සැපට යන්න කියල දෙන්න කොළඹට එන සුපිරි කෝච්චි | Page 2 | සිළුමිණ

සැපට යන්න කියල දෙන්න කොළඹට එන සුපිරි කෝච්චි

අපේ දුම්රිය සේවාව මේ වන විට වසර 150ක කාලයක් ඉක්මවා ඇත. එහෙත් අප රටේ දුම්රිය සංවර්ධන කටයුතු සිදු වූවා නම් ඒ සියල්ල ඉබි ගමනිනි. නව දුම්රිය මාර්ග දෙකක් පසුගිය කාලයේදී ඉදි කෙරිණි. එකක් කැලණියේ සිට සපුගස්කන්ද දක්වාය. එය දුම්රියක් නොදැකම වසාදැමිනි. අනෙක් මඟ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාය. එයද පොසොන් පෝය දිනවලදී දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කරනු ලබන නිරර්ථක කටයුත්තක් විය.

කෙසේ වෙතත් මෑත දශක කිහිපයේ අපේ දුම්රිය සේවාවට යම් ආකාරයක කලඑළි වීමක් අපට දක්නට ලැබිණි. එයින් පළමුවැන්න අතරමඟ නවතා දමා තිබුණු මාතර-කතරගම දුම්රිය මඟ තැනීමේ කටයුතු ඇරැඹීමයි. එහි පසුගිය දා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය ආරම්භ කෙරිණි. දෙවැන්න කුරුණෑගල සිට හබරණ දක්වා වූ දුම්රිය මාර්ගය ඉදි කිරීමයි. මේ වන විට එහි ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම අවසන් කර, ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු අරඹා ඇත. ඒ සඳහා වන ගිවිසුම්ද චීන සමාගමක් සමඟ අත්සන් කර තිබේ.

දුම්රිය මාර්ග පද්ධතිය මෙසේ දීර්ඝ වෙද්දී දුම්රිය සේවාව නවීකරණය කළ යුතු විශේෂ අංශ 3ක් අපට දැකිය හැකිය. දුම්රිය මැදිරි හා එංජින් ඇණිය වැඩිදියුණු කිරීමත්, දුම්රිය ධාවන නියමිත වේලාව සිදු කිරීමත්, නවීන තාක්ෂණයට අනුගත වීමත් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මේ සිව් මානයන්ගෙන් සිදු වන සංවර්ධනයේදී ඉතිහාසයේ නොවූ මෙහෙයුම් දැන් සිදු වෙයි. එයින් එක් මෙහෙයුමක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය ශක්තිමත් කිරීමයි. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය ඇංජින් ගණන 97කි. බලවේග කට්ටල 100කි. ප්‍රවාහන අමාත්‍යාංශයේ අපේක්ෂාව මේ ඇණිය වත්මන් මඟී අවශ්‍යතාවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කර සංවර්ධනය කිරීමය.

එසේම මාර්ග තදබදය අඩු කිරීම පිණිස ඛනිජ තෙල් හා කන්ටේනර් ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් එකතු කිරීමද සංවර්ධනයේ පියවරකි. ඒ අනුව පසුගිය 16 වැනිදා කන්ටේනර් රථ ප්‍රවාහන බහාලුම් ගැල් 10ක් හා ඉන්ධන ප්‍රවාහන ගැල් 5ක් කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයට සේන්දු විය. ඒ එම ගැල් ආනයනයේ පළමු පියවර ලෙසිනි.

අවසන් වශයෙන් බහාලුම් ගැල් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ වසර 30කට ඉහතදීය. කන්ටේනර් රථ ප්‍රවාහනය පිණිස බහාලුම් 20ක් අලු‍තින්ම මෙරටට ගෙන්වීමේ ව්‍යපෘතිය දැන් ක්‍රියාත්මකය. අඩි 40 බහාළුම් ප්‍රවාහනය කළ හැකි එම ගැලක වටිනාකම ඇ.ඩො. 84, 200කි. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. මිලියන 15කි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ආයෝජනය කෙරිණි. ඒ ණය යෝජනා ක්‍රමය යටතේම ඉන්ධන ප්‍රවාහන ගැල්ද ආනයනය කෙරේ.

එක් ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම ඇ.ඩො. 85 500කි. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 15.2ක් වේ. ඉන්ධන ලී. 45,000ක් (ගැලු‍ම් 10,000ක්) එක් ගැලකින් ප්‍රවාහනය කළ හැකිය. මීට පෙර ඉන්ධන ගැල් ලංකාවට ආනයනය කර ඇත්තේ පාකිස්තානයෙන්, මීට වසර 11කට පෙර - එනම්:2008 - වසරේදීය.

නව ඉන්ධන දුම්රිය ගැල් වායු තිරිංගවලින් සමන්විත අතර ඒවා වෙනුවෙන්ම මෙරටදී පැරැණි තිරිංග පද්ධති (Vacuum Brake) සහිත රුමේනියන් තිරිංග මැදිරි 5ක් වායු තිරිංග සහිත තිරිංග මැදිරි බවට පත් කර ඇත.

“දුම්රිය ලාභ ලැබිය හැකි සේවාවක්. එය ලාභ ලබන ව්‍යාපාරයකට වඩා මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තුවට ලාබ ඉපයිය හැකි භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහනය සිදු කළ යුතු වෙනවා. රජයට, රටට බරක් නොවී මේ සේවාව පවත්වාගෙන යාම සඳහා දුම්රිය සේවාවේ නාස්තිය දූෂණය නැති කළ යුතුයි. දුම්රියේ ආදායම් මාර්ග පිටස්තර පුද්ගලයන්ගේ සාක්කුවලට යෑම නතර කළ යුතුයි. යහපත් කළමනාකාරිත්වයකින් දුම්රියේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතුයි. දැන් අප කරමින් සිටින්නේ ඒ යහපත් කළමනාකරණය යටතේ දුම්රියේ සංවර්ධනය කඩිනම් කරමිනි. විශේෂයෙන්ම මඟී ප්‍රවාහනයට අමතරව දුම්රියෙන් එන සෙසු ආදායම් ඉහළ නංවාගැනීමට අප කටයුතු කරනවා..” ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අදහසයි ඒ.

එසේම මේ වන විට නව බලවේග දුම්රිය කට්ටල ආනයනයටද කටයුතු කර ඇත. ඒ අනුව මේ වන විට එස් 13 බලවේග කට්ටල ඉන්දියාවෙන් ආනයනය කෙරෙමින් පවතී.

ඒ ව්‍යාපෘතිය යටතේ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ නව දුම්රිය මෙරටට ගෙන්වීමට අපේක්ෂිත අතර, එස් 13 වර්ගයේ බලවේග දුම්රිය 12ක් එයට අයත්ය. මේ එක් දුම්රියක වටිනාකම ඇ.ඩො. 9,674,533කි. එයින් 6ක් ලංකාවට දැනටමත් ගෙනැවිත් තිබේ. කොළඹ - කන්කසන්තුරේ අතර ධාවනය කරනු ලබන උත්තර දේවි දුම්රිය ඒ බලවේග කට්ටලයක් මඟින් ධාවනය කෙරේ. ඉතිරි දුම්රිය 6 මේ වසර අවසන් වීමට පෙර දුම්රිය ඇණියට එක් වෙයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය භූවිෂමතාව අනුව විවිධාකාර වෙයි. එකක් තැනිතලාය. අනෙක උඩරට මාර්ගයයි. තැනිතලාවේ ධාවනය කෙරෙන දුම්රිය එංජින් උඩරට මාර්ගයට නොගැළපේ.

උඩරට මාර්ගයේ ධාවනයට අවශ්‍ය වන්නේ දිගින් අඩු මැදිරි හා දුම්රිය එංජින්ය. විශේෂයෙන්ම දිගින් අඩි 50ක් පමණ වන දුම්රිය මැදිරි ඒ මාර්ගයේ යෙදවීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එබැවින් ඉන්දියාවෙන් ආනයනය කළ අඩි 65ක් දිගින් යුත් එස් 13 පන්තියේ දුම්රිය කඳුකරයේ ධාවනය කළ නොහැකිය.

මේ වන විට කොළඹ සහ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සංඛ්‍යාව 8කි. මහනුවර සහ කොළඹ අතර දිනපතා ධාවනය වන දුම්රිය සංඛ්‍යාව 12කි. සති අන්තයේ කොළඹ සිට මහනුවර දක්වා සහ ඇල්ල/ මහනුවර අතර ධාවනය වන දුම්රිය සමඟ සියල්ල 18ක් පමණ වේ. මේ සේවා වාර වර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස එස් 14 බලවේග කට්ටල චීනයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

මේ දිනවල එම දුම්රිය චීනයේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරමින් ඇත. එයින් දුම්රිය දෙකක් පූර්ණ වායුසමනය කළ ඒවාය. ඒ එක් දුම්රියකට අමෙරිකානු ඩොලර් 10,429,778.66ක් වැය කර ඇත.

නව එස් 14 බලවේග කට්ටල දුම්රියයන් මීට පෙර ආනයනය කරන ලද එස් 12 චීන බලවේග දුම්රිය කට්ටලවලට බොහෝ සෙයින් සමාන අතර එස් 14 දුම්රියයන්ගේ පැහැයේ සුළු වෙනසක් කිරීමට චීන සමාගම විසින් කටයුතු කර තිබේ. මේ වන විට දුම්රිය නිපදවීමේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතී. තව නොබෝ දිනකින් පළමු දුම්රිය මෙරටට ආනයනය කෙරෙනු ඇත. එය උඩරට මාර්ගයේ පරීක්ෂණ ධාවනයෙන් පසුව ඉතිරි දුම්රියයන්ද මෙරටට ගෙන්වනු ඇත.

නව බලවේග දුම්රිය අශ්වබල 2000ක එන්ජින් දෙකක් සහිතව අශ්වබල 4000ක අධිබලයකින් යුක්තය. එම නිසා කඳුකරයේ පහසුවෙන් ගමන් කළ හැකිය.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ එංජින් බළ ඇණිය ශක්තිමත් කිරීම පිණිස එම් 11 දුම්රිය එංජින් 10ක් මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කෙරෙමින් පවතී. ඒ එක් එංජිමක වටිනාකම ඇ. ඩො. 4,250,000කි. එසේම දුම්රිය මැදිරි 160ක්ද එසේ ආනයනය කෙරෙන අතර, පැරණි දුම්රිය මැදිරි 200ක් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක් විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇත.

මේ වන විට දුම්රිය ස්ථානද නවීකරණය කර ඇති අතර, කඩිනමින් මඟී පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අනුව කාඩ්පත් මඟින් පවා වාර ප්‍රවේශ පත්‍ර මිලට ගැනීම පිණිස කටයුතු කෙරෙන අතර, ආසන වෙන් කරගැනීමේ කටයුතු නිවෙසේ සිටම කරගැනීමේ පහසුකම මේ වන විටත් අරඹා ඇත.

ඉදිරියේදී දුම්රිය කාලසටහන් මෙන්ම ප්‍රමාද පවා අන්තර්ජාලයෙන් දැනගැනීම සඳහා නවීන තාක්ෂණය යොදාගැන්මට අදහස් කරන අතර, දුම්රිය සේවාවේ නවෝදයක් ඉදිරි වසරේදී අපට ඇස් පනා පිටම දැකගත හැකි වනු ඇත.

Comments