දොළොස් මසක් ගත වූ තැන තලාවේ බැංකු කොල්ලකරුවන්ට කූරු ගනින්න සැලැස්වූ පොලිස් මෙහෙයුමේ පසුබිම | Page 2 | සිළුමිණ

දොළොස් මසක් ගත වූ තැන තලාවේ බැංකු කොල්ලකරුවන්ට කූරු ගනින්න සැලැස්වූ පොලිස් මෙහෙයුමේ පසුබිම

අනුරාධපුර තලාවේ පිහිටි ලංකා බැංකු සොරකම වාර්තා පොත්වල ලියැවී ඇත්තේ මෑත ඉතිහාසයේ මෙරට සිදු වුණු ලොකුම බැංකු කොල්ලය ලෙසිනි. සොරා ගනු ලැබූ රන් භාණ්ඩ සහ මුදල්වල වටිනාකම රුපියල් කෝටි 16කට අධිකය.

අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මේ බැංකු ශාඛාව සොරුන් බිඳින්නේ ඉකුත් වසරේ ජූනි මස පොසොන් පොහොයත් එක්කමය. එදා ජූනි 29 වැනිදාය. දවස සිකුරාවකි. සවස 6.40ට බැංකුවේ දොරගුළු වසාදමන කළමනාකරු එහි යතුර භාර දෙන්නේ තලාව පොලිස් ස්ථානයටය. දින දෙකක නිවාඩුවකින් පසු නැවතත් පොලීසියෙන් යතුරු භාර ගන්නා කළමනාකරු බැංකුව විවෘත කරන්නේ සඳුදාය. එදා ජූලි 02 දාය.

සොරුන්ගේ ග්‍රහණයට බැංකුව ලක්ව ඇතැයි කොයි කවුරුත් දැන ගන්නේ එවිටය. බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී ඇති සොරුන් සේප්පු බිඳ තිබුණේ ග්‍රයින්ඩර් තලවලින් අගුළු කපාය. ගණනය කිරීම්වලට අනුව සොරාගෙන තිබුණු රන්භාණ්ඩවල බර කිලෝග්රෑම් 22 යි ග්රෑම් 806 කි. ඒ රන් භාණ්ඩ තලාවේ අහිංසක ගොවීන් විසින් ගොවිතැන් වෙනුවෙන් උකස් කළ ඒවාය. ගණනය කිරීම්වලට අනුව එකී රන්භාණ්ඩවල පමණක් වටිනාකම රුපියල් කෝටි 14කට අධිකය. ඊට අමතරව සේප්පුවල තිබුණු මුදල් ප්‍රමාණය රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකි. ඒ අතර භාවිතයෙන් ඉවත් කිරීමට තිබුණු පලුදු වූ රුපියල් ලක්ෂ 6ක මුදලක්ද විය. රන් භාණ්ඩ සමඟ ඒ සියල්ල සොරුන් රැගෙන ගොස් තිබිණි.

මේ ආකාරයේ සොරකම් කිහිපයක්ම ඒ වන විටත් අනුරාධපුරයේ සිදුව තිබුණේය. ඉහළ පොලිස් අණකින් පරීක්ෂණ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරෙන්නේ ඒ අනුවය.

ඒ අතර එප්පාවල පොලිසියේ ස්ථානානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රෝහණ අධිකාරී මහතාද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සැරයන් සෙනෙවිරත්න (2342) සහ කොස්තාපල් අලහකෝන් (33409) සමඟ එක්ව තලාවේ බැංකු සොරකම ගැන විමර්ශනයක නිරත වූයේ ඔවුන්ට ලැබී තිබුණු රහසිගත තොරතුරක් ඔස්සේ යමිනි.

එකී තොරතුර ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ පැන්නූ එප්පාවල පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායම තලාව බැංකු සොරකමේ මහා මොළය හඳුනාගත්හ. ඔහු ඉපලෝගම අජන්තය. කුංචිකුලමේ පදිංචිකරුවකු වන ඔහු වෘත්තියෙන් රියැදුරෙකි. අනුරාධපුර ආශ්‍රිතව සිදු වන මරංචි ජාවාරමේ ප්‍රධාන පුරුකක් වන්නේ ඔහුය. සමාජයේ කළු චරිතයක් වන ඔහුට එරෙහිව ඇති නඩු ගණන පමණක් 54කි. ඒ අතර ඇත්තේ මරංචි ජාවාරම සම්බන්ධයෙන් නඩු පමණක් නොව, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් නඩුද ගොන්නකි. අජන්තගේ සහෝදරිය පොලිස් කොස්තාපල්වරියකි. පියා විශ්‍රාමික රජයේ සේවකයෙකි.

ඉපලෝගම කුංචිකුලමේ පිහිටි නිවෙසේ අජන්ත ගත කරන්නේ දැඩි ආරක්ෂාවක් සහිතවය. නිවෙස වටේම ඇත්තේ ආරක්ෂක කැමරාය. එසේ සවි කර ඇති කැමරා ගණන 16කි. එසේම ඔහුට බිරින්දෑවරුද දෙදෙනෙක් සිටිති. බිරින්දෑවරුන්ට සිටින දරුවන් ගණන 5කි. ඒ දරුවන්ගෙන් දෙදෙනකු අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකය.

අජන්ත ගැන බොහෝ තොරතුරු රැස් කරගත් එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත රෝහණ අධිකාරී, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සමඟ සැලසුමක් සකස් කරන්නේ අජන්තගේ කල්ලියට බුද්ධි නිලධාරියකු රිංගවා තවදුරටත් බැංකු සොරකම ගැන තොරතුරු රැස් කරන්නටය. එය හිතූ තරම් ලෙහෙසි-පහසු කටයුත්තක් නොවූවත් මරංචි ජාවාරමක් හරහා බුද්ධි නිලධාරියෙක් සූක්ෂ්ම සැලසුමක් ඔස්සේ අජන්තගේ කල්ලියට රිංගුවේය.

ඒ බුද්ධි නිලධාරියාට අජන්තගේ විශ්වාසය දිනාගැනීමට එතරම් කාලයක් ගත නොවීය. තලාවේ ලංකා බැංකු ශාඛා සොරකමේ එතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු ගලා එන්නේ ඒත් සමඟිනි. එකී තොරතුරුවලට අනුව තලාවේ බැංකු සොරකම අජන්ත සැලසුම් කරන්නේ මාස දෙකක් තිස්සේය. ඔහුගේ සැලසුම්වලට අනුව අනුරාධපුරයේ සිදු වූ මූල්‍යායතන බිඳ කළ සොරකම් අදටත් ඇත්තේ අභිරහස් ලෙසිනි. පොලිසියේ ඉහළ නිලධාරියකුටද සැකයේ ඇඟිල්ල දිගු වූ සොරකම් කිහිපයක්ම ඒ අතර විය. එකී සොරකම්වල තොරතුරු පවා බුද්ධි නිලධාරියා රැස් කරගත්තේය. එහෙත් ඔහුගේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ තලාවේ බැංකු සොරකමටය. අජන්ත එම සොරකම සැලසුම් කිරීම සඳහාම දින කිහිපයක්ම රැය පහන් කරන්නේ තලාවේය. ඒ රාත්‍රී කාලයට තලාව නගරයේ ආරක්ෂාව ගැන සොයා බලන්නය. තලාව නගරය රාත්‍රියට අනාරක්ෂිත බව අජන්තට පෙනී යන්නේ එවිටය. තලාව පොලීසිය පේන නොපෙනෙන දුරින් ලංකා බැංකුව පිහිටා ඇතත් එහි නිසි ආරක්ෂක වැඩ පිළිවෙළක් නොවීය. ලංකා බැංකුවම බිඳින්නට අජන්ත තීරණය කරන්නේ එබැවිනි.

ප්‍රධාන මාර්ගයට මුහුණලා බැංකුව පිහිටා ඇතත් බැංකුව පිටුපසින් ඇත්තේ උතුරු දුම්රිය මාර්ගයයි. රාත්‍රියට ඒ පැත්ත අඳුරේ ගිලෙන බැවින් අජන්තගේ සැලසුම වන්නේ දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණ බැංකුවේ පිටුපස දොර බිඳගෙන ඊට ඇතුළු වීමය. පොසොන් සතිය ඒ සදහා ඔහු යොදාගන්නේද පොලීසිය ඒ සතිය තුළ දැඩි කාර්යබහුලත්වයට පත් වන බව දැනගෙනය.

බැංකු බිඳිල්ලට අජන්ත සිය කල්ලියේ ගෝලබාලයන්ගෙන් තෝරාගන්නේ දස දෙනකි. ඒ අය අතර ත්‍රිවිධ හමුදාවේම නියෝජනයන් තිබුණේය. සේවයෙන් පලා ගිය සෙබළු මෙන්ම නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වූ අයද ඒ අතර සිටියහ. මෙහි පහසුකම් සපයන්නා වූයේ හෝටල් හිමියෙකි. බොහෝ සැලසුම් සකස් වූයේ ඉපලෝගම පිහිටි ඔහුගේ හෝටලයේදීය.

සිය කණ්ඩායම සමඟ එදා රාත්‍රියේ අජන්ත තලාවට පැමිණෙන්නේ වෑන් රථයකිනි. ඒ රථය අජන්තගේය. එහි ඉදිරිපස වීදුරුවේ රතු කුරුස ලාංඡනයක්ද අලවා තිබිණි. එම ලාංඡනය පදවියේ වෛද්‍යවරයෙකුට අයත් වූවෙකි. තලාවට පැමිණි වෑන් රථය නතර කෙරෙන්නේ දුම්රියපොළ පාරේය. එතැන් එහි සිට අජන්ත සිය ගෝලබාලයන් සමඟ බැංකුවේ පිටුපසට එන්නේ දුම්රිය මාර්ගය දිගේය. ඔවුන් අත වයර් රෝල් මෙන්ම ග්‍රයින්ඩරයක්ද ග්‍රයින්ඩර් තල මිටියක්ද විය. ඒ සේප්පුව කපන්නටය. බැංකුවේ පිටුපස දොරගුළු බිඳ ඊට ඇතුළු වන අජන්ත ඇතුළු පිරිස මුලින්ම සිය ග්‍රහණයට ගන්නේ ආරක්ෂක කැමරා පද්ධතියයි. අනතුරුව ඔවුන් පැය කිහිපයක්ම බැංකුව තුළ ගත කරමින් ග්‍රයින්ඩර් තල 11ක් ගෙවී යන තුරුම සේප්පුව කැපුවෝය. අනතුරුව සේප්පුවේ තිබුණු රන් භාණ්ඩ ඇසුරූ පොලිතීන් පැකට් 273ක් සමඟ එහි තුබුණු සියලු මුදල් මල්ලකට පටවාගත් ඔවුන් බැංකුවෙන් පිටව යන්නේ ඇඟිලි සලකුණක් වත් එහි සටහන් වන්නට ඉඩ නොතබමිනි.

එදා ඔවුන් කෙළින්ම යන්නේ ඉපලෝගමටය. අනතුරුව ඔවුන් සොරාගත් රන් භාණ්ඩ අලෙවි කරන්නේ කෑගල්ලේ සහ බකමූණේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසල් දෙකකටය. එහිදී ඔවුන්ට ලැබෙන මුදල් බෙදාගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක්ද පොලීසිය සතුව දැන් ඇත. එකී මුදලින් වැඩි කොටසක් බෙදී යන්නේ අජන්තටය. එම මුදලින් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා නවීන කැබ් රථයක්ද, රුපියල් කෝටියක ජීප් රියක්ද ඔහු මිල දී ගත්තේය. ඊට අමතරව අනුරාධපුර පැත්තෙන් ඉඩම් කිහිපයක්ද ඔහු මිල දී ගත්තේ අනාගත ආයෝජනයන් ලෙසිනි.

මේ ආකාරයට තලාවේ බැංකු සොරකමේ සියලු තොරතුරු එකිනෙක හෙළි වූවත් අජන්තට එරෙහිව ශක්තිමත් සාක්ෂි නොවීය. තමන් පසු පස පොලිසිය පන්නන බව ඒ වන විටත් අජන්තට ඉව වැටී තිබිණි. එබැවින් ඔහු සැලසුම් කරන්නේ ටික කලක් සැඟවී සිටින්නය.

එහෙත් ඔහුට ඒ අරමුණ ඉටු කරගන්න ඉඩක් නොවීය. සිය ගෝලබාලයන් පස් දෙනකු සමඟ එප්පාවල කිරලෝගමදී අජන්ත අත්අඩංගුවට ගනු ලබන්නේ සුඛෝපභෝගි මෝටර් රථයක නැඟී ගමන් කරමින් සිටියදීය. ඒ ඉකුත් ජනවාරි 20 දාය. ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්රෑම් 1 ග්රෑම් 300ක්ද පොලීසිය සොයාගත්හ. පොලීසිය එදා ඔවුන් තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙනි. තලාවේ බැංකු කොල්ලයට ඔවුන්ගේ ඇති සම්බන්ධය ගැන අධිකරණයට නොකියන්නේ තවදුරටත් ඔවුන්ට එරෙහිව සාක්ෂි රැස් කරගැනීමට කාලයක් අවශ්‍ය වූ බැවිනි. ගංජා සමඟ ඔවුන් අත්අඩංගුවට පත් වීම ඊට මහත් රුකුලක් විය. මාස කිහිපයක්ම ඔවුන්ට සිදු වන්නේ හිරගෙදර තපින්නය. ඇප ලැබීමට නියමිතව තුබුණේ ඉකුත් 29 දාය. ඒ බව දැන සිටි අජන්ත 28 දා අනුරාධපුර බන්ධානාගරය තුළදී සාදයක් පවත්වන්නේ නිදහස් වීමේ ප්‍රීතිය වෙනුවෙනි. ඒ අතර අජන්තගේ පියා ඇප ලබන සිය පුතා තඹුත්තේගම සිට ඉපලෝගමට රැගෙන යන්නට සැලසුම් කරන්නේ රථ පෙළපාළියකිනි. එදින රාත්‍රියේ අජන්ත සහ ගෝලබාලයන් වෙනුවෙන් සාදයක්ද ඉපලෝගම හෝටලයේ සංවිධානය වෙමින් තිබුණේය.

ඒ සියලු සැලසුම් බිඳ වැටෙන්නේ 29 දා ඇප ලැබීමත් සමඟ අධිකරණ භූමියේදීම ගෝලයන් දෙදෙනකුද සමඟ අජන්ත නැවතත් පොලිස් අත්අඩංගුවට පත් වන බැවිනි. ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ තලාවේ බැංකු සොරකමටය. ඒ එක් අයෙක් හමුදාවෙන් පලා විත් සිටින්නෙකි. ඔහු සඳුන් මධුසංඛ නොහොත් සුද්දාය. අනෙකා ගුවන් හමුදාවෙන් ඉවත් වූ සෙබළෙකි. තලාවේ වැසියකු වන ඔහු අනුර කුමාර බස්නායකය. තලාවේ බැංකු සොරකමට අත්අඩංගුවට ගනු ලබන මුල්ම කණ්ඩායම මොවුහුය. සොරා ගත් රන්භාණ්ඩ විකුණා මිල දී ගත් වාහන දෙකත් ඒ සමඟම පොලිස් භාරයට ගනු ලැබිණි. පොලීසිය පවසන්නේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි. එසේම සොරා ගත් රන්භාණ්ඩ අලෙවියෙන් ලැබුණු මුදල්වලින් මිල දී ගත් දේපොළ විශාල ප්‍රමාණයක් සොයාගන්නටද තිබේ.

මේ සිද්ධි දාමයෙන් සනාථ වන සදාතනික සත්‍යතාවක් තිබේ. එය නම් ලොව කිසිදු අපරාධයක් සිදු කර සදාකාලයට සැඟවී සිටිය නොහැකිය යන්නයි. කොතරම් සූක්ෂ්මව යම් අපරාධයක් සැලසුම් කර සිදු කළත් කවරදා හෝ එය නීතියේ රැහැනට හසු වනවා නිසැකය.

Comments