නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

බසයේ යුවතිය

වේග­යෙන් ආ ශීඝ්‍ර­ගාමී බසය ගමන සැහැල්ලු කළ හැටියේ ම මම එහි පා පුව­රු­වට නැග ගතිමි. මග රස්ති­යාදු නොවී ඉක්ම­නින් ගෙදර යා ගැනීමේ සතු­ටින් පා පුව­රු­වෙන් උඩට පය තැබීමි.

පුදු­ම­ය­කට මෙන් බසයේ ඉදිරි අසුන් හිස් ව තිබිණ. සෙනග ටිකක් හිටියේ පසු­පස අසු­න්වල පමණි.

ඉදි­රි­යට නොගොස් මේ හරියේ ම රැඳී මෙතැ­නින් ම බැස­ගත යුතු යැයි සිතූ මම පා පුව­රුව අසල ම තිබූ අසුන දෙස බැලීමි. එහි යුව­ති­යක් හිඳ­ගෙන සිටියා ය. ඇය සිටියේ මෙහා කෙළ­වරේ ය.

‘මෙතන කවු­රු­වත් ඉන්න­වද?‘ මම ඇගෙන් ඇසු­වෙමි.

මදෙස හොඳින් බැලූ ඇය පසෙ­කට ලිස්සා ගියා ය.

‘මම මෙතන ඉඳ­ග­ත්තට කමක් නැද්ද?‘

කමක් නෑ කිය­න්නාක් මෙන් ඇය හිස සැලු­වාය.

මම එහි හිඳ­ග­තිමි. දැන් මා අසුනේ ඇය කලින් හිඳ සිටි තැන ය. ඇය මට එහා­යිනි. ඇය ම දෙස හොඳින් බැලුවා ය. මා හැඳ සිටියේ දණ­හිස දක්වා බාච්චු කලි­ස­මක් හා ටී ෂර්ට් එකකි.

ඇය බලන්නේ මගේ ඇඳුම දෙස නොව මුහුණ දෙස බව අව­බෝධ වූ මට අප­හ­සු­වක් දැනිණ. මගේ ජංගම දුර­ක­ථ­න­යට ඇම­තු­මක් ආවේ හොඳ වෙලා­වට ය.

‘ඔයා දැන් කොයි හරි­යෙද ඉන්නෙ?‘ බිරිය ඇසුවා ය.

‘මේ ළඟ. වැඩි වෙලා යන්නෑ‘ මම පිළි­තුරු දුනිමි.

ජංගම දුර­ක­ථ­නය සාක්කුවේ ලා ගන්නා ගමන් මම ඇය දෙස හොරෙන් බැලු­වෙමි. පුදු­ම­යකි. ඇය ඒ වන විටත් සිටියේ ම දෙස බලා­ග­ත්වන ම ය.

ඇය මා හඳු­නන කෙනෙක් ද? ඇය මෙත­රම් හොඳින් මා නිරී­ක්ෂ­ණය කරන්නේ ඇයි? එසේ සිත­මින් මම ද ඇගේ මුහුණ දෙස හොඳින් බැලු­වෙමි.

ඇගේ මුහුණ කළු වලා­ව­කින් වැසී ගියේ ය. එකෙ­ණෙහි ම ඇය හඬ­න්නට පටන් ගත්තා ය. මට මහත් අප­හ­සු­තා­වක් දැනිණ. මෙතෙක් වේලා නිහඬ ව සිටි යුව­තිය මා හිඳ­ගත් වේලේ හඬ­න්නට තියා­ගත්තේ මගෙන් ඇයට වූ හිරි­හැ­ර­යක් නිසා යැයි මගීන් සිතන්නට පුළු­වන. මම මගේ නිර­ව­ද්‍ය­තාව ඔප්පු­ක­ර­න්නට මෙන් ඔවුන් දෙස බැලු­වෙමි. එහෙත් ඔවුන් සිටියේ තම තමන්ගේ ලෝක­වල ය.

ඇගේ හැඬුම බර­ප­තළ වන විට මට ඉවසා සිටිය නොහැකි විය.

‘ඇයි දුව අඬන්නෙ?‘ මම ඇගෙන් හෙමි­හිට ඇසු­වෙමි.

ඇය හැඬුම තීව්‍ර කළා ය.

‘ඇයි දුවේ? මොකක් හරි ප්‍රශ්න­යක් ද?‘

‘අංකල් කතා කරන්නෙ හරි­යට අපේ අප්පච්චි කතා කර­නව වගේ­මයි! මට අපේ අප්පච්චි මතක් වුණා අංකල්. එයා අවු­රුදු දෙක­කට ඉස්සර නැති­වුණා!‘ ඇය ඉකි­ග­ස­න්නට වූවා ය. මම අස­රණ වීමි.

‘ඒ ගැන මටත් දුකයි දුවේ. ඉතිං අපි මොක ද කරන්නෙ? ජීවිතේ හැටි එහෙම තමයි. අපි ඒකට මූණ දෙන්ඩ ඕ‍නැ. දුව හිත හදා­ගන්ඩ!‘

මබ­සට හොඳින් සවන් දුන් ඇය යළිත් වංගි­යක් අඬ­න්නට තියා­ගත්තේ දුක්ගැ­න­වි­ල්ලක් ද කියා­ගෙන ය.

‘අප්පච්චි වැඩ ඇරිල එද්දි මට කොත්තු­වක් ගෙනත් දෙනව. එයා මට හරි ආද­රෙයි. අනේ මගෙ අප්පච්චි!“

‘අප්පච්චි කොහො­මද නැති වුණේ?‘

‘එයා වාහනේ එළෝ­න­කො­ට­මයි නැති­වෙලා තියෙන්නෙ. පපුවෙ අමා­රුව හැදෙ­න­කොට එයා වාහනේ නතර කරල තියෙ­නව. සීට් එකේ උන්නු විදි­හ­ටම තමයි නැති­වෙලා හිටියෙ!‘

මම තව­දු­ර­ටත් විස්තර විම­සු­වෙමි. ඇය හඬ­මින් ම පිළි­තුරු දුන්නාය.

ඇගේ පියා කර ඇත්තේ රියැ­දුරු රැකි­යා­වකි. ඇයට නිවුන් සහෝ­ද­ර­යෙක් ද සිටියි. ඔහු සර­ස­වි­යක ඉන්ජි­නේරු අංශයේ උග­නියි. ඇය වෙනත් සර­ස­වි­යක වෙනත් අංශ­යක උග­නියි.

‘ඉතිං කොහො­මද දුවේ විය­දම් හොයා ගන්නෙ ?‘

‘තාත්තගෙ පැන්ෂන් එකෙන් මල්ලිගෙ විය­දම් පියව ගන්නව. මං ටියු­ෂන් කරල මගෙ විය­දම හොයා ගන්නව. අප්පච්චි නැති­වු­ණාට පස්සෙ අම්ම පුංචි කඩ­යක් දාල තිය­නව. ඒකෙං ගෙදර විය­දම පියව ගන්නව‘

ඒ වන විට ඇය මට ආධ්‍යා­ත්මි­කව වඩාත් ළං ව සිටියා ය. ඇගේ කඳුළු වියැ­ළෙ­මින් තිබිණ.

‘ඇත්ත­මයි අංකල්. ඔයා කතා කරන්නෙ අපේ අප්පච්චි කතා කර­නව වගේ­මයි. මට ඉහි­ලුම් නැතුව ගියා‘

‘දුව හරි අව්‍යා­ජයි. ඒත් දුවේ අත­ර­ම­ගදි හම්බ­වුණු කෙනෙක් ඉස්ස­රහ ඔච්චර විවෘත වෙන්ඩ එපා! මටත් ඔයාල වගේ පුත්තු දෙන්නෙක් ඉන්නව. අපි ඒගො­ල්ලන්ව පරිස්සං කර ගන්නව. ගෑනු දරුවො හුඟක් පරිස්සං වෙන්ඩ ඕනැ දුවේ‘

‘ඔව් අංකල්. මං ඒක දන්නව. අපේ අප්ප­ච්චිත් මට ඔය දේම තමයි කිව්වෙ‘

‘දුවට ඕන්නං හිතිච්ච වෙලා­වට කතා කරන්ඩ මගෙ සෙල්පෝන් අංකෙ දෙන්ඩ පුළුවං. එත් ඒක අන­වශ්‍ය දෙයක් නේද දුවේ?‘

‘ඔව් අංකල්. අවශ්‍ය නෑ ‘

අලව්ව ළං විය. මා බැසිය යුතු විය.

‘දුවේ අපි කවු­රුත් ජීවිතේ ප්‍රශ්න­ව­ලට මූණ දෙන්ඩ ඕනැ. බය නැතුව මූණ දෙන්ඩ. ඔයාට ජය ගන්ඩ පුළුවං. මං දැං බහින්නං‘

‘හොඳයි අංකල්. මට අප්පච්චි වගේම අංක­ලුත් කව­දා­වත් අමතක වෙන්නෙ නෑ‘

ඇය හිනැහී මට සමු දුන්නා ය.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­‌ෙරනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments