![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/05/23/nelumvila-tag.jpg?itok=6ePYGSNr)
බිත්තර විනෝදය
ඇගේ කුඩා නිවෙස තිබුණේ රජයේ දැවැන්ත ගොඩනැගිල්ලක් ළඟ ය.
හදිසි අනතුරක් හේතුවෙන් ඇගේ සැමියා අකාලයේ මිය ගියේ ය. එතැන් පටන් ඇගේත්, කුඩා දියණියගේත් ජීවිතය දුෂ්කර විය. තම කුඩා දැරිය හදාවඩා ගැනීමේ වගකීමෙන් අත් මිදීමට ඇයට නොහැකි විය.
නොබිය ව ජීවිත සටනට මුහුණ දුන් ඇය කඩෙයප්පම් හදා ගේ ඉදිරිපිට තබා විකිණීමට පටන් ගත්තා ය. ඉන් නොනැවතුණු ඇය යාබද රජයේ කාර්යාලයේ සේවාව කළ මහත්වරුන් පස්දෙනෙකුට දිවා ආහාරය පිළියෙල කරදී තවත් අමතර ආදායමක් ද උපයා ගන්නට වූවා ය.
දිවා විවේකයේ දී මේ පස්දෙනා ඇගේ පුංචි නිවහනට පැමිණ අහර බුක්ති වින්දහ. මාසය අගදී වැටුප අතට ගත් විට ඇගේ කෑම සල්ලි ගෙවා දැමූහ.
කාර්යාල මහත්වරුන් කලින් කලට තම දිවා ආහාරය ගන්නා තැන වෙනස් කිරීම සිරිත ය. එසේ කරන්නේ ඒකාකාරී රසයෙන් මිදෙනු පිණිස ය. එහෙත් මේ මහත්වරු පස්දෙනා එසේ නොකළහ. ඔවුහු දිගින් දිගට ම ඇගේ අහර වේලෙහි රස විදින්නට වූහ.
මේ පස්දෙනාට කෑම බෙදන විට බතට මැදිවන සේ තම්බන ලද බිත්තරයක් සඟවා තැබීමට ඇය පුරුදු ව සිටියා ය. බතට උඩින් මස් හෝ මාළු තිබුණ ද මේ රහසිගත බිත්තරය නම් වැරදුණේ නැත.
බත බුක්ති විඳින අතර ඒ මැද ඇති බිත්තරය ද රහසේ බුක්ති විඳීමට මේ පස්දෙනා ම හුරු වූහ. එය තමාට පමණක් කරන ලද පෞද්ගලික සංග්රෝහයක් වශයෙන් සැලකූ පස්දෙනා ම අදාළ රහස සෙස්සන්ගෙන් සඟවා ගැනීමට පරිස්සම් වූහ.
කාර්යාලයේ වැඩ අධික ව තිබූ දවසක මේ පස්දෙනා දිවා අහර බුක්ති විඳිනු පිණිස ඇගේ නිවෙසට ආවේ පමා වී කඩිමුඩියේ ය. වේගයෙන් ආ ඔවුන් අතුරින් කෙනෙකු ගේ පයක් ගැටී පේළියට බෙදා තිබුණු බත් පිඟන් පහ ම බිම වැටී අහර විසිරිණ.
ඒ අවස්ථාවේ ඒ පිඟන් පහේ ම මැද සඟවා තිබූ බිත්තර පහ පැහැදිලි ව ම මතුවී පෙනිණ. ඒ දුටු කවුරුත් තුෂ්ණිම්භූත ව බලා සිට ඉබේ ම මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්හ.
ඇය පස්දෙනා හුදෙකලාකොට තමන් කෙරෙහි රඳවා ගත් රහස එසේ එළි දුටු ව ද මේ පස්දෙනා දිගින් දිගට ම ඇගේ කඩයට ම ආහ.
ඇය ද කිසිත් නොදන්නාක් මෙන් දිගින් දිගට ම බිත්තර සංග්ර හය ද කරගෙන ගියා ය.
මොරටුවේ, කටුබැද්දේ ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.