
අනු බුදු සමිඳු නොවැඩියානම්
යන එන මං නැතුව ගෑටුව සිහළ බිමේ
දැල්වුණි කසාවන් පහනක් දැහැමි කමේ
එය සිදු නොවීනම් මිස්සක පව්ව බිමේ
තවමත් අපි හිඳිමු වල්මත් බවින් හිමේ
යා යුතු මග නොදැන අඳුරේ කුර ගෑව
එදවස සිහළ බිම කිසි එළියක් නූව
මිස්සක පව්වෙ පෙර දවසක පෑයූව
සඳරැස් කසාවන් ගනඳුර දුර ලූව
දහමක් දෙසිණි ජීවත් වෙන්නට යහමින්
දුක දුරලගෙන දිවි ගමනට සමු දීමෙන්
පෙරදා නිමල දහමක් ලක පැතිරීමෙන්
සැනසුණි දිවි මගට නිසි අරුතක් දීමෙන්
ඔපවත් වුණා නිසි අයුරින් අනුර පුරේ
ගම් බිම් ඉදි වුණා වැව් දිය පිරුන ඉමේ
බෝ පත් පවා බණ දෙසුවා සැරෙන් සැරේ
පිරුණා සාදු සිතුවිලි සිත අනෙක වරේ
දාගැබ් වෙහෙර පන්සල් ඉදිවුණි දසත
ඝණ්ටාරයේ නාදය පැතුරුණි හැමත
ජන ජීවිතය සරු වූවා මත කමත
වී අටුවක් වුණා අගහිඟ කම් නොමැත
අනු බුදු සමිඳු නොම වැඩියා නම් එහෙම
සිසිලස නොවේ කර්කෂ බිම ලෙස කිසිම
එදවස මිහින් තලයේ මුල් බණ දෙසුම
අඩුවක් නැතුව නිරතූරු ඇසෙනව තවම
කලාභූෂණ ගාමිණි ලිවේරා - මුන්දලම
පොසොන් අසිරිය
විහිදෙන සඳ එළිය සිසිලස බෙදා දෙන
පැතිරෙන මඳ සුළඟ දහනය නිවාලන
හිනැහෙන තුරු ලතා පොදවැසි නිසාවෙන
එළඹෙන පොසොන් දින සමරමු බැති සිතින
මිනිසුන් එදා ගස් වැල් වැඳ පුදාගෙන
අර සුන් ගති සිරිත් සිත තුළ පුරෝගෙන
මැඩියන් ලෙසින් ලිඳ තුළ සිරවී සිටින
දහමින් මිහිඳු හිමි සැනසුම ලැබුව දින
විමසුව අඹ පැනය අනුබුදු හිමි රජුගෙන්
නොඅඩුව තිබෙන බව දැන ගති නුවණ එයින්
පැවසුව දහම් මග පිළිගෙන හිස් මුදුනින්
පූජා කළා ලක්දිව පූජා බුදු සසුන නමින්
පූජා බිමක් විය අනුරාපුර පෙදෙස
පෝදා පොසොන් පැතිරෙනවා දහම් රස
හැරදා ගිහි ගෙදර අටසිල් ගත් පිරිස
පහදා යොමු කරති තම සිත නිවන දෙස
ජන හදවතේ යහගුණ බිජු වැපිරෙව්වා
සම්මා ආජීවයට නිසි මග හුරු කෙරුවා
නිවහල් රටක් ලෙස සිරිලක නම් දැරුවා
සදහම් දීපයයි විරුදාවලි ලැබුවා
ජයසේන කොඩිතුවක්කු
මෙල්බර්න්, ඔස්ට්‍රේලියා
හදවත් බවුන් වඩයි
අනුරපුර රජ දහනේ
පින් කෙතකි කිරි වැදුණේ
දාගැබ් කොත්කැරලි මුදුණේ
සදහම් කිරණමැයි රැඳුණේ
තිසා වැව පිස හමන පවනේ
අනුබුදු වදන් රැව් නැඟුණේ
මහබෝ සමිඳු සෙවණේ
නිසල හදවත බවුන් වැඩුණේ
රත්නසිරි පතිරණ
අද වැනි දිනෙක
අද වැනි දවසක මිහින්තලාවට
වැඩම කරපු අනුබුදු ගුණ සිහිකොට
කුසුම් පුදමි හද බැතියෙන් වැඳ සිට
වඩිනු මැනවි මගෙ හිස අඹ තලයට
දම්සෝ අග රජු හට පුත් වීමෙන්
ඉපදී හැම සම්පත් හැර ලෑමෙන්
මග ගොස් සදහම් අරහත් වීමෙන්
සග මොක් සැප දුනි දම් රස දීමෙන්
මිහිඳු සමිඳු ටික කලකට පස්සේ
පිය රජුගේ බස පිළිගෙන තිස්සේ
මිහින්තලාවට අහසින් බැස්සේ
ලක්දන තෙමුණෝ සදහම් වැස්සේ
අහසෙහි තරුමල් සහ පිරිවරමින්
සඳ නැගුණා ගනඳුර දුරු කරමින්
පොසොන් මසේ පසළොස්වක ලබමින්
උදා වුණා නව යුගයක් දහමින්
පෑතිස් රජු දහමට හැර වීමෙන්
සිරි ලක නව එළියක් ඇති විමෙන්
දඹදිව්තල අනුබුදු හිමි නාමෙන්
දෙලොවම දියුණුව ඇති විය සාමෙන්
අනුබුදු හිමියන් මෙහි වැඩි හින්දා
අහස උසට මහ දාගැබ් බැන්දා
සමුදුර වැනි මහ වැව් මෙහි බැන්දා
දෙවියොත් සිරිලංකාවට වැන්දා
කලාභූෂණ කිවිපති අමුවල අමරසේන
කසාවතට ගිය පොඩිදුව
දසක දෙක හමාරට වැඩිය අප සෙවනේ සිට
උගෙන දම් ගුණ නුවණ එකතුකොට දිවි මඟට
පුංචි සන්දියේ සිටිය කසාවත තුරුළු කොට
තුරුණු වියේ දැවටුණා බුදු දහම සරණ කොට
මටයි අප්පච්චිටයි සතුට ගෙන ආව ඔබ
පවුලේ බඩ පිස්සි වූ අපෙ මැණික වූයෙ ඔබ
පින්කමක පින්බිමක පෙරමුණේ සිටිය ඔබ
කසාවත දැවටුණත් අපේ පොඩිදුවයි ඔබ
ළඳරුවිය, ළමාවිය, තුරුණු විය පින්කෙතකි
ලද දෙයින් තුටුවුණා හිමිවුණේ පින් සිතකි
තියෙන දේ පුදන්නට මුදු දෑත් පින් අතකි
ඔබ වගේ දුවක් ලද මමත් පින්බර මවකි
සසර ගෙන ආ පුරුදු යළි යළිත් මතුවුණා
පාරමී දම් පුරා කසාවත දැවටුණා
දහම් ගුණ දැනුමෙන් ම බුදු මඟට පිවිසුණා
දුක වුණත් දරාගමි බුදු දුවක් ඉපදුණා
ළං නොවේවා කිසිත් මැසි මදුරු උවදුරක්
ළං නොවේවා කිසිත් රිදුම් දෙන කිසි දෙයක්
ළං නොවේවා නපුරු කුරිරු මිසදුටු යමක්
නිවන් මඟ වැඩේවා පතමු දහසක් වරක්
චන්දිමා විජේසිංහ - අනුරාධපුර
මිහින්තලය
අද වැනි දිනක සදහම ඉතිහසෙන් ඇද
ඇති කළ අසීමිත සුවයක් දනන් හද
අනුබුදු මිහිඳු ගුණ මතුකර කියන් නද
පායයි මිහින්තලයට සුදු සුපුන් සඳ
සමන් නෙලුම් අරලිය මල් පිපී යන්
සඳුන් කපුරු දුම් සුවඳය නැගී යන්
පොසොන් සුවඳ හදවත් තුළ රැඳී යන්
මිහින්තලාවේ අනුහස් පෙනී යන්
පෙහෙවී සුදු වතින් බබළන මෙතුන් හෙළේ
සැදහැති දනන්ගේ නෙත් සිත් පහන් කළේ
සදහම් සුවඳ පිරි ඉතිරී ගුවන් තලේ
මිහිරෙන් මිහිරිවත් වේවා මිහින් තලේ
සරත් ධර්මසේන
ඔබෙ පා යුග වදිමි!
පොසොන් මසේ පුන්සඳ රැස් විහිදා ගුවනේ නැගෙද්දී
බොදුනු දනන් සැම හද බැතියෙන් පන්සල් වෙත ඇදෙද්දී
මිහිඳ සමිඳුගේ දම් ගුණ සුවඳ ගම් පුරා අද පැතිරෙද්දී
පන්සල් යමු! අපි සැම පුන්සඳ අඹරේ නැග එද්දී
ලක් දනන්ගේ සිත් දම් රසයෙන් නහවනු පිණිස ඒදා
දඹදිව් තලෙන් ලක්දිව වැඩිය අපෙ මිහිඳු හිමි සමිදා
ලක්වැසි දනන්හට දම් රස ලැබ දෙමින් සොඳා
පින්වත් මිහිඳු සමිඳුනි! ඔබ පා යුග වඳිමි සදා
මයිකල් බණ්ඩාරනායක - ගම්පහ
පොසොන් ප්‍රගීතය!
සසල මහ වනපෙත
නිසල වුණු පසු හැමඅත
තරු කැටුව විකසිත
මිහිඳු සඳ සුදු වුණා ගිරමත!
දඩ සතට හිනැහුණි
හිමි ගෙන් රැසක් දිලිහුණි
කරෙහි හී ගිලිහුණි
බඹර රැස දැමිකමට සැරහුණි!
දඩමත් රද පිරිස
කලු මැකුණු පස් තම හිස
සරිව සුදු මල්පැස
කසුන් එළියට සැපත් වියයස!
රළ සරින් තුරුමැද
ගැලුණි අරහත් දම්කඳ
අත් පියුම් කෙමි සොඳ
නළල් මැද සැතපුණා මුදුලෙද!
මාදම්පේ කලාභූෂණ
ඇම්. අසෝක. ද . සිල්වා
තෙවැනි අවදිය
බැලු බැලු හැම තැන
වයසට යන දන තැවෙත්
යළි යළි ගිය කල
සොය සොය වෙහෙසෙන සිතින්!
අසහන පිරි ලොවක
තනිව ගෙවෙන දිවිය හරසුන්
සිත සිත තැවි තැවි
නොව ඉඳ කෙටි කල දුකින්
අට ලොව දහමට
නුවණ අවදි කරනු මැනව
සතුටින්!
සෙනරත් තෙන්නකෝන්
පොසොන් උදාන
අරුණු ප්‍රභා දම් රැස් අනුබුදු වඩින
පිරිණු තරිඳු පායා මිස්සක සොබන
දරුණු කෝප මද රෝ බිය සිත් සතන
තුරුණු සිහිල් මෙත් ගුණ දහරින් නිවිණ
දද ලෙළ පොසොන් පෝදා මෙත් සිසිල හමා
සිත් තුළ පිරුණු බිය සංකා කෙලෙස් නිමා
බිඟු රළ විලස සිව් දිග ඇදි සිරස නමා
දන කැල රකිති වෙහෙරේ සිල් සුවය අමා
ඉසිරි මිනිස් ගුණ දම් සිහිලෙන් තෙමෙනා
විසිරි මල් සුවඳ සිල් සුවඳේ එතෙනා
අසිරි පොසොන් සිතුවම් මිහිමත ඇඳෙනා
සසිරි දැයක සෙනෙහස් මල් යළි පිපෙනා
ළකල් කැකුළු එළිවැට මද නල එතෙනා
අගිල් කපුරු සුවඳේ බෝපත් සැලෙනා
සුනිල් නෙතින් බුදුරැස් ලෝ සත නිවනා
සියල් සතට දළදා සමිඳුගෙ සරණා
දොන් සුසිල් ප්‍රේමරත්න
කැනඩාවේ ඔටාවා නුවර
නමදිමු අනුබුදු හිමි....!
පොසොන් සඳ නැගෙද්දී අඳුරු කඩ තිර ඉරා
සවන් මත රැඳවුණා සද්ධර්ම සුව පෙරා
එදා මුව දඩයමේ ගියේ තම අසු අරා
රජු වැලඳ ගති දෙසූ දහම් රස ලොවුතුරා
නැඟී අරුණාලෝක රැස් දහර බිම තෙමූ
රාග ද්වේෂ මෝහා සමතලා කර දැමූ
දඹදිවින් මෙහි පැමිණි සදහමෙන් හිත තෙමූ
මිහිඳු මා හිමියනේ ඔබේ පා නමදිමු
මිහින්තල පවුර මත නැඟී ආලෝකයෙන්
රජුන් බුදු සරණ ගොස් ලැබූ ඒ සැනසුමින්
හොඳ නරක වෙන් වෙන්ව උගත් මුදු පාඩමෙන්
අදත් පින් කෙතකි විය දහම් සඳ පායමින්
වෙහෙර දාගැබ් මහා පොලෝ මත ඉදිවූණා
එදා අවිහිංසාව හිත් තුළම කිමිදුණා
මතක් කර ගමින් නිතොර සදහම් මනා
හෙටක් පිළිවෙත් රකිමු මිහිඳු හිමි නාමෙනා
උපාලි කස්තුරිආරච්චි - පාණදුර
සඳ, නුඹ අමතමි
පොසොන් සඳ මම නුඹට අමතමි
මෙතෙක් මුනිවත රැකපු හින්දා
ටිකක් දොඩමලු වෙමුද මා හා
ළඟයි පින්බර පොසොන් පෝදා
එදා මිස්සක පව්ව ඔපකළ
ඔබේ සොම් සඳ කිරණ වරුසා
දිලුණි කිරි සාගරේ පරයා
අඹ වනේ තුරු මුදුන් සරසා
එදා අනුබුදු මිහිඳු මාහිමි
වඩින තැන නුඹ හිටපු හින්දා
දෙසූ ඇත් අඩි සුතුර කියමුද
ඇසූ අය අද නොමැති හන්දා
දුනු අමෝරා මුවෙකු පසු පස
හඹා ගිය රජු නුඹ දකින්නැති
තිස්ස නවතිනු කියා ඇමතූ
වදන් ඔබ නිසැකව අහන්නැති
කෙලෙස් මලබැඳි අවිදු අදුරෙන්
මිනිස් වන ඇත මංමුළා වී
අනේ සඳ ඔබ එදා වාගෙම
මිහිඳු හිමි හා වඩිනු මැනවී
පී.බී. සමරකෝන්
හිරිපත්වැල්ල, වදාකඩ
පල දැරූ ගසකි අද මේ බිම
අනුබුදු මිහිඳු හිමි සිරිලක වැඩි දිනයේ
සදහම් අමා එළියයි මුළු ලොව දිනුයේ
කරුණා ජලෙන් හදවත් කෙලෙසුන් නැසුයේ
මිස්සක පව්ව වැසි සඳමඩලයි ගැලුයේ
මිසදුටු සියලු බැමි සුන්වී සිත් පෙමිනා
තුන් සරණයේ බල ලැබ බුදු දම දිලුණා
සිව් හෙළයන්ට සදහම් සුව නිති ලැබුණා
පින්දම් බලෙන් දෙව්ලොව දොරටුව ඇරුණා
මිල කළ නොහැකි දහමක අසිරිය නැංවූ
විල දම් කඳකි නෙත් යුග පහනින් දැල්වූ
කළ මෙහෙවරකි රජු සහ සමිඳුන් එක්වූ
පල දැරූ ගසකි අද මේ බිම මල් ගැන්වූ