අමාලි තමාට පහරදුන් කාන්තාවගේ අත් බෑගය උදුරා ගත්ත විනා පෙරළා පහර දෙන්නට තැත් නොකළාය. ඇය එය අතකින් එල්ලාගෙන දිව ගියේ අෂේන් නොසිටියේ නම් ප්රතිප්රහාර එල්ල නොකොට පලා නොයන බව සිතමිනි.
“මෙන්න හොරෙක්.. අනේ මගේ හෑන්ඩ් බෑග් එක...”
අම්මාගේ උච්ච ස්වරය ද පැන දුවන යෙහෙළියගේ රුව ද එකට එක්ව කුඩා කොලුවා අත රැඳි බෝලය බිම දැමුවේය. එහෙත් මෙවර ඔහු ඒ දෙස බැල්මක් පවා නොහෙළුවේය.
“ශිරෝමා...?”
පියාගේ හඬ පමණක් නොව ඉදිරියට දිගු වූ දෑත ද ඔහු ගලවා ගත්තේය. අනාරක්ෂිතව පාර පනින පුත්‍රයා දුටු නලින් බෙහෙවින් කැලඹුණේය.
“මොකද මේ...? කෝ අම්මා?” යි ඔහු ඇසුවේ අෂේන් වඩා ගනිමිනි. පාරේ වම් පසට දිගු වූ කුඩා සුරත අනුව හිස නඟා බැලූ නලින් දුටුවේ සිය බිරිය පමණි. අත් බෑගය විසි කළ අමාලි වහා සැඟව ගන්නට සමත්ව සිටියාය.
“තව පොඩ්ඩෙන් පුතා වාහනේක හැප්පෙනවා... මොකක්ද ශිරෝමා...?”
ඔහු ශිරෝමා වෙත ගියේ ද කතා කළේ ද වාවාගත නොහෙන කෝපයෙනි.
“ඒ බැල්ලි අහුවුණා නම් මට මං හොඳ වැඩක් කරනවා.” ඇය හතිලමින් ඒ නාඳුනන යුවතියට ශාප කළාය.
“ඔයා මෙහෙමද ළමයව බලාගන්නෙ...? උසාවිය නෙමේ මොකා කීවත් මං ආයෙ නම් ඔයාට ළමයව දෙන්නෙ නෑ ශිරෝමා.”
ඇය දහදිය වැගිරෙන මුහුණින් ඔහු දෙස බැලුවාය.
“අර පට්ට හෙර මගේ හෑන්ඩ් බෑග් එක උදුරගෙන පැනල දුවද්දි මං ළමයගෙ අතින් අල්ලාගෙන සද්ද නැතිව ඉන්න ඕන කියලද ඔයා කියන්නෙ...?”
තවත් කිසිවක් නොපැවසූ ඔහු දරුවා ද වඩාගෙනම පාරේ පසෙක නැවැත්වූ මෝටර් රිය වෙත ඇවිද ගියේය. ශිරෝමා අත් බෑගය අහුලාගෙන වහා පිරික්සා බැලුවේ දිගින් දිගටම අමාලිට දෝෂාරෝපණය කරමිනි.
නිල් පැහැය නෙත සනහාලන නමුදු ඔහු වෙතින් කවර හෝ සොම්නසක් පළ නොවීය. නිදිවර්ජිත රාත්‍රිය ඔහුගේ ප්‍රසන්න බව සොරාගත් සෙයකි.
“මං ගත්තු වැරදි තීරණේ විපාක විඳින්නෙ මේ පොඩි එකා. මට ඉවසන්න බැරි ඒක තමා...” යි ඔහු මිමිනුවේ තවම නින්දේ පසුවන දරුවාගේ හිස පිරිමදිමිනි. තවමත් මව් තුරුලේ උණුසුම විඳිය යුතු අෂේන් පිළිබඳ ඔහුට නොතැවී සිටිය නොහැක.
“අනේ මට සමාවෙන්න මගේ වස්තුවේ” යි සිය පුත්රයාගෙන් සමාව අයදින්නට පවා ඔහුට සිතිණ. ශිරෝමා ආදරණීය අම්මා කෙනෙක් වන බවට බලවත් විශ්වාසයක් ඔහු තුළ තිබිණ. එහෙත් ඇය නිරතුරුව සැලකිලිමත් වූයේ තමාගේ පෙනුම හැරුණු විට ගේදොර යාන වාහන යනාදී භෞතික සම්පත් පිළිබඳ පමණි. අලංකාරය හා පවිත්‍ර බව කෙරෙහි ඇය දැක්වූ අසීමිත අවධානය ද උනන්දුව ද හේතු කොටගෙන නලින් හා අෂේන් වින්දේ බලවත් හිරිහැරයකි.
“හානේ... මොකක්ද මේ කළේ?” යි වරෙක ඇය මහ හඬින් කෑ ගසයි. ඒ බිත්තියේ කුඩා පැල්ලමක් හෝ සෝපාවේ සීරීමක් දුටු සැනිනි.
“අෂේන්”
පිය පුතු දෙදෙනා අතරින් ඇය වරදකරුවා වහා තෝරා බේරා වෙන් කර ගනියි.
“මොකක්ද ශිරෝමා මේකෙ තේරුම? මේක හොටෙල් එකක් නෙමේ. ගෙයක්. ගේක මිනිස්සු ඉන්නකොට කිලුටු වෙනවා අවුල් වෙනවා තමා. ඒක ඔය තරම් බෙරිහන් දෙන්න දෙයක් නෙමේනේ.”
දරුවා වෙනුවෙන් පෙරට එන සැමියා සමඟ බහින් බස්වන්නට ඇය කිසි විටෙකත් මැළි නොවෙයි. ඒ හැම අඬ දබරයක් ම අවසන් වන්නේ ඇගේ ඉකිබිඳුමකිනි. කෝපයෙන් නොව කලකිරීමෙන් ඔද්දල්වන තරුණ පියා කුඩා පුතු ළයෙහි හොවා ගනිමින් සෝපාව මත වැතිරෙයි.
“බිත්තියකට පුටුවකට වඩා වටින්නෙ නැද්ද ළමයෙක්?”
“වැඩියෙන් වටින්නෙ මොකක්ද කියන එක නෙමේනෙ මෙතන තියෙන ප්‍රශ්නෙ. කවුරු වුණත් ගෙදර ලස්සනට පිරිසිදුවට තියා ගන්න ඕන. ළමයෙක් වැරැද්දක් කරනකොට දඬුවම් නොකර බෑනේ. ඔයා වගේ අහක බලාගෙන ඉඳලා හුරතල් කරන්න බෑ මට නම්.”
“එහෙනම් ඉතිං පණ තියෙන ළමයෙක් නෙමේ. පණ නැති බෝනික්කෙක් තමා හරියන්නෙ මේ ගෙදරට.”
එවන් බහින්බස් වීම් දැන් නොඇසෙන නමුදු තමා කුඩා දරුවෙකු සමඟ අසරණව අනාථව ගියේ යැයි හැගෙන වේදනාබර සිතිවිල්ලෙන් නලින්ට ගැලව ගත නොහැක.
“අෂේන්... මගෙ වස්තුවේ මම යන්න ඕන” යි ඔහු කොඳුළේ අපමණ සෙනෙහසිනි.
වෙනත් දිනයන්හී අෂේන් ද ළදරු පාසලට ඇරලවා සේවාස්ථානයට යාමට ඔහු පුරුදුව සිටියි. එහෙත්, සතියේ දිනයක් වීත් අද ළදරු පාසල නොපැවැත්වෙන බව පෙර දිනයේ දැනුම් දෙනු ලැබිණ. ළදරු පාසල් පාලිකාවගේ සමීප ඥාතියෙකුගේ අවමඟුල් උත්සවය හේතු කොටගෙන නලින්ට එතල්ගේ පිහිට පතන්නට සිදුවී තිබේ. නුදුරෙහි වෙසෙන ඇය ඉතා කැමැත්තෙන් අෂේන් වෙනුවෙන් දිව එයි. එහෙත් කුඩා කොලුවා ඇය ප්‍රිය නොකරයි.
“එතල් ආන්ටි එයි දැං. ඔන්න රණ්ඩු නොකර ඉන්න හොඳේ. හවසට මට නරක දෙයක් අහන්න ලැබෙන එකක් නෑ කියලා මම හිතනවා..”
විවර වූ දෑස මෙන් ම ඇදව ගිය දෙතොල ද අෂේන් තුළ ඒ කෙසඟ වියළි ස්ත්‍රිය පිළිබඳව පවත්නා අමනාපය පැහැදිලිව පළ කළේය.
“එතල් ආන්ටි කියන දේ අහන්නෙ නැතුව දඟ කළොත් නම් ඉතිං මට ඔයාව ඔයාගේ අම්මට ම බාර දෙන්න වෙනවා අෂේන්.”
පියාගේ ඒ වචන සැලකිය යුතු වෙනසක් සිදු කළ බව පෙනිණ. ගිරිය යටින් කෑගැසූ කොලුවා ඇඳෙන් බිමට පැන්නේය. ඒ නොතැකූ නලින් කැඩපතට එබුණේය.
“මූණ හෝදගෙනම එන්න... මං තේ හැදුවා..” යි ඔහු පැවසුවේ අෂේන්ගේ ම් බෙරිහන් දීම් හා පැන දිවීම් හුරුපුරුදු බැවිනි. එහෙයින් නාන කාමරයට වන් කොලුවා නැවතත් බෙරිහන් දුන් කල දිව යනවා වෙනුවට හිස පීරමින් සිය පෙනුමේ කනස්සලු සහගත බවක් ඇත්දැයි විපරම් කළේය.
කාර්යාලයේ සගයන් පිළිබඳව පියා කරදර වන අතර පුතු බය බිරාන්තව ගියේ නාන කාමරය තුළ හොල්මනක් දුටුවාක් මෙනි. ඒ තුළ ඔහු සිටිය යුත්තේ තනිව නමුදු තවකෙකු හොල්මන් කිරීම නිසා නොකඩවා විලාප දුන්නේ ය.
වහා පෙරට පැන්න හොල්මන දරුවා දෑතින් අල්ලා ගත්තේය.
“කෑගහන්න එපා අෂේන්.. අනේ කෑගහන්න එපා” යි ඒ අද්භූත ජනක ආගන්තුකයා අයැද සිටි කල්හි ඔහු දෑස විවර කළේය.
“මාව අඳුනන්න බැරිද? ඇයි අනේ මමනෙ අර පාක් එකේ උස ගහට නැඟලා ඔයාගේ බෝලෙ අරන් දුන්නෙ. ඔයාට මතක නැද්ද? ඔයාගෙ අම්මා ඊයේ මා එක්ක රණ්ඩු කළා මතක නැද්ද?”
අමාලි කියාගෙන ගියේ නාන කාමරයේ දොරගුළු දැමීමෙන් පසුවය. ළමයාගේ පියා වෙතින් සැඟවී සිටින්නට ඇයට වුවමනා විය.
“ඔ... ඔයා? ඔයා...?”
භීතිය පහ වී යාමෙන් පසු අෂේන් සිත පැන නැගුණේ අපමණ කුහුලකි. විමතියකි.
“මං ඔයාලගෙ ගෙදර ආවෙ කොහොමද කියාල නේද ඔයා ඔය අහන්න තෙපරබාන්නේ?” යි ඇසූ අමාලි මඳ සිනාවක් පෑවාය.
“මාත් ආවෙ ඔයාලත් එක්ක ඔයාලගේ කාර් එකේම තමා...” යි කී ඇය ශිරෝමාගේ අත් බෑගය විසි කර දමා නලින්ගේ වාහනයේ පසුපස ආසනය යට ගුලිව හුන් අයුරු පහත් හඬින් විස්තර කළාය. ඒ අතරතුර කරාමය ඇර තබන්නට ද වගබලා ගත්තාය. අෂේන් කිසිවෙකු සමඟ කතා කරන බවට කුකුසක් නලින් තුළ පහළ නොවිය යුතුය. එහෙත් ඒ බවක් නොදත් දරුවා “තාත්තේ” යි හඬ නැඟුවේය.
“අ... අනේ අෂේන්... තාත්තට කියන්න එපා” යි අමාලි බැගෑබර හඬින් ඉල්ලා සිටියාය.
“මොකද ළමයෝ?”
නලින්ගේ හඬ වැසි දොරට එපිටින් ඇසිණ. අමාලි දනින් වැටී කොලුවාගේ මුව අතකින් වසා ගත්තාය. එකෙනෙහි ළමා නෙත් හා යෞවන නෙත් සම්මුඛ විය. වචන සියක් දහසකින් වුව කළ නොහෙන යමක් එක් බැල්මකින් කළ හැකි බව සාක්ෂාත් කරමින් අෂේන් හිස සැලුවේය. ඇය සිය සුරත පහත හෙළුවාය.
“අෂේන්... දොර අරින්න...”
නලින් දොර විවර කරන්නට වෑයම් කළේය. එය අගුළු ලා තිබීම පිළිබඳව ඔහු නොසතුටට පත් විය.
“ඇයි මේ දොර ලොක් කරලා..? මං කියලා තියෙනවා නේද දොර ලොක් කරන්න එපා කියලා.”
නලින් කතා කළේ නොසතුටිනි. සිය පුත්‍රයා දිනෙන් දින මුරණ්ඩු වන බවක් ඔහුට හැඟිණ. දෙමාපිය විරසකය ද දික්කසාදය ද දරුවාට බලපාන බව ඔහු සතිුවේ ඉමහත් පශ්චත්තාපයෙනි. දරුවා වෙනුවෙන් ශිරෝමා අරගල නොකළා නොවේ. එහෙත් ඔහු තමාගේ නිදහසට බාධාවක් වනු ඇතැයි සැකය හේතු කොටගෙන ඒ වෑයම මුළුමනින්ම අවංක වූයේ නැත. අෂේන් ද සිය මව වෙත යාම ප්රතික්ෂේප කළේය.
“කෝ ඉතිං... දොර අරින්න පුතා... මට පරක්කු වෙනවා ළමයෝ.”
නලින් මෙවර කතා කළේ මහත් නොඉවසිල්ලෙනි.
“ඉතිං තාත්තා යන්න. මම” යි කියමින් අෂේන් මහත් උවමනාවෙන් තමා දෙස බලා හිඳින යුවතිය වෙත හැරී ඒ වැකිය සම්පූර්ණ කර ගන්නට උපකාර කරන්නැයි හඟවන බැල්මක් හෙළුවේය. ඇය දිය නාන අභිනයක් පළ කළාය.
“මම... මම... නානවා තාත්තා... ඔයා යන්නකෝ.”
නෑම කෙසේ වෙතත් මුහුණ සේදීමට ද සිය පුතු මැළි වන බව දන්නා නලින් විමතියට පත් විය.
“ඔයා නානවා... මේ උදේම? කවදාවත් නැතිව...? ඒ මොකද අෂේන්...?”
“අනේ ඉතිං... ඔයා යන්නකෝ තාත්තා...”
“හරි ඉතිං... ඔයා නානවා නම් මම ඇතුළට එන්නම ඕනනේ.”
අමාලි යටිතොළ විකා ගනිමින් හිස කැසුවාය. ඔහුගේ පැමිණීම වළක්වාලන්නේ කෙලෙසදැයි කල්පනා කරන්නාක් මෙනි.
ලබන සතියට...