
ෆෙංෂුයි, අද මෙරට ජනප්‍රිය කලාවක් බවට පත්වී තිබේ. ෆෙංෂුයි යනුවෙන් හැඳින්වෙන්නේ චීන වාස්තු විද්‍යාවයි. එහි ප්‍රභේද ගණනාවක් ඇත. ගොඩනැගිල්ලක් සෑදීමේ පටන් ගොඩනැගිල්ලක් භාවිතයට ගන්නා තෙක් යොදා ගන්නා වාස්තු මෙන් ම උද්යානකරණ වාස්තු ද මීට අයත් වේ. චීන වාස්තු විද්‍යාවට අයත් Flying Star Feng Shui ලෙසින් හැඳින්වෙන ප්‍රභේදය පිළිබඳ අළලා ආචාර්ය එස්.එච්. පෙරේරා ‘ෆෙංෂුයි’ නමින් පොතක් රචනා කර ඇත. ගොඩනැගිල්ලක් නිම කළ පසුව එය වඩාත් ඵලදායිතාවට පත් කරගන්නා ආකාරය මේ පොතෙන් විග්රහ කෙරේ. ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ පැවැත්වූ සංලාපයකි මේ.
දේශගුණය, භූ විෂමතාව, ගස් කොළන්, සතා සිව්පාවා සහ සංස්කෘතික වශයෙන් චීනය සමඟ ශ්‍රී ලංකාව බද්ධ වෙන්නේ නැහැ. එවැනි පසුබිමක ෆෙංෂුයි ලංකාවට උචිත වන්නේ මොන ආකාරයට ද?
ෆෙංෂුයි පදනම් වන්නේ නිවැරැදි චුම්බකත්වය මත. උතුර - දකුණ වැනි දිශා අනුව. රටේ සංස්කෘතිය භූ විෂමතාව කොහොම වුණත් දිශාව වෙනස් ෙවන්නේ නැහැ. මාලිමා යන්ත්‍රයකින් අපට නිවැරැදි දිශාව තීරණය කරන්න පුළුවන්. ඒ අනුව සුබ ඵල ඇති කරන්නත් අසුබ ඵල අඩු කරන්නත් පුළුවන්. ගොඩනැගිල්ලකට ලැබෙන සූර්ය විකිරණ අපේ ජීවිතවලට සුබ අසුබ විදිහට එකතු වෙනවා. ඒ නිසා ගොඩනැගිල්ලක් සැදීමේදී වාස්තු විද්‍යානුකූලව සකස් කිරීම වැදගත්. විද්‍යාවෙන් ඔබ්බට පවතින පාරභෞතික දේවල් මැන ගත හැකි උපකරණයක් ලීචර් ඇන්ටෙනාව ලෙස නිර්මාණය වී තිබෙනවා. මෙම උපකරණයෙන් චුම්බකත්වය මැන ගන්න පුළුවන්. ෆෙංෂුයි කියන්නේ අන්ධ විශ්වාසයකින් කරන දෙයක් නොවෙයි. විද්‍යාත්මක පදනමක් මත සිද්ධ වෙන දෙයක්.
සිනාසෙන බුද්ධ නම් මෛත්‍රී බෝසත් පිළිරුව, තුවාන් යින් නම් කාන්තා දේව රූප වැනි රූප භාවිතය ෆෙංෂුයි ක්‍රමය තුළ ප්‍රචලිතයි. මෙවැනි දේවල් බුදු දහම සමඟ ගැළපෙන්නේ නැහැ නේද?
පිළිම භාවිතය ෆෙංෂුයි වාස්තු විද්‍යාවේ ප්‍රධාන දෙයක් නොවෙයි. ෆෙංෂුයි පදනම් වෙන්නේ දිශාවලට අනුව යෙදෙන අංක විද්‍යාව මත. පිළිම භාවිතය ෆෙංෂුයිවල එක් කොටසක් විතරයි. ෆෙංෂුයි බිහි වුණේ චීනයේ තාවෝ දහම මූලාශ්‍රයෙන් මිස බුදු දහම අනුව නොවෙයි. තාවෝ දහමේ පිළිම වන්දනාව තිබෙනවා. ලංකාව බෞද්ධ රටක් බව ඇත්ත. ඒත් විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස අපේ රටේ තිබෙනවා. එදා බුද්ධ කාලීන භාරතයේත් ඇදහිලි හා විශ්වාස ඕනෑ තරම් තිබුණා. දියුණු බටහිර රටවල්වලත් තත්ත්වය එහෙමයි. ඔවුන්ගේ ප්‍රධාන ආගම තිබියදී භූත විද්‍යාව වැනි විවිධ විශ්වාස හා ඇදහිලි ඒ රටවල් තුළ දකින්න ලැබෙනවා. එය අපට වළක්වන්න බැහැ. ඒ නිසා ලංකාවේ ෆෙංෂුයි කියන චීන වාස්තු විද්‍යාව අනුගමනය කරන අය එය අනුගමනය කරාවි.
එහෙත් “පංච ශීලයෙහි පිහිටා ක්‍රියා කරන යමෙක් වෙයි ද ඔහුට මේ වාස්තු විද්‍යාවෙන් ප්‍රයෝජන ගැනීමේ ප්‍රතිශතය ඉහළ ය.” යනුවෙන් මෙ පොතේ සඳහන් කර තිබෙනවා. එයින් පෙනෙන්නේ ඔබ බුදු දහම බැහැර නොකරන බව නේද?
මම එයින් අදහස් කළේ හැම ජරා වැඩක් ම කරලා ෆෙංෂුයිවලින් ජීවිතයට සියලු දේවල් ළඟා කර ගැනීමට උත්සාහ කළාට එය බැරි බව දැනුම් දීමටයි. ධර්ම මාර්ගයේ යන්නෙ නැතිව මොන සංකල්පය ගෙනාවත් වැඩක් නැහැ. වාස්තු විද්‍යාවෙන් සියල්ල කරන්න බැහැ. ජීවිතයේ 1/3 ක් කර්මය අනුවත් 1/3 ක් ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරකම් අනුවත් 1/3 ක් ෆෙංෂුයි අනුවත් සිද්ධ වෙන්නේ. ෆෙංෂුයිවලින් ගොඩ නඟන්න පුළුවන් ජීවිතයක 1/3 ක් විතරයි. ඒ නිසයි මම ඒ විදිහට පොතේ සටහන් කළේ. එය ෆෙංෂුයිවල සඳහන් වූ දෙයක් නොවෙයි.
ෆෙංෂුයි ක්‍රියාත්මක කිරීම යනු මහන්සි වී වැඩ නොකිරීම නොවේ” යැයි මේ පොතේ xi පිටුවේ සඳහන් වී තිබුණා. මහන්සි වී වැඩ කරන පුද්ගලයාට ෆෙංෂුයි අවශ්‍ය නැහැ නේද?
කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන අය අද සමාජයේ කොයි තරම් ඉන්නවද? මුදල් හම්බ කළාට ඉතිරියක් නැහැ කියන අය කොයි තරම් ඉන්නවද? අන්න ඒ වගේ අවස්ථාවලදී ෆෙංෂුයි වැදගත් වෙනවා. වඩාත් සැපවත් ජීවිතයක් ගත කරන්න මිනිස්සු සෑම දෙයක් ම කරනවා. මිනිසුන් ජීවත් වී සිටින තුරු ජීවිතය යහපත් ආකාරයට විඳින්න ඕනෑ. ඒ පුද්ගලයන්ට මහන්සියේ ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගැනීමටත් ජීවිතය අත් විඳින්නටත් ෆෙංෂුයි ඉතා වැදගත්.
ඔබ කිවු අදහස පෙර දැරි කරගෙන ෆෙංෂුයි, මහා පූජාවන්, විශ්ව ශක්තිය වැනි විවිධ දේවල් ජනතාව අතරට පැමිණ තිබෙනවා. මේ සියල්ලේ ම පිටුපස තිබෙන්නේ ජනතාවගේ යහපතට වඩා මුදල් උපයා ගැනීමේ ව්‍යාපාර යැයි මා පැවසුවොත්?
අද එවැනි ව්‍යාපාර තිබෙනවා. ෆෙංෂුයි ගැන පවා අද වැරදි විදිහට යන බව පෙනෙනවා. ඒ සම්බන්ධයෙන් ලියූ පොත්පත් පවා දැනුම අවභාවිතයෙන් ලියූ පොත්පත් කියලා පෙනෙනවා. ඒ කිසිම පොතක පාදක සටහන් (foot note) යොදා නැහැ. ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන ෆෙංෂුයිවලට අහුවෙන්න එපා කියලා ජනතාව දැනුවත් කරන්න තමයි මම මේ පොත ලිව්වේ. මට අවශ්‍ය වී තිබෙන්නේ ෆෙංෂුයි ගැන ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබාදීම පමණයි. මගේ පර්යේෂණය ගැන සාක්ෂාත් කිරීමට මම මගේ පොතට පාදක සටහන් පවා යොදා තිබෙනවා.
ලෝවාමහාපාය වැනි මහල් ප්‍රාසාද, මහා දාගැබ් ඉදි කළ කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට වාස්තු විද්‍යාව අලුත් දෙයක් නොවෙයි නේද?
ඔව්. අතීතයේ පටන් අපේ රටේ ඉතා දියුණු වාස්තු විද්‍යාවක් තිබුණා. එය ඉංජිනේරු විද්‍යාව වශයෙනුත් හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික වූ වස්තූන් ෆෙංෂුයිවල ඇතැම් සංකේත හැටියට හමු වෙනවා. උදාහරණයක් වශයෙන් සුදු ඇතු පිට සිටින ‘සමන්ත භද්‍ර’ රූපය අපේ රටේ සමන් දෙවියන්ගේ යැයි සැලකෙනවා.
රාවණා රජුගේ දඬුමොනරය ගුවන් ගත කිරීමට උදව් වන ප්‍රධාන යන්ත්රණයේ ආකෘතිය වජ්‍රය ලෙස ෆෙංෂුයිවල හැඳින්වෙන බවට සැක මතු වෙනවා. ‘මෙඩිසින් බුද්ධා’ යනුවෙන් හැඳින්වෙන්නේ රාවණා රජු ද කියලා තවත් සැකයක් තිබෙනවා. මේ කරුණු මත චීනයේ පවතින ෆෙංෂුයි වාස්තු විද්‍යාව අතීතයේදී ශ්‍රී ලංකාවේ තිබුණ ද ශ්‍රී ලංකාවෙන් චීනයට යම් ආභාසයක් ලැබුණ ද කියලා විමර්ශනය කළ යුතුයි.