
සියලු මතවාද ප්‍රකාශයට පත්වන්නේ කිසියම් වූ භාෂාවකිනි. භාෂාව අදහස් වාහකයක් ලෙස මිස එය ශුද්ධ භාෂාවක් ලෙස බුදුදහම හඳුනා නොගනියි. මජ්ඣිම නිකායේ අරණවිභංග සූත්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ එක් බසක් දැඩිව ගැනීමත් ව්‍යවහාරය ඉක්මවා යෑමත් යන අන්ත දෙකම අත්හළ යුතු බව ය. එහෙත් භාෂාව මෙවලමක් වශයෙන් අත්‍යාවශ්‍ය වන බව ද බුදුදහම බැහැර නොකරයි. එමගින් මුලාවට පත් නොවීමට මිනිසා වගබලා ගත යුතු බව පමණකි ඉන් අවධාරණය වන්නේ.
මේ ලෝකයේ විවිධ ආගම් අදහන පුද්ගලයෝ සිටිති. නිර්ආගමිකයෝ ද වෙති. නීතිය මෙන් ම ආගම ද සමාජයට, සමාජයේ සුරක්ෂිතතාවට අත්‍යාවශ්‍ය යැයි අදහන්නන් මෙන් ම ආගම් බිහිනොවූයේ නම් මිනිසාගේ නිදහස් චින්තනයට වැඩි ඉඩහසරක් පෑදෙන්නේ යැයි විශ්වාස කරන්නෝ ද ඒ අතර වෙති. මේ සියල්ලන් අතරේ කාල්මාක්ස් ‘ආගම අබිං’ යැයි කී බවක් අසා ඇති නිසාම ආගම ප්‍රතික්ෂේප කරන්නන් ද සිටියි.
මේ සියලු කල්පනා පැන නගින්නේ යම් යම් මතවාද ඔස්සේ ය. මතවාද, දෘෂ්ටි වශයෙන් ද හැඳින්වීමට බැරි නැත. කිසියම් වූ සංකල්පයක්, මතවාදයක් පරමාදර්ශ බවට පත් වන (පත්කෙරෙන) අවස්ථා ද තිබේ. ‘මිනිස්සු රට දැය සමය වෙනුවෙන් දිවි නොපුදති. මිනිස්සු රට දැය සමය යන සංකල්පයන් වෙනුවෙන් දිවි පුදති’ යනුවෙන් වරක් කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් (කුදුගොත් රචනා කෘතියෙන්) ලියා තැබුවේ ද මේ ප්රවනතාව පිළිබඳව ය. මතවාද බොෙහා්විට ගිනි අවුළුවන සුලු ඉන්ධන වැනි ය. සමූහ මිනිස් ඝාතන බොහෝවිට සිදුවී ඇත්තේ මතවාද (සිත් තුළ) ගබඩා කොට තබා සුදුසු අවස්ථාව බලා ගිනිකූරක් ගැසීමෙනි. දේශපාලන අරමුණු, වෙළඳ විරෝධතා, පෞද්ගලික කෝන්තර මෙන් ම සම්පත් කොල්ලකෑම මේ ඝාතන රැළි යට සැඟවී ඇති බව ඒවා සියුම්ව නිරික්ෂණය කිරීමේදී පෙනීයයි.
මතවාද පිළිබඳ ගැඹුරු විවේචනයක් දකින්නට ලැබෙන්නේ බුදුසමයේ ය. මෙසේ කියන විටම මෙය බුද්ධාගම උත්කර්ෂයට නැගීම සඳහා කෙරෙන වෑයමක් ලෙස (ගොනා හැරෙන්නේ පොල්පැළය කන්නට බව) කෙනෙකුට පෙනීයන්නට ද පුළුවන. එහෙත් මුලින්ම අවධාරණයෙන් ම මතක් කර දිය යුතු කරුණ වන්නේ මෙහිදී සාකච්ඡාවට ගැනෙන්නේ බුදුන් වහන්සේ සහ බුදුදහම පිළිබඳ අපගේ අදහස් හා උපකල්පන කිහිපයක් මිස බුද්ධාගමට අදාළ කරුණු කාරණා නොවන බව ය.
බුදු දහම යනු උගැන්වීමක් නොවන බවත් බොහෝදුරට එය සොබාදහම කැඩපත්ගත කිරීමක් ම වන බවත් හඳුනාගත හැකිවන්නේ යහපත් සිහිකල්පනාව හා මධ්‍යස්ථාභාවය ද රැකගත් විමර්ශනශීලියකුට ය. බුදුදහම ‘අනිත්‍යය’ ගැන වැඩියෙන් කතාකරන නිසාම එය අශුභවාදී දහමකැයි කියන්නන් නුදුටු පැත්තක් පිළිබඳව ද මෙහිදී කිසියම් මතක් කරදීමක් කිරීමට සිදු වෙයි. බුදුදහම අමතක කර, බුදුන් පසෙකින් තබා ලෝකය දෙස බලන්න: උදේට පිපෙන මල්, හවසට පරවෙන බව, රෑ මනමාලි මල් හිරුඑළියේ පරවී, වියළී යන බව, සරලව කියන්නේ නම් ඊයේ උපන් මිනිසා හෙට දවසේ මියැදෙන බව මුසාවක් වන්නේ ද? ඒවා එසේ සිදුවන්නේ බුදුන් වහන්සේගේ මෙහෙයවීමකින් ද? හිරු බසින, මල්, පරවෙන නියාම ධර්මයට බුදුදහම වගකිව යුතු ද? ඇතිතතු ඇතිසැටිය පෙන්වාදීම අශුභවාදයක් වන්නේ ද?
මේ මහපොළොව සමතලයක් හෝ ස්ථිතික වස්තුවක් නොවේ. අපේ ඇස්පනාපිටම ලෝකය නොකඩවාම වෙනස් වෙමින් පවතී. ‘අනිත්‍යය’ යනු එයයි. ඉතින් අනිත්‍යය වුව නරක හෝ අශුභ යැයි කිව හැකි නොවන්නේ ලොව නිත්‍ය වූයේ නම් කලලය, කලලයක් ලෙසත්, වී ඇටය, වී ඇටයක් ලෙසත් සදාකාලයටම ස්ථාවරවම පවතින හෙයිනි. කලලය සත්ත්වයකු, මිනිසකු බිහි කරන්නේත්, වී ඇටය බත් ඇටයක් වී, අපේ කුසගිනි නිවා දමන්නේත් අනිත්‍ය දහමට පින් සිදුවන්නට ය.
ආගම, දහම හෝ බුදුන් වහන්සේ නැතිවත් ඔබට ඔබ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කිරීමට බැරි නැත. ඒ සඳහා ඔබ කිසිවකුගෙන් අවසර ගත යුතු නොවේ. කෝන්තරයක්, සමාජ වෛරයක්, බාහිර ලෝකය පිළිබඳ ද්වේශයක් ඔබ තුළ වේ නම් ඔබ, ඔබ සමඟම තරහා වූවෙකි. ඔබේ ඒ ද්වේශය, වෛරය සෙස්සන්ගේ විනාශය සඳහා සාර්ථක ලෙස දායක කරගැනීමට අනෙකකුට පුළුවන. ඒ සඳහා ද ඕනෑ කරන්නේ මතවාදයකි.
බොහෝ මිනිසුන් ජීවිත කාලය මුළුල්ලේම, විසිහතර පැයෙන් වැඩි කාලයක්ම යෙදී සිටින්නේ බාහිර බලවේග, පිටස්තර සතුරන් හඳුනාගැනීමේ සැකමුසු මෙහෙයුමෙහි ය. අපගේ ළතැවුලට, අපගේ වේදනාවට, කොටින්ම කියන්නේ නම් අපගේ ඉරණමට වගකිව යුත්තා අනෙකා යැයි සිතන්නට, ඒ අනුව වගඋත්තරකරුවන් සොයන්නට අපි අපේ ජීවිතයේ වැඩි කාලයක් දිය කර හරිමු. අසල්වැසියා, පිටස්තරයා දෙස මෙන් ම තමාගේම ඥාතියා දෙස ද ඇතැම්විට සැමියා හෝ බිරිඳ කෙරෙහි ද සැකයකින් යුතුව සුසුම්ලමින් ජීවිතකාලය ගත කරන්නෝ බොහෝ ය. ඔවුන් හදිසියේම ඒ සිහිනයෙන් අවදිවන්නේ මරණීය ප්‍රහාරයක් ජීවිතයට එල්ලවන අවසාන අවස්ථාවේදී ය. මේ භයානක, මාරාන්තික ප්‍රහාරය එල්ල වන්නේ පිටස්තරයකු වෙතින් නොව තමා තුළින්ම බව අවබෝධ වන විට අශ්වයා පැනගොස් ඇති බැවින් ඉස්තාලය වැසීමේ තේරුමක් නැත. සතුරු කඳවුර ස්ථාපිතව තිබුණේ පිටස්තරව නොව තමා තුළම බව සැබවින්ම මිනිසා සාක්ෂාත් කරන්නේ මාරාන්තික රෝගයකින් සිරුර නිශ්ක්‍රියව යන විටදී ය.
බුදුන්වහන්සේ මේවා අපට පුන පුනා කියා දුන්නේ යැයි, උගැන්වූයේ යැයි මම පෞද්ගලිකව විශ්වාස නොකරමි. උන්වහන්සේගේ කාර්යභාරය කෙබඳු වන්නට ඇද්ද යන්න පිළිබඳ සිතිවිල්ලක්, ආකස්මික උපකල්පනයක් මගේ සිතෙහි හටගැනුණේ නිස්කලංක හෝරාවක අනුරාධපුර මහමෙවුනාවේ සමාධි පිළිමය අසල රැඳී සිටි එක් සිහිකටයුතු මොහොතක දී ය. එය සංකේතාත්මකව නම් කළ හැක්කේ ‘ගල්වඩුවා හා බැතිමතා’ ලෙස ය.
කළුගලකින් කැපූ අපූරු ප්‍රතිමාවක් නරඹන්නට එන කලාකාමියෝ මේ මහා විස්මයජනක පිළිරුව නිර්මාණය කළේ මොනවායින් දැයි (මොනවා එක්කිරීමකින් දැයි) ගල්වඩුවාගෙන් විමසති. තමා කිසිවක්ම ඊට එක්නොකළ අතර අඛණ්ඩවම සිදු කළේ ගලේ කොටස් කපා ඉවත් කිරීම පමණකැයි ගල්වඩුවා පවසයි.
බුදුන්වහන්සේගේ කාර්යභාරයත් එක් අතකින් මීට සමාන නොවන්නේ ද? මිනිසුන්ගේ පාරම්පරික ඇදහීම් ගතානුගතික විශ්වාස සියුම් ලෙස ඉවත් කිරීම මිස, අලුත් ඉගැන්වීමක්, ඉගැන්වීම් සමුදායක් බලයෙන් පැටවීමට උන්වහන්සේ උත්සාහ කළ බවක් බුද්ධ ස්වභාවය තුළින් පෙනීනොයයි.
මා අසා ඇති මෙවැනිම වූ තවත් කතා පුවතක් මෙහිදී සිහියට නැගෙයි. ආනන්ද හිමියන් ද සමඟ බුදුන් වහන්සේ එක් නියම්ගමක් මැදින් ගමන් කරමින් සිටියදී උන්වහන්සේ කරා පැමිණි එක් දේවභක්තිකයෙක් ‘ස්වාමිනි, දෙවියන් සිටිනවා නොවේ ද?’ කියා ප්‍රශ්න කර තිබේ. බුදුන් වහන්සේ ඊට පිළිතුරු සපයා ඇත්තේ ‘එසේය’ යැයි කියා ය. තවත් ටිකක් ඉදිරියට ඇදී යද්දී උන්වහන්සේ හමුවට ආ භෞතිකවාදියකු ප්‍රශ්න කර ඇත්තේ ‘ස්වාමිනි, දෙවියන් කියා කොටසක් නැහැ නොවේ ද?’ කියා ය. එතැනදී උන්වහන්සේගේ පිළිතුර වී ඇත්තේ ‘නැහැ’ යන්න ය. මේ පරස්පර විරෝධී පිළිතුර හේතුවෙන් බලවත් වූ උභතෝකෝටිකයකට මුහුණ පා ඇත්තේ ආනන්ද හිමියන් ය. ඉඩ ලැබුණු අවස්ථාවකදී ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් විමසා ඇත්තේ මෙසේ පරස්පරවිරෝධී පිළිතුරු සැපයීමට හේතුව කුමක් ද කියා ය. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ මෙසේ ය.
‘ආනන්දය! මා ඒ පිළිතුරු දෙකම සැපයුවේ ඔබට නොවේ’
බුදුන්වහන්සේ අපට කිසිදා හමුවී නැත. අපි බුදුන්වහන්සේ වෙතින් ධර්මය ඇසුවෝ ද නොවෙමු. උන්වහන්සේ අප හඳුනාසිටින්නේ ලේඛනගත මූලාශ්‍ර ඇසුරෙනි. ඒවායින්ම වුව අපට බුදුන්වහන්සේ පරිපූර්ණ ලෙස හඳුනාගැනීම පහසු නැත. එහෙත් මූලාශ්‍රවලින්, ධර්ම ග්රන්ථවලින් අපට පෙනීයන යම් යම් සංඥා ඔස්සේ අපට ඒ බුද්ධ ස්වභාවය උපකල්පනය කළ හැකි ය.
ඇතැම්විට නොව බොහෝවිට බුදුන්වහන්සේ විවිධ පුද්ගලයනට කරුණු පැහැදිලි කර ඇත්තේ එක සමානව නොව විවිධාකාරයෙන් බවත් සමහර අවස්ථාවලදී උන්වහන්සේගේ මුනිවත නොබිඳී පැවැති ආකාරයත් අප අසා තිබේ. වච්ඡගොත්ත නම් වූ පරිබ්‍රාජකයා ආත්මයක් ඇද්දැයි ප්‍රශ්න කළ විට බුදුන් වහන්සේ නිහඬ වූයේ ආත්මයක් ඇති හෙයිනි යි යන්න කිසිසේත් අදහස් නොවෙයි. එහෙත් ප්‍රශ්නෝත්තර රටාවක් අනුයමින් සිටින අපට, මේ නිහඬතාව හඳුනා ගැනීම ද පහසු නැත. ඒ අප ජීවිතය අත්හරිනවා වෙනුවට ජීවිතය සොයමින්, හඹායමින් සිටින නිසා ය.
ආත්මයක් තිබේ ද නොතිබේ ද යන ප්රශ්නය බුදුන් වහන්සේ වෙත බොහෝ අවස්ථාවලදී බොහෝ දෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ විට මුනිවත පළකිරීම හැරුණුවිට උන්වහන්සේ ඊට පැහැදිලි පිළිතුරක් සැපයූ බවක් නොපෙනෙයි. මේ ස්වභාවය පිළිබඳ අපූරු චිත්තරූපයක් මෑතකදී මගේ සිතේ ඇඳීගියේ මේ ‘උත්කෘෂ්ට මොහොත’ නම් වූ ඕෂෝ සංවාද කෘතියෙහි වූ සටහනකිනි. බුදුන් වහන්සේගේ එක්තරා අවධාරණයක් ගැන එහි සාහිත්‍යයිකව විස්තර කරන්නේ මෙසේ ය.
‘ආත්මය කියන සංකල්පය ගැන මගේ එතරම් සැලකිල්ලක් නැහැ. මා වඩාත් සැලකිලිමත් වන්නේ ප්රශ්නය අසන තැනැත්තා ගැනයි. ඔහුට කුමන ආකාරයකින් උදව් කළ හැකි ද කියායි මා සැලකිලිමත් වන්නේ. ආත්මයක් ඇතැයි කීම ඔහුගේ ඉදිරි ගමනට පිටුවහලක් වෙනවා නම් මා එය අනුමත කරනවා. නිශ්ශබ්දතාවෙන් ඔහු වඩා ශක්තිමත් වනවා නම් මා මුනිවත රකිනවා, නිර්වචනයක් දෙන්න අවශ්‍ය නම් නිර්වචනයක් දෙනවා. එපමණයි.
(සිංහල පරිවර්තනය - ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු)
මේ වූ කලී බුද්ධ ස්වභාවය ඉතා අපූර්වාකාරයෙන් වටහා ගැනීම සඳහා විවර වූ විසල් දොටුවක් වැන්නකි. අනුරාධපුර මහමෙවුනාවේ සමාධි පිළිමය මෙන් ම අවුකන බුදුපිළිමයත් නිහඬ මුවින් කියන එක ම බණපදය මෙන් එය තදින් සිතට කාවදියි.
ආගම හා සැදැහැවත් බව අතර වෙනස පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් කර තිබූ යථොක්ත සංවාද කෘතියේ බුදුන්වහන්සේ හඳුන්වා තිබුණේ ‘ආගමකින් තොර වූ ආගමක් බිහිකිරීමේ පුරෝගාමියා‘ ලෙස ය. එය ඉතිහාසයේ මනුෂ්‍ය විඥානය තුළ සිදුවූ සුවිසල්ම පෙරළිය බව ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණ.
ඒ සමඟම සඳහන් කළ යුතුව ඇත්තේ මතවාද බැහැර කළ ශාස්තෘවරයා වන්නේ ද බුදුන්වහන්සේ ම වන බව ය. සැබැවින්ම උන්වහන්සේට තමාගේම ශ්‍රාවකයන් සමඟ හෝ එකඟතා තිබුණේ නැත. සාරය, සත්‍යය අතුරුදහන් වන්නේ මේ එකඟතා නිසා බව උන්වහන්සේ සාක්ෂාත් කර සිටියහ. බුදුන්වහන්සේ මතවාදබැහැර කළේ ද ඒ අනුව ය.
ඇතැම් පරමාදර්ශ මිනිසා තුළ බෙදීමක් හටගන්වන්නේ ආතතියක් හා ගැටුමක් ද නිර්මාණය කරමිනි. ඒවා ඔබ වෙනස් පුද්ගලයකු කරන අතර යමකුට ඔබ වෙනස්ම පුද්ගලයකු බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය යම් යම් පරමාදර්ශයන් ද සම්පාදනය කරයි. මිනිසුන් අනුගාමිකයන් බවට පත්වීමේ බිහිසුණු ප්රවනතාව මේ වනවිට ලෝකයේ සිදු වූ හා සිදුවන බොහෝ භීෂණ, ඝාතන ඔස්සේ පෙනී යමින් තිබේ. ඇතැම් පරමාදර්ශ භයානක වන්නේ ද මේ අනුව ය. බුදුන් වහන්සේගේ ප්‍රවේශය මෙතැනදී මු`ඵමනින්ම වෙනස් මගක් ගනී. උන්වහන්සේ කිසිවකුට අත්වැල් හෝ අත්වාරු සපයන්නෙක් නොවේ. ලෝකයේ වර්ධනය වෙමින් ඇති භීෂණය, ඝාතනය, ලේ ගැලීම් අතිමහත් වූ බහුතරයකට පසුබිම් සකස් කර ඇත්තේ පරමාදර්ශ ලෙස වර්ණගැන්වූ මතවාද ම මිස අන් කුමක් ද?
මතවාදයක එල්බ ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය යැයි කෙනෙකුට මෙහිදී තර්ක කළ හැකි ය. අපට ද එය මුළුමනින්ම අමතක කළ නොහැකි ය. මේ මිනිස් ස්වභාවය බුදුන් වහන්සේ හඳුන්වා දී ඇති පදය වන්නේ ‘දිට්ඨි පරාමාස’ යන්නයි. බුදුදහම අගය කරන්නේ දිට්ඨිංච අනුපගම්ම හෙවත් මතවාදයක එල්බ නොගෙන ජීවත්වීම ය.
සියලු මතවාද ප්‍රකාශයට පත්වන්නේ කිසියම් වූ භාෂාවකිනි. භාෂාව අදහස් වාහකයක් ලෙස මිස එය ශුද්ධ භාෂාවක් ලෙස බුදුදහම හඳුනා නොගනියි. මජ්ඣිම නිකායේ අරණවිභංග සූත්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ එක් බසක් දැඩිව ගැනීමත් ව්‍යවහාරය ඉක්මවා යාමත් යන අන්ත දෙකම අත්හළ යුතු බව ය. එහෙත් භාෂාව මෙවලමක් වශයෙන් අත්‍යාවශ්‍ය වන බව ද බුදුදහම බැහැර නොකරයි. එමගින් මුලාවට පත් නොවීමට මිනිසා වගබලා ගත යුතු බව පමණකි ඉන් අවධාරණය වන්නේ. තර්කයේ විධි සතරක් පෙන්වා දෙන බුදුදහම ඒවා මෙසේ වර්ගීකරණය කරයි.
මනාව තර්ක කරනු ලදුව සත්‍ය සේ පෙනීයන මතවාදය
මනාව තර්ක කරනු ලැබූව ද අසත්‍ය සේ හැඟීයන මතවාදය
නොමනා ලෙස නුසුදුසු අයුරින් තර්ක කළ ද සත්‍ය සේ හැඟී යන මතවාදය
නුසුදුසු ලෙස තර්ක කිරීම හේතුවෙන් අසත්‍ය සේ පෙනී යන මතවාදය
පක්ෂ, පාට, දේශපාලන සංවාද-විසංවාද අතරේ ද මෙකී සතරාකාර තර්ක-විතර්ක කරළියට නැගෙනු අප බොහෝවර අසා දැක තිබේ. ‘මෙය පමණක් සත්‍යය. අනෙක් සියල්ල බොරුය’ යන ස්ථාවරයේ සිට වචන දමා ගැසීමට දරන ඇතැම් උත්සාහයන්හි අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් නොසිතූවිරූ ගැටුම් හටගැනීම ද නොවැලැක්විය හැකි ය. මිනිස් සිත්සතන් අවුළුවන ඉන්ධන වෙනුවට සිත් නිවාසනසන දියධාරා ගලායන්නට සැලසීම නූතන දේශපාලනඥයන්ගේ ස්වභාවය වූයේ නම් සමාජයට කෙබඳු ශාන්තියක් උදාවිය හැකිව තිබුණේ දැයි බොහෝවිට අපට සිතෙයි.
වනචාරී ආදි මානවයා සංස්කෘතික සත්ත්වයකු බවට පත්කිරීමට භාෂාව මහෝපකාරි වූ බව සැබෑ ය. එහෙත් එහි තවත් පැත්තක් ද තිබේ. මතවාද නිර්මාණය වන්නේ අසාදැනගන්නා දේ ඔස්සේ ය. ස්වර්ගීය සැප දුරස්ථ රූපයකින් පින්තාරු කර පෙන්වා, ස්වයං ඝාතන සඳහා සිත් පොළඹවමින් නිශ්ඵල ජීවිත පූජා සඳහා මිනිසුන් යොමුකිරීමේ ප්‍රබලම මෙවලම වන්නේ ද මතවාදය නැතහොත් භාෂාවයි.
බුදුදහමේ ‘ශාස්වතදිට්ඨි’ යනුවෙන් හැඳින්වෙන්නේ සියලු දේ නිත්‍ය බව හා මරණින් පසු ඉදිරියට යන ආත්මයක් වන බවට ඇති විශ්වාසය ය. උච්ඡේදදිට්ඨි යනු මිනිසාට ඇත්තේ මරණයෙන් කෙළවර දකින ආත්මයකි යි (මරණින් පසු විනාශයට පත් වනු මිස යළි උපතක් නැතැයි) විශ්වාස කිරීමයි. තම-තම නැණ පමණින් තම-තමාගේ රුචි-අරුචිකම්වලට අනුව මේ දෙකෙන් එකක් ඇතැයි කියමින් විවිධ තර්ක ඉදිරිපත් කරන පුද්ගලයෝ අදට ද සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ද මතවාදයක් අනෙකා තුළට කාවැද්දීමයි. මේ දෙකම බැහැර කළ යුතු යැයි බුදුදහම කියයි.
කෙසේ වුව ද මිනිසාට මධ්‍යස්ථාභාවය වැදගත් ය. සියල්ල හොඳින් දැක බලා ගත හැකිවන්නේ මධ්‍යයේ රැඳී සිටින්නකුට ය. මිනිසුන්ගේ උන්මාද හා විකෘති මනෝභාවයන් වඩ-වඩා කරළියට නැංවෙන්නේ පරමාදර්ශයන් වැඩිවන තරමට ය. මෙහිදී මගේ පරමාදර්ශය ඔබේ පරමාදර්ශය නොවන හෙයින් පොදුවේ පරමාදර්ශ ගැන කතා කළ නොහැකි යැයි ද, ඔබේ පරමාදර්ශය හැම අතින් ම යුක්තිසහගත යැයි ද තර්ක කිරීමට ඔබට පු`ඵවන. එහෙත් මේ උසස් පහත් බව කිරා මැන බැලෙන පොදු තරාදිය සොයා ගත හැකි නැත.
මිනිසාගේ දෛනික ක්‍රියාවලියේ පදනම වන්නේ ස්වාර්ථය බව නිබොරු ය. ඔහු හොඳ යැයි තමා විශ්වාස කරන දේ කරන්නේත් නරක යැයි තමා විශ්වාස කරන දෙයින් වළකින්නේත් තමාට යහපතක් වනු ඇතැයි සිතා ය. එහෙත් ඔහුගේ ප්රබලතම අපේක්ෂාව වන්නේ ස්වාර්ථයයි. නැතහොත් භෞතික සැප සම්පත් වැඩිවැඩියෙන් ලබා ගැනීමයි. ඒ ස්වාර්ථය නිසා ම ඇතැම් විට නරක ක්‍රියා කිරීමට ද ඔහු යොමු වෙයි. තමාට එක සදාචාරයකුත් අනෙකාට තවත් සදාචාරයකුත් තිබිය යුතු යැයි ඔහු විශ්වාස කරන්නේ ද මේ අනුව ය. මා ය, අනෙකා ය (අහංච පරංච) යන ද්වයතාවයෙන් නිදහස් වන තුරුම මිනිසාගේ සදාචාරය අර්ථසම්පන්න නොවන බව ය, බුදුදහම අවධාරණය කරන්නේ.
කැත්ලීන් ජයවර්ධන