සියුම් රස මවන අරු­ත්බර කවි සිතක්... සියොතුනේ | සිළුමිණ

සියුම් රස මවන අරු­ත්බර කවි සිතක්... සියොතුනේ

 

කර්තෘ-මහාචාර්ය කුසුමා කරුණාරත්න

ඇස්. ගොඩගේ ප්‍රකාශනයක්

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න වනාහි චරිතාංග රාශියක නිරූපණය කරන ක්‍රියාකාරී කාන්තා චරිතයකි. සාහිත්‍යවේදිනියක ද වන ඇය ග්‍රන්ථ කීපයක් මෙන් ම පර්යේෂණ ලිපි සිය ගණනක් ලියා පළ කොට තිබෙයි. සාහිත්‍ය විචාරිකාවක ලෙසින් ලංකාවේ බොහෝ සම්මාන උලෙළවල විනිශ්චය තනතුරු දරමින් ක්‍රියා කරන්නී ය. එමෙන් ම සමාජ ක්‍රියාකාරිකාවක ද වන ඇය ජනමාධ්‍ය ඇතුළු බොහෝ පාසල් හා විවිධ ආයතන තුළ විශිෂ්ට ගණයේ සම්පත් දායිකාවකි. මේ සෑම තැනෙක එතුමිය විවිධ තරාතිරම්වල සමාජ කණ්ඩායම් සමඟ ගැටෙයි. එයින් ලද අත්දැකීම් සමුදායකින් යුතු එතුමිය කාලයක් තිස්සේ රචනා කළ පද්‍ය පන්ති රාශියක් “සියොතුනේ” ලෙසින් පසුගියදා කොළඹ සරසවියේ එම්.බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී එළි දැක්විණි. මේ කෘතිය මේ වන විටත් බොහෝ විචාරක අවධානයට යොමුව තිබෙයි.

මා මේ කෘතිය පුරා දකින්නේ එතුමිය ලද අප්‍රමාණ මනෝභාව ය. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදිය හැකි වෙයි. එනම් ඉතා සංවේදී මනෝභාව, සමාජ විවේචන සහිත ම‍නෝභාව, විරෝධාකල්ප මනෝභාව, ප්‍රේමනීය මනෝභාව සහ අනුවේදනීය මනෝභාව වශයෙනි. මේ මනෝභාව අත්දැකීම් කර ගනිමින් රචිත සියොතුනේ පද්‍ය කෘතිය තුළ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන කල්හි නූතන උසස් පද්‍ය කෘතියකින් අපේක්ෂිත පරමාර්ථ මේ ඔස්සේ ලැබිය හැකිය.

අප නූතන පද්‍ය කෘතියක් වෙතින් සොයන්නේ මොනවාද?

1. කවියාට ප්‍රස්තුත අත්දැකීම් මගේ ආධ්‍යාත්මයට ඇති කරන බලපෑමක් තිබේද?

2. කවියා ඒ සඳහා යොදා ගත් බස සුන්දරද? ව්‍යංග්‍යාර්ථවත්ද?

3. ජීවිතය පිළිබඳ සිතන්නට යමක් ඒ තුළ අන්තර්ගත වේද?

4. රිද්මයානුකූල රටාවකින් කවිය ඉදිරිපත් කර තිබේද?

යන කරුණු කිහිපයක් අපි අපේක්ෂා කරන්නෙමු.

මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිනියගේ “සියොතුනේ” කෘතිය ඔස්සේ උක්ත කරුණු විමසන්නට පෙර මහගමසේකර දැක්වූ අදහසක් උපුටා දැක්වීම වටී.

“පැරණි කවිය ‍රනබරණ පැලඳි රදලයකු වැන්න. ජන කවිය චීත්ත රෙද්දක් හා ඔපනැලි හැට්ටයක් ඇඳි ගැමි ලියක් වැන්න. නූතන කවිය ගමෙහි හැදී වැඩී චාම් ඇඳුමින් සැරසී කොළඹ කාර්යාලයක වැඩට එන තරුණියක වැන්න. ඈ ගැමි ලියක මෙන් ග්‍රාම්‍ය ද නැත. නාගරික ගැහැනියක මෙන් විලාසිතා ද නැත. ගමේ හොඳ ගතිවලින් ජන්මය ලබා නගරයේ හොඳ ගතිවලින් ආශ්‍රය ලබා ඇත.”

මේ අනුව මහගමසේකර අපට කියන්නේ නූතන කවිය අලංකාරවලින් තොර විය යුතු බවයි. අනුප්‍රාස, උපමා රූපක, අර්ථාලංකාර ශබ්දාලංකාර ආදියෙන් තොර විය යුතු බවත්ය. මේ අනුව සාර්ථක කවිය තම අත්දැකීම් ප්‍රබල ලෙසින් කරන ප්‍රකාශනයකි.

මහාචාර්ය කුසුමා කරුණාරත්න ලියා පළ කළ “සියොතුනේ” කෘතියෙහි අඩංගු බොහෝ නිර්මාණ මහගමසේකරයන්ගේ උක්ත විග්‍රහයට බෙහෙවින් සමීප වේ. එතුමිය තම පෞද්ගලික දිවි පෙවෙත තුළ විඳි ඇතැම් ම‍නෝ භාව අත්දැකීම් කරගනිමින් ලියැවුණු පද්‍ය පන්ති රාශියක් මේ තුළට එක් කර තිබෙයි. “කටහඬ”, “දෙතොලග සිනා”, “එක් පැටියෙක් හැඩීපියා”, ඊට නිදසුන් කිහිපයකි. දරුවන් හදා වඩා පෝෂණය කළ මවුවරුන් එම දරුවන් තම ඇස් මායිමට හසු නොවන දුරුකතරෙහි වෙසෙන විට ඕනෑම මවකට දැනෙන තනිකම, පාළුව හා හුදෙකලාව වත්මනෙහි බොහෝ නාගරික පමණක් නොව ග්‍රාමීය වටපිටාවෙහි ද අම්මලාගේ ඛේදවාචකය වෙයි.

හිරු ද තනිවම

බැස යන

සැඳෑ කල

ඇසුණි මට

ඔබේ හඬ

නිරන්තර හද ගැබේ

රැව් නඟන “කටහඬ” පද්‍ය පන්තිය ඔස්සේ උක්ත බේදය මැනවින් ධ්වනිත කරයි. එහෙත් තනි වූ මව්වරුනට සිත සදා ගන්නට ඉඟියක් දෙයි. එනම් හිරුත් බැස යන්නේ තනියම බව දැක්වීමයි. මහා තේජවන්ත සූර්ය ලෝකයක් එළිය කොට අඳුරට පිවිසෙන්නේ තනිවමය. දරුවන්ගෙන් හුදෙකලා වූ මව්වරුනට සිත සකසා ගැනීමට මෙය ප්‍රබල අදහසකි. එහෙත් අපේ මහැදුරු තුමිය ඒ පාලුව, හුදෙකලාව නැති කර ගන්නේ බුත්සරණ කියවීමෙනි. එයින් ධ්වනිත අදහස් රාශියකි. ජාතක කථාවක් නොකියා බුත්සරණේ රස මිහිර විඳ ගැනීම සාහිත්‍යවේදිනියක ලෙසින් සුවිශේෂී වෙයි.

නොහැඳින මව්පිය හදවත

ඉපිල ගොසින් දුරට ඈත

පැටවුන් යළි නොම එනු ඇත

මෙයයි ලොවේ අද පිළිවෙත

ඇතැම් දරුවෝ මාපිය සෙනෙහස නොහැඳින දුර රටවල්හි ගොස් ඔවුන් අමතක කර දමති. “එක පැටියෙක් හැඹී පියා” යන පද්‍ය පන්තිය තුළ කුරුලු ලොවේ අසිරිය විඳ ගනිමින් ලොකු මහත් වූ පැටවුන් කූඩුවෙන් එහා ලෝකයට අවතීර්ණ කරලීමේ ක්‍රියාවලිය පසුබිම් කොට ගෙන මෙම පද්‍ය පන්තිය රචනා කර තිබෙයි.

“හිතවතුන්” නමින් මෙහි ලියා ඇති පදවැල් රාජ්‍ය සේවයේ සිට ඉසිඹු ලත් කවරෙකුගේ වුව මානසික පශ්චත්තාපයන් කදිමට නිරූපිතය. එහිදී කිවිඳිය භාවිතයට ගන්නේ පලාමිටකි.

වියළුණු මැලවුණු කොළ

ඒ සමඟ මුසුව ඇති වල් පැළ

තෝරා එකින් එක

ඉවත් කර සෝදා ගත් පලාමිට

රාජ්‍ය සේවයේදී කෙතරම් හිතවතුන්, සේවකයන්, මිතුරන් ගෝල බාලයන් තමන් සමඟ ජීවත් වුවද විශ්‍රාමික දිවියේදී ඔවුන් බොහෝ දෙනෙක් නැවත හමු නොවෙති. අමතක කර දමති.

වියළුණු මැලවුණු කොළ සේම

ඉතිරිව ඇත්තේ

සැබවින් ම ළෙන්ගතු

නෑ හිතවතුන් අතළොස්සක්ය

මේ පලා මිට මෙන්ම

මේ ‘පලාමිට’ කෙතරම් අරුත්බර අදහසක් මෙහිදී මතු කරයිද? ඒ අනුව විශ්‍රාම දිවියේදී උපේක්ෂාවෙන් අතීතාවලෝකනය කළ යුතු බවට අදහසක් මේ තුළින් මතු වෙයි.

“නොලියවුණු කවි පද” නමින් මෙහි ලියැවුණු කවි සිතුවම ආදරබර ස්වාමි භාර්යා සබඳතාවක් පිළිබඳ අරුත්බර ප්‍රකාශනයකි. ඇතැම්විට එය තම දිවියේ ම ප්‍රකාශනයක් සේ පෙනුණ ද ලොව කවර හෝ ආදරණීය යුග දිවියකට අදාළ වෙයි.

නැතද අගනා මිණිමුතු

තිළිණ කරනට ඔබ වෙත

හද ගැබ පතළ සෙනෙහස

සරසා සොඳුරු වදනින

පුදනු වස් ඔබහට

කල්යල් බලා සිටි

මෙතෙක් කල් නොලියවුණු

මෙකව්පද ඔබටමය

බිරියකගෙන් සැමියාට මෙසේ පුදන්නේ ඇයිද කියා ද මෙහි දැක්වෙයි.

ගැඹුරු මග සමුදුර

එකලු කරමින් දසත

පරතෙර සොයා දෙන

පහන් ටැඹ ඔබමය

මෙහි පහන්ටැඹ මහාචාර්ය සෑම් කරුණාරත්න විය හැකි වුවද එය ඕනෑම බිරියකට තම ආදරණීය සැමියා පිළිබඳ කෙරෙන ප්‍රකාශනයකි.

මහගමසේකර කියූ පරිදිම කවිය යනු ආභරණවලින් අලංකාර නොකළ ඍජු ප්‍රකාශනයකි යන්න “සියොතුනේ” කෘතියෙහි පද්‍ය රචනා 50ක් පුරාම අපට කියවිය හැකියි. ඒ සෑම රචනයක් ම සියුම් රස මවන අරුත් බර ප්‍රකාශන ය. “කසාවතට දුන් නියාම” “සමාවෙන්නම් පුංචි අයියණ්ඩි” යන නිර්මාණ මහාචාර්යතුමිය කොළඹ සරසවි මෙහෙවරේදී ලද සජීව අත්දැකීම් පාදක කොට කළ රසවත් විවේචනාත්මක මෙන් ම අනුවේදනීය අත්දැකීම්වලින් පිරිපුන් පද්‍ය නිර්මාණ වෙයි. වියත් සමාජයේ, සාහිත්‍යවේදිනියක ලෙස අදටත් තම මෙහෙවර අත් නොහළ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය තුළ පැවති මේ කවි සිත ඇය රාජකාරි කළ සමයෙහි සංවේදී ගුරුවරියක සහ පරිපාලන කාන්තාවක ලෙස අභියෝග ජය ගන්නට ඇයට මඟ පෙන්වා තිබෙයි.

 

Comments