
“මං කරදරයක් කියලා හිතන්නේ නැත්නං මගේ සේවය මහත්මයාට ලබාදෙන්න කැමැතියි. මේ ආයතනයේ කලදසාව බාර ගොරිල්ලාට ඔබ කියන දේ නොතේරෙයිද කියලා මට බයයි...”
(පරාභව, 25 පිට)
(පරිවර්තනය - එඩ්මන්ඩ් ජයසූරිය)
ඇල්බෙයා කැමූ නම් වූ සුප්‍රකට ප්‍රංස නිර්මාණකරුවා විසින් රචිත ‘The Fall’ නම් නවකතාවේ සිංහල පරිවර්තනය, ‘පරාභව’ ආරම්භ වන්නේ මෙලෙසිනි. ඇල්බෙයා කැමූ වූ කලී නොබෙල් ත්‍යාගලාභී, ලෝක ප්‍රකට නවකතාකරුවෙකි. විශ්ව සාහිත්‍යය තුළින් අපට හමුවන විවිධ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන් අතර කැමූ, ඉහළ තලයක සිටින්නෙකි. විශේෂයෙන් ම, විකාරරූපී (Absurd) සංකල්පය සිය නිර්මාණ මඟින් එළිදැක්වූ ලේඛකයකු ලෙස ද ඔහු හඳුනාගත හැකි ය.
“ජීවිතය විකාරරූපී (Absurd) බව අවබෝධ කරගැනීම අවසානය නොව ආරම්භයක් පමණි. සියලුම ශ්‍රේෂ්ඨ චින්තකයන් සිය ආරම්භය ලෙස සැලකූ එය, හුදු ආරම්භක ස්ථානයක් වෙයි. වඩා වැදගත් වන්නේ මේ සොයාගැනීම නොව එහි ප්‍රතිඵලය හා ඉන් උකහාගත හැකි වූ ද ඉන් ඔබ්බට ක්‍රියා කිරීමට ඉවහල් වන්නා වූ ද විධිවිධානය.” (පරාභව, 9 පිට)
කැමූගේ උක්ත ප්‍රකාශය අනුව ද ජීවිතයේ විකාරරූපී බව කෙරෙහි ඔහු දැක්වූ ආකල්පය පැහැදිලි වෙයි. බොහෝ රටවල සාහිත්‍යය පෝෂණය කළ සම්භාවනීය ලේඛකයන් ගැන සලකන විට ඔවුන් අතුරෙන් සෑහෙන සංඛ්‍යාවක් දරිද්‍රතාව, රෝගී බව හෝ වෙනත් අසරණ තත්ත්වයන් නිසා ළමා වියේ සිටම ජීවිතය දුක් සහිතව ගෙවූ අය බව පෙනේ. ඇල්බෙයා කැමූ ද පියා මිය යාමෙන් පසු අසරණව, දුප්පත් දරුවකු ලෙස බාල විය ගෙවූවෙකි. කෙසේ වුවද, සහජ නිර්මාණ කෞශල්‍යයකින් හෙබි මෙම ලේඛකයා තමා බාල වියේදී මව සමඟ ජීවත්වූ නිවසේ තිබූ අප්‍රසන්න ස්වභාවය, පාඨක සිත් තුළ පිළිකුලක් දනවනු වෙනුවට, රමණීය සිත්තමක් ලෙස වර්ණනයට ලක් කළේ මෙලෙසිනි:
“දුප්පත් දිස්ත්‍රික්කයක්, එහෙමත් නිවසක්! එහි එක් උඩුමහලක් පමණක් තිබුණු අතර තරප්පු පෙළම තිබුණේ අඳුරේය. වසර ගණනකට පසුව අද වුව ද අඳුරුම රැයකදී පවා ඔහුට ඒ ගෙය සොයා යා හැකි ය. ඒ තරප්පු පෙළේ එක් පියගැට පෙළකදී වත් පා නොපැටලී දුවගෙන යා හැකි බව ඔහුට විශ්වාසය. ඒ නිවෙස ඔහුගේ ඇඟ පුරාම, ඇට මිදුලු ඔස්සේ විහිදී තිබේ...”
(පරාභව, 9 පිට)
නවකතාව එදා මෙදාතුර සාහිත්‍යකාමීන්ගේ මෙන් ම ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ගේ ද විශේෂ අවධානයට හා උද්යෝගයට ලක්වූ සාහිත්‍ය අංගයකි. නවකතාව මඟින් සමාජ විවරණයක්, සමාජ නිරූපණයක් සිදුවන බව ද, සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ අවිවාදයෙන් පිළිගැනෙන්නකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පවසන පරිදි “වර්තමාන කථාකරුවා වනාහි සමාජයෙහි දෝෂ ද මිනිස් සිතෙහි සැඟවී ඇති කෙලෙස් ද තම කථාව නමැති කැඩපතෙහි පිළිබිඹු කර දක්වා මේ මාර්ගයෙන් මිනිසුන් උදාර පුරුෂාර්ථයන් කරා ගමන් කරවන්ට ආයාස දරන්නෙකි.”
(නවකතා විවරණය, ප්‍රස්තාවනාව)
නවකතාව හා සමාජය අතර පවත්නා මෙකී අවියෝජනීය සම්බන්ධතාව සිංහල නවකතාව විෂයයෙහි මෙන් ම විශ්ව සාහිත්‍යයේ නවකතා විෂයයෙහි ද පැහැදිලිව දැකගත හැකි ය.
ආනල්ඩ් කෙට්ල්, ඉංග්‍රීසි නවකතාවට පෙරවදනක් නමැති සිය ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය තුළ සඳහන් කර ඇති ප්‍රකාශයක් ගැන බලන විට ද නවකතාව හා මිනිස් ජීවිතය අතර පවත්නා සම්බන්ධතාව ඉස්මතු කෙරෙන බව පෙනේ. ඔහු දක්වන අන්දමට සාහිත්‍යය යනු ජීවිතයේම කොටසකි. එය හඳුනාගත හැක්කේ, විනිශ්චය කළ හැක්කේ ජීවිතයට අදාළ කරගනිමිනි. ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉදිරියට යන්නක් මිස එක් තැනක නිශ්චලව පවතින්නක් නොවේ. (Introduction to English Novel, Vol I, Arnold Kettle, p 12)
‘සාහිත්‍යය හා සමාජය’ නම් කෘතියෙහි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් ද සමාජය හා සාහිත්‍යය අතර පවත්නා මෙම සම්බන්ධතාව තහවුරු කරමින් පහත දැක්වෙන ප්‍රකාශය කර ඇත:
“සාහිත්‍යය නිශ්චල දෙයක් නොවේ. එය සචල දෙයකි. එහි ස්වරූපය වෙනස් වේ. ඊයේ තෙක් පැවති සාහිත්‍යය අදට නොගැළපේ. ඒ අතර පවා සමාජයෙහි පරිවර්තනය සැලසෙන හෙයිනි... සමාජය පෙරළෙන විට සාහිත්‍යය ද පෙරළේ. එහිලා පරිවර්තනය වන්නේ, සාහිත්‍යය නොව සාහිත්‍ය රුචියයි. රුචිය පෙරළෙත්ම එයට අයත් විෂයයන් අතර ද පෙරළි හටගනී. ඇතැම් විෂයයෝ පහව යති. අමුතු විෂයයෝ වැද්ද ගනිති.”
(සාහිත්‍යය හා සමාජය, 7 පිට)
මෙලෙසින් බලන කල සාහිත්‍යය හා සමාජය අතරත්, සාහිත්‍යය හා මිනිස් ජීවිතය අතරත් පවත්නා, වෙන් කළ නොහැකි සම්බන්ධතාව බොහෝ සාහිත්‍ය නිර්මාණයන්හි පහසුවෙන් හඳුනාගත හැකි වන අතර, ඇල්බෙයා කැමූ වැනි ලේඛකයන් අනුගමනය කළ විකාරරූපී සංකල්පය හෙළි කරන කෘතීන්හි ද වත්මනින් එයම පිළිබිඹු වෙයි. කැමූ අතින් ලියවුණ නවකතා හා නාට්‍ය කිහිපයක් වෙයි. ඒවා නිර්මාණය මගින් ඔහු, ප්‍රංස සාහිත්‍යය තුළ ප්‍රකට නාමයක් මෙන් ම ඉහළ තත්ත්වයක් ද සනිටුහන් කර ඇත.
කැමූගේ නිර්මාණ අතර ‘පිටස්තරයා’ (Outsider) නවකතාව, එහි මුඛ්‍ය චරිතය වන ‘මර්සෝ’ මඟින් ජීවිතය ගැන දුරවබෝධ ලෙසකින් කෙරෙන විවරණයක් ඉදිරිපත් කරයි. ‘මර්සෝ’ බෙහෙවින් ආදරයට ප්‍රිය කළ, ආදරය පැතූ චරිතයක් ලෙස නිරූපණය වන අතර එම නවකතාව කියවා අවසන් කරන විට පාඨකයාට හැඟෙන දෙයක් නම්, ඔහු කිසිවකුටත් සැබවින් ම ආදරය කළේ ද යන්නත්, ඔහු පැතූ ආදරය ඔහුට ලැබුණේ ද යන්නත් නිශ්චය කරගත නොහැකි බවය.
කැමූගේ ජීවිත දෘෂ්ටිය වන්නේ කෙනකු අපේක්ෂා කරන සැබෑ ආදරය හැම විටම ඔහුට හිමි නොවන අතර එමඟින් ජීවිතයේ අසාර්ථක බව මෙන් ම අසරණ බව ද ඇතිවීම සනාතන ස්වභාවයක්ය යන්නයි මෙකී ස්වභාවයන් විකාරරූපී සංකල්පය පදනම් කරගනිමින් නවකතාවට නැඟූ මෙම ලේඛකයාට ඒ නිර්මාණ වෙනුවෙන් ලැබුණ සම්මාන අනුව ද එකී කෘතීන්හි විශේෂත්වය හඳුනාගත හැකි ය.
අවුරුදු 44 ක් වැනි අඩු වයසකදී, නොබෙල් ත්‍යාගය හිමි කරගැනීමට ඇල්බෙයා කැමූ සමත් වූයේ මේ අයුරින්, විකාරරූපී සංකල්පය පාදක කරගනිමින් ඔහු කළ සාර්ථක ජීවිත විවරණයන්හි ප්‍රබල බව හේතුවෙනි. ‘පරාභව’ (The Fall) නවකතාවෙහි ‘ක්ලෙමන්ස්’ නමැති චරිතය මෙන් ම ‘පිටස්තරයා’ (The Outsider) නවකතාවෙහි ‘මර්සෝ’ ද සිය ජීවිතයේදී ආදරය විෂයයෙහි අපේක්ෂිත තෘප්තිය නොලද අයයි.
එම ස්වභාවයන් ඉස්මතු කර ලමින් ජීවිතයේ යථාර්ථය, විකාරරූපී ලෙසින්, කලාත්මක නිරූපණයකට ලක් කරන්නට කැමූ තුළ වූ කුසලතාව මෙන් ම එහිදී ඔහු පළ කළ සාර්ථකත්වය ද, ප්‍රංස සාහිත්‍යයෙහි විකාරරූපී සංකල්පයට තැන දෙමින්, නවකතා රචනා කළ විශිෂ්ටතම ලේඛකයා ලෙස කැමූ හඳුනා ගැනීමට හේතු සාධක වෙයි.
නාට්‍ය ක්ෂේත්‍රයෙහි මෙන් ම නවකතාව විෂයයෙහි ද ජීවිතයට අදාළ වන දුරස්ථ බව හඳුන්වා දෙමින් ද කැමූ පළ කළ කුසලතාව ප්‍රකට ය. මෙවන් නව ප්‍රවණතා සාහිත්‍යයට හඳුන්වා දෙමින් හා එමඟින් සාහිත්‍යය, විශේෂයෙන් ම නවකතාව, නව සම්ප්‍රදායයන් ඔස්සේ ඉදිරි දියුණුව සඳහා ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රංස සාහිත්‍යයෙහි මතු නොව, විශ්ව සාහිත්‍යය පුරාම නම් දැරූ ලේඛකයකුගේ අගනා කෘතියක් සිංහල පාඨකයාට හඳුන්වා දීම මඟින්, ප්‍රවීණ ලේඛක, එඩ්මන්ඩ් ජයසූරිය මහතා සිදු කර ඇත්තේ මහඟු මෙහෙවරකි.
මිනිසාගේ හුදෙකලා බව බොහෝ විශ්ව සාහිත්‍ය කරුවන්ගේ අවධානයට ලක්වී ඇත. විශිෂ්ට ජපන් ලේඛකයකු වන ‘නත්සුමෙ සෝසෙකි’ මෙන් ම ඔහුගේ අගනා නවකතාවක් වන ‘කොකොරො’ ද මීට හොඳ නිදසුන්ය.
සමාජය කලින් කලට වෙනස් වන අතර එහි පවත්නා සම්ප්‍රදායයන් ද ඊට අනුකූලව වෙනස් විය යුතු බවට, ඇල්බෙයා කැමූගේ ‘පරාභව’ නවකතාව කදිම නිදසුනකි. ඇල්බෙයා කැමූ හුදෙක් ලේඛකයකු, නවකතාකරුවකු පමණක් නොව, චින්තකයකු හා දාර්ශනිකයකු ලෙස ද සැලකිය හැකි බව, ‘පරාභව’ නවකතාව ඇතුළු ඔහුගේ සෙසු කෘති ද විමසීමෙන් පැහැදිලි වෙයි.
‘The Fall’ නවකතාව ඉතා දීර්ඝ ලෙස රචනා වූ කෘතියක් නොවේ. ‘පරාභව’ නමින් පළ වී ඇති සිංහල පරිවර්තනය, පිටු 105 ට සීමාවී ඇත.
පාඨකයාට පහසුවෙන් කියවාගත හැකි තරම් දිග ප්‍රමාණයකින් සැකසී ඇති මේ සිංහල පරිවර්තනය, එහි අන්තර්ගතයෙහි ගැඹුරු බවත්, විටෙක ඇති ව්‍යාකූලත්වයත් පාඨකයාට අපහසුවක් සේ නොදැනෙන පරිදි සරල, එමෙන් ම ප්‍රාණවත් බස් වහරකින් ලියවී තිබීම විශේෂත්වයකි.
“විනීත මිනිසුන් කෙරෙහි පීඩිතයන් විසින් පමුණුවනු ලබන පීඩනය අනාවරණය කරමින් ප්‍රකාශනයක් නිකුත් කරන බව මං නිවේදනය කළා... මා බරපතළ ලෙස ඊටත් එහා ගිය අවධියක් මට මතකයි. පොලිසියේ ප්‍රශස්ති කාව්‍යයක් රචනා කරන්ටත්, ගිලටීනය දේවත්වයට නගා රචනයක් කරන්ටත් මං පටන් ගත්තා” (පරාභව, 89 පිට)
සාහිත්‍ය කෘතියක් මුල් බසින වෙනත් බසකට පරිවර්තනය කිරීම යනු හුදෙක් වචනයෙන් වචනය තවත් බසකට පෙරළීම නොවේ. පරිවර්තකයකු තුළ තිබිය යුතු භාෂා හා සංස්කෘතික ඥානය ද එම කාර්යයෙහිදී අත්‍යවශ්‍ය වෙයි.
ප්‍රංස සමාජයත්, ඇල්බෙයා කැමූ වැනි ලේඛකයන් විසූ සමාජ පසුබිමත් එමතු නොව එවකට බලපැවැත්වූ සාහිත්‍ය සම්ප්‍රදායයන් ආදී අනෙකුත් බාහිර කරුණත් පිළිබඳ ව කරන ලද පුළුල් හැදෑරුමකින් යුතුව එම පරිවර්තනය කර තිබීම ද විශේෂ වැදගත්කමකි. නූතන සිංහල පාඨකයන්ට ‘පරාභව’ කෘතිය කියවීමේදී කතුවරයා පිළිබඳව තොරතුරු රාශියක් මෙම පරිවර්තනයෙහි ප්‍රවේශයට ඇතුළත් කර තිබීම ද සැබවින් ම ප්‍රයෝජනවත්ය.
අන් බසකින් සිංහලයට පරිවර්තනය කිරීමේදී නිරායාසයෙන් ම මතු වන දුරවබෝධ යෙදුම් නිසා පාඨකයාට අපහසුවක් නොවන සේ මේ කෘතියේ අවසානයට යොදා ඇති සටහන් ද පාඨකයාට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි බසින් ද කෘති කීපයක් ම ප්‍රකාශයට පත් කර ඇති එඩ්මන්ඩ් ජයසූරිය මහතා සාහිත්‍යය පිළිබඳව, විවිධ රටවල එදා මෙදාතුර පහළ වූ සාහිත්‍ය ප්‍රවණතා හා සම්ප්‍රදායයන් පිළිබඳව පුළුල් ඥානයක් ඇති ලේඛකයෙකි.
‘පරාභව’ පරිවර්තන කෘතිය මඟින් නූතන සිංහල පාඨකයන්ට ප්‍රංස සාහිත්‍යය පිළිබඳවත්, ඇල්බෙයා කැමූ පිළිබඳවත් දැනුමක් ලබා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි ය. මෙම කෘතිය ප්‍රකාශයට අත දීම වෙනුවෙන් දයාවංශ ජයකොඩි සහ සමාගමට ද පාඨකයාගේ කෘතඥතාව හිමි විය යුතු වෙයි.