* පන්සල තැනුවේ චිත්‍ර විකුණා ලද මුදලින්
* නිර්මාණකරු මෙරට දී මංජු ශ්‍රී සමඟ චිත්‍ර ඇඳලා
* බැහැර කළ යුතු රන් ගැන කියන්න වැසිකිළිවලට රන් පැහැය
උතුරු තායිලන්තයේ චින්ග්රායි පළාතේ ගිනියම් අහස යට සුදෝ සුදු පැහැයෙන් බැබළෙන මනරම් නිමැවුමකි. වට් රොන්ග් කුන් (Wat Rong Khun) සැබෑ නම වුවත් එය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ‘වයිට් ටෙම්පල්’ යනුවෙනි. ‘වට්’ යනු තායි භාෂාවෙන් ‘විහාරස්ථානය’ යන්නය. වට් රොන්ග් කුන් යනු රොන්ග් කුන් විහාරස්ථානය යන්නය. වයිට් ටෙම්පල් (White Temple) අද මුළු තායිලන්තයටම ආභරණයකි. විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනක් ඇදී එන තායිලන්තයේ ආකර්ෂණීය පුදබිමකි.
මෙම මහා නිර්මාණයේ නිමැවුම්කරු චැලම්චායි කොසිට්පිපටා (Chalemchai Kositpipat) තායි ජාතිකයකු වුව ද ශ්‍රී ලංකාව සමඟ ද අමතක කළ නොහැකි බැඳීමක් ඇත්තෙකි. බැංකොක් නගරයේ සිට කි.මී. හත්සිය අසූවක මග ගෙවා අප චින්ග්රායි වෙත පැමිණියේ චැලෙම්චායි ගැනත් ඔහුගේ සුදු පන්සල ගැනත් ඔබට කියන්නටය.
චැලෙම්චායිගේ සුදු පන්සල තායිලන්තයේ අනෙක් පන්සල්වලින් වෙනස් වන්නේ එය තනිකරම සුදු පැහැයෙන් නිර්මාණය කර තිබීම හේතුවෙනි. තායිලන්තයේ සෑම පන්සලක් ම පාහේ රත්රන් පාටය. බොහෝ පන්සල්වල රන් ආලේපිත බුදු පිළිම, රන් ආලේපිත ගොඩනැඟිලි දක්නට හැකි ය. එහෙත් වයිට් ටෙම්පල් භූමිය පුරාම රත්රන් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එකම එක ගොඩනැඟිල්ලක් පමණි. ඒ එහි වැසිකිළි ඉදිකර ඇති ගොඩනැඟිල්ල ය. එයින් අදහස් කරන්නේ රත්රන් වැනි දෑ එතරම් වැදගත් කොට තැකිය යුතු නැති බවය. චැලෙම්චායි විස්තර කරන්නේ රත්රන් වැනි භෞතික වටිනාකම් සහිත දෑ වැසිකිළිය මෙන් සැලකිය යුතු බවත් සුදෝ සුදුවන් ධර්ම මාර්ගයේ ජීවිතය ගමන් කරවිය යුතු බවත් ය.
බැංකොක් සිට චින්ග්රායි වෙත දුර කි.මී. අටසියයකට ආසන්න ය. අප මෙහි ආවේ අතරමඟ හමුවන ............., චින්ග්මායි යන ප්‍රධාන නගර දෙකෙහි රාත්‍රි දෙකක් ගත කිරීමෙන් අනතුරුවය. තායිලන්තය පිළිබඳව අප සතු අත්දැකීම් අනුව ද ලාංකිකයන්ට වඩාත් ගැළපෙන ගමන් මාර්ගය එයමය. අතීත සියම් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍රත්වයේ මඟ සලකුණුත්, විශේෂයෙන් සියම් රටේ බෞද්ධ උරුමයනුත් මේ මගේ ඕනෑ තරම් දක්නට පුළුවන. අභ්‍යන්තර ගුවන් සේවා මඟින් පැය එක හමාරකදී බැංකොක් සිට චින්ග්රායි වෙත පැමිණිය හැකි ය. දුම්රියෙන් එන්නේ නම් බැංකොක් සිට චින්ග්රායි කරා ඒමට පැය දහයක පමණ කාලයක් ගතවේ.
අප වයිට් ටෙම්පල් වෙත ළඟා වෙන විට උදෑසන දහය පසුවූවා පමණි. එහි ඇති රස්නය ඇඟට දරාගත නොහැකි තරම් ය. එහෙත් දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් ඒ වනවිටත් වයිට් ටෙම්පල් භූමියෙහි ය. බාත් පනහක් (රුපියල් තුන්සියයක්) ගෙවා ටිකට් පතක් ගෙන ඇතුළුවීමි. ඇතුළු වන තැනම ඇත්තේ රූස්ස ගසකි. එහි සෙවණ ඇඟ දවන රස්නයට පුදුම අස්වැසිල්ලකි. තායිලන්තයේ අනෙකුත් ප්‍රදේශවල මෙන් ම චින්ග්රායිහිද වසරේ වැඩි කාලයක් ඇත්තේ උණුසුම් කාලගුණයකි. වයිට් ටෙම්පල් පුරා තැන තැන ඇති ගස් වෙහෙස නිවන නැවැතුම් ය.
ඒ ගස් අතරින් ඇවිද යද්දී වම් පසින් දක්නට ලැබෙන්නේ සුදෝ සුදු ගොඩනැඟිල්ලකි. එය මේ බිමේ ප්‍රධාන සහ විශාලම ගොඩනැඟිල්ලය. අලංකාර කැටයම්වලින් නිමකර ඇති ගෘහය ඉර එළියට දිලිසෙන්නේ දියමන්ති ඔබ්බවා ඇති අයුරිනි. ගොඩනැඟිල්ල වටා දිය අගලකි. දුටු විට එක් වරම සිහියට නැඟෙන්නේ තායි ජාතිකයන් ජලයත් සමඟ ඇති බැඳීමය. අප ඇවිදයන පාරේ වම් පස දිය අගලය. එයට එතෙර සුදෝ සුදු ගොඩනැඟිල්ලය. දකුණු පස කුඩා ගොඩනැඟිලි කිහිපයකි. රත්රන් පාටින් නිම කළ වැසිකිළි සහිත ගොඩනැගිල්ල ද ඒ අතර ය. රත්රන් පැහැය යැයි කීව ද එය සැබැවින් ම රන් ආලේපිත ගොඩනැඟිල්ලකි.
චලෙම්චායි චින්ග්රායිහිම උපත ලැබූවෙකි. අනූව දශකයේ අග භාගයෙහි ඔහු වයිට් ටෙම්පල් ගොඩනැඟීම ආරම්භකර ඇත්තේ ඒ වනවිටත් පැවැති පන්සලක් වැඩි දියුණු කිරීමක් ලෙසටය. අනූව දශකය වනවිටත් ඔහු තායිලන්තයේ ජනප්‍රිය මෙන් ම දක්ෂ සිත්තරෙකි. තමන්ගේ ගම් ප්‍රදේශයේ එතරම් සැලකිල්ලක් නොලැබෙන පුංචි පන්සලක් ලෝකයේ ම අවධානය ලැබෙන තැනක් බවට පත්කිරීම චලෙම්චායිගේ අරමුණ වී ඇත. එහි පසුබිම් කතාව ශ්‍රී ලාංකික අපට ද අත්හළ නොහැකි මතකයන්ගෙන් සමන්විතය. එක්දහස් නවසිය අසූවේදී ශ්‍රී ලංකාවට පැමිණි චලෙම්චායි යළි තායිලන්තයට ගොස් ඇත්තේ මාස හයකට පසුව ය. වයිට් ටෙම්පල්හිදී අහම්බෙන් අපට මුණගැසුණු ඔහු අප ශ්‍රී ලාංකිකයන් බව දැන බෙහෙවින් සතුටු විය. උණුසුම් පිළිගැනීමක් ද ලැබිණි. ලංකාවේ ගත කළ මාස හයක කාලය ගැන ඔහු මෙසේ කියයි.
“ලංකාවේ චිත්‍ර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය මම බෙහෙවින් අගය කරනවා. මම ඇත්තටම ලංකාවට ගියෙ ඒවා ගැන ඉගෙන ගන්නත් එක්ක. මම ලංකාවෙ ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වුණු මංජු ශ්රීව හමුවුණා. ඔහුත් එක්ක වැඩ කළා. ලංකාවෙ චිත්‍ර ශිල්පය ගැන බොහෝ දේවල් ඔහුගෙන් ඉගෙන ගත්තා. මම ලංකාවේදි චිත්‍ර හැටක් ඇඳලා, ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයකුත් කළා. එයින් කීපයක් ලංකාවේදිම විකිණුණා. ඔය චිත්‍ර හැට විකුණලා ලැබුණු සල්ලි මම පාවිච්චි කළේ වයිට් ටෙම්පල් එක හදන වැඩවලට.
තවත් විශේෂ කාරණයක් තියෙනවා. සුදු පන්සලක් ගැන අදහස මට මුලින් ම ආවෙ ලංකාවෙදි. තායිලන්තෙ හැම තැනම තියෙන්නෙ රත්රන් පාට පන්සල්. මම රත්රන් පාටට කැමැති නැහැ. මම කැමැති සුදු පාටට. සුදු කියන්නෙ පාරිශුද්ධත්වයේ පාට.”
ඔහුගේ මුහුණ නිරතුරුව සිනහවකින් පිරී පවතින්නකි. කතා කළ කාලය පුරාමත් ඔහුගේ මුහුණේ වූයේ සිනහවකි. අසල සිටි සේවකයකුට අප හඳුන්වාදෙමින් චලෙම්චායි කීවේ වයිට් ටෙම්පල් භූමිය පුරා ඇවිද යන්නට අපට මඟ පෙන්වන ලෙස ය. “මම ලංකාවට හරිම ආදරෙයි. ඒක හරිම ලස්සන රටක්.” ඒ චලෙම්චායි අපට සමුදුන් වදන්ය.
මම අසල පිහිටි රන් ආලේපිත වැසිකිළි සහිත ගොඩනැගිල්ලට ඇතුළු වුණෙමි. රත්රන් ගෑ වැසිකිළියකට ඇතුළු වන පළමු අවස්ථාව මෙයයි. බොහෝ විට එකම අවස්ථාව ද මෙය විය හැකි ය. රත්රන් ආලේපිත වැසිකිළි පද්ධතියක් ඇති ලෝකයේ එකම තැන මෙය වන්නට ද පුළුවන. එය රත්රන් මෙන් පිරිසුදු සනීපාරක්ෂක ඒකකයකි.
වැසිකිළි පද්ධතිය පසුකර තවත් ඉදිරියට යද්දී දිය අගලෙන් සුදෝ සුදු ගොඩනැඟිල්ලට ඇතුළුවන්නට තැනූ පාලමකි. පාලමක් යැයි කීව ද එය ගොඩනැඟිල්ලේම කොටසකි. එහි දෙපසම ඇත්තේ මනරම් කැටයම් ය. ගොඩනැඟිල්ලේ පිටත ද කැටයම්වලින් අලංකාර කර තිබේ. ගෘහය ඇතුළත ස්ථාන කිහිපයකම බුදු පිළිම දක්නට හැකි ය. ඒවාත් නිමකර ඇත්තේ සුදෝ සුදු පාටිනි.
දෙදහස් දහ හතර වසරේ මැයි පස්වැනිදා උතුරු තායිලන්තයට විශේෂයෙන් චින්ග්රායිවලට ඇතිවූ ප්‍රබල භූමි කම්පාවක් නිසා වයිට් ටෙම්පල් වෙත ද දැඩි හානි සිදුවිණි. එයින් චලෙම්චායි දැඩි පීඩනයකට පත්වුණු බව පැවැසේ. පසුව ඔහු වයිට් ටෙම්පල් තිබුණටත් වඩා හොඳින් යළි ගොඩනඟන්නට තීරණය කැර ඇත. චින්ග්රායි වැසියෝ ද ඒ සඳහා ඔහුට උදව් කළහ. අද අපට දක්නට ලැබෙන්නේ දෙදහස් දහ හතරේ මැයි පහට පෙර තිබූ වයිට් ටෙම්පල්වලටත් වඩා විචිත්‍රවත් වූවකි.
බුදුදහම හදාරන අයට ද මෙය කදිම නැවැතුමකි. චලෙම්චායිගේ එක් අරමුණක් වී ඇත්තේ ද බුදු දහමේ ඉගැන්වීම්, මඟ පෙන්වීම් වයිට් ටෙම්පල් හරහා ලෝකයට බෙදා හදා දීමය. විශේෂයෙන් භාවනානුයෝගීව මානසික නිදහස අපේක්ෂා කරන්නන්ට තම භූමිය නිරතුරුව විවෘතව පවතින බව චලෙම්චායි පවසයි. ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ වයිට් ටෙම්පල් ගොඩනැඟීමේදී පෞද්ගලික ධන පරිත්‍යාග ලබා නොගැනීමය. ඔහු ඔහුගේ චිත්‍ර අලෙවි කර ලබාගත් මුදල් මෙය ඉදිකිරීමට යොදවා තිබේ. මෙහි නඩත්තු කටයුතු සහ පවත්වාගෙන යෑමට යොදාගන්නේ ඇතුළුවීමේ ටිකට්පත් අලෙවි කර ලැබෙන මුදල්ය. පරිත්‍යාගශීලීන්ට ද දැන් අවස්ථාවක් ලබාදී ඇති නමුත් එය සීමාවකට යටත් කර ඇත.
වයිට් ටෙම්පල්හි සුදෝ සුදු ගෘහයේ එක් පසෙකින් ඉර අවරට හැරී තිබේ. එය අපට මතක් කරන්නේ අප මෙහි ගත කළ කාලය හෝරා කීපයක් ම ඉක්ම ගොස් ඇති බවය. උදේ අටට විවෘත කරන මෙය හවස හය දක්වා විවෘතව පවතී. අපට තවත් හෝරාවක් දෙකක් මෙහි ගත කළ හැකි නමුත් වයිට් ටෙම්පල් වෙතින් සමුගත යුතුව ඇත. ඒ තවත් ගමනාන්තයක් බලා ය. මෙහි ප්‍රධාන දොරටුව අසල පුවරුවක මෙසේ සඳහන් කර තිබේ.
හසිත කුරුප්පු
‘Gate of Heaven’