ගමේ පැළ සිටුවලා වායු දූෂණය අඩු කරන්න බැහැ | Page 2 | සිළුමිණ

ගමේ පැළ සිටුවලා වායු දූෂණය අඩු කරන්න බැහැ

බත්තරමුල්ල කොන්ක්‍රිට් වනාන්තරය මැද ගැමි සුන්දරත්වය සපිරුණු පුංචි වනාන්තරයක් සහිත ගෙවත්තක් සහ අරුමෝසම් අලුත් ගෘහ භාණ්ඩ නොමැති පුංචි කලාගාරයක් හා කෞතුකාගාරයක් බඳු අංග උපාංගවලින් යුත් සරල නි‍ෙවසක් වෙත අප ගොඩනැගුණේ මෙරට ප්‍රථම පරිසර විද්‍යා මහාචාර්යවරයා හමුවීමටය. ඒ අන් කිසිවෙක් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ හිටපු පීඨාධිපති හා දැනට එහි සම්මානිත මහාචාර්ය ලෙස කටයුතු කරන මහාචාර්ය සරත් විමලබණ්ඩාර කොටගමයන් හමුවීමට ය. ලෝකයේ රටවල් විසි තිස් ගණනක ජගත් මට්ටමේ පරිසර සමුළුවලට එක් වූවත් කිසි දාක කෝට් එකක් හැඳ නැති, සපත්තු සෙරෙප්පු ඉතා අඩුවෙන් පාවිච්චි කරන, ජංගම දුරකතනයක් පාවිච්චි නොකරන, අපේ රටේ පරිසරයේ මුල සිට අගට දන්නා මේ පරිසර හිතකාමියා සමඟ වසර ගණනාවකට පසු ජගත් පරිසර දිනය වෙනුවෙන් රටේ පරිසර සංරක්ෂණයේ අතීතය වර්තමානය හා අනාගතය පිළිබඳ කථා කරමු.

මේ දවස්වල මොකද කරන්නේ?

මම දැන් විශ්‍රාම අරන් ඉන්නේ. ඒත් රටේ පරිසර සංරක්ෂණය සඳහා ලැබෙන ආරාධනා අනුව දේශන පවත්වනවා. කවුරුවත් වැඩිපුර කරන්නේ නැති භූ කළමනාකරණය හා තිරසර පාරිසරික සංවර්ධනය යන විෂයයන් යටතේ තමයි වැඩිපුර දේශන කරන්නේ.

මේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශිෂ්‍ය පරපුර දැනුම්වත් කරන්න වෙලා කොච්චර කාලයක් වෙනවාද?

පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබුවේ 1997 දී. 2015 විශ්‍රාම ලැබූ නිසා ඊට පසු සම්මානිත මහාචාර්ය වුණා.

1970 සිටම මම පරිසර සංරක්ෂණයට සම්බන්ධ වුණා. 1974 දී සහකාර කථිකාචාර්ය වුණා. ඊට පස්සේ සිංහරාජය පිළිබඳව ගවේෂණවලට යොමු වුණා.

ඔබතුමා කළ සුවිශේෂ පර්යේෂණ පිළිබඳ සඳහන් කළොත්...

මගේ ප්‍රධාන විෂයය කුරුල්ලන්. ඒ අනුව පර්යේෂණ ගණනාවක් කළා. විෂයයක් හැටියට කුරුලු විද්‍යාව විශ්වවිද්‍යාල තුළ තිබෙනවා. නමුත් අපේ සාමාන්‍ය ජනතාව වයස් පරතරයක් නැතිව කුරුල්ලන් නැරඹීම සිදු කරනවා. මේ දෙක එකට බද්ධවෙන කටයුතු දෙකක්. සාමාන්‍ය ජනතාව අතරින් ලැබෙන තොරතුරු කුරුලු විද්‍යාවට යොදාගන්න පහසුයි. ඒ අනුව මගේ උපදේශකවරුන්ගේ අදහස අනුව සනාතන සභාවෙන් අවසර අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ කුරුලු ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය ආරම්භ කළා. කුරුලු අධ්‍යයනය මගින් ස්වභාව සංරක්ෂණයක් සඳහා ජනතාව යොමු කරන්නට අපට හැකිවුණා. ඉන් පරිසර සංරක්ෂණයක් ද සිදුවුණා.

මම පශ්චාද් උපාධිය සඳහා මාලගිරවාගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම කළා. එතෙක් අවසානයේ තීරණය වුණේ මේ මාල ගිරවා කුඹුරුවලට කරන හානිය පිටින් බලන කොට විශාල වගේ පෙණුනාට ඉතා සුළු බවයි. ඒ අනුව ගොවීන් නම් කුඹුරු යායේ තිබුණු කුරුලු පාළුව කුඹුරු කෑල්ල අස්වැද්දුවා නම් මේ හානිය අවම වන බවත් ඒ මාලගිරවා දරුවන් යොදා එලවීම අවශ්‍ය නොවන බවත් අධ්‍යයන අනුව පැහැදිලි කළා. මේ මාලගිරවාගෙන් කුඹුරුවලට සිදුවන හානිය අවම කිරීම පිළිබඳව මම දුන්න ප්‍රධාන විසඳුම කුරුලු පාළුව අස්වැද්දීමයි. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.

ඒත් පුදුමයකට කරුණ වූයේ ලංකාවේ කුරුලු පාළුව නැවත ප්‍රතිෂ්ඨාපනය කරගන්න බැරි වුණාට එංගලන්තයේ ස්කොට්ලන්තයේ රොවෙට් ආයතනය විසින්. ඒ අයගේ ශීත ඍතුවේ තිරිඟු වගාවලට අද මේ කුරුලු පාළුව පාවිච්චි කිරීමයි. එය ඉතා සතුටට කරුණක්. මේ තමයි මගේ පර්යේෂණවලින් ලැබුණු ලොකුම ප්‍රතිඵලය.

1980 විතර සිංහරාජය ගැන කළ පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵල ගැන කීවොත්?

ඒ කාලයේ ස්ථිරවම සිංහරාජයේ වටිනාකම විද්‍යානුකූලව හඳුනාගෙන තිබුණේ නැහැ. මේ නිසා සිංහරාජය සුරැකීමට විද්‍යාත්මක දත්ත තිබුණේ නැහැ. ඒක සිංහරාජය සංරක්ෂණයට ලොකුම බාධාවක් වුණා.

මේ කාලයේ මහාචාර්ය ගුණතිලක වගේ විද්වතුන් සිංහරාජයේ ශාක පිළිබඳ පර්යේෂණ පටන් අරගෙන තිබුණා. අපි කළේ සිංහරාජයේ සත්තු පිළිබඳව පර්යේෂණයි. අර කොටගමගේ ගෙම්බා හමුවන්නේ ඒ පර්යේෂණවලදී. 1980 – 85 වකවානුවේ අපි සිංහරාජයට ගිහිල්ලා ම පර්යේෂණ කළා. මේ පර්යේෂණ අනුව ලබාදුන් තොරතුරු සමඟ පේරාදෙණියෙන් ලබාදුන් තොරතුරු අපි ජගත් සංවිධානවලට ඉදිරිපත් කළා. එයින් 1989 දී සිංහරාජය ලෝක උරුමයක් කරන්න අපට හැකි වුණා.

නමුත් ඔබතුමාලා එලෙස රැක්ක සිංහරාජය අද කපනවයි කියලා මාධ්‍යවල යනවා. ඔබ වනජීවී අධ්‍යක්ෂ ලෙස ආරක්ෂා කළ විල්පත්තුවත් කපනවා කියනවා. ඒ පිළිබඳව මොකද කියන්නේ?

සිංහරාජය නම් කපන්නේ නැහැ. ඒත් ඒ වටේ තියෙන ස්වාරක්ෂක, ප්‍රේරණ හා පරිවාර වනාන්තර කපන බව නම් දැන ගන්න තිබෙනවා. විල්පත්තුව ජාතික උද්‍යානයත් කපන්නේ නැහැ. ඒත් ව‍ෙට් කැලෑ කපලා පර්චස් 10 ගානේ දීලා ගෙවල් හදලා තිබෙනවා. ඒ අනුව සිංහරාජයේ වටේ කැලෑවයි විල්පත්තුව වටේ කැලෑවයි කපනවා. නමුත් මාධ්‍ය හා රාජ්‍ය නොවන පරිසර සංවිධාන කියන්නේ සිංහරාජය හා විල්පත්තු‍ව කපනව කියලා. ඊට පස්සේ රාජ්‍ය බලධාරීන් කියනවා ඒව කපන්නේ නෑ කියල. ඒක ඇත්ත. නමුත් අර ව‍ෙට් කැලේ කපන එක පිළිබඳව වැරදිකරුවන් සොයලා බලල ඒ අයට හරියට දඬුවම් දෙන්නේ නැහැ. ඒ වටේ කැලේ කැපීම වළක්වන්නෙත් නැහැ. මේ වගේ බොරු ප්‍රකාශ නිසා ඒ වනාන්තර අවට කැලේ කපන කෙනාට වාසියි.

පරිසර ගැටලු පිළිබඳව රාජ්‍ය නොවන පරිසර සංවිධාන නායකයන් කරුණු ඉදිරිපත් කරන විට ඒවා විද්‍යානුකූලවම හරියට නිවැරැදිව ඉදිරිපත් කළ යුතුයි. වැරදි ලෙස ඒ කරුණු ඉදිරිපත් කරන තාක් කල් වැරදි කරන කැලේ කපන පුද්ගලයන්ට වාසියි. ඒ සමඟම මේ පාරිසරික වැරදි ඉදිරිපත් කරන විට ඊට විසඳුම් ද ඉදිරිපත් කළ යුතුයි. නැත්නම් ප්‍රශ්නය තවත් උග්‍රවනවා.

විල්පත්තුවේ අගලක් වත් කපලා නෑ කියලා වනජීවී එක මායිම් පෙන්නලම කියනවා. ඒ ගැන වන සංරක්ෂණයෙන් ඇහුවාම ඒ අය කියනවා පරිසර සංවිධාන කියන්නේ විල්පත්තුව කපනවා කියලනේ. වන සංරක්ෂණයට විල්පත්තුව අයිති නෑ කියලා ඒකෙන් පැනලා යනවා. නමුත් විල්පත්තුව වටේ කැලෑව කැපෙනවා අවට ගෙවලුත් හදනවා. නමුත් ඒ කපන ස්ථානය පිළිබඳව හරියට කිය යුතුයි. වටේ පනින්නේ නැතිව හරි දේ ඉලක්කයටම කියලා ගැටලුවට විසඳුම් සෙවිය යුතුයි. නැත්නම් කැලේ කපන කෙ‍නාට වාසියි. සිංහරාජයටත් ඔය දේ තමයි වෙමින් පවතින්නේ. අපේ රටේ රජය සිදු කරන සමහර අවිධිමත් සංවර්ධන ක්‍රියා නිසා අතීතයේත් දැනටත් විශාල වන විනාශයක් හා පරිසර පද්ධති විනාශයක් සිදුවෙනවා. ඒ ගැන ඔය කෑගහන රාජ්‍ය නොවන පරිසර සංවිධානවත් අවධානය යොමු කරලා නැහැ.

අද අපේ රටේ ඇති ප්‍රධාන පාරිසරික ගැටලු පිළිබඳව ඔබේ අදහස ද?

අපේ ‍ර‍ෙට් පරිසර දූෂණයට ප්‍රධාන හේතුව ඒ පිළිබඳව වගකිවයුත්‍තන් රටේ පාරිසරික ප්‍රශ්න අමතක කිරීමයි. පසුගිය ආණ්ඩුත් මේ ආණ්ඩුවත් පරිසරය නොසලකා හැරලයි තියෙන්නේ. ඒක නිකම් පැෂන් එකක් වගේ. පරිසර ප්‍රශ්න එච්චර වැදගත් නැති බවයි දැන් ප්‍රතිපත්ති සම්පාදකයන් සිතන්නේ. ඒවා නිතරම යට ගහන්නයි කොයි ආණ්ඩුවලත් ලොක්කො බැලුවේ. කවුරු හරි ඒක අවුස්සන එකනම් හොඳයි.

දැන් බලන්න අද පාරිසරික ඇගැයීම් වාර්තා (EIA) සකස් කරන්නේ විද්‍යානුකූලව නෙමේ. අරකෙන් කපලා අරන් මේකට දානවා. මේකෙන් කපලා අරන් අරකට දානවා. මේ පාරිසරික ඇගැයීම් වාර්තා පටන් ගත්තේ මහවැලියෙන් අද අපේ රටේ විද්වතුන් EIA එකක් කරන්න පමණක් නෙමේ ඒවා විවේචනය කරන්නත් පුරුදු කරන්න ඕනෑ. EIA දැන් අත්‍යවශ්‍ය දෙයක්.

අපේ රටේ ලොකුම ව්‍යාපෘතියක් වන මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරන කොට EIA තිබුණේ නැහැ. ඒත් ඇමෙරිකාවෙන් මේ මහවැලියට ණය ආධාර දෙන නිසා ඒ රටේ නීතිය අනුව අපිට මහවැලියට අදාළ EIA කරන්න වුණා. ඒ EIA එකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මහවැලි ව්‍යාපෘතියේ නොතිබුණු ව්‍යාපෘති ප්‍රදේශය මෙන් සියයට 46 ක් විශාල රක්ෂිතයක් අපිට හදාගන්න පුළුවන් වුණා. ව්‍යාපෘති මුල සැලැස්මේ රක්ෂිතයක් තිබුණේ නැහැ. එහෙම වුණා නම් මෙලහකට මහවැලියෙන් ජල විදුලිය පමණක් නෙමේ වතුරවත් දෙන්න හම්බුවෙන්නේ නැහැ.

මෙවර පරිසර දිනයේ තේමාව ‘තිරසර වන සම්පත් කළමනාකරණය මගින් වායු දූෂණය අවම කරමු’ යන්නයි. ඒ පිළිබඳව අදහස කොහොමද?

කැලේ වැව්වම වායු දූෂණය අඩු කරන්න පුළුවන්.‍ හැබැයි ඒක හරියට කරන්න ‍ඕනෑ. මගේ දැනුම හැටියට වායු දූෂණය වළක්වන්න ගස් සිටුවන්න ඕනා ගමේ හෝ ගම ආශ්‍රිත කැලෑවේ නොවෙයි නගර බද මාවත් දෙපසයි. අධිවේගී මාර්ග දෙපසයි. ඒ වගේ ම පිටරට පැළ මේකට අවශ්‍ය නැහැ. අපේ කොස්, කැලෑ දෙල්, කළුවර, කුඹුක් හා ඇහැටු වගේ දේශීය ගස්වල පැළ ඊට සුදුසුයි. වනාන්තරයක් වවනවයි කියන්නේ හුදෙක් ගස් සිටුවීමක් පමණක් නොවෙයි. පුංචි කැලයක් වවන එක තමයි කළ යුත්තේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක භෝගයක් පමණක් වගා කරලා ස්වභාවික ජෛව විවිධත්වයක් නැවත ප්‍ර‍තිෂ්ඨාපනය වෙන්නේ නැහැ.

මෙවර පරිසර දින තේමාව වන වගාව මගින් වායු දූෂණය වැළැක්වීමයි. වායු දූෂණය වැඩිපුර තියෙන්නේ කොළඹ මහනුවර කුරුණෑගල වගේ නගරවල.‍

මේ වායු දූෂණය වළක්වන්න සිංහරාජය අවට සමනලකන්ද අවට මුඩුබිම්වල කැලේ වැව්වට වැඩක් නැහැ. ඉස්සර පැරැණි ගෙවතුවල වැටක මායිම ගස්වලින් පැළවලින් ජීව වැටක් ලෙස දැම්මහම ඒ මායිම දිගටම තිබුණා. නමුත් පසුකාලීනව අපි ඒ පැළ ඉනිවැට ගලවලා ගල්වලින් තාප්ප බැන්දා. කම්බි ගැහැවුවා. අපිට වායු දූෂණය ඇතිවුණා.

මේ පැළ ඉනි වැ‍ටෙන් මොකක්ද වුණේ ගෙදර ඇතුළට එමින් තිබෙන විෂ වායු අවලම්බිත අංශු ඇතුළට ඒම වැළැක්වීමයි‍. සමහර විට ශබ්ද දුෂණයන් මේ පැළ ඉනි වැට මගින් අඩු වුණා. නමුත් අද ගෙවත්ත වටේ පැළ ඉනි වැට නැහැ. සිමෙන්තියි කම්බියි ති‍ෙයන්නේ. ඒ කම්බි අවුරුදු 2 – 3 ක් යනවිට මලකඩ කනවා.

රටේ පරිසර සංරක්ෂණයට අද අප කළ යුත්තේ කුමක්ද?

අද අප කළ යුත්තේ නගරයේ වීදි අවට ගස් සිටුවා හා ඒවා අවුරුදු 10 – 15 ක් ආරක්ෂා කිරීමයි‍. මුලින් ම අපට සුදුසු අපේ භූමියට සුදුසු දේශීය පැළෑටි තෝරා ගෙන සුදුසු භූමියට අනුව සුදුසු ගස් වැවිය යුතුය. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ඒ කාලයට සුදුසු දේශ‍ීය ගස් ටික හඳුනාගත යුතුයි. ඒවා පෙර සිටම ඇට තවාන් දමා පැළ කර සූදානම් කර ගත යුතුයි. තරමක් උස අංකුර සිටුවා මේ ගස් වැවීම සුදුසුයි. වායු දූෂණය අවම කරන්න ජීව වැටක් ඉදිකළ යුතුයි. ඒකට සුදුසු පුංචි කොළ තිබෙන ගස්. මහ ගස් වවනවට වඩා පොඩි ගස් ‍ ගොඩක් වවලා ශබ්ද දූෂණය අවම කළ හැකියි.

මෙහිදී කරන්නන් වාලේ ගස් පැළ සිටුවා වැඩක් නැහැ. හැම අවුරුද්දකම උත්සව තියලා පැළ සිටුවනවා. සිටුවූ පැළවලට නිසි නඩත්තුවක් නැහැ. ඒ නිසා මාසයක් දෙකක් යනකොට මැරිලා යනවා. ඔය උත්සව තියලා සිටුවපු පැළ ටිකවත් පැළ වුණා නම් අපේ වන ආවරණය මීට වඩා හුඟක් වැඩියි. අද ලෝක ආර්ථික සමුළුවේ සමාජ ආර්ථික ප්‍රශ්න අතර ප්‍රධානතම එක තනිකම හුදකලාව. දෙවැනි එක දේශගුණික විපර්යාස, තුන් වැනි එක ප්ලාස්ටික්. දේශගුණික විපර්යාස පිළිබඳව අපි මොකවත් කරලා නැහැ. ප්ලාස්ටික් අපේ රටටත් ලොකු ප්‍රශ්නයක්. ඇමෙරිකාවේ පයිප්ප වතුරෙ සියයට 94 ක් මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙනවලු‍. සමුද්‍ර දූෂණයට ප්ලාස්ටික් හේතුවක්. මේ අනුව අපේ ‍රටත් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සඳහන් කළොත්...?

පුළුවන් තරම් පරිසරය සුරැකීමට දැනුම්වත් කිරීම් කරන්න අපේක්ෂා කරනවා. අපෙන් මොනවා හරි විමසීමක් කළොත් අපි මේ වගේ සංවාදයේ නිරත වෙනවා.

අපේ රටේ පරිසරය සුරැකීමට ඉක්මනින් ම කළ යුතු දේ ගැන කීවොත්...

ප්‍රතිපත්ති සම්පාදකයන් විද්වතුන් මේ රටේ පරිසර ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානයෙන් බැලිය යුතුයි. පැලැස්තර විසඳුම් නොව තිරසර විසඳුම් ඊට ලබාදිය යුතුයි. රාජ්‍ය නොවන පරිසර සංවිධානත් රටට හිතැති ජනතාවත් ඒවාට උදව් දිය යුතුයි. අපට පමණක් නොව අපේ දරු පරපුරට පරිසර දූෂණයෙන් තොර තිරසර රටක් බිහිවන්නේ එසේ කළහොත් පමණයි.

Comments