නංගියි මමයි අකුරට ගිය විමානේ | Page 4 | සිළුමිණ

නංගියි මමයි අකුරට ගිය විමානේ

කොත්මලේ - තවලම්තැන්නෙ සිට ජීවිතයට අදාළ කලාව තුළ සිට තමන්ගේ ජීවිතය සොයන අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි කොළඹට ඇවිත් හඩගා කියන්න හදන ඔවුන්ගේ ම කතාවක් තියෙනවා. විශේෂයක් වෙන්නෙ මේ දෙදෙනාම දෙපා ශක්තිය රෝදවලට දීලා ජීවිත මඟෙහි තමන්ගෙම වේගයකින් දිව යන අය වීමයි. ඔවුන් මිනිසුන්ගෙ අනුකම්පා යදින්නෙ නැහැ. ඒත් ඔවුන් අපට ආරාධනා කරනවා ඔවුන්ගෙ කලාව හදුන ගන්න එන්නයි කියලා. අපි එයට සවන් දිය යුතුයි කියායි මං හිතන්නෙ.

අයියා කවියෙක්. ගයාන් ඉන්දුල. කොළඹ ජනප්‍රිය තලයේ මුහුණු පොත්වාසීන් හුඟ දෙනෙක් මේ අය ගැන දන්නවා. මම එයාලගෙ ගමේ යනවා. ඒ අය අතරින් කිහිප දෙනෙක් ඔහුත් සමඟ සුන්දර සැන්දෑවල් ගත කරලා තියෙනවා.

නංගි වරුණි කොඩිතුවක්කු- ලංකා බැංකුවේ නිලධාරිනියක්. චිත්‍ර ශිල්පිනියක් විදිහට ඇය අභ්‍යාස කළ චිත්‍ර සමඟ ඇයත් එනවා කොළඹ අයියා සමඟ. මේක තමයි ඔවුන් දෙදෙනාම එක වර කළඑලි බසින පළමු මංගල මොහොත. පුද්ගලිකව මට මේ කටයුතු වෙනුවෙන් කිිසිවක් කරන්න බැරි උනත් මං දන්නවා බොහෝ අය- පීටර් ජෙරම් ඇතුළු අය බොහෝ දේ කරමින් සිටින බව.

ඉතින් මං මේ සටහන යොමු කරන්නෙ අපි එකට හුස්ම ගන්න බව පේන අපේම අයට සහ මෙවැනි විශේෂිත කාරණා සම්බන්ධයෙන් උනන්දු අයට ලබන අගෝස්තු 1 සහ 2 යන දෙදින කොළඹ මහජන පුුස්තකාලයට හැකි වෙලාවක ඇවිත් යන්න කියලයි. 1 සහ 2 උදේ 9.00 සිට වරුනිගෙ චිත්‍ර ප්‍රදර්ශනය විවෘතයි. ගයාන්ගෙ කවි පොත ජනගත වන්නෙ 2දා සවස 3.00ට. ඔබ ඇවිත් බලන්න. ඒ අයගෙ කලාව ඒ අයගේ ජීවිතයේ විශිෂ්ටතම මැදිහත්වීම කියලා දැනේවි. - අනුරසිිරි හෙට්ටිගේ


‘තී හා තා’

මෙය ලංකාවේ සාහිත්‍යය තුළ පිරිමියකු විසින් පිරිමින් පිළිබඳ කරන්නා වූ අවංකම ප්‍රකාශයකි. ‘තී හා තා’ නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවකි. ආදරයක මට-සිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිඳෙන සේ) සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමකි. ‘තී හා තා’ සරසවි ප්‍රකාශනයකි. මිල රු 650 කි.

Comments