අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම විධිමත්ව හා විනිවිදව | සිළුමිණ

අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම විධිමත්ව හා විනිවිදව

වසරක් පාසා ජනප්‍රිය පාසල්වලට හා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී විවිධාකාර පැමිණිලි ගොන්නක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබෙයි. පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලුම්පත් කැඳවීම සෑම වසරකම ජූනි මස මුල් සතියේදි ආරම්භ වන අතර ,පළමු වසර සහ හය වසර හැර අනෙකුත් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතුත් සැම වසරකම පුරප්පාඩු අනුව සිදු වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සඳහා චක්‍රලේඛ නිකුත් කර ඇති අතර, ඒ කටයුතු සිදු කෙරෙන්නේ එහි ඇති විධිවිධානයන්ට අනුකූලවය. එහෙත් ජාතික සහ පළාත් පාසල්වල වසර මුළුල්ලේම අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සඳහා විවිධාකාර ඉල්ලිම් ගෙන එන්නට මවුපියන් උත්සාහ කරන අතර එ නිසා නැති ගැටලුද පැන නැඟී ඇත.

ඒ ඉල්ලීම් අතර ස්ථාන මාරු, විදේශයන් සිට පැමිණීම්, සේවා මාරු වීම් පමණක් නොව චක්‍රලේඛයන්ට අනුගත නොවන වෙනත් පෞද්ගලික හේතුද දක්වමින් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන්නට උත්සාහ කරන නිසා නොයෙකුත් අවස්ථාවලදි අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ට පමණක් නොව පාසල් ප්‍රධානීන්ටද මුහුණ දෙන්නට වන්නේ දැඩි දුෂ්කරතාවකටය.

අතරමැදි පන්තිවලට ද සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදු වන්නේ අනුමත චක්‍රලේඛයන්ට අනුවය. ඊට අනුකූලව ක්‍රියා කරන්නට පාසල් ප්‍රධානීහුද බැඳී සිටිති. පාසල් ප්‍රධානීන්ට එසේ ඇතුළත් කිරීම් වලටද අවසර ඇත්තේද පන්තියක සිටිය යුතු නිශ්චිත සිසුන් ප්‍රමාණයේ පුරපුපාඩු ඇති විටක පමණි. කොතෙක් චක්‍රලේඛ තිබුණද අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී බොහෝ දුෂ්කරතාවන්ට පාසල් ප්‍රධානීන් පමණක් නොව මවුපියෝද මුහුණ දෙති.

“පාසලේ ඉඩකඩ ඇතත් තම දරුවා ඊට ඇතුළත් කර නොගනිති- පන්තිවල ඇති ඉඩකඩ විදුහල්පතිවරු හොර පාරෙන් පුරවති“ යනුවෙන් විවිධ චෝදනා ඇති අතර මැති ඇමැතිවරුන් මාර්ගයෙන් ඉල්ලීම් ලිපි ගෙන එමින් මවුපියන් උත්සහ කරන්නේ කෙසේ හෝ තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන්නටය. අතරමැදි පන්ති පිරවීමේදි ගැටලු උද්ගත වන්නේ එසේ ඉල්ලුම් කරන පන්තිවල ඇති පුරප්පාඩු සංඛ්‍යාව කිසිදු විනිවිද බවකින් තොර වීම නිසාය.

පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව සහ චක්‍රලේඛ උපදෙස් සැලකිල්ලට ගැනීම, සිසුන් ඇතුළත් කරගැනීමේදි සැලකිල්ලට ගත යුතුම කරුණකි. පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව හා අදාළ පාසලේ ඒ ඒ පන්තියේ දැනට සිටින ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ විනිවිදභාවයක් ඇති නම් එම කටයුතු කිසිදු අවුලකින් තොරව සිදු කළ හැකි අතර තමන්ට අසාධාරණයක් වුවහොත් ප්‍රශ්න මතු කිරීමේ අයිතියද ඇත.

එසේම සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදු කිරීමේ දී ඉල්ලීම්වලදි සාධාරණයක් ඉටු කිරීමටද හැකියාවක් පවතියි. තම දරුවාට පාසලක් ලැබේයැයි විශ්වාස කරමින් මවුපියන් නිරන්තරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ගමනද එමඟින් අඩු වන අතර දිගු කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතිය තුළ නොවිසඳුණු එම ගැටලුද එමඟින් විසඳන්නට හැකියාව ලැබෙයි.

අතරමැදි පන්තිවලටය සිසුන් ඇතුළත් කරගැනීමේ ගැටලුවලට විසැඳුම් දෙමින් එය විනිවිදභාවයකින් හා ක්‍රමවත් ව සිදුවිය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම මත ප්‍රථම වරට 2019 වසරේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලුම් කරන අවස්ථාවේ දී ම එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගැනීමේ අවස්ථාව මේ වන විට සලසා දී ඇත. ඒ අනුව පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ දැන්විමක් පළ කරමින් ලංකාව පුරා ඇති ජාතික පාසල් සියල්ලේම අතරමැදි පන්තිවල දැනට ඇති පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කළේය.

2019 වසරේ 1,5, 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්ගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාර ව සිදු කෙරෙන අතර, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත් කරගැනීම් සිදු කිරීමට නියමිතයි.

“ ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදි විශාල ඉල්ලුම්පත් සංඛ්‍යාවක් සෑම වසරකම එනවා. මවුපියන් එම ඉල්ලුම්පත් යොමු කරන්නේ අදාළ පන්තිවල පුරප්පාඩු ගැන කිසිදු දැනුම්වත් වීමකින් තොරවයි. මේ නිසා තමයි ප්‍රථම වරට අතරමැති පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදි ජාතික පාසල් සියල්ලේම අතරමැදි පන්තිවල ඇති පුරපුපාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධ කළේ.

දැන් මවුපියන් කාටවත් චෝදනා කරන්න බැහැ පුරප්පාඩු තිබිලා දුන්නේ නැහැ කියලා. විදුහල්පතිවරුන්ට ළමයින් ඇතුළත් කර ගැනීමේ කටයුතු මේ නිසා විනිවිද බවකින් කරන්න පුළුවන්. සෑම වසරකම එක් වරක් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු ආරම්භ වන විට මේ ආකාරයෙන්ම පුරප්පාඩු ප්‍රසිද්ධියට පත් කරනවා. මෙවැනි ලේඛනයක් ප්‍රසිද්ධ කළාම බාහිර ප්‍රශ්න ගොඩාක් සඳහා ඇති දෙරවල් වැසෙනවා. “ එසේ පැවැසූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතාය.

“ සාමාන්‍යයෙන් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී චක්‍රලේඛවලට අනුකූලව ඉල්ලුම් පත්‍ර දැමිය යුතුයි. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙනවා. සම්මුඛ පරීක්ෂක මණ්ඩලයෙන් පුරප්පාඩු අනුව තෝරා ගත් ළමයන්ගේ ලැයිස්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය පසු අදාළ අංශය මඟින් ඒ සඳහා අනුමැතිය ලබා දිය යුතුයි. ඒ කටයුතු මේ වසරේදි තරමක් ප්‍රමාද වුණා. ලබන වසරේදි පළමු වාරය මුල අපි මේ කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා...“. ඒ ජාතික පාසල් අධ්‍යක්ෂ රත්නායක මහතාය.

මේ වන විට එම ලේඛනය ප්‍රසිද්ධ කර ඇති අතර ඒ අනුව එක් එක් පාසල්වල ඇති පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කර ඇත. නමුත් ලංකවේ සමහර ජනප්‍රිය ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා කිසිදු පුරප්පාඩුවක් ඉතිරිව නැත. සමහර පාසල්වල ඉතිරි වී ඇත්තේ ඉතා අඩු පුරප්පාඩු සංඛ්‍යවක් පමණි.

එය මවුපියන්ගේ බලාපොරොත්තු යම් ආකාරයකින් බිඳ වැටීමට හේතු වන කරුණක් වුවද, විවිධ ස්ථානවල රස්තියාදු නොවෙමින්, තමන්ට සුදුසුකම ඇති නම් කිසිදු ගැටලුවකින් තොරව ඒ සඳහා මුහුණ දෙන්නටද දැන් මවුපියන්ට අවස්ථාව උදා වීම සතුටට කරුණකි.

Comments