උසස් විභාගවලට ශේක්ස්පියර් කෘති නුසුදුසු යැයි හිලරි මැන්ටල් කියයි | සිළුමිණ

උසස් විභාගවලට ශේක්ස්පියර් කෘති නුසුදුසු යැයි හිලරි මැන්ටල් කියයි

ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටතම ලේඛකයකු ලෙස සම්භාවනාවට පාත්‍රව සිටින විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය කෘති උසස් ඉංග්‍රීසි විභාග සඳහා නිර්දේශ කිරීමට සුදුසු නැති බව බුකර් ත්‍යාගලාභී ඉංග්‍රීසි ලේඛිකාවක වන හිලර් මැන්ටල් පසුගියදා ප්‍රකාශ කළාය. ප්‍රබන්ධ සාහිත්‍ය උදෙසා පිරිනැමෙන ලෝ ප්‍රකට බුකර් ත්‍යාගය දිනූ ප්‍රථම ලේඛිකාව ලෙස සැලකෙන හිලරි මැන්ටල් වැනි ලේඛිකාවක මෙවැනි ප්‍රකාශයක් කිරීම බොහෝ දෙනකු පුදුමය පළ කර තිබේ. මේ පිළිබඳව අදහස් පල කරන අධ්‍යාපන විශේෂඥයකු වන ශ්‍රීමත් සයිමන් ස්චාමා පවසන්නේ විෂයක් ලෙස ඉංගී‍්‍රසි සාහිත්‍යය හදාරන සිසු සිසුවියන් ශේක්ස්පියර්ගේ කෘති වැඩි වැඩියෙන් හැදෑරීම වැදගත් වන බවයි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශේක්ස්පියර් අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක වන එමා ස්මිත් පවසන්නේ දැනට උසස් ඉංග්‍රීසි විභාග සඳහා නිර්දේශ කර ඇති ශේක්ස්පියර් කෘති පිළිබඳව තමන්ටද ගැටලු පවතින බවයි.

‘දිස් ඉස් ශේක්ස්පියර්’ (This is Shakespeare) නමැති සිය නවතම කෘතියෙන් ඇය පෙන්වා දෙන්නේ ශේක්ස්පියර් කෘතිවල ඇතුළත් ගැටලු සහගත කරුණු පාදක කරගනිමින් බැලූ බැල්මට බරපතළ යැයි පෙනෙන විභාග ප්‍රශ්න සැකසිය හැකි වුව ද, ඒවාට නිශ්චිත පිළිතුරු සැපයිය නොහැකි බවයි. මේ හේතුව නිසා විභාගවල දී එවැනි ප්‍රශ්නවලට නිවැරදි යැයි පිළිගත හැකි පිළිතුරු සැපයීමට සිසුසිසුවියන් අසමත් වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. ඇය දක්වන අදහස් තමන්ද පිළිගන්නා බවයි හිලරි මැන්ටල් පවසන්නේ. ශේක්ස්පියර් කෘතිවල ඇති අසම්පූර්ණ, අවිනිශ්චිත සහ ගැටලු සහගත කරුණු සඳහා නිශ්චිත පිළිතුරු සැපයීම කිසිසේත්ම කළ නොහැක්කක් වන බැවින් ඒ කරුණු ඇසුරෙන් විභාග ප්‍රශ්න සැකසීම නිෂ්ඵල කටයුත්තක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

‘රොබින්සන් ක්‍රෑසෝ’ පළ වී වසර 300 ක් සපිරෙයි.

සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කෘතියක් ලෙස ලොව පුරා විශාල පිරිසකගේ පිළිගැනීමට පාත්‍රවූ, ඩැනියෙල් ඩිෆෝ විසින් රචනා කරන ලද ‘රොබින්සන් ක්‍රෑසෝ (Robinson Crusoe) කෘතිය පළ වී පසුගිය අප්‍රේල් 25 වැනිදාට වසර 300 ක් සැපිරිණි. ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් නමැති ස්කොට්ලන්ත ජාතික නාවිකයකුගේ සැබෑ කතාව පාදක කරගනිමින් ස්වයං ලිඛිත අපදානයක ස්වරූපයෙන් ලියැවී ඇති මේ කෘතිය මුල් කාලයේ දී නවකතාවක් ලෙස සැලකුණේ නැත.

මුල් වරට ‘ද ලයිෆ් ඇන්ඩ් ස්ට්‍රේන්ජ් සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින්සන් ක්‍රෑසෝ’ යන නමින් 1719 වසරේ අප්‍රේල් 25 වැනිදා නිකුත් වූ මේ කෘතිය වසරක් ඇතුළත තෙවරක් මුද්‍රණය වී තිබෙනවා. ඒ වසර ඇතුළතදීම ඩිෆෝ විසින් එහි දෙවැනි කොටසක් ‘ද ෆාර්දර් ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින්සන් ක්‍රෑසෝ’(The Father Adventures of Robinson Crusoe) නමින් පළ කරන ලදී. එයින් පසුව 1720 වසරේ දී එහි තෙවැනි කොටසක්ද ‘ද ලයිෆ් ඇන්ඩ් ස්ට්‍රේන්ජ් සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින්සන් ක්‍රෑසෝ’ යන නමින් පළ විය. මුල් ‘රොබින්සන් ක්‍රෑසෝ’ කෘතිය 19 වැනි සියවස අවසානය වන විට විවිධ මුද්‍රණ සිය ගණනක් ලෙස නැවත නැවතත් පළ කෙරුණි. එසේම ඒ කෘතියේ ආභාසය ලබමින් එච්.ජී.වෙල්ස්, ජින් ජිරාඩෝ, විලියම් ගෝල්ඩින්, ජේ.ජී. බැලාර්ඩ් සහ හූලියෝ කොර්තසාර් වැනි ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් විවිධ කෘතීන් රැසක් රචනා කරන ලදී. ඒ හැරුණුවිට මුල් කෘතිය පාදක කරගනිමින් වේදිකා නාට්‍ය, සිනමා කෘති සහ රූපවාහිනි මාලා නාට්‍ය මෙන්ම අන්තර්ජාල ක්‍රීඩා විශේෂාංග වැනි නිර්මාණ රැසක් බිහිව තිබේ.

 

2019 පුලිට්සර් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති

ගෙවී ගිය වසරේ පළ වූ පුවත්පත් ලිපි සහ සාහිත්‍ය කෘති උදෙසා වාර්ෂිකව පිරිනැමෙන පුලිට්සර් ත්‍යාගය සඳහා හිමිකම් ලබන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. ප්‍රථම වරට 1917 දී පිරිනමන ලද මේ ත්‍යාගය සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 15, 000 බැගින් හිමි වේ. මෙවර විශිෂ්ටතම ප්‍රබන්ධ කෘතිය ලෙස ඇගයීමට ලක්ව ඇත්තේ රිචර්ඩ් පවර්ස් රචනා කළ ‘ද ඕවර්ස්ටෝරි’ (The Overstory) නමැති නවකතාවයි. ඒ කෘතිය සමඟ රෙබෙකා මැකායි රචනා කළ ‘ ද ග්‍රේට් බිලීවර්ස් (The Great Believers) සහ ටොමි ඔරේන්ජ් රචනා කළ ‘දෙයර් දෙයර්’ (There There) නමැති නවකතා දෙකද අවසන් වටයට තේරී තිබුණි.

විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස ෆොරස්ට් ගැන්ඩර් රචනා කළ ‘බී විත්’ (Be With) කාව්‍ය සංග්‍රහය තෝරාගෙන ඇති අතර, ජොස් චාල්ස් රචනා කළ ‘ෆීල්ඩ්’ (Feeld) සහ ඒ.ඊ. ස්ටෝලින්ග්ස් රචනා කළ ‘ලයික්’ (Like) නමැති කාව්‍ය සංග්‍රහයන් දෙකද අවසන් වටයට නිර්දේශ වී තිබුණි.

මේ වසරේ විශිෂ්ටතම චරිතාපදාන කෘතිය ලෙස පුලිට්සර් ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ ජෙෆ්රි සී. ස්ටුවාර්ට් රචනා කළ ‘ද නිව් නීග්‍රෝ: ද ලයිෆ් ඔෆ් ඇලන් ලොක්’ (The New Negro: The Life of Alain Locke) කෘතියයි. චරිතාපදාන අංශයේ අවසන් වරයට ‘ද රෝඩ් නොට් ටේකන් : එඩ්වර්ඩ් ලෑන්ස්ඩේල් ඇන්ඩ් ද ඇමෙරිකන් ට්‍රැජඩි ඉන් වියටිනාම්’ සහ කැරොලින් වෙබර් රචනා කළ ෆෲස්ට්ස් ඩචස්: හව් ත්‍රී සෙලිබ්‍රේටඩ් විමෙන් කැප්චර්ඩ් දි ඉමැජිනේෂන් ඔෆ් ෆින්- ඩෙ- සියේකල් පැරිස්’ නමැති කෘතීන් දෙකද නිර්දේශ වී තිබුණි.

 

ඔස්ට්‍රේලියානු සාහිත්‍යධර ලෙස් මරේ මිය යයි

අන්තර්ජාතික කීර්තිය දිනු ප්‍රකට ඔස්ට්‍රේලියානු කවියකු මෙන්ම එරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු ද වූ ලෙස් මරේ (Les Murray) පසුගියදා මෙලොවින් සමුගන්නා ලදී. මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු ගෙවී ගිය දශක කිහිපය පුරා අඛණ්ඩව කාව්‍යකරණයෙහි නියැලෙමින් කාව්‍ය සංග්‍රහ 30 කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කර ඇත.

ඔහුගේ නිර්මාණ රැසක් ඔස්ට්‍රේලියාවේ පාසල් සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශවල ඇතුළත්ව ඇති අතර, ඒවා විවිධ විදෙස් භාෂාවන් ගණනාවකටද පරිවර්තනය වී තිබේ. වර්ෂ 1938 දී ඔස්ට්‍රේලයාව් නිව් සව්ත් වේල්සයේ උතුරු වෙරළ තීරයට ආසන්න නේබියැක් නමැති ප්‍රදේශයේ උපත ලද ඔහු හැ දී වැඩුණේ බුන්යා නමැති නගරයේයි.

පසු කලකෙ දී ‘බුන්යාවේ කවියා’ යන නමින්ද ඔහු වඩාත් ප්‍රකටව සිටියේය. කවිය සඳහා පිරිනැමෙන රැජිනගේ රන් පදක්කම, ග්‍රෙස් ලෙවන් ත්‍යාගය, පෙට්රාච් ත්‍යාගය සහ ටී.එස්. එලියට් ත්‍යාගය වැනි සුවිශේෂ සම්මාන ප්‍රණාම සහ ඇගයීම් ගණනාවකින් ඔහු පිදුම් ලබා ඇත.

ජෙෆරි ලෙහ්මාන් නමැති සමකාලීන ඕස්ට්‍රේලියානු කවියා සමඟ එක්ව වර්ෂ 1965 දි ‘දි අයිලෙක්ස් ට්‍රී’ (The Ilex Tree) නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ ඔහුගේ නිර්මාණ පමණක් ඇතුළත් ප්‍රථම කාව්‍ය සංග්‍රහය වර්ෂ 1969 දී ‘ද වෙදර්බෝඩ් කැතිඩ්‍රල්’ (The Weatherboard Cathedral) නමින් පළ විය.

කලක් රාජ්‍ය සේවකයකු ලෙසද කටයුතු කළ ඔහු 1970 දශකයේ මුල් භාගයේ දී රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීනව කාව්‍ය නිර්මාණකරණයට යොමු වුණේය. වර්ෂ 1973 සිට 1979 දක්වා කාලය තුළ ඔහු ‘පොයෙට්‍රි ඔස්ට්‍රේලියා (Poetry Australia) නමැති කාව්‍ය සඟරාවක සංස්කාරකවරයා ලෙසද කටයුතු කරන ලදී.

පසු කාලයක දේශපාලන කටයුතුවලට ද ක්‍රියාකාරි දායකත්වයක් ලබාදුන් ඔහු 1990 සිට 2018 වසර අවසාන වන තුරු ‘ක්වොඩ්රන්ට්’ (Quadrant) නමැති ප්‍රකට ඔස්ට්‍රේලියාවේ දේශපාලන සඟරාවේ කාව්‍ය පිටු සංස්කාරකවරයා ලෙසද කටයුතු කර ඇති බව වාර්තා වේ.

 

Comments