
මැයි මස 29 වැනිදාට යෙදෙන 129 වැනි සමරුව නිමිත්තෙනි
කොග්ගල පරිසර විශ්වවිද්‍යාලයෙන් දැනුම උකහා ගෙන ලෝකයේ අග - මුල සොයන්නට කුරුමිණි සතුන් පසුපස හඹා ගොස් ජීවිත පරිඥානයෙන් ලත් දැනුම් සම්භාරය එකිනෙකට පෙළ ගස්වා විවිධ විෂයයන් මතින් සමාජයට මාර්ටින් වික්‍රමසිංහ හෙවත් තුන්කල් විනිවිද දුටු කොග්ගල ප්‍රාඥයා හෙළි කළ පදාර්ථය, හරාර්ථය, චින්තනාර්ථය එදාටත් වඩා යෝග්‍ය වන්නේ ඈට යැයි කීවොත් එය එතරම්ම නිරවද්‍යය ය.
මිනිසාගේ වයසින් මුහුකුරා ගිය ඥානය ජීවත්ව සිටි කාලයටත් වඩා දිගන්තයේ, දිසාන්තයේ කවදත් පැතිරේ. දිදුලනු ලැබේ. මාර්ටින් වික්‍රමසිංහ සමාජ චින්තනය ද එබඳුය. ඒ චින්තනය එදාටත් වඩා දිදුලන්නේ අදට ය. ඒ නිසාම ඒ චින්තනයේ ගැබ්වුණු සාරඵලය ඒමේ අත පෙරළ පෙරළා බලන්නේත් එබැවිනි.
මාර්ටින් වික්‍රමසිංහගේ සහජ ඥානය ඔහු පොත - පත පරිශීලනයකොට තවදුරටත් පරිපාකයට පත් කරගත්තේ ය. භාෂා ඥානය - විෂය ඥානය - පරිචය - අනුභූති - ප්‍රාගුණ්‍ය - ප්‍රවීණත්වයට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඥානය මිනිසකුට උපතින්ම උරුම වුව ද එම ඥාන ශක්තිය ප්‍රගුණ කරගත යුතුය. ප්රාගුණ්යයයෙන් යුත්, හෙබි, උපයුක්ත වූ ඒ ඥානය චින්තනයකට පෙරළා ගතයුතු ය. වික්‍රමසිංහ කෙළේත් එයයි. දාර්ශනිකයා චින්තකයාගෙන් වෙන්කරන්නේ කවරාකාරයෙන් ද දාර්ශනිකයා කිසියම් විධිවේදයක්, විධි ශාස්ත්‍රයක් මත තර්කානුසාරි මතයක් ඉදිරිපත් කළ ද චින්තකයා අතින් සිදුවන්නේ තාර්කික ඥානය නොව ආකල්පමය පද්ධතියක විචාර පූර්වක ස්වරූපයක් ගැනීම ය. යමක් විචාරශීලී ලෙස ගෙන හැරපෑම වික්‍රමසිංහ චින්තනයේ ස්වරූපයයි.
සාවද්‍ය අර්ථකථන
අද්‍යතන අවදියේ බොහෝ අය මාර්ටින් වික්‍රමසිංහ සමාජ චින්තනයට සාවද්‍යවූ විවිධ අර්ථකථන සපයන්නේ ඔහු අතින් විවිධ විෂය යටතේ ලියැවුණු පොත - පත කියවා නොවේ.
ඔහුගේ ඥානය එක විෂයකට පමණක් සීමා නොවීය. භාෂාව, වාග් විද්‍යාව, විචාරය (සමතුලිත) විද්‍යාව, පරිණාමවාදය, සත්ත්ව පරිණාමය, සංස්කෘතිය, සාහිත්‍යය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලනය, සිංහල ලකුණ සෙවීම, පුරාවිද්‍යාව ආදි විෂයයන්වලින් නොනවතුණු වික්‍රමසිංහ නවකතාව, කෙටිකතාව, කවිය ආදි විෂය ත්‍රිකය කෙරෙහිද පුළුල්වූ දෘෂ්ටි කෝණයක පිහිටා සිය දෘෂ්ටිය හෙළීය.
යමක දැඩිව එල්බ නොගිය ඔහු ආධානග්රාහී ද නොවීය. අන්තගාමී ද නොවීය. මැදිහත් පිළිවෙතක් අනුගමනය කරමින් බොහෝ දුරට දැනුම මත පිහිටා දැක්ම හෙළි පෙහෙළි කෙළේ ය. ඒ නිසාම කිසිවකුට ඔහුගේ මතය සාවද්‍ය යැයි කියා කියන්නට ඉඩක් නොලැබුණි.
වික්‍රමසිංහ චින්තනය ගැන කතා කිරීමේදී නිරන්තරයෙන් ම කළ යුතු කරුණ වන්නේ ඔහුගේ පොත පත කියවා ඇත්ත යුක්ත පහදා ගැනීම ය. එසේ නොමැතිව ඒ පොත් ගැඹුරින් පරිශීලනය නොකොට විවිධ විවරණ ඇද බෑම සහේතුක නොවේ. එසේ කිරීම ද යුක්ති සහගත නොවේ. එසේ කළහොත් එය බරපතළ වරදකි. අද බොහෝ දෙනා මෙය පටලවාගෙන වරද්ද වරද්දා අර්ථ දක්වන්නේ ද උඩින් පල්ලෙන් ඒ පොත් සමුදාය කියවීමට බඳුන් කිරීමෙනි.
මෙරට විසූ, තවදුරටත් වෙසෙන බොහෝ චින්තකයන්ට, නවකතාකරුවන්ට වැරැදුණු තැන් වික්‍රමසිංහ නිවැරැදි කළේය. මෙයට එක් නිදසුනක් ලෙස ගුණදාස අමරසේකර අතින් ලියැවුණු ‘යළි උපන්නෙමි’ නමැති නවකතාව ලිවීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ කනස්සල්ල පළ කළ අතර එය සිංහල ලකුණ, සිංහල සංස්කෘතිය යථාර්ථවාදීව හඳුනා නොගෙන ලියන ලද්දක් යැයි ද අනාවරණය කෙළේය. අමරසේකර පසුව මෙය පිළිගත්තේ ය. පිළිගත්තා පමණක් නොව මෙවන් කෘතියක් ලිවීම ගැන ලැජ්ජාවට ද පත් විය.
එහෙත් මෑතකාලීන නොපැසුණු අය ‘යළි උපන්නෙමි’ නමැති සුජාත දරුවා යළි සමාජයට දායාද කළ යුතු යැයි ගුණදාස අමරසේකරට අවධාරණය කළ ද ඔහු එයට කිසිදු ප්‍රතිචාරයක් නොදී ඉවත බලාගත්තේ මාර්ටින් වික්‍රමසිංහ හෙළි කළ ඇත්ත යුක්ත හේතු කොටගෙන ය. ඔහුගේ දැනුම හා දැකුම පදනම් කරගෙන ය.
පශ්චාත් නූතනවාදීන් යයි කියා ගන්නා රෝගීන් මෙවන් අදහසක් පළ කළ ද මාර්ටින් වික්‍රමසිංහ අද සිටියා නම් ඔහුන්ට එරෙහිව කෙබඳු ප්‍රතිචාර දක්වාවිද යන්න අපට සිතා ගන්නට පුළුවන. අද සමාජය පුරා ඉහවහ ගිය පශ්චාත් නූතනවාදී මනෝවිකාරවලට හොඳ විචාර ග්රන්ථයක් වික්‍රමසිංහ අතින් ලියැවෙන්නේ සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ලටත් වඩා අබිබවා යන පරිද්දෙනි.
පශ්චාත් නූතනවාදය
දශකයේ කාමකතා රැල්ලක් එළිදැක්විණි. එසේ ඉහ වහා ගිය අර්ථශුන්‍ය නවකතා ගොන්නෙන් සමාජයට අර්ථයක් අත් නොවන බව වටහාගත් මාර්ටින් වික්‍රමසිංහයන් එ් අර්ථ ශුන්‍ය ගමන වළක්වාලීම් වස් හොඳ ගණයට ගැනෙන විචාර ග්රන්ථයක් ලියා ඒ ගමන ලත් තැනම ලොප් කෙළේ ය. ඉන් අනතුරුව කාම කතා රැල්ල එතනින්ම නැවතිණි. ‘සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ල’ එළිදැක්වූවා සේ අද බරපතළ සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති පශ්චාත් නූතනවාදී වියරුව නැත්නම් සෙළුව ගැන හොඳ ගණයට ගැනෙන විචාර ග්රන්ථයක් ලියනවාට කිසිදු සැකයක් නැත.
පශ්චාත් නූතනවාදය යනු යහපත් විෂයකි. ඒ විෂය වරදවා තේරුම් ගෙන ලාංකික සමාජයේ අතළොස්සක් අන්තවාදීව හා අතිධාවනකාරී අයුරින් ඒ විෂය නොමඟ යැවීම මහා විනාශකාරි වූවකි. මාර්ටින් වික්‍රමසිංහ අද සිටියා නම් කොතරම් හොඳ දැයි සිතෙන්නේ මේ අනුව ය.
අද විචාර මාර්ගයට අත්වී ඇත්තේ ද මෙබඳුම ව්‍යසනයකි. සැසඳීම, විශ්ලේෂණය කිරීම, ඇගැයීම හා පැහැදිලි කිරීම මත පදනම් වූ විචාර මාර්ගයක් අද තිබේ ද? වික්‍රමසිංහ 1964 දී හෙළි කළ සිංහල විචාර මඟට සරිලන විචාර මාර්ගයක් තවම බිහිවී නොමැත. අද සිදුවන්නේ පිට කසා ගැනීමේ විචාර කලාවක් විනා සාහිත්‍යයේ අභ්‍යුදයට බලපාන විචාර මාර්ගයක් නම් නොවේ. 1964න් මෙපිට තවම හොඳ විචාර මාර්ගයක් බිහි කිරීමට ඔවුන්ට උවමනාවක්ද නැත.
විශ්වවිද්‍යාල පද්ධතියේදීත් එවන් විචාර මාර්ගයක් බිහිකිරීමට ඔවුන්ට වුවමනාවක් ද නොමැත.
සියත් ලකුණ සෙවීම
වික්‍රමසිංහ කිසිදු විෂයක විශේෂඥයකු නොවේ. එහෙත් ඒ විෂයේ සුනිපුණයෙකි. විෂයට අදාළ පැතිර ගිය ක්ෂේත්රයක පොත - පත කියවා අදීනව සිතන්නට පුරුදු වූ මුනිවරයකු බඳු ය. වාග් විද්‍යාඥයකු වූ වික්‍රමසිංහ තවත් පැත්තකින් පුරාවිද්‍යාඥයෙක් ද වෙයි. අපේ අතීත සත්තාව එයට හිමි ලකුණ සොයන්නට අනුරාධපුරයට ගොස් එහි පුරාවස්තු අතපත ගා සියත් ලකුණ සොයන්නට මහත් පරිශ්‍රමයක් දැරූ අය අතරින් කෙනකි මොහු. සිංහල සංස්කෘතිය බිහිවූයේ වැවත් - දාගැබත් - කෙතත් ආශ්රයෙන් යයි ප්‍රථමයෙන් ම නිර්වචනයක් ඉදිරිපත් කෙළේත් වික්‍රමසිංහයන් ය.
ඉන් පසුව එම්.සී.පී. බෙල් බඳු පුරාවිද්‍යාඥයන් විවිධ මත පළ කළ ද වික්‍රමසිංහ හෙළි කළ චින්තාව අදත් සමාජයේ පවතී.
සඳකඩපහණට වික්‍රමසිංහ දුන් අර්ථකථනය ඔහුගේ චින්තනය මේ යැයි හකුළා දක්වන්නකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ජාති - ජරා - ව්‍යාධි - මරණ, රාග - ද්වේෂ - මෝහ ආදියත් මෙයින් නිරූපණය කරන්නේ යැයි ද, මහාචාර්ය විනී විතාරණ හිරු හා සූර්ය වන්දනය මෙයින් නිරූපණයවන්නේ යැයි පවසන අතර බද්දේගම විමලවංශ හිමියන් වෙළෙඳ කුල මතුවන්නේ යයි ද කියයි. විද්වතුන් විවිධ මතවාද හෙළි කළ සමයක වික්‍රමසිංහ කීවේ සඳකඩ පහණේ අන්තර්ගත සංකේත සරදමේ සංකේත බවයි.
හින්දුන්ගේ වන්දනයට පාත්‍ර වූ මේ සංකේත සඳකඩපහණට ඇතුළත් කොට බුදු මැදුරට යන බෞද්ධයන් ලවා ඒවා පෑගවීමට සලස්වන ලද බවයි වික්‍රමසිංහ අදහස වූයේ. මේ මතය කොතරම් දුරට නිරවද්‍යය ද යන්න වෙන ම කරුණකි. එහෙත් ඒවා එකින් එක අතපත ගා හින්දුවරුන්ගේ සංකේත ගැන ද විමසීමක යෙදී වික්‍රමසිංහ සඳකඩපහණට අර්ථයක් ගෙනහැර පෑවේය.
තවද මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරි ලියන් විජ්ජුලතාවන් මේඝලතාවන් යැයි සඳහන් කරන සමයක වික්‍රමසිංහ කීවේ සීගිරියේ රජුන් පිනවන්නට සැරැසුණු ඔවුන් කාමිණියන් ලෙස ය. රතු වස්ත්‍රවලින් සැරැසී කාමය උද්දීපනය වන අන්දමට දිය කෙළියට යන මේ ලියන් භාරතීය සාහිත්‍යය ද, සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ද පරිශීලනය කරමින් තර්කානුකූල නිගමනයකට එළඹෙයි. උගතුන්ගේ හා වියතුන්ගේ අවධානයට බඳුන්වන මතයක් වික්‍රමසිංහ හෙළිකොට ඇත.
සාහිත්‍ය කලා, සාහිත්යොදය කතා ආදි ග්රන්ථවලින් ප්‍රවේශයක් උදාකරගෙන එයින් පිබිදී ගම්පෙරළියකින් ආවේශය ලබා යුගාන්තයකට අවතීර්ණ වී, කලියුගයක් කරා ඇවිත් කරුවල ගෙදරකින් නිම්නයකට නික්මී, විරාගයෙන් ආධ්‍යාත්මික ලෝකයට යන්නට ඉඩහැර බවතරණයෙන් යථාර්ථවාදී රීතියක් මතුකර සමාජය පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට, ජනිත කිරීමට ගත් වෙහෙස ඔහුගේ නවකතා ක්ෂේත්‍රය පරිපාකයට පත්වීමේ ඵලයකි.
මෝඩ ශ්‍රද්ධාවෙන් වෙළී පැටලී සිටි බොහෝ දෙනකුට බවතරණය නමැති නවකතාව විෂය නොවීය. දෙබරයකට ගල් ගැසීමෙන් සිදුවන්නේ කුමක්ද එපරිද්දෙන් ම බවතරණයෙන් ද සිදුවූයේත් එය ම ය. සමාජයේ හැම තරාතිරමකගේ අවධානයට බඳුන්වූ බවතරණය සිංහල නවකතා ක්ෂේත්‍රයේ එක්තරා සුවිශේෂිත කඩඉමකි. ලෝපතළ සම්භාව්‍ය ගණයට ගැනෙන නවකතා කියවා, නවකතාවකින් පිලිබිඹු විය යුත්තේ කුමක්ද යන්න මැනවින් පසක් කොටගෙන විනිවිදභාවය හෙළි කරන්නකි මෙය. එවන් නවකතා අද බිහිවන්නේ ද?
බවතරණ නවකතාව දෝෂ දර්ශනයට ලක් කරමින් හික්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් බවතරණයට විරෝධය පාමින් කාණ්ඩ තුනක ග්රන්ථයක් ද, කන්නිමහර සුමංගල නාහිමියන් වික්‍රමසිංහගේ අවුල් දිට්ටිය’ නමැති ග්‍රන්ථය බිහිවීම අනුව සමාජයේ තව තවත් උත්ප්රාචිත තත්ත්වයක් උදාවීම යහපත් සමාජ ලක්ෂණයකි. මේවායින් වික්‍රමසිංහ සමාජ චින්තනයට කිසිදු හානියක් නොවූ අතර තව තවත් එහි පවත්නා සත්‍යතාව මතුවූ ආකාරය අද වඩාත් ප්රතීතවේ.
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය නමැති ග්රන්ථයට එරෙහිව කන්නිමහර සුමංගල හිමියන් ලියූ අවුල් දිට්ටිය මගින් සිදුවූයේත් සුමංගල හිමියන්ගේ දිට්ටිය යටපත්වී වික්‍රමසිංහ දිට්ටිය වඩාත් ඔපමට්ටම් වීම ය.
වික්‍රමසිංහට අවශ්‍ය වූයේ ගතානුගතිකත්වයෙන් මිදී සමාජයට අලුත් දෙයක් හෙළි කිරීමට ය. ඔහු අතින් ලියැවුණු හැම ග්රන්ථයකින් ම සිදුවූයේත් එය ම ය. ඔහු වසර 86ක් ජීවත්විය. ග්‍රන්ථ 86ක් පළ කොට තිබීමත් සෙස්සන්ට පරමාදර්ශීයය. ඒ එක ග්‍රන්ථයක්වත් අර්ථ ශුන්‍ය කියා කිසිසේත් ම ඉවතලිය ද නොහැකි ය.
පිට කසා ගැනීමේ පිළිවෙත
යම් යම් ගුරුකුල, සාහිත්‍ය කල්ලි වික්‍රමසිංහ ග්‍රහණයට ගන්නට තැත් දැරුව ද ඔහු එයට එක වූයේ නැත. ඊට යට වූයේ නැත. පිටකසා ගැනීමේ සම්ප්රදායයෙන් බැහැරව ගිය වික්‍රමසිංහ සමාජ සන්තාව මත පිහිටා සිය සමාජ චින්තනය හෙළි කෙළේ ය. ඒ නිසා ම ගම්පෙරළියක් අද ලියැවුණේ ද; එහෙමත් නැත්නම් විරාගයක් නිර්මාණය වූයේ ද; එසේත් නොවන්නේ නම් බවතරණයක් ලියැවුණේ ද? නිර්භීතව යමක් ලියන්නට තරම් පරිණත මට්ටමක සිටි වික්‍රමසිංහ ඡේකයන්ට කදිම පාඩම් පොතකි; මහා ග්රන්ථයකි. ග්‍රන්ථ අප්‍රමාණ ව ම බිහි වුව ද ඒවා සමාජයේ සෙස්සන්ගේ අවධානයට බඳුන් නොවන්නේ නම්, මහත් ආන්දෝලනයට ලක් නොවන්නේ නම් ඒ ග්රන්ථවලින් ඵලක් වේද? සැබෑ චින්තකයා අතින් සිදුවන්නේ කාගේත් අවධානයට විෂය වන නිර්මාණයක් එළිදැක්වීම ය. සමාජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ග්‍රන්ථ එළිදක්වා සමාජ පුනරුදයට යොමු කිරීම සැබෑ චින්තකයාගේ කාරිය නම් මාර්ටින් වික්‍රමසිංහගෙන් සිදුවූයේත් එබන්දකි.
පසුකාලීනව මොහු නගරයේ ජීවත් වුව ද සිතින් ගම අත්හළේ නැත. ගතින් ගමෙන් ඈත් වූව ද සිතින් ගම පිටමං නොකළ වික්‍රමසිංහ ගැමියන්ගේ ගති ලක්ෂණ නිතරම මෙනෙහි කොට නගරය හා ගම අතර පවත්නා වෙනස ඉස්මතු කෙළේ ය. ජීව ප්‍රවාහනය මතු කොට ගැමි ජීවන සුවඳ උද්භවනය කෙරිණි.
මත්තට සමාජයේ සිදුවන්නේ කුමක්දැයි වික්‍රමසිංහ අපට ඉවෙන් මෙන් හෙළි කෙළේ ය. මිනිසාගේ චිත්ත චෛතසික ධර්මතා, ‘උපාසකම්මා’ කෙටිකතාවෙන් මතු කරන ගමන් ඇයට සරදම් කරන්නේ ඇගේ නිවෙස ඉදිරිපිට ඇති දෙල්ගස සංකේතවත් කරගනිමිනි.
ජීවිතයේ යථාර්ථය නොදැන ගිය ගමනකදි අතරමං වන උපාසකම්මා ජීවිතය තවත් දිගු කරගනී. ජීවිතය ගලා කෙටිකරගත යුතුව තිබියදී තවදුරටත් දිගු කරන්නේ පාරමී ධර්ම නොතකා තිබියදී තණ්හාව ආශාව මත රැඳුණු ගමනකට සේන්දුවූ හෙයිනි. අපේ සාහිත්‍යය කලාදියට අද අත්වී ඇත්තේ ද උපාසකම්මාව අත්වූ ඉරණම නොවේද?
හේතුඵල මහෝඝය
දේශපාලනඥයන් අතර චින්තනයක් ඇති රටේ ප්‍රශ්න විසඳීමට අවංක හැඟීමක් ඇති නායකයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පැසසුමට, ප්‍රසාදයට පත් වූයේ දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ය. ඒ බව වික්‍රමසිංහ මෙසේ සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහිත අගමැති බණ්ඩාරනායක මහතා ඒ මහෝඝය මතුයෙහි යාත්රාකොට ජය ගත්තේ ය. ඔහු ශූර බුද්ධියක්, මමත්වය නැසූවකුගේ ඉවසීමක් හා දුරදක්නා නුවණක් ද ඇති මන්ත්‍රීවරයෙක් විය. ඔහු යාත්‍රා කළ හේතු ඵල මහෝඝය හරි මඟ යවන්නට ඔහු හා ඔහුගේ පක්ෂය ද අසමත් වූහ. දේශපාලනඥයෝ, දේශප්‍රේමීහු, භාෂා ප්‍රේමීහු, පන්සල්, පල්ලි නිකාය හා දේපළ බදාගත් භික්ෂුන් වහන්සේ, දේව ගැතිවරු, පත්‍ර කලාවේදීහු නියම මඟට හැරවීමට එක්ව වෑයම් කරනු වෙනුවට කාණ්ඩ ගැසී පොරකන්නට වූහ.
බණ්ඩාරනායක මහතාගේ හතුරන් පමණක් නොව සමහර මිතුරෝ ද බලතල ආසාව, වස්තු ලෝභය, ඊර්ෂ්‍යාව, බොරු මානය, ආගම් පිස්සුව, කපටිකම හා දුබලකම ද විසින් මෙහෙයවනු ලැබූහ. ඒ කෙලෙස් ගින්නට හසුව ඔහු විනාශ විය. ඔහු තම අවංක වැටහීම අනුව ඍජුව ක්රියාකරන්නට ඉඩ නොලැබීම නිසා දිවි පිදූවෙකි.
(සිංහල සකස්කඩ, පළමුවන මුද්‍රණය,
1962, 117 පිටුව)
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම