කිරි දරුවන් 500 කට වැඩියෙන් මෙලොවට උපද්දවූ වින්නඹු මවක් කියන කතා
1948 කවුඩුල්ල ජනපදය ඉදිවී පනහ දශකය වනවිට මහ කැලය එළිපෙහෙළි වී යම්තම් ජනපද ඉදිවූවා පමණි. දහසක් බාධක මැද දිවි ගමන ගොඩ නඟන්නට මිනිසුන් අප්‍රමාණ දුක්විඳි යුගයක කන්දක් පල්ලා දරුවන් මෙලොවට උපද්දන්නට වෙරදරන මවුවරුන්ට ශක්තියක් වූ දිරිය මවකගේ ජීවිත ආවර්ජනයේ කථාවයි මේ.
ඇය නමින් ලීලාවතී අතපත්තුය. මේ වනවිට දිවිගමනේ 91 වැනි විය ගත කරන්නීය. කිරිකැටියන් 590 ක් පමණ බිහි කිරීමට දායක වී ඇති බව ඇය මහත් අභිමානයෙන් පවසන්නීය. වියපත් වුවද ඇය තවමත් හොඳින් කන් ඇහෙන ඇස් පෙනෙන හොඳ සිහියෙන් යුතු ශරීර සෞඛ්‍යයෙන් යුතු දිරිය මවකි. ඇගේ උපන්ගම කොළඹ දෙහිවල ය. ඒ කාලයේ දෙහිවල සතුන්වත්ත සෑදීමට ඉඩම් දී ඇත්තේ සිය මුතුන් මිත්තන් බව ඇය පවසයි.
“මම හැදුණේ වැඩුණේ පාසල් ගියේ දෙහිවල වුණත් මට අවුරුදු 18 ක් විතර වෙනකොට මගේ නෑනා කෙනෙකු වන ඇලිස් නෝනා සමඟ තමයි ජීවත් වුණේ. මගේ නෑනා රාජකාරි කළේ තලවකැලේ රෝහලක. ඇය ගමේ දරුවන් බිහි කිරීම ගැන හරිම ජනප්‍රියයි. මමත් ඇය සමඟ ඇගේ සහයට බඩදරු අම්මලා ඉන්න ගෙවල්වලට යනවා වින්නඹු රාජකාරියට.
නෑනාගේ තනි නොතනියට අත් උදව්වට යන කොට වින්නඹු ජීවිතය පිළිබඳ හොඳ අත්දැකීම් ලැබුවා. පසුකාලයක බයක් නැතුව එම කටයුතුවලට පුරුදු වුණා. ඒ කටයුත්තදි අපි ගෙන යන ලොකුම වටිනාම හා අත්‍යවශ්‍ය භාණ්ඩය තමයි පිරිසුදු අලුත් කතුර. එය කහවතුරින් හෝදල පිරිසුදු රෙදි කඩක ඔතාගෙන මහ වස්තුවක් ගෙන යන විදිහට තමයි ගැබිනි අම්මලාගේ ගෙවල්වලට ගොඩ වදින්නේ.
සමහර ගෙවල්වලදී දරුවටයි අම්මටයි කරදරයක් නැතිව බබා වදා දෙන්න කියලා කිරි අම්මා දානයකට ඒ අය බාර වෙනවා. තවත් අය ගම්බාර ශුද්ධ සූනියම් දෙවියන්ට පහනක් දල්වලා කියනවා වැදූ ගෙයි ලෙඩ හැදෙන්නේ නැතුව බබා ලැබෙන්න කියලා. පනහ දශකයේ පුල්ලයාරේ දෙවියන් ගැන පුදුම භක්තියක් විශ්වාසයක් ජනතාවගේ තිබුණේ.
බඩ දරු අම්මලා බරෙන් නිදහස් කරන්න යන කොට මහ රාත්‍රියේ කැලය මැදින් යන්න වෙනවා. හුළු අත්ත බැඳගෙනයි යන්නෙ. ඒ කාලයේ යාන වාහන මෝටර් සයිකල් ත්‍රිවිල් කාර් වගේ දේවල් තිබුණේ නෑ. බර භාග ගොන් කරත්ත තමයි තිබුණෙ. රාත්‍රි මැදියම් කාලයේ පාන්දර කාලයේ මේ සඳහා යන්න වෙනවා. ඒ වගේ වෙලාවට මම මින්නේරි දෙයියන්ට පහනක් දල්වලා පඬුරක් වෙන් කරලා අතු කෑල්ලක් ගහක එල්ලලා යනවා. අපි දෙන පිං බාරගෙන පුල්ලයාර් දෙවියන් අම්මත් දරුවත් මාත් ආරක්ෂා කරන්න කියලා තමයි මේ සියලු දේ කරන්නෙ. හුඟක් වෙලාවට අලුයම ජාමෙට තමයි බඩ දරු අම්මලාට විළිරුදා අමාරු හැදිල “වෙද හාමිනේ මුණ ගැහෙන්න ආවේ” කියලා මා කැටුව යන්න වැඩිපුරම එන්නේ පිරිමි අයයි. ඒ එද්දි සමහරු මත්පැන් බීලයි එන්නේ. ඒ අය කොහොම ආවත් මගේ හිතට කිසිම බයක් සැකක් ආවේ නෑ.
එක දවසක් රාත්‍රි නමය දහය විතර වෙන කොට මා එක්ක යන්න කීප දෙනෙක් ආවා. මමත් සූදානම් වෙලා ඒ අය සමඟ ගියා. මගේ තනියට මල්ලිත් ආවා. මල්ලිත් උස මහත හැඩි දැඩි යෝධ පුරුෂයෙක්. මේ අය මාව රවට්ටාගෙන කැලය පැත්තට ගොස් මට අතවර කරන්නයි සූදානම් වුණේ.
ඔවුන් අතේ කෑලි පහේ එවරස්ට් ටෝච් එකකුත් තිබුණා. තවත් අය කැලය ඇතුළේ ඉඳලා ආවා. ලොකු ටෝච් එක ඒ මනුස්සයන්ගෙන් උදුර ගත්ත මල්ලි ටෝච් එකෙන් හා අතින් පයින් ඒ අයට ගැසුවා. උන්ට හරියට කෙළින් හිටගන්නවත් බෑ. මත්පැන් බීලා හිටියේ.
මම හිඟුරක්ගොඩ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කළා. ඒ මිනිස්සු පොලිසියට ගෙන්නලා අවවාද කරලා වැඳලා මගෙන් සමාව ගන්න කීවා. මීට පස්සෙ ඔය වගේ පහත් වැඩ කරලා මේ පැත්තේ එන්න එපා කියලා පොලිසියෙ ලොකු මහත්තයා කිව්වා.
මීට පස්සේ ළමයි ගොඩ දාන්න රාත්‍රි කාලයේ යන්න තහනම් කියලා පොලිසියෙන් මට අවවාද කළා.
බබා ලැබෙද්දි බබා ජීවත් වූ බැලුම් බෝලයක් වගේ වැදැමහ සමඟයි දරුවා එළියට එන්නේ. අපි ළමයා දෝතින්ම අරගෙන කතුරට වැඳලා අරගෙන පෙකණිවැල කපනවා. දරුවා වැදැමහ ඇතුළේ ජීවත් වෙන කොට පෙකෙණි වැලෙනුයි සිරුරට අවශ්‍ය ශක්තිය විටමින් ජීව පදාර්ථ පෝෂණය ලැබෙන්නේ. බොහෝ දරුවන් එළියට එනවිට ඔළුව හිරවී ඔළුකටුව බුරුල් වීම නිසා ඔළුව දිගැටි හැඩයක් ගන්නවා. ඒ වෙලාවට අපි ඔළුව අතගාලා යථා තත්ත්වයට ගන්නවා. ගැහැනියකට තුන් ලෝකයේ තිබෙන එකම අමාරුව තමයි විළි රුදාව. විළි රුදාව සමඟ තමයි දරුවා කෙරෙහි මුළු ජීවිත කාලය තුළම ආදරය සෙනෙහස බැඳීම ඇති වෙන්නේ. බොහෝ දුරට වැදූ ගෙවල්වල නෑදෑයො අම්මල ආච්චිලා සියලු දෙනාම එකතු වී පිරිත් කීම පටන් ගන්නවා. ඒ සමඟම විවිධ තැන්වලදි අංගුලිමාල පිරිත, ජයමංගල ගාථා, නරසිංහ ගාථා පිරිත, අභිසම්භිධාන පිරිත ආදිය කියනවා. යශෝදරාවත තුන් සරණය වගේ දේවලුත් කියනවා.
බබා අරගෙන හෝදලා ඉවර වෙලා අම්මට පෙන්වා වැඩි හිටියකුට තාත්තට බබාගෙ නැන්දට මාමාට අත්තා මුත්තට වඩාගන්න දෙනවා. ලැබුණේ ගෑනු ළමයෙක් නම් “කම්බායක්” කියාද පිරිමි ළමයෙක් නම් “සරමක්” කියා වඩා ගන්න දෙනවා. වින්නඹු රාජකාරියේ කටයුතු ඉවුර වුණාම හිතට දැනෙන්නේ ලොකු සතුටක්. එය හදවතින්ම එන සියුම් ආඩම්බරයක්. “ඔන්න අපේ වැඩය ඉවරයි. ඉතින් අපට යන්න අවසර පෙර ගමන් කාරයෝ ඉස්සර වෙමුකො” යයි මම සිනාමුසු මුහුණින් කියනවා.
“මගෙ අම්මා ගොඩ දාල දුන්නට දෙන්න දෙයක් නෑ. අපි ජීවිත කාලයක් කළ පිං වෙද හාමිනේට ලැබෙනවා. ඒ වගේම තව තවත් අපේ දරුවෝ ගොඩ දාන්න ශක්තිය වෙර වීරිය ලැබිල නිදුක් නිරෝගි වෙන්න ඕනෑ” කියලා එතැන සිටින අය මට පිං දෙනවා.
දරුවන් එළියට ගන්න ගිය තරමක් ගියේ පයින්මයි. මිනිස්සු පනහ දශකයේ හරිම දුෂ්කර කටුක ජීවිත ගතකළේ. හරිම දුප්පත් නූගත් අසරණ අහිංසක මිනිස්සු චාරිත්‍ර වාරිත්‍ර වුණත් හරියට දන්නේ නෑ. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ මම ඒ අයගෙ මේ කටයුත්ත කරන්න බැඳිලා ඉන්නවා වගේ. සමහරුන් මා එක්ක යන්න එනකොට තිබුණු සැලකිල්ල වැඩේ ඉවරවෙලා එනකොට නැතිතරම්. මම ඕවා මොකවත් ගණන් ගත්තේ නෑ. මගේ යුතුකම හා වගකීම අවංකව කළා නම් මට හරි යනවා. ඒ පිං බලෙන් මම අදත් සතුටින් සැපෙන් සනීපෙන් ඉන්නවා.
හිඟුරක්ගොඩ, කවුඩුල්ල යෝධ ඇළ බටුකොටුව මැදිරිගිරිය කිරිමැටිය වගේ ප්‍රදේශවල බබාල සිය ගණනක් ගොඩ අරන් තියෙනවා. මම ගොඩදාපු ළමයින්ට දැන් වයස තිහ හතළිහටත් වැඩියි. ඒ අය පාරේ යන කොට මට මතක් වෙනවා ඒ අයගෙ මවුපියො. ඒ පවුල් පිළිබඳ මට හොඳ හැඟීමක් තිබෙනවා.
සමහර මවුපියන් දරුවා ගැනීමට කළ උදව්වක් වශයෙන් දරකරත්තයක් ගෙනත් බානවා. ඒ කාලයේ දර කරත්තය රුපියල් තුනයි පනහයි. නැතිනම් ගොයම් කපපුවාම හාල් ටිකක් ගෙනත් දෙනවා. ඔය කාලයේ හිඟුරක්ගොඩ රෝහල නෑ. ළමයි හම්බුවෙන්න ගියෙ හතමුණ ගැබිනි වාට්ටුවටයි. දැන් එය කාන්තා පරිවාස හා අනාථ ළමයින් සුරකින මධ්‍යස්ථානයක්. බොහෝ දුරට වයස දාසයෙ දාහතේ ගැටිස්සියන්ට ළමයි ලැබෙන්න ගියාම හරිම අමාරුයි. කෑ ගහමින් පිස්සුවෙන් වගේ දුවනවා. ගමටම ඇහෙන්න කෑගහනවා. ලැජ්ජා බයක් නැතුව විළි රුදාවෙන් හරියට ඇඟ දෙකට කපලා වගේ ළතෝණි දෙනවා. මේ වගෙ දේවල් මට හොඳට හුරුයි.
බොහෝ විට සමහර විට බඩදරු අම්මලා දවස වරුව අමාරුවෙන් වේදනා විඳනවා. මම ඒ වෙලාවට කරන්නේ හොඳට වැඩිපුර ඇවිද්දවනවා. ඇවිදල ඇවිදල “දැන් බෑ” කියන කොට කෙඳිරිගාන කොට ඇඳට ගන්නවා. ඊට පස්සේ දරුවා පහසුවෙන් ලැබෙනවා.
සමහර වෙලාවට ඔළුව පැත්තෙන් නොවෙයි. කකුල් දෙක හරි අත හරි එළියට එනවා. වැදැමහ එළියට එන කොට දරුවා ලේවලින් නෑවිලා ඉන්නේ. ඒ වෙලාවට මට කවදාවත් අපුලක් පිළිකුලක් ගඳක් දැනිලා නෑ. නිකම් පිළීගඳක් වගේ එනවා.
සමහර මවුවරුන් හයියෙන් තටමන කොට මලපහ පිටවෙනවා. මම ඒවා පිළිකුලෙන් තොරව ශුද්ධ පවිත්‍ර කරනවා. බොහෝ මවුවරුන්ගේ දරුවන් ලැබෙන්න ඉන්න කොට ඔන්න මෙන්න තියලා පියයුරු කිරිවලින් පිරිල නිකම්ම කිරි එළියට ඇවිත් හැට්ට කිරිවලින් තෙමෙනවා.
ඒ කාලෙ ඉස්සෙල්ලාම දරුවාට රන් කිරි කට ගෑම කරනවා. දරුවා ලැබුණු ගමන් තනකිරි ටිකක් ඉවත් කරලා පොවන කිරි මුරයටත් රන්කිරි කට ගානවා කියනවා. ඒ කිරි බිව්වහම තදබල ලෙඩ දුක් හැදෙන්නෙ නෑ කියලා මතයක් තියෙනවා. සමහර අය වෙනත් මවකගේ කිරි ටිකක් පීරිසියකට ගෙනල්ලා රත්‍රං මුද්දක් ගල ගා කිරිවලට දාලා කටේ ගානවා. ඒ ක්රමයටත් රන්කිරි කට ගානවා කියනවා. එහෙම කිරි දිවේ ගාපුවාම ඇඟ පාට වැටෙන කථාවකුත් තියනවා.
පැරණි මවුවරු තනකිරි එරෙන්න කියලා වැව් මාළු ලූල් මාළු හා කොස් පොළොස් හදලා කන්න දෙනවා. ඒ වගේම කිරි දරුවා කාමරයේ තනි කරලා එළියට යන වෙලාවට කොට්ට යටට ගිරයක් හරි යකඩ කෑල්ලක් හරි තියනවා.
දරුවා බිහි වූවාට පසු දින කීපයක්ම යන තුරු මිරිස් හොද්දක් හදලා දෙනවා බොන්න හා බත් කන්න. ඒකට කියන්නේ ගම්මිරිස් හොද්ද කියලා. පළපුරුදු අය මේ හොද්ද රසට සුවඳට හදනවා. උළුහාල් ගම්මිරිස් කොත්තමල්ලි ඉඟුරු සූදුරු මාදුරු ගොරක හෝ සියඹලා දමා හොද්ද පදමට පාස්සලා කායම වගේ හදාගෙන දින කීපයක් ම දෙනවා. සමහර බබාලා උපදින කොටම කොණ්ඩය හොඳට වැවිලා තියෙනවා. කළුපාටට ලස්සනට. ඒ වෙලාවට නැකතක් බලන්නෙ නෑ. එවේලේම කෙස් රොදක් කපනවා.
බබාලා ලැබෙන්න ඉන්න විට සමහර අම්මලා ආගම භක්තිය දේව විශ්වාසය මත නොයෙක් ආරක්ෂා කෙම්විදි පවත්වනවා. සමහර අය ගැබ්බර මවගේ අතේ බෙල්ලේ ඉණේ පිරිත් නූල් බඳිනවා. තවත් අය අංගුලිමාල පිරිත කියමින් යටි බඩේ තෙල් ගානවා පහසුවෙන් දරුවා ලැබෙන්න කියලා. තවත් සමහර වින්නඹු අම්මලා දරුවා උපන් වෙලේම අවශ්‍ය සියලු වැඩ කටයුතු කරලා ලොකු තේහැඳි දෙකක් එකට ගහනවා දරුවට ඇහෙන්න.
කිරි දෙන වෙලාවට සාළුවක් කරේ දා ගන්නවා පපු ප්‍රදේශය නොපෙනෙන්න. සමහර අම්මලා දෙතුන් පාරක් කාරලා හයියෙන් තුහ් තුහ් කියලා කෙළ ගහනවා වස් ඇරෙන්න කියලා. ඕවා ගැමි සංස්කෘතියේ තිබෙන සිරිත් විරිත්.
වැදූ ගෙය කිලි ගෙයක් බවට පිළිගැනීමක් තිබෙනවා. බොහෝ අය වැදූ ගෙවල්වලට යන කොට රත්‍රං සුරයක් හැර තම සුරය ගලවා දෙහි දොඩම් වැනි පැඟිරි ගහක එල්ලා යනවා. නැවත ආ විගස කහ ටිකක් ගාලා සුවඳ දුම් අල්ලලා සුරය කරට දා ගන්නවා.
සමහර මවුවරුන්ට කිරි එරෙන කොට උණ ගැනෙනවා. බබා ලැබුණු අලුත මවුවරු නිදහසේ එළියේ පහළියේ කිරි දෙනවා සාලෙ ස්තෝප්පුවේ ගෙපිලෙ. ඒ වගෙ වෙලාවට වැඩිහිටි අය කියනවා “ඕකිගෙ කට ඇහැ හොඳ නෑ උඹ පලයන් ගේ ඇතුළට” කියලා නපුරු කෙනෙක් මඟ එනකොට.
වැදූ ගෙවල්වලින් එන කොට බොහෝ අය අලුත් රෙද්දක් රුපියල් දාහක්, පන්සීයක් දෙසිය පනහක් වට්ටියක තියලා රෙද්දකින් වහලා දෙනවා. ගමක වින්නඹු අම්මට පුදුම ගරු සැලකිල්ලක්. පිළිගැනීමක් වගේම භක්තියකුත් ඒ කාලේ තිබුණා.
අමරසූරිය ගලප්පත්ති
ඡායාරූප - හිඟුරක්ගොඩ සමූහ