
ළමා සාහිත්‍යය වූකලී ප්රබන්ධකරණයෙහි මූලික අඩිතාලමයි. තම මවුපියන්ගෙන් හා පරිසරය ඇසුරෙන් ලෝකය වටහා ගන්නා දරුවා සිය පරිකල්පන ශක්තිය පුබුදුවා ගනුයේ ළමා කෘති කියවීම් මඟින්ය. එහෙයින් කුඩා කල ළමා මනසට ඇතුළු වන දේ පිළිබඳ අප බොහෝ සේ සැලකිලිමත් විය යුතුය. දරුවා සමඟ එකට හිඳිමින් ඔවුනගේ ලෝකය නිර්මාණාත්මක බවින් පිරිපුන් පරිකල්පන ලෝකයක් කරා රැගෙන යා යුතුය. දරුවාගේ හැඟීම්, දැනීම් සංවේදී වනුයේ එවිට ය. අද වන විට අපගේ දරුවන් වැඩිහිටියන් බවට පත්ව ඇත. වැඩිහිටියන් දරුවන් බවට පත්ව ඇත. මේ අාස්ථාන දෙක ම රටක අාධ්‍යාත්මික සංවර්ධනයට කිසි ලෙසකින් හෝ සහය වන්නේ නැත.
අධ්‍යාත්මික සංවර්ධනය පිරිහුණු කල්හි භෞතික සංවර්ධනයෙන් ද අපට කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. එහෙත් මේ තත්ත්ව පිළිබඳ අප එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. ළමා මනස හා මවුපියන් පිළිබඳ වැඩසටහන් සෑම දිනකම පාහේ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් මෙන්ම විද්‍යුත් මාධ්‍යයන් තුළද සාකච්ඡාවට බඳුන් වේ. එහෙත් ඒ අදහස් සීමා වනුයේ ඒ වැඩසටහන් වලට පමණි. ඉන් එහා ගිය ක්‍රියාත්මක ක්‍රමවේදයක් අප සතුව නැත. එහෙයින් අප හැමදිනම කතා කරනවා විනා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ ආචාර විද්‍යාත්මක තීරණයක් ගන්නේ නැත.
එහිදී අසරණ වනුයේ කුඩා දරුවා ය. සැබවින් ම ලාංකික සන්දර්භය තුළ ප්රබන්ධකරණයෙහි දි අප අමතක කොට ඇත්තේ කුඩා දරුවා මුල් කොට ගත් ළමා සාහිත්‍යයයි. ළමා සාහිත්‍යය වෙනුවෙන් වෙන්වූ කිසිම මාර්ගෝපදේශයක් අප සතුව නැත. එහෙයින් සංඛ්‍යාත්මක වශයෙන් ළමා සාහිත්‍යය යන උද්ධෘතය යටතේ සැලකිය යුතු කෘති රාශියක් වසරකදී එළි දැක්වුවද ඒවායින් සෑහෙන ප්‍රමාණයක් ළමා සාහිත්‍යය ලෙස සැබෑ ලෙස හඳුනා ගත නොහැකිය. එහෙත් ළමා සාහිත්‍යයෙහි ප්‍රමිතිය පිළිබඳ කිසිදු හරවත් සාකච්ඡාවක් සිදුවන්නේ නැත. එවැනි මොහොතක IBBY (The international Board on Book for young people) ආයතනයේ ශ්‍රී ලංකා සංවිධානය මඟින් සංවිධානය කරන ලද ළමා හා යොවුන් සාහිත්‍ය වැඩමුළුව ඒ හිඩැස පිරවීමට ගත් ප්රශස්ත උත්සාහයක් ලෙස අගය කළ හැකිය.
ළමා සාහිත්‍යයෙහි මෙන්ම යොවුන් සාහිත්‍යයට පොදුවූ සෑම අංශයක් ම ආවරණය කිරීමට ඒ සමුළු සංවිධායකයන් විසින් පියවර ගෙන තිබීම පැසසුම් කටයුතුය. IBBY ආයතනය දිගු අතීතයක් සහිත සංවිධානයකි. 1969 දී ෆ්රැන්ක්ෆර්ටිහි ළමා සාහිත්‍ය පර්යේෂණ ආයතනය මඟින් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී සම්මත වූ යෝජනාවක් අනුව 1970 දී බිහිවූ ළමා සාහිත්‍ය සඳහා වූ අන්තර්ජාතික පර්යේෂණ සංසදය (International Research Society For Children’s Literature IRCL) එහි මූලික අඩිතාලමයි. එහි පරමාර්ථය වූවේ ලෝකයේ විවිධ රටවල ළමා සාහිත්‍ය ක්ෂේත්රයේ පර්යේෂණවලට සහයෝගය ලබාදීම හා ප්‍රවර්ධනය කිරීම වූ අතර එය සීඝ්රයෙන් ලොව පුරා ප්‍රචලිත විය. එහි ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට බොහෝ කාලයක් තිස්සේ උත්සාහ කළ ද එය සාර්ථකත්වයට පත් නොවීය. එහෙත් අවසානයේ ඒ ක්‍රියාදාමය ක්‍රියාත්මක ක්‍රමවේදයක් බවට පත්වීම සතුටු විය යුතු කරුණකි.
IBBY ශ්‍රී ලංකා සංවිධානය සමඟ එක්ව සිටින ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය සහ Room to Read සංවිධානය මේ වෙනුවෙන් ලබාදෙන සහයෝගය ඉතා විශාල ය.
දෙවන ලෝක සංග්රාමයෙන් පසු ළමා පොත පත වර්ධනය කිරීම හරහා අන්තර්ජාතික සාමය ගොඩනැඟීමේ අරමුණින් බිහිවී ඇති IBBY අන්තර්ජාතික සංවිධානය ළමා සාහිත්‍යයෙහි ගුණාත්මක බව මෙන්ම එහි විශ්ව ව්‍යාප්තී බව අරභයා සිදු කරනු ලබන මැදිහත් වීම ශ්‍රී ලංකාව අවශෝෂණය කර ගැනීම වූ කලි ළමා පොත පත වෙනුවෙන් කැපවෙන සියලු දෙනාගේම අවධානයට ලක්විය යුත්තකි. මේ සංවිධානයට ජාතික මට්ටමේ සහයෝගය ලැබීම ද එහි වැඩ කටයුතු අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට ලැබෙන මනා පිටුවහලකි.
මන්ද එවැනි ජාතික මට්ටමේ සහයෝගයක් නොලැබෙන්නට එහි කටයුතුවලට යම් ආකාරයක ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවිනි. අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය IBBY Srilanka ආයතනයේ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත ළමා සාහිත්‍ය සමුළු කමිටුව ඔවුනගේ මූලික අරමුණ සැබෑ යථාර්ථයක් බවට පත් කිරීමට දරන උත්සාහය සැබවින්ම අනාගත ළමා පරපුර වෙනුවෙන් සිදුකරනු ලබන ඉතා වැදගත් ආයෝජනයකි.
ලාංකික ළමා සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදි අපට පැහැදිලිව පෙනී යන ලක්ෂණයක් වනුයේ අපට ඉතා නිර්මාණශීලී වූත් වැදගත් වූත් ළමා සාහිත්‍යයකට අප උරුමකම් කියූ බවයි. සිබිල් වෙත්තසිංහ නම් පූර්වගාමී ළමා සාහිත්‍යවේදිනිය එහි අග්‍රඵලය බව අප කොයි කවුරුත් දන්නා කරුණකි. ජාතික වශයෙන් පමණක් නොව ලාංකික ළමා කතා කලාව අන්තර්ජාතික තලයට රැගෙන යෑමේ මූලික ගෞරවයට ඇයට හිමි වන අතර ඇය ගේ අතින් ළමා කතාවට පමණක් නොව ළමා චිත්‍රයට ද හිමි වූ සුවිශේෂි ස්ථානය ශත වර්ෂ ගණනාවක් යනතුරු පවා නොනැසී පවතියි. සැබවින් ම ලාංකික ළමා සාහිත්‍යයෙහි අනන්‍යතාව සටහන් කරන ලද්දේ ඇය විසිනි. එහෙත් ඇයගෙන් පසුවද විවිධ ලේඛක ලේඛිකාවන් විසින් ළමා සාහිත්‍යයට සිදුකරන ලද මෙහෙය අපමණ ය. ඒ කිසිදු නිර්මාණයක් පුළුල් වශයෙන් ජාතික මට්ටමේ සංවාදයකට ලක්වූයේ නැත. මේ තත්වය සැබවින් ම විමසා බැලිය යුතු කරුණකි.
අපගේ ළමා සාහිත්‍යයෙහි කිසියම් දුර්වලතාවක් ඇත්තේ නම් එය සොයා බලා එයට අවශ්‍ය පියවර ගැනීම අප සතු යුතුකමකි. එහිදී තාක්ෂණික ලෝකය තුළ බිහිවන දරුවාගේ නූතන සමාජ වටපිටාව ද අප අමතක නොකළ යුතුය. එයට සමගාමීව අපගේ නූතන ළමා සාහිත්‍යය ගොඩනැගිය යුතුය. නො එසේ නම් කොපමණ ප්‍රමාණයක් ළමා සාහිත්‍ය කෘති බිහි කළ ද එය එතරම් වැදගත් ව්‍යායාමයක් බවට පත් නොවේ. මෙය දෙමළ සාහිත්‍යයට ද පොදු ය.
ළමා සාහිත්‍යයෙහි ප්‍රධාන සංරචකය වන්නේ දරුවා වුවද දරුවා වෙනුවෙන් ආයෝජනය කරනුයේ වැඩිහිටියා ය. එහෙයින් දරුවාට ප්‍රථම අප වැඩිහිටියන් ආමන්ත්‍රණය කළ යුතුය. ළමා සාහිත්‍යයෙහි අගය අප පළමුව ඔවුනට වටහා දිය යුතුය. මන්ද වර්තමාන වැඩිහිටියා යනු ද දරුවා මෙන් ම තාක්ෂණික මෙවලම් පිළිබඳ පූර්ණ විශ්වාසය තබා ඇති සමාජ සත්ත්වයකු වන බැවිනි. සමහර මවුපියෝ ළමා සාහිත්‍යයක් අප සතුව පවතින බව පවා දන්නෝ නොවෙති. ළමා සාහිත්‍යය දරුවා මුල් කොට ගෙන බිහි වුවත් එහි ප්‍රායෝගික සාර්ථකත්වය රඳා පවතිනුයේ මවුපියන් අත ය.
මීට කෙටි කලකට ඉහත පවා අප සතුව ළමා පුවත්පත් සංස්කෘතියක් ද පැවතිණි. මිහිර පුවත්පත යනු එහි අග්‍ර ඵලයයි. සැබවින්ම අපගේ පරම්පරාව ළමා සාහිත්‍යයෙහි ඇති වටිනාකම අවබෝධ කර ගනු ලැබුවේ “මිහිර” පුවත්පත මඟිනි. එය අපගේ මනසෙහි තවමත් ඉතිරිව පවතී. “මිහිර” පුවත්පත කියවන තුරු එ දවස ළමයි නොඉවසිල්ලෙන් පසුවූහ. එදවස දරුවා කියවීමට හුරු වූයේ ළමා පුවත්පත් ඇසුරෙනි.
එහෙයින් ඔවුනගේ කියවීම අඛණ්ඩ ව පැවතිණි. අද පවා නිරන්තර කියැවීමක යෙදෙන පරම්පරාවෙහි මුල් කියවීම ළමා පුවත්පතයි. එහෙත් එවැනි පසුබිමක් අද නැත. IBBY ශ්‍රී ලංකා සංවිධානය මේ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව ජාතික මට්ටමේ ළමා පුවත්පතක් බිහි කිරීමට ඔවුන් උත්සාහ ගන්නේ නම් එය දරු පරපුර වෙනුවෙන් කරනු ලබන මහත් වටිනාකමකින් යුත් ජාතික කර්තව්‍යයකි.
ළමා පුවත්පත් සංස්කෘතියක් පමණක් නොව ළමා නාට්‍ය සංස්කෘතියක් ද පසුගිය දශක කිහිපයේදී ගොඩ නැඟෙමින් පැවතුණි.
සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනියගේ අප්‍රතිහත කැපවීම මෙහිදී අපට සිහිපත් වේ. වර්තමානය වන විට ඒ තත්ත්වය ද ඇනහිට ඇත. පාසැල් පෙළ පොත් සඳහා නිර්දේශිත හා විවිධ පොත් පත් ඇසුරෙන් ඉඳහිට හෝ නාට්‍යයක් නිර්මාණය වුව ද ඒවායෙහි නිෂ්පාදන මට්ටම් පවතිනුයේ ඉතා පහළ තත්ත්වයක ය.
එහෙයින් දරුවාගේ නිර්මාණාත්මක ලෝකය ඒ නිෂ්පාදන නැරඹීමෙන් මොට වී යයි. එවැනි පසුබිමක පූජිත ද මෙල් ගේ “පුංචි ළමා නඩේ” වැනි නාට්‍ය කණ්ඩායම්වල සේවය අගය කළ හැකි වුවත් කිසිඳු පහසුකමක් හෝ අනුග්‍රහයක් නොලැබීමේ හේතුවෙන් එවැනි උත්සාහයන් ද අතරමග ඇන හිට ඇත.
එමෙන්ම ළමා චිත්‍රපට යන ලේබලය යටතේ විවිධ චිත්‍රපට නිර්මාණය වීම අද බහුලව සිදු වුව ද ඒ බොහෝ චිත්‍රපට ළමා චිත්‍රපට ලෙස හඳුනාගත නොහැකිය. ඒ නිර්මාණ වැඩි ප්‍රමාණයක් දරුවන් රංගනයෙහි යෙදෙන වැඩිහිටි චිත්‍රපට වේ. මේ සෑම කරුණකින්ම පෙනී යනුයේ නූතන දරුවා සංස්කෘතික කාන්තාරයක අතරමං වී ඇති බවයි. යෞවන සාහිත්‍යය මෙන් යෞවනයාගේ තත්ත්වයද එසේ ම ය. මේ කරුණු සම්බන්ධව IBBY ආයතනයෙහි ශ්‍රී ලාංකික සංවිධානය අවධානය යොමු කරන්නේ නම් පසුගිය දින ඔවුන් පැවැත්වූ ළමා සහ යොවුන් සාහිත්‍ය සමුළුව සැබෑ යථාර්ථයක් බවට පත්වනු ඇත.
සුලෝචන වික්‍රමසිංහ