පාස්කු ඉරිදා ප්‍රහා­රය දෙස හැරී බැලී­මට අලුත් ඇසක් | සිළුමිණ

පාස්කු ඉරිදා ප්‍රහා­රය දෙස හැරී බැලී­මට අලුත් ඇසක්

ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් ලංකාවට එල්ල කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස දෙකක් සම්පූර්ණ වූයේ පසුගිය 21 වැනිදායි. “හැම මුස්ලිම් මිනිසෙක් ම ප්‍රහාරයට වගකිව යුතු” බවට වූ හැඟීමකින් සමාජය වෙළී තිබේ. මූලධර්මවාදී ත්‍රස්තයන්ගෙන් සිදුවුණු බරපතල ම විනාශය මෙය බව මගේ හැඟීමයි. සමාජය වෙළාගෙන තිබෙන මේ හැඟීම, සත්‍යය නොවන බව කාටනම් කියන්න ද? මේ කාරණාව ගැන මම, මගේ පරණ වාමාංශික දේශපාලන මිතුරකුට පැවැසීමි. ඔහු ඊජිප්තුවේ අබ්දූල් නසාර් ගැන නොදැන සිටියේ ය. ඒ වගේම ඉන්දුනීසියාවේ සමූල ඝාතන මතකයේ තිබුණේ නැත. මගේ සිත පෑරූ බලවත් ම දේවල් ඒවා නොවේ. ‘හැම මිනිහෙක් ම එහෙම නොවෙන්න පුළුවන් ප්‍රියන්ත. ඒත් අත්අඩංගුවට ගත් හැම මිනිහෙක් ම තම්බියෙක්නේ’ ඔහු කීවේ ය. මම දුරකතනය විසන්ධි කර කල්පනා කළෙමි. මා විශ්වාස කරන සත්‍යයන් ගැන ලිවීමට තීරණය කළෙමි”. මේ උද්ධෘත මා ලබාගත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ‘දඬුවම් නොකරන අපරාධ’ නමින් වෙළඳපොළට නිකුත් වී ඇති අලුත් ම පොතෙනි. එහි කතෘවරයා වන්නේ ප්‍රියන්ත මධුකුමාරයි.

ප්‍රධාන මාතෘකා අටක් යටතේ ලියැවී තිබෙන මේ පොත අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයේ අරමුණු, ඉතිහාසය, ආගම සහ නූතන දේශපාලනයේ සහසම්බන්ධය විස්තර කරයි. එකම දෙවියා වෙනුවෙන් මිනී මැරීම, වහබ්වාදයේ උපත සහ පැතිරීම, ත්‍රස්තවාදීන්ගේ අම්මා හෙරොයින් ය. තාත්තා ඇමෙරිකාවයි, මුසල්මානුවෝ උපතින් ම වහබ්වාදීහු ද ?, දේශපාලනය, මහජන සබඳතා සහ නරුමත්වය, දෘෂ්ටිමය ත්‍රස්තවාදය අපේ කාලයේ විසකුරු අවියයි, ලංකාවේ වම, වාම දෘෂ්ටියෙන් වහබ් වාදයට සහ මම සිංහල, මගේ රට ලංකාවයි යන මාතෘකා ඔස්සේ පොත ලියා තිබේ. පොත හඳුන්වාදීමේදී කතුවරයා ලියා තිබෙන පරිදි මේ මාතෘකා මඟින් ඔහු උත්සාහ කරන්නේ “ පාස්කු ඉරිදා ප්‍රහාරය දෙස හැරී බැලීමක් ” ය.

ඉස්ලාමයේ ආරම්භය ගැන කතුවරයා මෙසේ කියයි. “ඔබේ අවධානය හත්වැනි සියවසේ අරාබි කාන්තාර වෙත යොමු කරන්න. කාන්තාර මැදින් යමින් තිබෙන වෙළඳ තවලම් ඔබට පෙනෙනු ඇත. ඒ වගේම කාන්තාර මැද තැනින් තැන ඉඳිව තිබෙන ජනාකීර්ණ වෙළඳ නගර ඔබට පෙනෙනු ඇත. නේක විධ වෙළඳාම් එහි සිදු වේ. මුතු, මැණික්, ඇත්දළ, කසී සළු, ධන ධාන්‍ය ආදී වශයෙන් ලෝකයේ නන් දෙසින් ගෙනා බඩු භාණ්ඩ සේම වහල් වෙ‍ෙළඳාම ද එහි යහතින් සිදු වේ. එක ම එක ආගමක් හෝ එක් නීති පද්ධතියක් හෝ එහි නොවී ය. කැලෑ නීතිය ක්‍රියාත්මක වූ අතර ඒවායේ ජයගත්තේ යුක්තිය නොව ශක්තිවන්තයායි. දරුණු ගෝත්‍රිකයන් වූ මේ මිනිසුන් ඉගෙනීම අතිශයින් ම පිළිකුල් කළේ ය. සැහැසිකම රජ වූ අතර දුප්පතුන් පාගා චප්ප කර දැමුවේ ය. උපදින ගැහැණු බිළිඳන් මරා දැමීම එහි සාමාන්‍ය සිරිතක් ව පැවැතිණි. ස්ත්‍රීන් මනුෂ්‍ය කොට්ඨාසයක් සේ නොසැලැකූ අතර ඔවුන් ලිංගික වහලියන් ම විය. මේ ගැන එක් කුරාන පරිච්ඡේදයක මෙසේ විස්තර කරයි.

“ ඔවුන්ගෙන් කෙනෙකු ගැහැනු දරුවකු ඉපිද ඇතැයි සුබාරංචි කියනු ලැබුවහොත් ඔහුගේ මුහුණ (නොසතුටින්) කාලවර්ණ වන්නේ ය. කුමකින් ඔහු සුබාරංචි කියනු ලැබුවේද එහි නපුරෙන් ගැලැවීමට ඔහු (ලජ්ජාව නිසා) සිය සමූහයාගෙන් වසන් වන්නේ ය. අවමන් විඳිමින් (එම බිලිඳාව) තබා ගන්නේ ද නැතිනම් (බිලිඳා පණ පිටින්) වළලා දමන්නේද? යැයි ඔහු සිතයි. මෙලෙසින් බිළිඳා පණ පිටින් වළ දැමීමට ඔවුන් ගන්නා තීරණය ඉතා නපුරුය”. කුර්ආන් 16ථ58

මෙලෙස ජීවත් වූ නපුරු ගෝත්‍රික සමාජයක් ශිෂ්ටාචාරය වෙත ඔසවා තැබුවේ ඉස්ලාම් දහම වුවත් ඒ තුළින්ම නූතන අන්තවාදය ද උපත ලැබී ය. ඒ පිළිබඳව කෘතියේ සටහන් වන්නේ මෙසේයි. “ මුස්ලිම්වරුන්ට අනුව කුර්ආනයේ වැකි වෙනස් කළ නොහැකි ඒවා වෙයි. එසේ වුවත් කුර්ආනයේ වැකි සියල්ලම එකම ආකාරයෙන් අර්ථකථනය කර එක හා සමානව ඒවා පිළිපැදීම සිදු වේ යැයි මෙයින් අදහස් නොවේ. ශුද්ධ වූ වැකි රටින් රටට සහ සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතීන්ට අනුව යම් යම් වෙනස්කම්වලට යටත්ව අර්ථ කථනය වී ඒවා පිළිපැදීමද වෙනස් විය. මේ නිසා වෙනස් මත දරණ පාසල් ද බිහිවුණු අතර ඔවුන් එකම ඡේදයක් සඳහා විවිධ අර්ථ කථන ලබාදුන්නේ ය. ඒ අනුව පිළිපැදීම් සහ ලැබෙන ප්‍රතිඵලද වෙනස් විය. කුර්ආනය යනු ඒ ඒ අයගේ වැටහීමේ හැකියාව අනුව අරුත් දෙන ලියවිල්ලක් බව සූෆිවරුන් කියයි. මේ නිසා ඉස්ලාම් ආගමේ එන ‘එකම දෙවියා’ සංකල්පයද වෙනස්කම්වලට ලක් විය.

වසර 1703 දී අරාබියේ උපන් මුහම්මද් ඉබ්නු අබ්ද් අල් වහාබ් නූතන ‘වහබ්වාදයේ ’ නිර්මාතෘවරයායි. ඔහු බලවත් නීතිඥ පවුලකට දාව උපත ලද්දේ ය. මුහම්මද් ඉබ්නු අබ්ද් අල් වහාබ් පසු කාලයකදී කියා සිටියේ විවිධ සංස්කෘතීන්ට අනුව ඉස්ලාම් ආගමේ සිදු වී ඇති වෙනස්කම් පිළිගත නොහැකි බවයි.

ලෝකයේ ඇත්තේ ‘එකම දෙවියෙක්’ පමණක් බවත් වෙනත් දෙවියන් සිටිය නොහැකි බවත් ඔහු ඉගැන්වී ය. වෙනත් දෙවියන් අදහන අය මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් පිළිම වන්දනාව දෙවියන්ට කරන අගෞරවයක් බවත් ඔහු විසින් දේශනා කළේ ය. මුහම්මද් ඉබ්නු අබ්ද් අල් වහාබ් විසින් දේශනා කළ මේ කාරණා ඔහුගේ නමින් හැඳින්විය. එනම් ‘වහාබ් ගේ දේශනා’ වශයෙන් හැඳින්වූ මේ දේශනා පසු කාලයකදී ‘වහබ්වාදය’ නමින් පරිණාමය විය. ඒ කාලයේදීත් සුන්නි මුස්ලිම් විද්වතුන් රැසක් අල් වහාබ්ගේ මතය ප්‍රතික්ෂේප කළ අතර එයට විරුද්ධ ද විය. නමුත් මොහුගේ පවුල අරාබියේ බලවත් හා ධනවත් පවුල් සංස්ථාවක් වූ අතර ඒ කාලයේ සිට වර්තමානය දක්වාම රාජ්‍ය පාලනය ඔවුන් අතේ විය. සවුදි අරාබියේ ප්‍රමුඛ පෙළේ ආගමික පවුලක් වන අල් අහ් ෂේක් යනු ඉබ්නු අබ්ද් අල් වහාබ්ගේ පරම්පරාවයි. ඔවුහු ඓතිහාසිකව සෞදි රාජ්‍යයේ උල්මාහි නායකත්වය දරයි. මේ ධන බලය සහ නිල බලය හේතුවෙන් වහබ්වාදයේ ව්‍යාප්තිය වලකනු බැරි විය”.

“දඬුවම් නොකරන අපරාධ” කෘතිය අතිශයින්ම විවාද සම්පන්න කරුණු රැසක් ඉදිරිපත් කරන අතර එය බොහෝ විවාදයන්ට මූල බීජ සපයා ඇති බව අපේ හැඟීමයි. ඒ විවාද සමාජයට වැදගත් ය. මන්ද සමාජය කලබන බොහෝ ගැටුම් සමාජ ප්‍රගමනයට ද මූලාරම්භ සපයන බැවිනි.

 

Comments