දඩ කෙළියක් නොවූ පුරාණ ගැමියාගේ දඩයම් සංස්කෘතිය | Page 4 | සිළුමිණ

දඩ කෙළියක් නොවූ පුරාණ ගැමියාගේ දඩයම් සංස්කෘතිය

ලක්දිව පුරාණ ජනතාව තමන් ජීවත්ව‍ූ ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රථමයෙන් දඩමස් සඳහා විවිධ සතුන් දඩයම් කළ අතර හේන් ගොවියා, දඩයක්කරුවා හා සාමාන්‍ය ගැමියා විවිධ දඩයම් ක්‍රම භාවිතා කොට තිබේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දඩයම් ක්‍රමවේදයන්හි සුවිශේෂිත්වය අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, අම්පාර, දිඹුලාගල, ගාල්ල, මාතර හා කළුතර දී දැකගත හැකි වුව ද උඩරට ප්‍රදේශයන්හි පවතින්නේ සුවිශේෂී දඩයම් ක්‍රමවේදයකි.

දඩයම් ක්‍රම හා විශ්වාසයන්

හේන් හා කුඹුරු ගොවිතැනේදී ගැමියන් නොයෙකුත් විශ්වාසයන්හි එල්බගෙන කටයුතුකිරීම හා සමානවම දඩයමේදීද එකී විශ්වාසයන් ඔවුහු තරයේ විශ්වාස කළහ. දඩයම් කටයුතුවලදී සුබ අසුබ බලා එකී කටයුතු සඳහා පිටත් විය යුතු බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පැවතුණි.

දඩයමේ යාමට සැරසී නිවසින් පිටවීමේදී හූනෙකු හැඩීම, තුවක්කුව හෝ කකුල කුමක හෝ වැදීම දඩයම්කරුවන් සැලකුවේ අසුබ පෙර නිමිත්තක් ලෙසිනි.

සතුන් දඩයමේදී ‘මරයෝග’ සහ රාහු කාලය සැලකිය යුතු බවට ඔවුහු දැඩි ලෙස විශ්වාස කළහ‍. හඳ මෝරන කාලයේදී දඩයම් යාම සතුන් වැඩියෙන් දඩයම් කිරීමට හැකියාව ලැබෙන බව ද විශ්වාස කළ දඩයම්කරුවන් ඔත්තේ දින වලදී දඩයමේ යාම ප්‍රතිඵල සහිත ක්‍රියාවක් බව ද විශ්වාස කළ හ. ඉරට්ටේ දිනවලදී දඩයමේ යාම ප්‍රතිඵල රහිත බව ද විශ්වාස කළ ඔවුන් තුවක්කුවට වඩා මන්තර කෙරෙහි විශ්වාසය තබා තිබුණි. දඩයමේ යාමේ දී අලියා, වලසා සහ කොටියා වැනි නපුරු සතුන් හා සර්පයින්ගෙන් බේරීමට එකී මන්තර උපයෝගි කරගත්හ.

දඩයම් කිරීම සඳහා සතුන් මුණ නොගැසීමේදී මොර කොළවලට මතුරා ‘පුවළක්’ කැරකීමට සලස්වා සතුන් එදින දඩයමට හමුවේද නැද්ද යන්න පිළිබඳව දැනගෙන තිබේ. එමෙන් ම සීගිරිය ප්‍රදේශයේ ගම්වැසියෝ දඩයමේ යාමට පෙර කැලෑවට ඇතුළුවන ස්ථානයේ මොර අත්තකට මතුරා එකී අත්ත තමන් යන පැත්ත හරහා එල්ලා තැබීමෙන් සර්පයන්ගෙන් ආරක්ෂා වෙතැයි විශ්වාස කළහ.

දඩබල්ලන්ගේ සහ දඩ මීමුන්ගේ සහාය ලබාගැනීම

සීගිරිය ප්‍රදේශයේ පැරන්නන් දඩයම පහසු කර ගැනීම සඳහා දඩ බල්ලන්ගේ සහ දඩ මීමුන්ගේ සහාය ද ලබාගෙන තිබේ. පුරුදු කළ දඩ බල්ලන් ඔවුන්ගේ ජීවිතයේ එක් අංගයක් වන තරමටම සීගිරිය ප්‍රදේශයේ පැරැන්නන් උන් රැක බලාගත්හ. එමෙන් ම ඉතා හොඳින් දඩමීමා ද දඩයම සඳහා හීලෑ කර ගැනීමට ඔවුහු කටයුතු කර තිබේ.

දඩයම සඳහා පුරුදු කළ බල්ලන් දඩබල්ලන් ලෙස හඳුන්වන අතර දඩ බල්ලා පුරුදු වූ පසු සිය ස්වාමියා එනතුරු ඌරන්, ගෝන්නුන්, මුවන් ආදී සතුන්ට පළා යාමට ඉ‍ඩ නොදී රඳවාගෙන සිටීමට දඩ බල්ලන්ට හැකියාව තිබුණි. දඩයක්කරුවා විසින් සතෙකුට වෙඩිල්ලක් තැබීමෙන් අනතුරුව පුපුර‍ණකොට දඩයමට රැගෙන ගිය දඩබල්ලා වෙඩි කෑ සතාගේ දේ පාර දිගේ ගොස් ඌ වැටී සිටින තැනට යාමට දඩයක්කරුව සහාය දැක්වූ අතර සතුන් මැරී සිටීනම් උන් මරා දැමීමටත් දඩ බල්ලෝ සමත් වූහ.

සීගිරිය ප්‍රදේශයේ පැරැන්නන් දඩමීමුන් ද දඩයම් සඳහා පුහුණු කරගෙන තිබූ අතර ඇතැම් අවස්ථාවලදී දඩමීමුන් දෙදෙනෙකු ද දඩයම සඳහා සහායට ගෙන තිබේ.

දඩයක්කරුවන්ගේ දඩයම් ක්‍රම

දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා විවිධ දඩයම් ක්‍රම උපයෝගී කරගෙන තිබේ. මන්ද බඳින තුවක්කුව එවැනි එක් ක්‍රමයක් වූ අතර එම ක්‍රමයෙන් හාවා, මීමින්නාගේ සිට දැවැන්ත වල් ඌරන් සහ මුවන් වැනි සතුන් ද පහසුවෙන් දඩයම් කිරීමට හැකියාව ලැබී ඇත. දුම් ගැසීම ද දඩයම සඳහා දඩයක්කරුවන් භාවිත කරන විශේෂ ක්‍රමයකි‍.

දුම් ගැසීමෙන් ඉත්තෑවන් ඇල්ලීම දඩයක්කරුවන් විසින් සිදු කරනු ලබන අතර මද්ද බැඳීම ද තවත් ක්‍රමවේදයකි. පැරණි දඩයක්කරුවන් හොඳින් සැකසූ වරාපොට මද්දක් හෝ විශේෂයෙන් සකස් කරගත් අරළු පට්ට මද්දක් යොදා ගත් බව උඩවත්ත පියදාස මහතා විසින් ලියන ලද ‘වැදි ජන ගොත’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

මද්ද හා බඳින තුවක්කුව වැනි ක්‍රමවේද වනයේ සතුන්ගේ ගමන් මාර්ග හරහා යොදන බැවින් මිනිසුන්ට ද එම ක්‍රම ඉතා අනතුරුදායක ය. වඳුරන් මරා ගැනීමට වනයට යන දඩයක්කරු වඳුරන් නොපෙනෙන අවස්ථාවලදී වඳුරන් සොයා ගැනීමට අපූරු ක්‍රමයක් තුවක්කුවට අමතරව රැගෙන යන අත්පොරොවෙන් ගසක ඇටවුමට තට්ටුකර එම ශබ්දය වඳුරන්ට ඇසීමට සලස්වා වඳුරන් ගෙන්වා ගෙන උන්ට වෙඩි තබා මරා ගැනීමටත් විද මරා ගැනීමටත් ඔවුන් සමත් වී තිබේ.

දඩයක්කරු අත වූ පොරොවෙන් ගසේ ඇටවුමට ගසන විට ඉන් නිකුත් වන ශබ්දය ඇසීමට වඳුරන් පැමිණෙන අතර බොහෝ විට මිනිසෙකු දකින වඳුරන් දඩයක්කරුට වහන්වීමට තැත් කරන්නේ ය.

එවැනි අවස්ථාවලදී වඳුරන් සිටින්නේ කොහේ දැයි සොයා බලන දඩයක්කරුවා වඳුරන් අසලට යන්නේ වනයේ ගස් කොළන් හා පරළු පොඩි නොවන ආකාරයට ය. ඉන්පසු වඳුරෙකු දකින දඩයක්කරුවාට වඳුරාව මරා ගැනීම අපහසු කාරණයක් නොවීය.

හේන් ගොවියාගේ දඩයම් ක්‍රමවේද

හේන් ගොවියාගේ දඩයම් ක්‍රමවේදයේ සුවිශේෂී ලක්ෂණය වූයේ සතුන් දඩයම නොව සිය ජීවිකාව සරිකර ගැනීම සඳහා ‍හේන් ගොවිතැන ආරක්ෂා කරගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කිරීමය. එහෙත් එම ක්‍රමවේද පසු කාලයේදී දඩයම සඳහාම ඔවුන් මෙහෙයවූ අතර ඉන් හේන් ගොවියා අමතර ප්‍රතිලාභයක් ද ලබා ගත්තේ ය.

හේන් ගොවියන් පතහ නම් උගුල් ක්‍රමයක්. ඌරන්, මුවන් හා ගෝනුන් වැනි සතුන් එන මං සලකුණ බලා සකස් කරන ලද අතර එවැනි මාවත්වල අඩි 6 ක් පමණ දිගට ද අඩි 4 ක් පමණ පළලට ද අඩි 5 ක් පමණ ගැඹුරට ද වළක් කපා වළ උඩ අඩි 4 ක පමණ කොරකහ වැනි තද වර්ගයේ ලී කෝටු ගෙන එහි කෙළවර උල් කොට කපා ගන්නා ලද වළේ සිටුවනු ලැබේ. එසේ සාදාගත් වළ මතුපිට හරහට වේළුණු ලී අතුරා ඒ මත පරළු දමා වළ බොරු වළක් ලෙස සකස් කර ගන්නා අතර මෙම වළ මත වැටෙන සතුන් උල් ඇනීමෙන් මිය යති.

“දඬු මොළයා’ නම් උගුල් විශේෂයක් ද සීගිරිය ප්‍රදේශය තුළ හඳුනා නොගත් මෙතෙක් වාර්තා නොවූ අප්‍රකට දඩයම් ක්‍රමයකි. ගල් උගුලක් ලෙස හඳුනා ගත හැකි එයට දැවැන්ත වල් ඌරන් පහසුවෙන් ම හසු වෙයි. එමෙන් ම එම ප්‍රදේශයේ දැනට දශක 4 කට පමණ පෙර පැවැති උල දැමීම නම් ක්‍රමය ගෝනා, මුවා සහ මීමින්නා වැනි සතුන්ට යෙදූ අමානුෂික දඩයම් ක්‍රමයකි. හේනේ ‍ ඉදිකොට ඇති දඬු වැට හෝ එවැනි තෝරාගත් ආවරණයක දුර්වල ස්ථානයකට යොදනු ලබන දඩයම් ක්‍රමයක් වූ දඬුමොළය භාවිතා කිරීමෙන් ගෝනා මුවා මීමින්නා හා ඌරන් වැනි සතුන් දඬු වැටෙන් පනින දුරෙහි මධ්‍යයද නිවැරැදිව අවබෝධ කොටගෙන අංශක 25 – 35 දක්වා ඇලව යොදනු ලබන උලෙහි ඇනීමෙන් සතුන් හසු කරගැනීම මෙමඟින් සිදුවේ. හේන් ගොවීහු සිය අක්කර 2 ක 3 ක හේන ගිරවුන් සඳහා ඇටවූ ගිරා තොණ්ඩු ප්‍රමාණය 15 – 20 ටත් අතර වන අතර එමඟින් හේනට පැමිණ සිය වගාවට හානි කරන ගිරවුන් අල්ලා ගැනීමට පුරුදුව සිටිති.

හේන් වගාවට හානි කරන වනයේ දැවැන්තයන් වන අලි ඇතුන්ගෙන් සිය වගාව ආරක්ෂා කර ගැනීමට දඬු වැට අසල ගසක් ආධාරයෙන් යොදනා අලි උගුලෙන් අලියා බිය වද්දා පළවා හැරීමට හේන් ගොවීහු කටයුතු කරති.

සාමාන්‍ය ගැමියන්ගේ දඩයම් ක්‍රම

ගම්මාන අවටින් ද දඩයම් ක්‍රමවේද කිහිපයක් හඳුනාගත හැකි බව මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා විසින් රචිත පුරාණ ගම ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. අස්වැන්න නෙළා ගන්නා සමයේදී ලේන් උගුල් ඇටවීම සාමාන්‍ය ගැමියන්ගේ සිරිතය. ගෙවත්තේ පිහිටි වැට හරහා තිරස් අතට දැව කණුවක් සම්බන්ධකර වැට හා කුරක්කන් වැනි ධාන්‍ය තිබූ ස්ථානයේ හිස් ප්‍රදේශය තුළ උගුල සකස් කරන අතර සුවඳ හමනා ධාන්‍ය තිබෙන ස්ථානය සොයා ධාන්‍ය ඇති කණුව දිගේ ලේනා ගමන් කිරීමේදී පහළ ඇති ලීය ගැටීමෙන් එය පහළට වැටී ප්‍රධාන ලීය බුරුල්වීමෙන් උගුලට හසුවේ.

රොබට් නොක්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා උඩරට රාජ්‍යයේ සිරකරුවකු ලෙස ගත කළ කාලය අළලා රචනා කරන ලද සිංහලට පරිවර්තනය කොට ඇති ‘එදා හෙළදිව’ නැමති ග්‍රන්ථයට අනුව ගිනි කබලක එළියෙන් හා එය පිටුපස ගමන් කරන අයෙක් මිණි ගෙඩි තුන හතරක හඬ සතුන්ට ඇසෙන්නට සැලැස්වීමෙන් දඩයම් කළ ක්‍රමවේදයක් එවක උඩරට රාජ්‍ය තුළ භාවිතා කොට තිබේ. මෙම එළිය නිසා සතුන් ඇසිපිය නොහෙලා මග සිටින අතර මිණිගෙඩි හඬ නිසා ගමන් කරනා පුද්ගලයාගේ පා හඬ සතුන්ට නොඇසීම නිසා ගමන් කරන පුද්ගලයා සතුන්ට කිට්ටු වී දුනු හී භාවිතා කරමින් සතුන් මරාගෙන තිබේ.

මොර කිනිත්තට මුත්‍රා කොට ඇහළ කරලක එල්ලීමෙන් උගුඩුවන් අල්ලා ගැනීමේ ක්‍රමයක් සාමාන්‍ය ගැමියා භාවිතා කොට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සිය පුරාණ ගම කෘතියේ සඳහන් කොට ඇති අතර රිළවුන්, වඳුරන්, හා දඬුලේනුන් අල්ලා ගැනීමට හිඹුටු, බුලංගා දඬු, කෙසෙල් හා මොර වැනි ගෙඩි වර්ගයකින් කුමන වර්ගයක හෝ ගෙඩියක් ගෙන ඇමට තබා එවැනි සතුන් යන එන ස්ථානවල උගුල් අටවා උන් අල්ලා ගැනීමට පුරුද්දෙන් ම සාමාන්‍ය ගැමියෝ සමත් වී සිටියහ.

දඩමස් පංගු බෙදීම

කොතරම් අසීරුවෙන් දඩයම් කළ ද දඩයම් කරුවන් හා ගැමියන් ඒ හා සම්බන්ධ යුතුකම් ඉටු කිරීමට ද අමතක නොකළහ. වෙනත් කටයුතුවලදී මෙන් ම දඩයම් සම්බන්ධයෙන් ද එම සම්මතය බිඳීමට ඔවුහු කැමති ව‍ූයේ නැත. සතෙකු දඩයම් කළ පසු උගේ මස් බෙදා ගැනීම සඳහා සතා මස් කළ යුතු ය. සතා කැපීම යනුවෙන් හැඳින්වූ එම ක්‍රමය අවසන් කිරීමෙන් අනතුරුව පංගු බෙදිය යුතු ය. චිරාගත සම්ප්‍රදායට අනුව ‘ගම කොටහ’, ‘ගුරු මාළු’, ‘තුවක්කු අ‍ඳේ’, ‘එල්ලුම් පොට’, ‘කැපුම් ‍නියාමේ’, ‘දඩයම් පංගුව’, ‘හවුල් පංගුව’ වැනි ක්‍රමවේදයන්ට අනුව දඩමස් පංගුව බෙදීම සිදුකොට ඇති බව රැල්ෆ් පීරිස් මහතා විසින් රචිත උඩරට සිංහල සමාජ සංවිධානය ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

‘ගම කොටහ’ වශයෙන් ගමේ ප්‍රධානියා වූ ගමරාලට තෑගි වශයෙන් දඩයම් කළ සතාගේ ගාතයක් මහ ගමරාලගේ නිවසට ගෙන ගොස් බාර දී ඇති අතර දඩයම් කළ සතාගේ ගාතයකින් මස් තීරු දෙකක් ගුරුමාළු වශයෙන් වෙන් කොට දඩයම් ඉගැන්වූ ගුරුවරයා ජීවතුන් අතර නොමැති නම් ගුරුමාළු කොටස ද දඩයක්කරුට අයත්වේ. එම කොටස් ‘දඩ යකුන්ට’ බෙදීමට දඩයක්කරු අමතක කරන්නේ ද නොමැත.

තුවක්කුව අයිතිකරුට දඩයම් කළ සතාගේ ගාතයක මස් ‘තුවක්කු අ‍ඳේ’ වශයෙන් ලබාදේ. ඊට අමතරව වේලකට සෑහෙන මස් පංගුවක් පට්ටයක අමුණා වෙන් කළ මස් ගාතයේ එල්ලා තබයි‍‍. එම පංගුව හඳුන්වනු ලබන්නේ ‘එල්ලුම් පොට’ යනුවෙනි.

දඩයම් කළ සතා මස් කළ තැනැත්තාට හිමි පංගුව ‘කැපුම් නියමේ’ නමින් හඳුන්වන අතර දඩයමට හවුල් වූ අනෙක් උදව්කාරයන්ට සමාන පංගුවක් සතා මස් කළ තැනැත්තාට හිමිවේ.

සතාගේ මස්වලින් වැඩිම පංගුව හිමිවන්නේ දඩයක්කරුවන්ටය. සතාගේ අක්මාව, හදවත සහ පීකුදු වැනි කොටස් ද ඔහුට හිමිවන අතර සතාගේ දිව සහ උගුරු දණ්ඩ අතර කොටස ‘අඳ මාළුව’ වශයෙන් හඳුන්වා ඒවාද ඔහුට ලබාදේ. සතාගේ හිසේ මස් කොටස ‘ඉස් මාළු’ ලෙස හඳුන්වා දඩයක්කරුට ලබාදීම සිදුකරන අතර දඩයක්කරු ඉස්මාළු කොටස ද ‘දඩ සතුන්ට’ පූජා ‍කිරීම සිරිතක් කොට ගෙන තිබේ. දඩයමට විවිධ සහාය දැක්වූ පිරිසට හවුල් පංගුව ලෙස වෙන් කොට දඩමස් බෙදීම සිදු කරන්නේ ය.

දඩමස්වලින් බාර ඔප්පු කිරීම

වනයේ දින ගණනක් රැඳී සිට සිදු කරන සතුන් දඩයමේදී දඩයක්කරුවන් මුලින් ම සිදු කරන්නේ දඩයම් කළ සතාගේ කපා ගත් මස් කොටසක් වෙන් කොට සතාට වෙඩි තැබූ ‘පැන්නුල’ අසලදී ඉදිගොල්ලේ කිරි අම්මා ඇතුළු තවත් බාර වූ යකින්නියයන්ට බාරය ඔප්පු කිරීම බව උඩවත්ත පියදාස මහතා විසින් රචිත ‘වැදි ජන ගොත’ ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ‍. දඩයක්කරුවන් කඩවර යකාට කන්නලව් කොට අඩුක්කු පුදන බවට පොරොන්දු වී කැලේට ගොස් සතෙකු මරා ගත් විට එහිදී සතා කපන්නේ ද නැතිව උගේ හෘදය වස්තුවෙන් ලේ ගෙන ‘ලේ අවන’ නම් පිදිවිල්ල ද කරනු ලබන බව ද එම ග්‍රන්ථයේ සඳහන් කොට ඇත.

ගමරාලගෙන් ගමේ ආරච්චි මහතාටගම්වැසියෝ මුලදී මස් පංගු බෙදූ ආකාරය පසුකාලීනව වෙනස් කොට තිබේ. ගමේ ප්‍රධානියා වූ ගමරාලට තෑගි වශයෙන් ලබාදුන් පංගුව පසුකාලීනව ගමේ ආරච්චි මහතාට ලබාදී තිබේ. ආරච්චි මහතාට කොටසක් වෙන් කිරීමෙන් අනතුරුව ගමේ පවුල්වලට මස් පංගු බෙදා දේ. ඉතිරිය දඩයමේ ගිය පිරිස අතර බෙදාදීම සිදු කරයි. ගමේ ආරච්චි මහතාගේ මස් පංගුව රැගෙන යන්නේ දඩයක්කරු විසිනි. විශේෂයෙන් ම ආරච්චි මහතාට සතාගේ ගාතයක් ම දිය යුතු අතර දඩයක්කරු ආරච්චි මහතාගේ නිවසට මස් ගෙන ගොස් මස් ගාතය පිළිගැන්වීමෙන් අනතුරුව දඩයක්කරු හා ආරච්චි මහතා අතර මෙවැනි දෙබසක් සිදුවේ.

“අඩා තෝ රඳා ගිහුල්ලද?... නැත්නම් වැස්සේ ගිහුල්ලද වෙඩි තියෙව්වේ?..”

“ආරච්චි මහත්තයා මං කන්නට ගිහුල්ලා වෙද වෙඩි තියෙව්වේ...”

“තෝ මට කොක්කුලත් එක්කද ගෙනව්වේ අඬා.”

“එහෙයි ආරච්චි හාමුදුරුවෝ...”

“තව ඉතින් දැන් ගෙදෙට්ට මොන අඩු පාඩුද? අඩා ළඟදීම ඒජන්ත උන්නාන්සේ එනවා. තෝ පැණි ටිකකුයි අමු මාළු ටිකකුයි හොයලා දිය...”

“ඉදු මේ සත්දහය ඇන්න පල”

අනතුරුව දඩයක්කරුට සිදුවන්නේ වැඩි කථා බහක ‍නොයා ආරච්චි මහතා දෙන ලද සත දහය අමුඩ ලේන්සුවේ ගසා ගනිමින් ආපසු නිවසට යාමට ය.

බොහෝ දඩයම් ක්‍රමවේද මේ වනවිට අභාවයට ගොස් ඇති අතර කාලයත් සමඟ ගම්මුන්ගේ මතකයන් ද ගිලිහී යන තත්ත්වයක් පැවතීම ග්‍රාමීය හේන් වගා සංස්කෘතියේ අවාසනාවකි. දඩයම පාරිසරික වශයෙන් අයහපත් කාර්යයක් වුව ද ඔවුන් ගේ දඩයම් ක්‍රම පිළිබඳ ශිල්පීය තාක්ෂණික ඥානය අගය කළ යුත්තකි. මෙවැනි විශිෂ්ට ඥානයක් මෙන් ම උසස් තාක්ෂණයක් ග්‍රාමීය ජනසංස්කෘතියෙන් ඉවත්වීම එක් අතකින් ග්‍රාමීය මානව සමාජ සංස්කෘතියේ අවාසනාවකි.

Comments