
මරණ දඬුවම ක්‍රියාත්ම කළ යුතුයි.‘
දිනෙන් දින අපරාධ වැඩි වන විට ඇතැමුන් කලක් තිස්සේ කියූ දෙයකි ඒ. කාලෙන් කාලෙට මතු වෙමින් යට යමින් පැවැති මරණීය දණ්ඩනය ක්‍රියාත්ම කිරීම සඳහා ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වූ වැරදිකරුවන් හතර දෙනෙකු සඳහා මරණීය දණ්ඩනය ලබාදීමට අස්සන් කර ඇතැයි පැවැසේ. ඒ ආරංචිය සැලවීමත් සමඟ වෙනදා මෙන්ම මෙදාද මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෝ නොසන්සුන්ය.
මේ ලියන මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිස දෙදහස් හත්සිය විසිතුනකි. ඒ අතරින් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් ගණන 316කි. මේ සිරකරුවන් රඳවා සිටින්නේ චැපල් අංශයේය.
‘එල්ලුම් ගහ එනවා’ කියන ආරංචිය ලැබෙන විට කවදත් බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෝ නොසන්සුන්ය.
“සමහරුන්ට බඩේ ආමාරු හැදෙනවා. සමහරුන්ට ඔක්කාරය, වමනේ යනවා. තව අයට ප්‍රෙෂර් වැඩි වෙනවා, සීනි වැඩි වෙනවා, ඔළුව කැක්කුම ආදි විවිධ රෝග හැදෙනවා. දැනුත් එහෙමයි. මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා කියපු ගමන් කට්ටිය මානසික වැටෙනවා...” බන්ධනාගාරයෙන් ලැබුණ තොරතුරු එසේය. කොයි-කවුරුත් කොතෙක් චණ්ඩිකම් කළද මරණයට බියය.
දැන් හිරගෙදර වදක තනතුරේ ද පුරප්පාඩු පුරවා අවසන්ය. අලුතෙන් බඳවාගැනීමට නියමිත අලුගෝසු තනතුරට තෝරාගෙන සිටින දෙදෙනා සඳහා පුහුණුවිම් කැරේ. ඒ සඳහ වෛද්‍ය පරීක්ෂණ ද පවසා අවසන්ය. තනතුර සඳහා දෙදෙනෙකු තෝරාගැනීම සඳහා පැමිණි අවසන් වටයේ විසිතුන් දෙනා සඳහා එල්ලුම් ගහේ ආකෘතියක් ආශ්‍රයෙන් පෙරහුරුවක් පෙන්වා තිබිණි.
වසර ගණනාවක් තිස්සේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවුණ ද එල්ලුම් ගහ ඇති මැදිරියේ නඩත්තු කටයුතු මාස්පතා සිදු කැරිණි. පසුගිය කාලයේ බන්ධනාගාර ආරංචි මාර්ග පැවැසුවේ එල්ලුම් ගහ සඳහා පාකිස්තානයෙන් කඹයක් ගෙන් වූ බවය. මීට දින කිහිපයකට පෙර එල්ලුම් ගහ ඇති මැදිරිය පිරිසුදු කර එල්ලුම් ගහේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බලා ඇත.
කලකට පෙර ලංකාවටම එල්ලුම් ගස් දෙකක් තිබුණත් දැන් ඇත්තේ එක එල්ලුම් ගසකි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේ සී3 කාමරයේය. බෝගම්බර බන්ධනාගාරය දුම්බරට ගෙන යෑමත් සමඟ බෝගම්බර එල්ලුම් ගහ ගලවා ඉවත් කෙරිණි. බන්ධනාගාර ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවීමේදි දැන ගන්නට ලැබෙන්නේ මුල්ම අලුගෝසුවා ලෙස කටයුතු කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි.
සාමාන්‍යයෙන් නම් මරණ දඬුවම නියම වු පුද්ගලයා බන්ධනාගාරයට පැමිණි දිනයේ ඔහු බාරගත් ජේලර්වරු දෙදෙනා හෝ එක් අයෙකු සිරකරු එල්ලා මරණ දිනයේ සිටිය යුතුය. සිරකරු එල්ලා මැරීමට පෙර දිනයේ සිරකරුගේ උස හා බර මැනිය යුතුය. එසේම ඒල්ලුම් ගහේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ද සොයා බැලිය යුතු වෙයි. සිරකරුගේ බරට වැලිගෝනියක්, සකස් කර එල්ලුම් ගහේ ක්‍රියාකාරිත්ය පිළිබඳ බලනු ලැබේ. එසේම මිනී පෙට්ටියක් සුදානම් කරන ලෙස ප්‍රධාන ජේලර් විසින් ගබඩාවට දැනුම් දීමද කරනු ලැබේ.
සිරකරුවකු එල්ලා මැරීමේදී අවශ්‍ය ආම්පන්න කිහිපයකි. පාලනාධිකාරියේ දැනුවත් කිරීම් මත අලුගෝසුවා විසින් ගබඩාවෙන් ලබාගත යුතු දේ අතර කඹය, අත්බැඳිමේ උපකරණය , තොප්පිය හා විශේෂ ඇඳුම, ඇඳුම් සහිතව සිටින සිරකරුගේ බර හා සමබරක් ඇතිව වැලි පිරවිය හැකි මල්ලක්, රට හුනු කැල්ලක්, නොකැඩි තොණ්ඩුව රඳවා තැබීමට පමණක් ශක්තිමත් නූලක්, මැනුම් පටියක් හෝ මැනුම් පොල්ලක් තිබිය යුතුය.
අලුගෝසුවා සිරකරු එල්ලා මරා දැමීමට නියමිත දනට පෙර දිනයේ දහවල් දොළහ වන විට රාකාරියට වාර්තා කළ යුතුය. සිරකරු එල්ලා මරා දමා අවසන් වන තුරු ඔහුට සිරගෙදරින් එළියට යෑම තහනම්ය.
දැන් දැන් සිරකරුවන්ගේ සිතට ඇත්තේ බියකි. ඒ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බැවිනි.
කෙසේ වෙතත් අතීතයේ සිරකරුවෙකු එල්ලා මරණ දිනට උදෑසන අටේ සිට උදෑසන නවය දක්වා හිරගෙදර නිහඬය. අඩුම තරමේ ඝණ්ටාරයවත් හැඬ වෙන්නේ නැත.
එක්දහස් නවසිය හැත්තැ හතෙන් පසුව අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වී නැත . බෝගම්බර බන්ධනාගාරයේ අවසන් වරට එල්ලා මරා දැමුණු පුද්ගලයා වන්නේ පී. එම් ජයවර්ධන නැමැත්තෙකි. එනම් 1975නොවැම්බර් 27 දාය. ඔහු කළ වරද වූයේ තිස්මඩ ප්‍රදේශයේ උපාධිධාරිනියක මරා දැමිමය.
වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට එල්ලා මරා දැමුණු පුද්ගලයා වන්නේ තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවියකු වූ ජයසිංහ මානච්චිගේ චන්ද්‍රදාස හෙවත් හොද පපුවා නැමැති අයය. ඒ 1976 ජුනි 23 වෙනිදාය.
පැරණි තොරතුරු එසේ වුවත් දැන් අලුත්ම තත්වය වන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදි කරුවන් වූ හතර දෙනෙකු මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අස්සන් තබා ඇති බවය.
එය එසේ නම් සිරකරු එල්ලා මරණ දිනයට පෙර දිනයේ ඔහු ඔහුගේ ආගම අනුව ආගමික කටයුතුවල නියැළීමට අවස්ථාව තිබේ. ඔහු බෞද්ධයකු නම් ඔහුට ධර්මය දේශනා කිරීම සහා භික්ෂුන් වහන්සේ නමක සිරගෙදරට වැඩම කරනු ලැබේ. එමෙන්ම ඔහු කැමති අන්දමින් ආහාර වේල ලබාදෙනු ලැබේ.
මරණ දඬුවම නියම සිරකරුවා රඳවා සිටින්නේ එල්ලුම් ගහ ආසන්යේ සෙල් කාමරයකය.
අතීතයේ එල්ලුම් ගහට ගිය ඇත්තන්ගේ කතා බොහෝය. එල්ලා මරා දැමුණු මරු සිරා හෙවත් සිරිපාගේ මරණය සම්බන්ධයෙන් අද ද ඇත්තේ විවාදාත්මක කතාය. ඒ සිරිපාල එල්ලා මැරුවාද මරා එල්ලුවාද යන්නය. තවත් සිරකරුවකු මිය යන මොහොතේ තමන් කැමතිම ගීතයක් ගායනා කර තිබේ.
“සමහරු අවසාන දවස් වල බලන්න එන්න කියන්නේ තමන්ගේ අම්මට විතරයි. මට මතකයි එක අම්මා කෙනෙක් බොහෝම වයසයි. ඒත් එයා බොහෝම අමාරුවෙන් තමයි පුතාව බලන්න දුර බැහැර ඉදලා ආවේ. එල්ලා මරන්න ඉස්සේල්ලා සිරකරුට කන්නාඩියකින් තමන්ගේ මුහුණ බලන්න දෙනවා. සමහරු ඒ කන්නාඩියෙන් පෙනෙන මුහුණට කෙළ ගහනවා. සමහරු අහනවා උඹ මේකට නේද මෙච්චර කල් දැඟලුවේ කියලා. තව සමහරුන්ට බඩ එළිය යනවා. කොහෙමත් ඉතින් සතුටින් එල්ලුම් ගහට ගිය අය අපට කවදාවත් හමු වෙන්නේ නැහැ.“
අතීත මතකයන් රැසක් ඇති විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියකු පැවැසුවේය. දැන් කවුරුත් දෑස් අයා බලා සිටින්නේ දිනය කවදා ද කියාය.
- ඉසවි