![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/21/nelumvila-tag.jpg?itok=Ki-FdxRY)
ගම්බද සීදේවි
මේ සිද්ධිය වූයේ සිංහල අවුරුද්දට සතියකට පමණ පෙර සතියේ දිනක ය.
ඒ වන විට මම කොළඹ සිට කළුතර බලා යන හිස් බසයක හිඳ සිටියෙමි. සෑහෙන දුරක් යන තුරු ම ඊට මගීන් ගොඩ වූයේ නැත. යම් පමණ ලොකු සෙනඟක් එහි ගොඩ වූයේ දෙහිවල දී ය.
ඇය බසයට ගොඩ වූයේ එතැනින් ය. බඩුවගයක් රැඳි පොලිතින් බෑගයක් ද රැගෙන බසයට නැඟුණු ඇය මා හිඳ සිටි අසුණේ ඉතිරි අඩෙහි හිඳ ගත්තා ය.
ඈ අසුන් ගත් විට ම කොන්දොස්තර තැන ඇය කරා ආවේ ය. ඇය ඔහුට මුදල් ගෙවා ටිකට් පතත්, ඉතිරි මුදලත් සිය කුඩා පසුම්බියේ ලා ගත්තා ය. ඉනික්බිති තම ඔඩොක්කුවේ වූ පොලිතින් බෑගයෙන් සිය ජංගම දුරකථනය පිටතට ගත් ඇය එහි මුහුණත අතැඟිලි ඔබා එය සීරුමාරුවෙන් සිය සවනත හොවා ගත්තා ය.
ඇය සිටියේ තරමක වෙහෙසකර ගතියකින් බව පෙනිණ. සාරි පොටේ අගින් සිය නළලත තෙත මාත්තු කරගත් ඕ සන්සුන් ලෙස දුරකථනයට කතා කළා ය.
‘ආ... මේ මම කතා කරන්නෙ ... දැන් ඔයාගෙ කෑම විවේකය නේද? ඒ හින්දයි කතා කරන්න ගත්තෙ. ඔයා කෑම කාලද ඉන්නෙ? ... ආ හරි හරි... මට විනාඩි දෙකක් දෙන්නකො. මම මේ මහරගම ගිහිං ආපහු ගෙදර යන ගමන් බස් එකේ ඉඳලයි කතා කරන්නෙ. මම දරුවො දෙන්නට නං ලස්සන ෂෝක් ඇඳුම් දෙකක් ගත්ත. ඒ උණාට ඔයාට කමිසයක් නං ගන්න බැරි වුණා. ඔයා ආස කරන විදිහෙ පාට කමිස නං හුඟක් තිබුණ. ඒත් ඔයා කියපු සයිස් එකේ කමිස අරං බලනකොට මට හිතුණෙ ඒව ඔයාට පොඩියි කියලයි. ඒ සයිස් එකට ඉස්සර ගත්තෙ ඊට වඩා ලොකු කමිස කියලයි මට හිතුණෙ. ඉතිං මම කමිසයක් ගත්තෙ නෑ. මං හිතන්නෙ ඔයා ම ඇවිත් කමිසයක් තෝරගත්තොත් හොඳයි කියල... ඔයාට කමිසයක් ගන්ඩ බැරි වුණ හින්ද මමත් මට ඇඳුම් ගත්තෙ නෑ. අනිද්ද... සෙනසුරාද ඔයාට නිවාඩුනෙ. එදාට අපි දෙන්නම ඇවිත් ඇඳුම් ගම්මු. මම සල්ලි ටික පරිස්සම් කර ගත්ත. ඒක කියන්න තමයි කතා කළේ. දැන් ඔයා කෑම කන්න යන්නකො... බුදු සරණයි!’
ඇය දුරකථනය මගින් සිය සැමියා සමඟ කළ කතාව පවුල් ජීවිතයේ සාමාන්‍ය දෙයක් සේ පෙනුණද මම ඒ යට ඇති සැඟවුණු අපූරු විසිතුරක් දකිමි.
ඇය සිය සැමියා හා දෙඩූ වදන් පෙළ ඔස්සේ ආගන්තුක මා ඇතුළු ආසා සිටි සෙස්සන් ගේ සිත් සතන්හි සොඳුරු පවුල් දිවියක හැඩතල මවා පෑවා ය. බලන්න! ඔවුන් ගෙවන පවුල් දිවිය කෙතරම් සාමකාමි ද? අවබෝධාත්මක ද? ප්‍රේමණීය ද?
සුදු මල් විසිරුණු ළා නිල් පෑ සාරියකින් හැඩ වී සිටි නිරෝගී පෙනුමැති ඈ ගම්බද සිරියාව මොනවට විදහා පෑවා ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.