ඔහු ඇය පසුපස ගාටන්නට වූයේ යෙහෙළිය පිළිබඳ කල්පනා කරමිනි. අමාලි කුසගින්නෙන් පෙළෙන්නේ ද යන්නට වඩා ඔහු කලඹාලන්නේ කිනම් මොහොතක හෝ ඇය දකින්නට තමාගේ බාරකාරිය සමත් වනු ඇත්දැයි යන්නය. පෙරට තබන පියවරක් පාසා ඔහු ඒ බියෙන් ද සැකයෙන් ද පීඩා වින්දේය. එහෙත් රූස්ස ගසක මුදුනට නඟින්නට එඩිතර හා දක්ෂ එකියක මේ වේවැලක් වැනි ගැහැනියකගේ දෑසටත් අතටත් හසුවන්නට ඉඩක් නැතැයි සිතමින් සැනසුණේය.
“ඔයාගෙ තාත්තට රසට උයන්න පුළුවන් පරිප්පු විතරයි අෂේන්. එදා උයල තිබ්බ අල කරියනම් අන්තිමයි. කටේ තියන්න බෑ ලුණු. ඒ මදිවට මිරිසුත් නෑ. සුදුම සුදු පාටයි. දැක්කාම බඩ දඟලනවා”
එතල් දිවා ආහාරය බුදින්නේ නලින්ගේ ඉවිල්ලෙහි අඩු ලුහුඩුකම් විවේචනය කරමිනි.
“ඔයාගෙ අම්මට රසට උයන්න පුළුවන්ද අෂේන්?” යි ඇය අසන කල කොලුවාගේ දෑතෙහිවූ බත් පිඟාන බිම පතිත වෙයි. ඇතැම්විට ඒ දෑතේ ඇත්තේ වතුර වීදුරුවක් විය හැකිය. ඒ ඕනෑම දෙයක් සැණින් බිම දමන මායාමය බලයක් ඇගේ වචනවල ගැබ්ව තිබේ.
“ආ... වැට්ටුවා නේද? අයියෝ බලන්න අෂේන් ඔයා කරපු දේ...”
මෙවර බෙරිහන් දෙන්නේ ඇයයි. ඔහු සඟවාගත් කෝපයෙන් ද සියුම් ප්‍රීතියෙන් ද ඔහේ බලා සිටියි.
“අනේ ආයිත් නම් මම එන්නෙ නෑ. ළමයි දහ දෙනෙක් බලන්න පුළුවන් ලේසියෙන්. ඔයා වගේ වද දෙන්නෙ නෑ අෂේන් වෙන කිසි ළමයෙක්... ඇත්තමයි ඔයා තමා.. ඔයා තමා මේ ලෝකෙ ඉන්න නරක ම ළමයා...”
ඒ කතාව නම් ඉවසා සිටීම ළමයෙකුට පහසු නැත. වාද කරන්නට තරම් මෝරා නොවැඩි ළමයා ඇය අත වන පිඟාන උදුරා ගනියි. එවැන්නක් කිසිසේත් බලාපොරොත්තු නොවූ එතල් ඔහු එය බිම දමා ගසන කල තිගැස්සෙයි.
“නලින්.. ඔයා දැන්ම එන්න. මම තව එක විනාඩියක් ඉන්නෙ නෑ මේ ළමයා එක්ක. මෙයා ළමයෙක් ද නලින්? ළමයෙක් නෙමේ යකෙක්...”
ඇය සිය පියා අමතන කල පවා අෂේන් බියට පත් නොවෙයි. ඔහු කුරිරු ප්‍රීතියෙන් දැල්වෙන දෙඇසින් ඇය දෙස බලා සිටියි.
අන්තිමේදී පියාට පමණක් නොව මවට ද මැදිවන ළමයා දළ රළ පෙළ මධ්‍යයේ කුඩා ඔරුවක් මෙන් නොනැවතී පිටවන වචන කන්දරාවක අතරමංවෙයි. එතල්ගෙන් සමාව අයදින ලෙස බලකරන අතර පහර කන්නට ද සිදුවෙයි. නලින් නම් සිය කුඩා පුතුට පහර දීමට තරම් දැඩි නොවෙයි. එහෙත් ඔහුගේ බිරිය අෂේන්ට පහර දෙන්නට පසුබට නොවෙයි. එවිට “හා හා ගහන්න එපා ගහන්න එපා..” යි ඉල්ලා සිටින්නේ ද එතල් ය. වියළී දරදඬුව ගිය ගසක් මෙන් හැකිළී සිටිය ද ඇගේ සිත මේ කුඩා පිරිමි ළමයා වෙනුවෙන් ජනිත වූ ස්නේහයක් ඇතැයි නලින් වටහා ගනියි. ඒ සිතිවිල්ල පවා ඔහුට සහනයකි.
“අෂේන්.. ඔයා කෑවද මට නොකියම?”
එතල් අසන්නේ දිවා ආහාරය දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවන බව දකිමිනි. හිස දෙපසට සලත්ම ඔහුට අමාලි සිහිපත් විය.
“එයා හොරෙන් කන්න ඇති” යි ඔහුට කියැවිණ.
“මොකක්ද?”
මාළු පිණි කෙරෙහි නොඋවමනා අවධානයක් දැක්වූ එතල්ට ඒ වචන පැහැදිලිව නොඇසිණ.
“මේ.. ඔ.. ඔව්.. මම කෑවා.. බත් කෑවා..”
ඇය විස්මිත බැල්මක් හෙළුවාය.
“කවදාවත් නැතුව? ඔයා වෙනදට එහෙම කන්නෙ නෑනෙ අෂේන්. හැමදාම අපි දෙන්නා එකටමනේ දවල්ට කන්නේ.. කොහොමටත් ඔයා බත් කන්න හොරයිනෙ... අද මොකද මේ..? හරි පුදුමයිනෙ”
ඔහු සිනාවක් මුව’ඟ නඟා ගන්නට වෙහෙසුණේය.
“මට බඩගිනියි. ඉතිං මං කෑවා...”
“හරි හරි... බඩගිනි වුණු එකත් හොඳයි.. කාපු එකත් හොඳයි. ඒත් ඒ කොයි වෙලාවෙද? අපි දෙන්න එකටමනෙ හිටියෙ අෂේන්...”
ඔහු ද ඇය දෙස බලා ගත්වනම සිටියේය.
ඒ ප්‍රශ්නයට පිළිතුරක් ඔහු වෙත ෙනාවීය.
“අනේ මංදා... ඔයා අද හරි වෙනස් අෂේන්.. ආපු වෙලාවෙ ඉඳන් මට මහා අමුත්තක් දැනෙනවා... මට ඒක හරියට කියන්න තේරෙන්නෙත් නෑ...”
“මට වතුර ඕන” යි ඔහු වතුර ඉල්ලා සිටියේ පිපාසය කෙසේ වෙතත් ඒ කතාව ද එතෙකින් නවතාලිය යුතු බැවිනි.
“ඔයාගේ තාත්තා තමා ඔයාව නරක් කරලා තියෙන්නේ.. හැම එකම අතට දීලා. ඔයාට වතුර ඕනි නම් ඔයා අරන් බොන්න. මම කනවා. ඔයාට කන්න බෑනෙ කොහොමටත්. ඔයා කාලනේ ඉන්නෙ. අනිත් එක මෙතන දෙන්නෙකුට කන්න දේකුත් නෑ..”
අෂේන් වතුර වීදුරුවෙන් අඩක් බිව්වේය.
“අරයා වතුර බිව්වද දන්නෙ නෑ” යි සිහිපත් වීමෙන් ඔහු නොසන්සුන් විය.
“ඉතිං කොහෙද ඔය යන්නෙ? වීදුරුව බිඳින්නද හදන්නෙ? ඕක තියලා යන්න වතුර බලා ඉවර නම්.” යි එතල් කිව්වද ඔහු මුළුතැන්ගෙයින් පිට වූයේ වතුර වීදුරුව ද දෑතින් ගනිමිනි.
“ඔයා මේ ගෙදර බිඳලා කඩලා තියෙන දේවල් හොඳටම ඇතිනෙ ආයෙ අමුතුවෙන් මුකුත් නොබින්ඳට...”
අෂේන් ගමන් කළේ පරිස්සමිනි. වීදුරුව බිඳින්නට ඔහුට උවමනා නොවීය. හැංගිමුත්තම් කෙළියේ නිරත කෙල්ලෙග් දෑත මත එය තබන තෙක් ඔහුට ඉවසිල්ලක් ද නැත. එහෙත් ඇය ගෙතුළ නැති බව දැන ගන්නට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය. කුඩා නිවෙසේ කරක් ගසන්නට වැඩි පරිශ්‍රමයක් දැරිය යුතුද නැත.
ඇය ගරාජයට යාබද ස්ටෝරු කාමරයේ සැඟව සිටින බවට ඔහු සැක නොකළේය. එය වූ කලී .................... සිතිවිල්ලකි. ඔහු ද අම්මාගේ ගුටියෙන් බේරෙන්නටත් එතල්ගේ ආණ්ඩු මට්ටුවෙන් හෙම්බත් වූ විටද දිවයන්නේ ඒ කුඩා අඳුරු අශෝභන කුටියට බැවිනි.
“මේ මම...” යි ඔහු අඳුරු කුටියට ඇතුළු වෙමින් පහත් හඬින් කොඳුළේය. මේ නම් කදිම ක්‍රීඩාවකැයි ඉපිලෙන්නට පවා ඔහුට පිළිවන. මීටත් වඩා සිත් ඇඳ බැඳගන්නා සෙල්ලමක් පිළිබඳව ඔහුට සිහි කළ නොහැක.
“ඇයි අෂේන් ඔයා මෙහාට ආවෙ? දැං අර ගෑණි ඔයාගෙ පස්සෙන් මෙතෙන්ටත් එයි.”
අමාලි අප්‍රසාදය පළ කළාය.
මකුළු දැලින් ද දුහුවිල්ලෙන් ද අපවිත්‍ර වූ යුවතිය දකිත් ම ඔහු තිගැස්සුණේය.
“ඔයා බත් කෑවද?”
හිස සැලූ ඇය ඔහු අතවූ වීදුරුව උදුරා ගත්තාය. එක හුස්මට එය හිස් කළාය.
“කෝ ඔයාගෙ නැනී?”
“එයා... එයා බත් කනවා”
සුසුමක් හෙළූ අමාලි කාඩ්බෝඩ් පෙට්ටියක් මත හිඳ ගත්තාය.
“ඔයා කීවෙ නෑනේ මං හැංගිලා ඉන්නවා කියලා...”
ඔහු හිස දෙපසට සැලුවේය.
“ඇයි ඉතිං ඔයා හැංගිලා ඉන්නේ?”
ආගන්තුක සම්ප්‍රාප්තිය නොඉවසන කැරපොත්තන් ද මීයන් ද ඒ මේ අත දිව යාමෙන් පැන නැඟී සර සර ය උස්ව නැඟිණ.
ඇගේ දෙනෙත විඩාපත් වූවා පමණි. ඔහු ඇගේ බැල්ම මඟ හරින්නට දැඩිව වග බලා ගත්තේය. කිසිවක් සිදු නොවූවාක් මෙන් හැඳ පැළඳගන්නා සොහොයුරා දැකීමෙන් පවා ඇය මහත්සේ නොසන්සුන්වූවාය.
“අයියේ...” යි විටින් විට ඇය හඬ නැගුවද ඔහු බිහිරි වූවෙකු මෙන් නිහඬව ම පසු විය.
“මම යනවා” යි සුපුරුදු පරිදි සමු ගන්නටවත් නොසිතූ සිරිමාන්න ගෙමිදුලට බැස්සේය.
“අයියේ...”
වේදනාවෙන් ද කෝපයෙන් ද කැකෑරෙන ඒ උච්ච ස්වරය ඔහුගේ දෙපයට විලංගු ලයි.
“ඇයි? මොකද?” යි ඔහු ප්‍රශ්න කළේ නොරිස්සුමිනි. රාජකාරිය දේවකාරියක් කර ගත් මිනිසෙකුට විනාඩි කීපයක් වුව අපතේ හැරිය නොහැක.
“අමා ගැන කිසිම ආරංචියක් නෑ. දැං දවස් දෙකක්...”
“ඉතිං?”
ඇගේ දෙනෙතට එක්රොක් වූ කඳුළු පවා වියළා දමන්නට ඒ එක් වචනය සමත් විය.
“ඇයි දෙයියනේ.. ගෑනු ළමයෙක් නේද? තමුන්ගේ එකම දුව නේද? අයියට හිතක් පපුවක් කියල දෙයක් නැද්ද?”
“හිතක් පපුවක් විතරක් නෙමෙයි මොළෙත් තියෙන්ඩෝනෑ මිනිහෙක් වුණාම”
ඇය හැඬුම් මැඬගන්නට වෑයම් කරමින් ම ඔහු පසුපස ඇදුණාය.
සිරිමාන්න ගමන් කළේ මෝටර් රිය වෙතටය. හැකිතාක් ඉක්මනින් ඊට නඟින්නට ද නැගණිය මඟ හරින්නට ද ඔහුට වුවමනා විය.
“මොළේ තියෙන හිංදද තමුන්ගෙ දරුවා ආගිය අතක් නැතුව ඉද්දිත් හොයන්නෙ බලන්නෙ නැතුව ඉස්කෝලෙට යන්ඩ හදන්නෙ?”
“එයාට එහෙම ඉබාගාතේ යන්ඩ කිසිම හේතුවක් තිබ්බෙ නෑ. කාලයක් තිස්සෙ ජෝඩු දාගෙන රවුං ගහපු කොල්ලට ම කසාද බන්දලා දෙන්ඩ හැදුවෙ කැමැත්තෙන් නෙමේ. වෙන කරන්ඩ දෙයක් නැතිකමට. අපේ සතුටට වඩා ළමයගෙ සතුට ගැන හිතුව නිසා.”
ඔහු මෙපරිද්දෙන් තර්ක කිරීම සම්බන්ධයෙන් සුනන්දාට මඳක් සතුටු විය හැක. ගෙවී ගිය දවස මුළුල්ලේ ඔහු ගොළුව සිටියේය. කොතෙක් වෙහෙසුණද ඔහුගේ මුවින් එක වචනයක් හෝ පිට කරගන්නට ඇය අපොහොසත් වූවාය. බ්‍රයන් නිවෙසේ සිටියදී අමාලි පමණක් අතුරුදහන්වීම ප්‍රහේලිකාවක් වූයෙන් සිරිමාන්නද එක්තරා අන්දමක ශුන්‍ය බවක ගිලී ගියාක් මෙනි. සිහි එලවාගන්නට ඔවුන්ට තරමක කාලවේලාවක් ගත විය.
“අනේ මගේ කෙල්ල... අයියෝ මොකක්ද මේ වුණේ? අක්කා වගේ ම අමාලිත් අපට නැතිවුණා නේද අයියේ....?” යි විලාප නඟන්නට පවා බෙහෙවින් පමා වූවාය.
“යාළුවෙක්ගෙ ගෙදරක යන්න ඇත්තෙ. ඔය හදන්නෙ අපට රිද්දන්නනේ. එකා යකා කියන්නෙ නිකං කට කහනවටද...” යි දෝෂාරෝපණය කළා මිසක සිරිමාන්න සුසුමක් පවා නොහෙළුවේය. එහෙත් රෑ නිදි යහනට වන් මිනිසා සිය බිරිය සිහිකොට කඳුළු සැළුවේය. තමාගේ සුන්දර කුඩා පවුල විනාශ වී ගියේ යැයි පසුතැවුණේය. නැගණිය අබියස දරදඬු සොහොයුරාගේ භූමිකාව අත් නොහරින්නට ඔහු සපථ කළාක් මෙනි.
“තවත් ඉතිං කතා කරලා වැඩක් නෑ. මංවත් යනවා පොලීසියට”
ලබන සතියට...