![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/07/sil-06-09-polonnaruwa.jpg?itok=brn7eT0c)
හිතේ හැටියට වවන්න උගන්වන හමුදාවේ ‘පැන්ෂන් කෝස්’ එකට දැන් වැඩිපුර එන්නෙ තරුණයන්
ඔබ මේ යන්නෙ පොළොන්නරුව, අරලගංවිලට. එතැනිනුත් තවත් ටිකක් එහාට.
හරියට ම කිව්වොත්, අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය පාරේ, වෙහෙරගල හන්දියෙන් දකුණට හැරිලා, තවත් කිලෝ මීටර දෙකක් ඇතුළට.
එහෙම යද්දි, පාර අයිනෙදි ඔබ දකින නම නම්, ටිකක් දිගයි.
‘යුද හමුදා - කෘෂිකර්ම පුහුණු පාසල සහ ආදර්ශ ගොවිපළ - අරලගංවිල’
හමුදා ජීවිතයෙ අභිමානය තිබෙන්නෙ නිල ඇඳුමෙ. ඒ නිල ඇඳුමයි ‘වෙපන්’ එකයි බාරදීලා ආපහු ගෙදර ගිය දාට මොකද කරන්නෙ...
අවුරුදු දහඅටේදි - විස්සෙදි හමුදාවට ඇවිත් වයස හතළිස් එක දෙක වෙද්දි විශ්‍රාම ගියාම මොකද කරන්නෙ...
එක එක්කෙනා, එක එක දේ කරාවි. ඒත් මේ ප්‍රශ්න දෙකට හොඳම උත්තරේ තියෙන්නෙ ඔය දිග නම ඇතුළේ.
ඉතින්, වස නැති තියා, මඩ... පස් එක්ක හැපෙන ගොවිතැනක් වගාවක් කරන්න පොඩි අය කෙසේ වෙතත්, හමුදාවෙ ඉහළ නිලවල අය කැමැතිවේවිද... ඔබට හිතේවි.
විශ්‍රාම යන්න කිට්ටු හමුදාවෙ අයට, ගෙදර ගියත් වගාවක් සාර්ථකව කරගන්න හැටි කියා දුන්නු මේ පාඨමාලාව ඉස්සර හැඳින්වුණේ ‘පැන්ෂන් කෝස් එක’ නමින්.
ඒත් අද, පැන්ෂන් යන්න හිතලවත් නැති ජවසම්පන්න තරුණ සොල්දාදුවො වගේ ම, සියලුම රෙජිමේන්තු සහ ඒකක නියෝජනය කරන කැප්ටන්, ලුතිනන් කර්නල් තනතුරුවල නිලධාරින් පවා අරලගංවිලට එන්න, තමන්ගෙ වාරය එනකල් බලා ඉන්නවා.
මොකද, සොබා දහම එක්ක කරන මේ වගාව අපූරු අත්දැකීමක්. ඒ වෙග්ම, පාඨමාලාව මාස තුනක් වුණාට අවුරුද්දටම ඇතුළු කරගන්නෙ, කණ්ඩායම් තුනක් නිසා.
යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න, මේ කටයුත්තෙ නියමුවා වගේ ම, ‘මහ ගොවියා’. පුද පූජා.... සිරිත් විරිත්... කෙම් ක්‍රම... කර්ණ මේ සියල්ල අකුරට පිළිපදිමින්, මහ පොළොව සුවපත් කරන හැටි මේ කණ්ඩායමට කියා දෙන පළමු ගුරුවරයා ඔහු.
ඊළඟට ඒ බර කරට ගන්නෙ, කැප්ටන් සුරංග බණ්ඩාර. රුහුණු සරසවියේ කෘෂිකර්ම උපාධියක් ඇති ඔහු ආධ්‍යාත්මික ජෛවගතික සහ පාරම්පරික හෙළ ගොවිතැන පිළිබඳ දැනුම ඇති ප්‍රාමාණිකයෙක්.
නේවාසික මාස තුනේ පාඨමාලාව අවසන් වෙද්දි, මේ කණ්ඩායම අරලගංවිලින් ලබා ගත් අංශ හතළිස් එකක ප්‍රායෝගික දැනුමට අමතරව ගන්නොරුව, මහඉලුප්පල්ලම වගේ ලංකාවේ ප්‍රධාන කෘෂිකර්ම මධ්‍යස්ථානයකම සිදුවන දේත් දැක බලාගෙන අවසන්.
මොකක්ද මේ, ජෛවගතික කෘෂිකර්මය... ටිකක් අමුතු වචනයක්. ඔබට වගේ ම, මටත් හිතුණා.
ජෛවගතික කියන්නෙ, ජීවයේ ස්වභාවය කියන අර්ථය. ස්වාභාවික කෙම් පොහොර ක්‍රම, කෘෂිකර්මයේදි මහ පොළොවෙ ජීවීන් සමඟ කරන ගනුදෙනුව ඊට අදාළයි.
මේ අක්කර පහ පුරා හැම තැනකම වගේ තිබෙන්නෙ වෙනස් දේ. විවිධ උසින් තිබෙන වගාවන් අතර කෘමි විකර්ශක මල් පැළ තැනින් තැන. ඒවා එසේ හිටුවා තිබෙන්නෙ කෘමින්ගේ ඇස් රැවටෙන ලෙසින්.
කොහොම වුණත්, මේ ජෛවගතික කෘෂිකර්මය පිළිබඳ දේශන කරන ලංකාවෙ ජ්‍යෙෂ්ඨම ජ්යෙතිෂ්යවේදිනියක වන 89 හැවිරිදි විමලා දේවනාරායන මහත්මියගෙ දැනුමත් අරලගංවිලට තවම ලැබෙනවා.
කලාඔය පුහුණු මධ්‍යස්ථානයට විශාල සේවයක් කළ බ්‍රිගේඩියර් තිලකරත්න කියන්නෙත්, ෙජෙවගත කෘෂිකර්මය වෙනුවෙන් යමක් කළ, තවත් පුද්ගලයෙක්.
ගහට කොළට ආදරේ ඇති මිනිසුන් සමූහයක් එකට එක්වූ විට, මහපොළොව සුවපත් කළ හැකි බව බ්‍රිගේඩියර් ගුණරත්න සිය දේශනවලදී නිතර පසක් කරනවා. ඒ, මෙවැනි උදාහරණ කොතෙකුත් ගෙනහැර දක්වමින්.
කොහොම වුණත්, පාඨමාලාවට අලුතින් එන හැම කණ්ඩායමක්ම පළමුව, පොල් ගෙඩියක් එල්ලා පඬුරක් ගැට ගසා, බාර හාර වෙන්නේ ‘සංහිඳ’ පාමුල. ඒ ඔවුන් වගාව උදෙසා වඳින පුදින තැන.
වෘක්ෂ රෝපණ ආනිසංස, නව ග්‍රහයන්ට අදාළ වෘක්ෂ... සත් විධ උරුමයන්... වාරි නිර්මිතයන්... පාරම්පරික ඥානය, කෘෂිකාර්මික ජීවන රටාව... බෞද්ධ සංස්කෘතිය... පිරිපුන් තාක්ෂණය... කෘෂිකාර්මික භාෂාව පිළිබඳ මෙහි එන ඕනෑම කෙනකුට දැකබලා ගන්න පුළුවන් විදියට සටහන් තබා ඇත්තෙ, ඒ ‘සංහිඳ’ අබියසමයි.
කැමැති නම් කෙනකුට, පැල් රකින්නත් පැල් කවියක් දෙකක් මහ සද්දෙට ගායනා කරන්නත් මෙහි තහනමක් නැහැ. කවදාවත් නොවිඳි අත්දැකීමක් ජීවිතයට එකතු කර ගන්නට මාස තුනකට පමණක් ලැබෙන සොඳුරු සහ අමිල වූ අවස්ථාවක් බව හැඟෙන විට, මේ කිසිම දෙයක් ඔවුන් අත්හරින්නෙ නැතිව ඇති.
ගොවි විශ්වාසයට අනුව, මේ මහපොළොව අයිති කරගෙන සිටින්නේ බහිරවයා. මහපොළාව හරනවාට, ඌ තරහයි. ‘හා හා පුරා’ කියා වැඩක් කරන්නට පෙර බහිරවයා මඟ හැරිය යුතු ඒ නිසා.
‘පුරා’ බහිරවයාගේ බිරිඳ. උදලු තලයෙන් පළමු පහර එල්ල කරන්නට පෙර පැරැන්නන් ‘ආං පුරා...’ කිව්වෙ බහිරවයාගේ අවධානය ‘පුරා’ වෙත යොමු කරන්න.
ඒ හඩ ඇසෙද්දිම, බහිරවයා, ‘පුරා’ කොහිදැයි ඉවත බලන අතර, ගොවියා හනික පළමු උදලු පහර ගැසිය යුතුයි. ඒ තමයි බහිරවයා මඟ හැර වැඩේ කරන හොඳම විදිය.
තර්ක විතර්ක... ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙවැනි කෙමකට වැඩේ කළ විට, ටක්කෙටම හරියන බව පැරැන්නන් විතරක් නෙවෙයි, අරලගංවිල මේ අයත් දැන් අත්දැකීමෙන් දන්නවා. කර්ණය, තිතිය, හෝරාව හරියටම බලා ඔවුන් පැළ සිටුවන්නෙත් ඒ නිසාමයි.
ඇත් කර්ණයෙන් සිටවූ පැළයක් කොහේ හෝ යන බල්ලෙක් හාවෙක් හෝ පාගා තලා දමන බවත් එළු හෝ ගව කර්ණයෙන් සිටවූ පැළත් එසේ මොකෙක් හෝ ඇවිත් කා දමන බවත් ඔවුන් අත්දැකීමෙන් දන්නා දෙයක්. නමුත් සිංහ හෝ දිවි කර්ණයෙන් සිටුවන පැළයක් නොව වැටක් වුවද ශක්තිමත්.
හේතුව, එම කර්ණය ක්‍රියාත්මක ඒ මොහොතේදි, විශ්ව ශක්තිය පණ නැති වැටකට වුවද ඉතා හොඳින් ආරෝපණය වන නිසා.
මේ සියල්ල ගැන සැලකිලිමත් ඔවුන් බෝගවලට අවැසි හොඳම පොහොර නිපදවා ගන්නේ ද සොබාවික දේ ඇසුරින්. ‘අං පොහොර’ ඉන් ප්‍රධාන දෙයක්. කිරි එළදෙනෙකගෙන් හැළී ගිය අඟක් සහ ගොම පමණක් භාවිත කර හදන ‘අං පොහොර’ බලවත් වන්නේ කෙම් ක්‍රමයෙන් සහ විශ්ව ශක්තියෙන්.
එක අඟකට අමුගොම පුරවා වලක් හාරා, ඔවුන් එය උඩු අතට වළ දමන්නෙ වතාවත්වලට අනුව. මාස හතරක් ඒ විදියට තිබෙන අං කුහරයේ ඇති අමු ගොමවලට විශ්ව ශක්තිය උරාගන්නවා.
හාර මාසෙකට පස්සෙ ආපහු අඟ ගොඩ ගන්නෙ පුද සත්කාර පවත්වලා. ඒ, ගොම ග්‍රෑම් එකකට වතුර ලීටර් 25ක් දියකරලා මහ පොළොවට ඉසින්නෙ බොහොම භක්තියකින්. හරියට පිරිත් පැන් ඉහිනවා වගේ.
මහපොළොව සුවපත් කරන මේ කෙම් ක්‍රමයෙන් පස්සෙ ගහකොළ උද්දීපනය වෙලා මල් පිපෙන්න ගන්නවා...
‘අං සිලිකා’ කියන්නෙත් තවත් එවැනි ම කෙම් ක්‍රමයකින් හදා ගන්නා සාර්ථක පොහොරක්. එක අඟකට අමු ගොම දමද්දි, අනෙක් අඟට දමන්නෙ සිලිකා වැලි. මේ අං දෙක වළ දමන්නෙත් ගොඩට ගන්නෙත් වෙන් වෙන් වශයෙන් සීත සහ උෂ්ණ ඍතුවලට අනුව වීමත්, විශේෂත්වයක්.
ගොවිතැන සහ වගාව වෙනුවෙන් යදින පුදන ‘සංහිඳ’ පාමුල වළ දැමෙන ‘අං’ වගේ ම, ඒ ඇසුරේ හදා ගන්නා, ගැඩවිලි පොහොර, මේ වගා බිමේ ඉතා වටිනාම නයිට්රජන් බහුල තවත් පොහොර විශේෂයක්.
වැලි තට්ටු ගල් තට්ටු සහ ගොම තට්ටු තැන්පත් කළ බැරල තුළට ගැඩවිල්ලන් දමන්නේ ඉන් අනතුරුව. ඊළඟට, ගිනිසිරියා සහ පිදුරු ගැඩවිලන්ට උඩින්. ජල බිංදුව බැගින් බැරලයට වැටීම සඳහා ඊට උඩින් එල්ලා ඇති කුඩා මුට්ටියකුත් ඒ අතර. බැරලය තුළ ඇති දේ කමින්, ඒ මත වැඩෙන බෝවන ගැඩවිල්ලන්ගේ සාරය මුසු වූ නයිට්රජන් බහුල ද්‍රාවණය, පහළින් තබා ඇති බඳුනකට වැටෙන්නට සලසා ඇත්තෙ බොහොම පරිස්සමට.
මාළු ඔළු සහ වරල් පල් කොට සාදා ගන්නා ‘ෆිෂ් ටොනික්’ එකත්, පලතුරු කැබලි හකුරු සමඟ පල්කොට හදා ගන්නා ‘ෆෘට් ටොනික්’ එකත් ගහක වැලක ගෙඩි මල් පුබුදුවන්නට සමත් රන් හා වටිනා සොබාවික පොහොර වර්ග කියලයි, කපිතාන්වරයා කියන්නේ.
ගෙදරදි ඔබ ඉවතලන මාළු සේදූ වතුර ටිකත්, ගහක වැලක මුලට හැළුවොත් ගෙවත්තට එය, අපූරු සොබාවික පොෙහාරක් වෙන්නෙ ඒ නිසා.
ඉතින්, ඔවුන්ගේ රන් බිමෙහි ඇවිද යන කොයි අතක වුවත් සමනලුන් මෙන් ම, බත් කූරන්ද, සුලබ දර්ශනයක්.
පොළොවෙන් උඩට ඉස්සී සුදු පැහැයෙන් බබළන රාබු වගාවෙන් බ්‍රිගේඩියර් ගුණරත්න, ළපටි ගෙඩියක් දෙකක් ගලවා ගත්තේත්, ඒවා පෙතිකපා, ලුණු ගම්මිරිස් කුඩු දමා අපට පිළිගැන්වූවේත් මේ සියල්ල විඳින අතරේ. කෘත්‍රිම පොහොරවලින් තොර, ඒ අමු රාබු පෙතිවල රසය අමතක නොවන තරම්.
ගොයම පීදුණු පුංචි කුඹුරු කෑල්ල... මලින් පලතුරින් එළවළුවලින් පිරී ගිය ගොවි බිම... දෙහි දොඩම් ගස්වලින් හමා එන පැඟිරි සුවඳ.... අට පෙතියා, දාස් පෙතියා, කපුරු මල් සමූහය පිස හමා එන නැවුම් සුවඳ සිතට ගෙන එන්නේ අපමණ සුවයක්.
අක්කර පහක් පුරා විහිදුණු මේ සියල්ල වටකොට වවා ඇති ඇසළ... බුළු කුඹුක්... ඇහැටු... මී ආදි රූස්ස ගස් සමූහයත් ඒවා විඳිමින් ලද, ඔවුන්ගේ මැටි පැලේ තේ පැන් සංග්‍රහයත්, කලකින් ලද අමතක නොවන මිහිරි අත්දැකීමක්.
පීදීගෙන එන මලට... කරලට... ගෙඩියට හානි කරන කෘමීන්ට මේ ගොවි පාසලේදි ලැබෙන්නෙ අමුතු දඬුවම් බවත් නොකියාම බැහැ.
එනම්, කෘමීන් අකමැති මල් වර්ග, හැම පාත්තියකම අහුමුලු අතර විවිධ උසින් වගා කර තිබීමයි. දාස් පෙතියා සුවඳ.... කපුරු මල් සුවඳ.... නැත්නම් ගොටුකොළ... සුවඳ එකට මුසුවෙලා, හුළගත් එක්ක මේ ගොවිබිම පුරා හමා යද්දි මලට, ගෙඩියට හානි කරන්න එන කෘමීන් පළා යන්නෙ පැත්තෙවත් නොඉඳ.
“ආදර්ශ ගොවිපළක් නිසා, හැම බෝගයක් ම මෙතැන වගා කෙරෙන්නෙ එකට. විවිධ උසින්. ගොයමට... තල වැස්සෙදි වපුරන තල වගාවට වගේ ම, එළවළු වගාව, හතු වගාව... මේ කොයි දේටත් හෙළ ගොවිතැනේ භාවිත කළ හැකි කෙම් ක්‍රම තිබෙනවා. වස විස නැතිව වගා කරන්න පුළුවන් ඒ හැම ක්‍රමයක් ම අපි ඔවුන්ට කියා දෙනවා...”
කැප්ටන් බණ්ඩාර කියන්නේ, සිය සාම්ප්‍රදායික ගොවිතැන හා කෙම් ක්‍රම ගැන.
මාස තුනකට එන කට්ටියක් කොහොමද මේ තරම් දේ ඉගෙන ගන්නෙ... ඔබට හිතේවි.
දින හැටෙන් ඵල දරන මෑ, බණ්ඩක්කා, මිරිස්, වට්ටක්කා වගේ එළවළුත්, මේ කාලය ඇතුළත ඵල දරා අවසන්. ඒ නිසා හැම වෙලාවෙම ඊළඟ කණ්ඩායමට, හැම දේම වගා කළ හැකි හිස් පාත්ති ඉබේ හැදෙනවා.
ගමෙන් රටෙන් ගිළිහී යන අපේ කම, අපේ ක්‍රම තවත් පරම්පරා ගණනකට දායාද කර දෙන්න වෙර දන මේ හොඳ හිත් ඇති මිනිසුන් මෙන් ම, මේ බිමත් හරියට ‘ගස් යට විශ්වවිද්‍යාල’ වගේ.
අරලගංවිල ජීවත්වන හෝ මේ රටේ සාම්ප්‍රදායික හෙළ ගොවිතැනට ලැදියාවක් ඇති ඔබ කාට වුණත් සැබෑ උනන්දුවක් තිබේ නම්, මෙහි ඉගෙනීමේ විරල අවස්ථාව උදාකර ගන්න අමාරු නැහැ.
මහපොළොව සුවපත් කරවන, වස විසෙන් තොර ගොවිතැන දෑතට හුරු කරවන, අරලගංවිල මේ රන් බිමට දවසක් හෝ ඔබත් ගොඩ වන්න.
මොකද, ඔවුන් ඔබට සොබාදහමේ ජීවිතය කියා දෙන නිසා.
ඡායාරූප - ගයාන් පුෂ්පික