
මිනිසා මරණයෙන් පසු යළිත් මේ මිනිස් ලොවම හෝ දිව්‍ය ලෝකයක උපත ලබනු ඇතැයි සිතා සිටිති. එය මහා මිත්‍යාවකි. මේ මිනිස් ලොව උපත ලැබීම කණ කැස්බෑවෙකු මුහුදේ රළ පතර පාවෙන විය සිදුරකින් අහස දැකීම වැනි ඉතා දුර්ලභ දෙයක් බව දහමෙහි කියැවේ. එසේම මේ මිනිස් ජාතිය ඉක්ම යළි සුගතියක් උපත ලැබිය හැක්කේ පෘථිවිය පුරා ඇති වැලි හා පස් ප්‍රමාණය මිනිස් ගහනය හා සමාන වේ නම් නිය පිටින් ගත් පස් ප්‍රමාණය හා සමාන යැයි ද දහමෙහි කියැවේ. මිනිස් උපත ඒ තරම් දුර්ලභය.
එසේ දුර්ලභව උපත ලබන මිනිසා යළි සුගතියක උපත ලැබීමට නම් මරණාසන්න මොහොතේ පහළ වන සිතුවිල්ල තුළ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල හේතු නොතිබිය යුතුය. අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල හේතු වලින් පිරිසුදු විය යුතුය. ඒ සඳහා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා වලින් යුක්ත විය යුතුය.
මෛත්‍රීය යනු කුමක්දැයි හරිහැටි නොදන්නා අඥාන මිනිසා නිතරම අනුන්ගේ දෙතිස් අඩුපාඩු සොයයි. තමන් තුළ පවත්නා බලු ගති, හරක් ගති, තරහ වෛර ගති, ඉරිසියා ගති, අසීමිත තණ්හා ගති, චිත්ත සන්තානය තුළ පුරවාගෙන අනුන්ගේ වැරදි සොයයි. දවසේ එක මොහොතක්, උදේ අවදි වන විට හෝ රාත්‍රි නින්දට යන විට මා තුළ ඇති අපායගාමී අකුසල ගත මොනවාදැයි නොසිත අසීමිත තණ්හාවෙන් දියුණු වෙන්නට ම සිතයි. හොඳ නරක දියුණු පරිහානිය ලැබෙන්නේ හේතු ඵල දහමට අනුව බව නොදනියි.
මිත්‍යා දෘෂ්ටිය නිසා පහළ වන අසීමිත තණ්හාවෙන් භෞතික වස්තු සම්පත් ලබා ගැනීමට කෙටි ක්‍රම සොයයි. කෙනෙක් මත්ද්‍රව්‍ය විකුණයි. තව කෙනෙක් රාජ්‍ය දේපළ අයථා පරිදි උපයා ගනියි. එසේ කර ගන්නට බැරි එකා නොපෙනෙන දෙවියන් පුදයි. යදියි. මරණින් පසු දුගතියෙහි උපදින ප්‍රේතයෝ අප ජීවත්වන පරිසරය පුරා ලක්ෂ කෝටි ගණනින් සැරිසරන බව නොදන්නා මෝඩයාගේ පුද පූජාවලට ඇබ්බැහි වන ප්‍රේතයන්ගෙන් ග්‍රහණයට අසුවෙයි.
ගම්පහ සාරංගි හා රොෂාන් ඇඟලුම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අඹු සැමි යුවළකි. දැනට මාස හයක පමණ කාලයක සිට ඔවුන්ගේ ව්‍යාපාර පිරිහෙන්නට විය. නිවසේ සද්ද බද්ද බඩු සෙලවීම්, දුර්ගන්ධය, පැතිරෙන්නට විය. ඊට හේතුව වශයෙන් තමන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කළ ඥාතියෙකු හූනියමක් කැර ඇතැයි විශ්වාස කළහ. එයින් මිදීමට තොවිල් පවිල් ශාන්ති කර්ම කරන්නට ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් කබලෙන් ලිපට වැටී දැවි දැවී දුක් විඳිති.
කරදරවලින් අඩුවක් නොවන විට රොෂාන්, සාරංගි සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියේය. එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළේය. ගවේෂකවරයා යෝග විද්‍යාත්මක ශක්ති කිරණ එල්ල කරන විට සාරංගි වෙව්ලන්නට වූවාය. ඔවුන්ට භූත දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි නියම කළේය.
අකුසල පාප කර්මවල විපාක කුසලයෙන් මඟ හරවා ගත හැකි බවත්, කුසලයෙන් අකුසලයට පහර දිය හැකි බවත් වටහා දී පරම මෛත්‍රී සිතුවිලි සහගතව බෝධි පූජා පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ මිසක බෝධින් වහන්සේට වැඳ වැඳ පුද පුද යැද යැද ඉල්ලුවාට සහන නොලැබෙන බවත් මෛත්‍රීයේ ආනිසංස පැහැදිලි කොට බෝධි මූලයේදී චිත්ත පාරිශුද්ධිය අධිෂ්ඨාන කළ විට අපල දුරුවන බව පැහැදිලි කළේය.
බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ සාරංගිට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට රිංගා ගෙන අඩන්නේ?”
“මම පීටර්” යැයි ප්‍රේතයා උත්තර දුන්නේය.
“ඇයි අඬන්නේ?”
“මහත්තයා මුන් දෙන්නා බෝධි පූජාවලට යැව්වාට පස්සේ මාව දැවෙනවා. මට මේකිගේ ඇඟේ ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා. උන් හිටි තැන් නැති වෙන දුකටයි අඬන්නේ”
“කවුද මේ පීටර් කියන්නේ? මේ දෙන්නාගේ නෑයෙක් ද?”
“නෑ....නෑ.... මුන් විහින් ගෙන්න ගත්ත කෙනෙක්. අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නා වගේ වැඩක්” යැයි ප්‍රේතයා සිනා සෙන්නට විය.
“මොකක්ද ඒ කතාව?”
“මහත්තයා මේ රටේ දේවාලවල ඉන්න කපුවන්ට මිනිස්සු රැවටෙනවා. උන් සියල්ල දන්නවාය, උන්ට කරන්න බැරි දෙයක් නැහැ කියලා, උන් සෘෂිවරුය කියලා උන්ගේ බහට රැවටෙනවා. මේ මෝඩ හරක් දෙන්නත් කපුවෙකුට රැවටුණා.”
“ඒ කොහොමද?”
“මුන් දෙන්නාගේ උත්සාහයෙ හැටියට හේතුඵල දහමට අනුව, දීපු හැටියට, උනන්දුවේ හැටියට දියුණු වෙන දහමට අනුව ඇඟලුම් කර්මාන්තයෙන් දියුණු වුණා. මුන් දෙන්නට ඒක මදි වෙලා ඉක්මනින් අහස අල්ලන්න තණ්හාවෙන් දියුණු වෙන්න දේවාල ගාණේ ඇවිදින්න ගියා. කතරගමදී කපුවෙකුට රැවටිලා කැලේ දේවාලයකට ගියා. එතැනදී වඳුර කාලි මැණියන්ට පූජා පවත්වන්න උපදෙස් දුන්නා. මුන්ගෙන් හොඳ ගණනක් කපුවා කඩා ගත්තා. ගොනාට හකුරු කන්න දුන්නා වගේ මේ මෝඩයොත් රැවටුණා. එතැනින් දුන්නු පුංචි පිළිමයක් ගෙදර ගෙනැත් පුද පුජා තියන්න පටන් ගත්තා. යන්න එන්න මං නැතුව. එල්ලෙන්න වැලක් නැතුව කතරගම රස්තියාදු ගහමින් පාවි පාවී හිටිය මමත් මුන් දෙන්නා එක්ක ආවා. ඇවිත් මුන් ළඟට වෙලා උදේ හවස මුන්ගේ පුද පූජා කකා හිටියා. මම ටිකක් ශක්තිමත් වුණා. මුන්ට පෙනෙන්න මල් වට්ටිය හොල්ලන්න පිළිමය හොල්ලන්න පටන් ගත්තා. මේවා වඳුරු කාලි මැණියන්ගේ හාස්කම් කියලා මුන් රැවටුණා. යාළුවන්ටත් පෙන්නන්න හිටියා. මමත් හොල්ල හොල්ලා පූජාව වැඩි කැර ගත්තා. මම දැන් මුන් දාල යන්නෙ නෑ. මට යන්න බැහැ” යි ප්‍රේතයා කීවේය.
“ඇහුණා නේද ප්‍රේතයා කියපු දේ. අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගෙන දැන් කෑවෝ ....කෑවෝ ....කියලා කෑ ගහනවා. තමන් ම අසීමිත තණ්හාවෙන් ගෙන්න ගත්ත ප්‍රේතයාව එහෙම ලේසියෙන් යවන්න බැහැ. ඔය මිදුලෙ හදා ගෙන තියෙන දේවාලේ කඩලා එතැන ගිනිමැලයක් ගහල පිරිසුදු කරන්න. දේව පිළිමය ගඟකට ගිහින් දාන්න. ගමේ පන්සලට ගිහින් හාමුදුරුවන්ට විස්තරය කියලා ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන්න.
මාසයක් නොකඩවා බෝධි පූජා තියලා හැන්දෑවට ඒ සීලයේ අර්ථය මෙනෙහි කරමින් සිල් අලුත් කරන්න. සිල් රෙදි පොරවා ගෙනම ඉන්න ඕනෑ නෑ. බෝධි පූජා වෙලාවට සිල් රෙදි ඇන්දාම ඇති. ආයෙත් තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න. සිත, කය, වචනය සිහි බුද්ධියෙන් පාවිච්චි කරන්න. හැබැයි දෙන්නා සිල් අරගෙන බෝධි පූජා තියන හැටි පින්තූර අරගෙන මට ගෙනත් පෙන්නන්න ඕනෑ. මාසය අවසානයේ පන්සලට හීල් දානයක් පිරිනමා ප්‍රේතයාට පින් අනුමෝදන් කර නැවත එන්න. එනකොට පලතුරු වට්ටියක් අරගෙන අනුරාධපුරේ යන්න සූදානම් වෙලා එන්න” යැයි ද උපදෙස් දුන්නේය.
ඒ පිළිවෙත් ඉටු කර ඔවුහු නැවත පැමිණියහ. එදින පලතුරු වට්ටියට ප්‍රේතයා සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය. නිවසේ උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේය.