්න එපා” යි ඉල්ලා සිටින්න බැරි තර­මට ඔහුගේ උගුර සිරවී තෙරපී ගියේය.

“ඇයි අඬන්නේ?” යි අස­න්නට බැරි තර­මට ඔහු ද අස­රණ විය.

“තාත්තේ...” යි අෂේන් බෙරි­හන් දුන්නෙන් ඇය වහා පසෙ­කට වූවාය. නලින් ඇය අත්හළේ අකැ­මැ­ත්තෙනි. කල­කට පසු ලද කාන්තා ස්පර්ශ­යෙන් ඔහු උණු­සුම්ව ගියේය.

“තාත්තේ...”

ගෙතුල භීති­යෙන් සැලෙන කොලු­වාගේ උච්ච ස්වරය ඔහුගේ උණු­සුම් හැඟු­මන්ද ඇගේ කඳුළු ද වියළා දමයි.

දෙපැ­ය­කට පසු නලින් ඇය දෙස හෙළන්නේ සෙනෙ­හෙ­බර බැල්මකි.

“ඔයා­ටත් තේ එකක් ඕනද?”

ඒ මුදු මොළොක් සරින් නොව ඒ පැන­යෙන් ඇය පුදු­ම­යට පත් වූවාය.

“තේ?”

“ඔව් ඉතිං... මොනවා වුණත් ඔයාගෙ තාත්තයි නැන්දයි මගෙ අමු­ත්තොනෙ... ඉස් ඉස්සෙ­ල්ලම මගෙ ගෙට ගොඩ වුණේ. තේ එකක් නොදී කොහො­මද?”

“ගෙද­රින් පැනලා ඇවිත් හොරෙං හැංගිලා හිටි කෙනාව බාර දීලා ඉක්ම­නට යවා ගන්නනෙ ඕන වුණේ.. ඇයි ඉතිං දැං තේ හද හදා පරක්කු කරන්නෙ...?”

ඔහුගේ මුව’ග සිනා­වක් නැඟිණ.

“ඔයා තාම මා එක්ක තර­හෙන්.”

“අනේ නෑ.. මං කා එක්ක­වත් තරහ නෑ.. මාව දාලා ගිය අම්මා එක්ක­වත්, තාමත් මට කෝටු පාර දෙන තාත්තා එක්ක­වත් මාව කව­දා­වත් තේරුම් නොගන්න නැන්දා එක්ක­වත් මම තරහ නෑ...”

ඔහු තර­මක ප්‍රමා­ද­ය­කින් වුව “එත­කොට ඔයාගෙ අර ආද­ර­ව­න්තයා...? ඔයත් එක්ක එහෙ මෙහෙ යන බෝයි?” යි එක එල්ලේ ප්‍රශ්න කළේය.

ඇය නිහඬ වූවා මිසක “එයා මගේ ආද­ර­ව­න්තයා නෙමේ. ඔය එකම කතාව මම කී සැර­යක් කියන්න ඕනද...” යි නොපැ­ව­සු­වාය.

ලබන සතියට‍...

Comments