වාට්ටු අතර ගමන පහසු කරන හොරණ රෝහලේ අලුත් ට්‍රොලිය | සිළුමිණ

වාට්ටු අතර ගමන පහසු කරන හොරණ රෝහලේ අලුත් ට්‍රොලිය

ඒ මා හොරණ රෝහලට ගිය පළමු දිනයි. රෝහලේ පටු කොරිඩෝව දිගේ කිහිප විටක් පිරිමි වාට්ටුවට ආ ගිය විට දැනුණේ දැඩි වෙහෙසකාරීබවකි. බෑවූම් සහිත රෝහල් කොරිඩෝවේ ගමන වෙහෙසකාරිය. වෙනත් රෝහල්වල කොරිඩෝවට වඩා එහි ගමන අසීරු රෝහල උස්බිමක පිහිටි නිසා වන්නට ඇත. වෙනස දැනුණද හේතුව කුමක්දැයි කියා විමසිලිමත් වන්නට එය අවස්ථාව නොවීය.

හොරණ රෝහලේ කොරිඩෝවේ බොහෝ අමාරුවෙන් රෝද පුටුවක වාඩිකරගත් රෝගියෙකු රැගෙන යන රෝහල් සාත්තු සේවකයා ගැන සිතේ ඇතිවූයේ දුකකි. ඒ බෑවූමක් සහිත බිමේ ඔහු රෝගියා රැගෙන යන අසීරුව දුටු බැවිනි. එය රෝගියාටත් වදයක් යැයි එය දකින කාට වුව සිතේ. මේ ස්ථානය යළිත් සිහි වූයේ ඔබට කිවයුතුම අගය කළ යුතුම සිදුවීමක් දැන් එහි ඇති බැවිනි. අදින් පස් වසකට පෙර

අහම්බෙන් රෝහලට ගිය ගමනකදී ලද අත්දැකීම මට අලුත් වුවද එය කාලයක් තිස්සේ රෝහල් සේවකයින් මෙන්ම එහි වෛද්‍යවරුන් මුහුණ පෑ ගැටලුවක් බව වැටහෙන්නේ දැන්ය. කාලයක් තිස්සේ විසඳුම් සෙවු ගැටලුවකට රජයෙන් විසඳුම් ලැබෙනතුරු නොසිට රෝහල විසින්ම විසඳුමක් සොයාගත් අවස්ථාවකි මේ. එක් අතකින් එය නව නිපැයුමකි.

සාමාන්‍යයෙන් නම් රෝහල්වල රෝගීන් එහා මෙහා ගෙන යාම සඳහා ඇත්තේ රෝද පුටු සහ ට්‍රොලිය. එහෙත් දැන් හොරණ මුලික රෝහලේ අලුත්ම පන්නයේ ත්‍රීරෝද රථයක් සහ ගිලන් ඇඳක් ඇත. මෙහි විශේෂය නම් මේ සියල්ල අපේ රටේ අය විසින්ම නිපදවීමය. මේ කතාවේ අගමුල දැනගැනීම සදහා අප හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා හමු වීමූ.

“රෝහලේ බාහිර රෝගී අංශයේ ඉඳලා රෝගියෙක් වාට්ටුවකට ඇතුළත් කිරීමේදි බොහොමයක් වාට්ටුවලට දිගු දුරක් යන්න ඕන. මේ යන්න තියෙන ගමන සමහර වෙලාවට කිලෝමීටරයක් පමණ වෙනවා. හොරණ මූලික රෝහලට දවසකට සාමාන්‍යයෙන් රෝගීන් තුන්සීයක් පමණ එනවා. රෝගීන් රැගෙන යන්න තියෙන කොරිඩෝව අංශක හතළිස් පහක පමණ බෑවුමක් සහිතයි. රෝද පුටුවක හෝ ට්‍රොලියක රෝගියකු තබාගෙන යාම හරි අසීරුයි. සමහර තැන්වල ට්‍රොලිය හැරවීම අමාරුයි. රෝහල් සංවර්ධන කමිටුවයි. හොරණ සෞඛ්‍ය හා රෝහල් සේවා සමිතිය රැස් වුණාම රෝගීන් එහා මෙහා ගෙන යාමේ අපහසුව ගැන හා ඒ සඳහා ගත හැකි විසඳුම් ගැන අපි කතා වෙනවා. එවැනි වෙලාවක තමයි මුලින්ම ත්‍රීරෝද රථයක් නිර්මාණය කිරීමේ අදහස ආවේ. අපි මෙවැනි රථයක් මිලට ගන්නත් බැලුවා. නමුත් ඒ සඳහා විශාල වියදමක් යනවා. ත්‍රී රෝද රථය රෝද පුටුවක් වගේ නිමකිරීම සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ මුදලක් වැය වුණා. ඉන් පස්සේ තමයි ගිලන් ඇඳ සෑදූවේ. ඒ සඳහා වැය වුණු මුදලත් රුපියල් ලක්ෂ තුනහමාරක් වෙනවා. මේ කටයුත්තේදී කවුරුවත් ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් මුදල් ලබා ගත්තේ නැහැ.

මේ නිර්මාණයේ මූලික තැන ගත්තේ අමරලාල් කරුණාරත්න මහතා. ඔහු තවත් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන තමයි මේ ත්‍රීරෝදයෙන් ගිලන් ඇඳක් නිර්මාණය කළේ. දැන් මේ දෙකම තියෙන නිසා රෝගීන් එහා මෙහා ගෙන යාම කාර්යක්ෂම වෙලා තියෙනවා. එය රෝහලට විශාල පහසුවක්. නිර්මාණය සඳහා

ආධාර ලබා දුන්නේ සෞඛ්‍ය සේවා සමිතිය හා සුබසර භාරකාර අරමුදලයි.” වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතා පවසන්නේය.

හොරණ රෝහලේ සෞඛ්‍ය සේවා සංවිධානයට දිගු ඉතිහාසයක් ඇත්තේය. 1970 වසරේදී එවකට පැවැති ආහාර හිඟය නිසා රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීම සඳහා මෙම සංවිධානය ආරම්භ කෙරිණි. එකල රෝහල්වල ආරම්භකරන ලද සමිතිවලින් දැනට ක්‍රියාකාරී එකම සංවිධානය මෙය වේ.

“ඒ කාලේ පොල් සංවර්ධන ඇමැතිව සිටි ඉන්‍ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා තමයි මෙය පටන් අරන් තියෙන්නේ. පළමුවැනි සංවිධානය ආරම්භ කරලා තියෙන්නේ හොරණ රෝහලෙන්. රෝහලේ සංවර්ධ කටයුතුවලට වගේම රෝගීන්ටත් යම් යම් උදව් උපකාර කරනවා. අද වන විට මෙම සංවිධානයේ ප්‍රදේශයේ දානපතියන්, සමාජ සේවකයන්, මාධ්‍යවේදීන්, රජයේ සේවකයින් සාමාජිකයන් ලෙස ඉන්නවා.”

මෙම සමිතියේ උපදේශක ලෙසින්ද කටයුතු කරන වෛද්‍ය අධිකාරි කළුබෝවිල මහතා පැවැසීය.

රෝගීන්ගේ යහපත සඳහා මේසා විශාල සේවාවක් කරන්නට හැකිවීම පිළිබඳ අමරලාල් කරුණාරත්න මහතාට ඇත්තේ අපමණ සතුටකි.

“රෝහලට තිබෙන අවශ්‍යතාව ගැන කතා වුණාට පස්සේ මම තීරණය කළා කුමක් හෝ කළ යුතුයි කියලා. මොකද ට්‍රොලියේ රෝද පුටුවේ රෝගීන් ගෙනියද්දි විවිධ විදිහේ අනතුරු වෙලා තියෙනවා. මුලින්ම අපි රෝද තුනේ වාහනයක් නිර්මාණය කළා. එය ත්‍රිරෝද රථයක්. එහි රෝගීන් දෙන්නෙක් නංවාගෙන යන්නට පුළුවන්. එය හැදුවේ ගිය වසරෙදි. ඒ රථය බැට්රියෙන් වැඩ කරන්නේ. නමුත් බරපතළ රෝගියෙක් ගෙනාවාම වාඩි කරවාගෙන යන්නට බැහැ. ඒ නිසා අපි වෙනත් විකල්පයක් ගැන හිතුවා. මලින්ක ගුණසේකර, ජීනසෝම කළුබෝවිල , උපාලි පෙරේරා සහ චමින්ද ගුණරත්න යන අපි ඔක්කෝම එකතු වෙලා තමයි මේ කාර්යය කෙරුවේ. පරණ ට්‍රොලියක් සහ රෝද පුටුවල කොටස් මේ සඳහා එකතු කර ගත්තා.

මෙය පිටිපස්ස රෝදෙන් හරවන්න පුළුවන්. රෝහලේ පටු කොරිඩෝවල පහසුවෙන් යන්න පුළුවන්. ට්‍රොලිය හදන්න අපට මාස තුනක් විතර කල් ගියා. අප මීළඟට මීටත් වඩා වෙනස් දෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා.”

අමරලාල් කරුණාරත්ත පවසන්නේ තමන්ට රෝහල වෙනුවෙන් සේවාවක් කරන්නට ලැබීමේ සතුටත් සමඟිනි. කොහොම වුණත් තම ප්‍රදේශයේ කටයුතුවලදි අඩුපාඩු ගැන සලකා බලා කාගෙ කාගේත් යහපත වෙනුවෙන් මිනිසුන් මෙසේ කටයුතු කිරීම තම ධනය, කාලය හා ශ්‍රමය කැප කිරීම අප සැම විටම අගය කළ යුතුවෙමු.

පසුබිම් තොරතුරු සහ ඡායාරූප 
විනීතා මානෙල් (හල්තොට සමුහ)

Comments